විදුලිබල මණ්ඩලය හෙට (18) සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි

විදුලිබල මණ්ඩලය හෙට (18) සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි

*********************************************

විදුලිබල මණ්ඩලය හෙට (18) සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි

(17.04.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala)

හෙට (18) සිට නැවත රාත්‍රියේ විදුලිය කැපේ.

දිවයිනට පැමිණ ඇති ගල් අගුරු නෞකා දෙකක් (2) මුදල් නොගෙවීම හේතුවෙන් ආපසු හරවාගෙන යාමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සදහන් කළේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

වසරකට නොරෝච්චෝලේ බලාගාර සංකීර්ණය සදහා ගල් අගුරු නෞකා 41 ක් අවශ්‍ය වන අතර මෙවර ඇණවුම් කර ඇත්තේ ගල් අගුරු නෞකා 38 ක් පමණයි.

එම 38 න් ද නෞකා 3 ක් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙරටට ගෙන්වීමට නොහැකි වී තිබෙනවා.

ඇණවුම් කළ සෙසු නෞකා 35 හි අවසන් නෞකා දෙකයි (2) මෙලෙස දිවයිනට පැමිණ මුදල් නොගෙවීම නිසා ආපසු හරවා යාමේ අවදානමක් පවතින්නේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉදුවර කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ගල් අගුරු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාර සංකීර්ණයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය කිරීමට සිදුවන තත්ත්වයක් ලබන අගෝස්තු මාසය පමණ වන විට උද්ගත වනු ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩූගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ සැප්තැම්බර් දක්වා ප්‍රමාණවත් ගල් අගුරු තොග පවතින බැවින් නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීමේ අවදානමක් නොපවතින බවයි.

මේ අතර, හෙට (18) දිනයේ පැය 4 යි මිනිත්තු 20 ක කාලයක් සහ 19 සහ 20 දෙදින පැය හතරයි මිනිත්තු 50 ක කාලයක් විදුලිය කැපීම සදහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ, පෙරවරු 8 සිට රාත්‍රී 10:30 දක්වා අවස්ථා දෙකක (2) දී ක්‍රියාත්මක කිරීමටයි.

ඒ අනුව හෙට (18) සිට නැවතත් රාත්‍රියේ විදුලිය කැපීමට ද ඉල්ලා ඇති අතර හෙට (18) දහවල් කාලයේ පැය 3 ක කාලයක් සහ රාත්‍රියේ පැය එක හමාරක (1½) කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

එමෙන්ම 19 සහ 20 යන දිනවල දිවා කාලයේ පැය 3 යි මිනිත්තු 20 ක කාලයක් සහ රාත්‍රියේ පැය එක හමාරක් (1½) විදුලිය කැපීමටයි විදුලිබල මණ්ඩලයට, මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී ඇත්තේ.

මේ අතර, ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව අපහසුතාවට පත්වීමේ සිද්ධීන් අදත් වාර්තා වූ අතර ඇතැම් ප්‍රදේශවල ඉන්ධන ගැටලුව මුල් කර ගනිමින් විරෝධතා ද පැවැත්වුණා.

කුරුණෑගල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නොමැතිවීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (17) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණේ කුරුණෑගල – දඹුල්ල මාර්ගය ද අවහිර කරමින්.

එම විරෝධතාව අතරතුර පැමිණි ගිලන් රථයකට යාමට මාර්ගයේ ඉඩකඩ ලබාදීමේදී තවත් මෝටර් රථයක් ඒ සමග ධාවනය කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් විරෝධතාකරුවන් අදාළ මෝටර් රථයට සහ එහි සිටි පිරිසට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරුණා.

ඉන්ධන හිඟයට විරෝධය පළ කරමින් බිබිල – මොණරාගල මං සන්ධියේදී ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම ඉන්ධන නොමැති වීමෙන් ප්‍රකෝපයට පත් වැල්ලවාය ප්‍රදේශයේ ජනතාව ටයර් පුළුස්සා වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා.

එමෙන්ම, රත්නපුර – ගොඩකවෙල ප්‍රදේශයේ පිහිටි පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සඳහා තණකොළ කපන යන්ත්‍රයක් ද රැගෙන පුද්ගලයෙකු පැමිණ තිබුණේ කෑන්වලට ඉන්ධන ලබා නොදීමට රජය තීරණය කිරීම හේතුවෙන්.

තවත් පුද්ගලයෙකු ඉන්ධන ලබා ගැනීම සදහා ජෙනරේටරයක් රැගෙන පිරවුම්හලට පැමිණීමේ පුවතක් ද එම ප්‍රදේශයෙන් වාර්තා වුණා ෴

***************************************

පොලිස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් ?

(17.04.2022 – 16:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවියට ( https://www.police.lk/ ) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, අදාළ වෙබ් අඩවිය දින කිහිපයක සිට අක්‍රීය වී ඇති බවයි.

මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට පොලිස් තාක්ෂණික නිලධාරින් කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා ෴

***************************************

හිටපු ඇමතිවරුන් කිහිපදෙනෙකු ඇමති ධුර එපා කියයි

(17.04.2022 – 17:55 +0530 – hirunews.lk/sinhala)

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ඇතැම් හිටපු අමාත්‍යවරුන් තමන්ට කිසිදු අමාත්‍ය ධුරයක් අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවට වාර්තා වනවා.

ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම බොහෝදුරට හෙට (18) දින සිදුවනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

සීමිත පිරිසකගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලයට නවක මුහුණු ඇතුළත් බවට ද එම ආරංචි මාර්ග සදහන් කළා.

ඊට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍යවරුන් අතර ඊයේ (16) හමුවක් ද පැවැත්වුණා.

එහිදී ද දීර්ඝ වශයෙන් සංවාදයට බඳුන් වී ඇත්තේ ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සහ නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම පිළිබදවයි.

එහිදී ඇතැම් හිටපු අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ තමන්ට කිසිදු අමාත්‍ය ධුරයක් අවශ්‍ය නොවන බවයි.

ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයා ද ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කළේ නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී තමන්ට අමාත්‍ය ධුරයක් අවශ්‍ය නොවන බවයි.

එමෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන සරත් වීරසේකර ද සිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින වර්තමාන අර්බුදය හේතුකොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කළ බවයි.

මේ අතර, හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය 15 වන දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ නව කැබිනට් මණ්ඩලයට නවක මුහුණු ඇතුළත් කරන ලෙසටයි.

ඒ පිළිබදව ද ජනාධිපතිවරයා ඊයේ (16) පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු කර තිබෙනවා.

***************************************

ගාලුමුවදොර අරගලය තවත් නගර කිහිපයකට

(17.04.2022 – 20:03 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොරදී පැවැත්වෙන විරෝධතාවට සහය පළ කිරීම සඳහා ප්‍රදේශ කිහිපයක ප්‍රධාන නගරවල විරෝධතා මේ වන විට ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.

මේ අතර, ගාලුමුවදොර ආරම්භ කර ඇති විරෝධතාවය අද (17) 9 වන දිනටත් ක්‍රියාත්මකයි.

අද (17) දිනයේදී ද ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.

අද (17) පෙරවරුවේ යෙදී තිබුණු අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ නැකැත් චාරිත්‍රය ද විරෝධතා භූමියේදී සිදුකෙරුණේ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්.

ඊට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

එමෙන්ම, අදට (17) යෙදී ඇති පාස්කු ඉරිදා වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් ද ගාලුමුවදොර විරෝධතා භූමියේදී පැවැත්වුණා.

මීට අමතරව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් මළවුන් ලෙස සැරසුණු පිරිසක් රාජගිරියේ සිට පා ගමනින් පැමිණ ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවට එක්වුණා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් රංගන ශිල්පිනී විශාඛා ජයවීර ගාලුමුවදොර ආරම්භ කළ නිරාහාර සත්‍යග්‍රහය ද අද (17) උදෑසන අවසන් කළා.

එමෙන්ම, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිහිටා ඇති මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (17) පස්වරුවේ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.

මේ අතර, ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක නගරවල විරෝධතා ආරම්භ කර තිබෙනවා.

‘ගෝල්ෆේස් තනි නොකරමු’ යන තේමාව යටතේ ගාල්ල ප්‍රදේශයේ තරුණයින්, සිවිල් ක්‍රියාකාරකයින් සහ වෘත්තිකයින් ඇතුලු පිරිසක් ගාල්ල නගරයේ විරෝධතාවක් ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත්, එම විරෝධතාව සහ ඔවුන් ඒ සදහා ඉදිකර තිබූ අට්ටාලය පොලීසිය විසින් ඉවත් කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

කෙසේ වෙතත් පසුව නීතිඥවරුන් සහ පොලීසිය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව යළිත් එම ස්ථානයේම ඔවුන් විරෝධතාව ආරම්භ කළ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මීට අමතරව කෑගල්ල, මහනුවර ඇතුළු තවත් නගර කිහිපයක ගාලුමුවදොර විරෝධතාවට සහය පළ කරමින් විරෝධතා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණද අද (17) පෙරවරුවේ ජනතා පා ගමනක් ආරම්භ කළා. බේරුවල සිට ආරම්භ කළ එම පා ගමනට එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් එක්ව සිටියා.

මේ අතර සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව හමුදා බලය අයුතු ලෙස යොදාගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න අවධාරණය කරනවා.

ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව කෙරෙන සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයන් යොදා නොගන්නා බවයි.

+++++++

***************************************

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

(17.04.2022 – 20:12 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට (17) කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් අවහිර වී තිබෙනවා.

ඒ අනුව කළගෙඩිහේන ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බදුල්ල – කොළඹ මාර්ගය ද මේ වනවිට අවහිර වී තිබෙන බව වාර්තා වනවා.

ඒ ඉන්ධන ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව ද වීදි බැසීමත් සමගයි.

මේ අතර, ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල ද මාර්ගය හරස් කරමින් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුණා.

මේ අතර ගැලනිගම හා දොඩම්ගොඩ අතර වාහන කිහිපයක් ගැටීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

***************************************

නවක තරුණ මන්ත්‍රීවරුන්ට කැබිනට් තනතුරු දෙන්න – බන්දුල ජනපතිගෙන් ඉල්ලයි

(17.04.2022 – 20:38 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ඇති අර්බුදකාරී තත්ත්වය තුළ කිසිදු අයුරකින් යළි නව කැබිනට් මණ්ඩලයක ධුර භාර නොගන්නා බව හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම පවසනවා.

අදාළ හිටපු අමාත්‍යවරුන් විසින් සිය ෆේස්බුක් සහ ට්විටර් ගිණුම්හි සටහන් තබමින් හුවා දක්වන්නේ, රට දැඩි ව්‍යසනකාරී පසුබිමක පවතින අවස්ථාවක නව ධුර භාරගත නොහැකි බවයි.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සිය ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූයේ අප්‍රේල් මස 03 වැනි දිනයි.

එමෙන්ම හිටපු වෙළෙඳ අමාත්‍ය ආචාර් ය බන්දුල ගුණවර්ධන සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, තමන් පසුගිය දිනෙක ජනාධිපතිවරයා මුණගැසී රට තුළ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය පාලනය කරගැනීමට ගත හැකි යෝජනා අඩංගු ලේඛනයක් පිළිගැන්වූ බවයි.

එහිදී තම යෝජනාව වූයේ නව කැබිනට්ටුවට පත් කළ යුත්තේ නවකව් තරුණ මන්ත්‍රීවරුන් බවයි.

***************************************

අරගල කරන හැටි ලොවට ඉගැන්වූ ගෝල්ෆේස් තුරුණු ජවය

(17.04.2022 – 20:58 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින දැඩි අර්බුදකාරි දේශපාලනික මෙන්ම සමාජීය පසුබිම ලොවට විදහා දක්වමින් 9 වැනි දිනටත් අද (17) දිනයේ දී ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලය පැවැත්වෙනවා.

අද (17) රාත්‍රියේ දී එහි ඉදිකර ඇති ගෝඨාගෝගම පරිශ්‍රය තුළින් නව අරගල තේමා පාඨ විදහා දක්වමින් බලපෑම් කණ්ඩායම් සහ සිවිල් වැසියන් එක්ව මහජන පරමාධිපත්‍ය බලගැන්වෙන අයුරින් ‘අරගලයක්’ සිදු කරන්නේ කෙසේද යන්න පෙන්වා දීමට ගත් නිර්මාණාත්මක උත්සාහයක් දකින්නට ලැබුණා.

ඒ අනුව නව තාක්ෂණය භාවිත කරමින් තරුණ ජවය විසින් නිර්මාණය කරන ලද විවිධ නිර්මාණශීලී අදහස් ඇතුළත් කලාත්මක නිර්මාණ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපස බිත්ති පුරාම වර්ණවත් ව සහ ආලෝකමත්ව ප්‍රදර්ශනය කරමින් ඇති අයුරු දක්නට ලැබුණා.

මේ අතර, මෙම විචිත්‍රවත් සහ නිර්මාණශීලී අයුරින් රටටත්, මතු පරපුරටත් සාමකාමී අරගල කරන අයුරුත්, දූෂිත පාලනය පිටුදකින අයුරුත් පෙන්වාදීමට උත්සාහ කළ නිර්පාක්ෂික අරගලයේ මෙම ක්‍රියාවට ආරක්ෂක අංශ විසින් බාධා කිරීමේ සිදුවීමක් ද වාර්තා වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *