අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා මුදල් ඇමති ප්‍රමුඛ කණ්ඩායම වොෂින්ටනයට

අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා මුදල් ඇමති ප්‍රමුඛ කණ්ඩායම වොෂින්ටනයට

*********************************************

අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා මුදල් ඇමති ප්‍රමුඛ කණ්ඩායම වොෂින්ටනයට

(17.04.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හෙට (18) ආරම්භ වන සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු දූත පිරිස අද (17) අලුයම වොෂින්ටනය බලා පිටත්ව ගියා.

මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සමග මෙම සංචාරයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුලු දූත පිරිසක් එක්ව සිටිනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ඉන්දීය අමාත්‍ය කණ්ඩායමක් සහභාගී වීමට නියමිත බවට ‘ඉකොනොමික් ටයිම්ස්’ නැමති ඉන්දීය පුවත්පත පෙරේදා හෙළිදරව් කළා.

මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ‘බ්ලූම්බර්ග්’ ව්‍යාපාරික වෙබ් අඩවියට ප්‍රකාශ කළේ මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා මේ වසර තුළ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක පමණ ණය වැඩසටහනක් ලබාගත හැකිවනු ඇති බවට නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශ්වාසය පළ කළා ෴

***************************************

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

(17.04.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

රාජකාරි සඳහා රෝහල් වෙත සිය පෞද්ගලික වාහනවලින් ගමන් කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීම ගැටලුකාරී වී ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ රථවලට ගැටලුවකින් තොරව ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ෴

***************************************

අදත් (17) බවුසර්වලට ඉන්ධන නැහැ

(17.04.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ බවුසර්වලට ඉන්ධන පිරවීමේ පර්යන්තය වසා තැබීම හේතුවෙන් අද (17) පැමිණෙන බවුසර්වලට ඉන්ධන පිරවීමට නොහැකි තත්ත්යක් උදාවන බව ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ අද (17) ඉරිදා දිනයේ එම පර්යන්තයේ සේවකයන්ට නිවාඩු ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ විශේෂ දීමනාවක් ලබා දී හෝ පිරවුම් පර්යන්තයේ සේවකයන් සේවයට කැඳවා බවුසර්වලට ඉන්ධන ලබා දිය යුතු බවයි ඔහු කියා සිටියේ.

දිවයින පුරා සිපෙට්කෝ පිරවුම්හල් රැසකට ඇනවුම් කර ඇති ඉන්ධන තොග මෙතෙක් ලැබී නො මැති බව ද ඔහු කියා සිටියා.

ඉන්ධන නො මැති වීම හේතුවෙන් දිවයින පුරා සිපෙට්කෝ ඉන්ධන හල් රැසක් ඊයේ (16) දිනයේත් වසා තිබුණු අතර විවෘතව පැවති පිරවුම්හල්වල ඊයේ (16) රාත්‍රිය පුරාවටත් දිගු පෝලිම් පැවතුණා.

මේ අතර බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නො මැතිවීම හේතුවෙන් අදත් (17) දිවයින පුරා පැය දෙකයි (2) මිනිත්තු 15 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා ෴

***************************************

ලක් මාතාවගේ යශෝරාවයෙන් ගාලුමුවදොර ගිගුම් දෙයි

(17.04.2022 – 09:06 +0530 – hirunews.lk/sinhala)

කිසිඳු පසුබැසමක් හෝ විඩාවක් නොපෙන්වන ගාලු මුවදොර අරගලය, අද (17) වැනි දා ද ක්‍රියාත්මක වනවා.

අද (17) වන විට එම අරගලයට දින 9 ක් සම්පූර්ණ වීම ද විශේෂත්වයක්.

බහුතරයක් ම තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් සිදු වන මෙම අරගල භූමිය තුළ කිසිදු ගැටුමක්, වාදයක් හෝ භේදයක් නො මැති වීම දැකගත හැකි යි.

මේ අතර, ඊයේ (16) සන්ධ්‍යා කාලයේ දී ගාලු මුවදොරට රැස් වී සිටි සියලු දෙනා එකතු වී එක හඬකින් එක ධජයක් යටතේ ජාතික ගීය ගායනා කරනු ලැබුවා.

ජාතිය, ආගම, කුලය හෝ වෙනත් කිසිදු සීමාවක්, කොන්දේසියක් නො මැති තරුණ මුවින් නැඟුණු ලංකා මාතාවගේ ගුණ වර්ණනාවෙන් ගාලු මුවදොර අහස දෙදරා ගියා.

තව ද ඊයේ (16) රාත්‍රියේ දී 18 සන්නිය නටා තොවිලයක් ද එම භූමියේ පැවැත්වුණා.

රට මුහුණ පා ඇති විපත්වලින් මාතෘභූමිය බේරාගෙන, දෙවියන්ගේ ආරක්ෂාව මවුබිමට ලබාදෙන ලෙස ඉල්ලමින් සහ දූෂිත පාලනය මෙරටින් අතුගා දමන ලෙස දෙවියන්ට භාර කරමිනු යි මෙම තොවිලය පැවැත්වී ඇත්තේ.

එමෙන්ම, ‘ගෝඨාගෝගම’ නමින් ගාලුපුරයේ ශාඛාවක් ද ඊයේ (16) දින ඉදි කෙරුණා.

රට අර්බුද තත්ත්වයකට ඇද දැමූ පාර්ලිමේන්තුවේ 225 දෙනා වහා ම එම තනතුරුවලින් ඉවත්ව ගෙදර යා යුතු බව පවසමිනු යි එම ස්ථානයට එක් ව සිටි විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම අරගල භූමියේ රැඳී සිටින පිරිස් ආරාක්ෂා කිරීම ද දෙවියන්ට භාර කිරීම ද මෙම 18 සන්නිය පැවැත්වීමේ අරමුණක්.

***************************************

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ලිපියක්

(17.04.2022 – 10:50 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතට යි.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයේ යෙදී සිටින පුරවැසියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් උද්ඝෝෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් ද අවශ්‍ය සහන ලබා දීමට රජයට සහ රජයේ ආයතනවලට නිර්දේශ කරන ලෙසත් ඉල්ලමිනු යි මෙම ලිපිඅය යොමු කර තිබෙන්නේ.

එම ලිපියේ සඳහන් කරුණු පහතින් :

1) ගණේමුල්ලේ හමුදා කඳවුරකදී හමුදාවේ පිරිසක් උද්ඝෝෂණය කරන බව කියැවෙන වීඩියෝවන් සමාජ මාධ්‍යවල සංසරණය විය. එම වීඩියෝපටය සංසරණය වූයේ හමුදාවේ හෝ වෙනත් අංශයක පිරිසක් උද්ඝෝෂකයන් ලෙස ගාලු මුවදොරට යොදවා ඔවුන් ලවා ගැටුමක් ඇති කර ඒ ඔස්සේ උද්ඝෝෂණය විසිරුවාහැරීමට ආරක්ෂක අංශ මැදිහත්වීමක් සිදු කිරීමේ සැලසුමක් ගැන ප්‍රචාර පැතිර යද්දීය.

2) අප්‍රේල් 24 වැනිදාට පෙර උද්ඝෝෂකයන් පලවා හැරීමට ආණ්ඩුව යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරමින් සිටින බවටද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නට විය.

3) මීට පෙර රතුපස්වල සහ මිරිහානේ අත්දැකීම් සමඟ මේ ප්‍රචාර අසත්‍යයැයි බැහැර කරීමට නොහැකිය. මේ ආකාරයට උද්ඝෝෂණ කඩාකප්පල් කළ ඉතිහාසයක් වර්තමාන ජනාධිපතිවරයාට තිබෙන බැවින් මෙම ප්‍රචාරය ඉතාම සැලකිල්ලෙන් අවධානයට ලක් කළ යුතුය.

4) ‘ගෝඨාගෝගම’ පිහිටා ඇත්තේ ආණ්ඩුව විසින් උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙන් කළ භූමි ප්‍රදේශයේය. මෙම ප්‍රදේශයට දිනකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විරෝධතා සඳහා පැමිණෙති. මෙම පිරිස සඳහා ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සැපයීම රජයේ වගකීමකි. එම ස්ථානයේ තාවකාලික වැසිකිලි පද්ධතියක් ඉදි කර ඇත්තේද උද්ඝෝෂණයට සහාය දක්වන පිරිසකගේ මූල්‍ය පරිත්‍යාගයෙනි. සාමකාමීව විරෝධතා පැවැත්වීම මූලික අයිතියක් බැවින් විරෝධතාකරුවන්ට අවශ්‍ය වැසිකිලි පහසුකම් සහ ජල පහසුකම් සැපයීම රජයේ යුතුකමක් සහ වගකීමකි.

5) එමෙන්ම උද්ඝෝෂණ ස්ථානයේ දුරකතන සබඳතා සීමා වී ඇති අතර හදිසියකට දුරකතන ඇමතුමක් හෝ ගැනීමට අසීරු තත්ත්වයක් ඇත ෴

***************************************

ඉන්ධන අර්බුදය අදින් පසු මඟහැරෙන බව සංස්ථාව කියයි

(17.04.2022 – 11:13 +0530 – hirunews.lk/sinhala)

හෙට (18) දිනය වනවිට දැනට පවතින ඉන්ධන අර්බුදය මගහැරෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉන්ධන පිරවුම්හල්වල සේවය කළ සේවකයින් ගම් බිම් බලා ගොස් සිටි බැවින් ඇතැම් පිරවුම්හල් වසා දැමීමට කටයුතු කර තිබුණා.

එහෙත් අද (17) වනවිට එය යථා තත්වයට පත්වනු ඇති බවයි ඉන්ධන හල් හිමියන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත දැනුම් දී ඇත්තේ.

එමෙන්ම ඇණවුම් කළ පරිදි ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදීමට පියවර ගන්නා බවද ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

පසුගිය දින කිහිපය තුළම ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ ෴

***************************************

ආණ්ඩුවට එරෙහි ව පේරාදෙණි ආදි විද්‍යාර්ථින් ද පාරට

(17.04.2022 – 11:48 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට හා ජනපතිවරයාට ඉවත් වීමට යැ යි පවසමින් ඇරඹි ජන විරෝධතා මාලාව මේ වන විට දිවයින පුරා ම ව්‍යාප්ත වී තිබෙනවා.

මෙහි ප්‍රධානම විරෝධතාව පැවැත්වෙන්නේ, ගාලුමුවදොර භූමියේ යි.

එහි පැවැත්වෙන විරෝධතාව අඛණ්ඩ ව 9 වැනි දිනටත් ක්‍රියාත්මක වන්නේ, බහුතරයක් තරුණ තරුණියන්ගේ ශක්තියෙන්.

මේ අතර අද (17) පේරාදෙණි විශ්වවිද්‍යාලයීය ආදී ශිෂ්‍යයන් විසින් ද විරෝධතාවක් ආරම්භ කර තිබුණා.

කොළඹ කොටුව දුම්රියපොළ අසලින් ඇරඹි එම විරෝධතා පා ගමන ගාලුමුවදොර දක්වා ගමන් කිරීමට නියමිත යි.

***************************************

හෙට (18), කැබිනට් මණ්ඩලයට නවක මුහුණු එක්වන ලකුණු

(17.04.2022 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග මේ වනවිට අවසන් කර තිබෙනවා. ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය බොහෝදුරට හෙට (18) පෙරවරුවේ දිවුරුම් දෙනු ඇති. සීමිත පිරිසකගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලයට නවක මුහුණු ඇතුළත් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍යවරුන් අතර ඊයේ (16) හමුවක් පැවැත්වුණා. එහිදීද දීර්ඝ වශයෙන් සංවාදයට බඳුන් වී ඇත්තේ ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යෑම සහ නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන්.

අග්‍රාමාත්‍යවරයා හැර කැබිනට් අමාත්‍යවරුන් පසුගියදා ඉල්ලා අස්වූ අතර, අමාත්‍ය ධුර කිහිපයක් සඳහා නව පත් කිරීම් මේ වනවිටත් සිදු කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධයෙන් කොළඹ දී අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

***************************************

ගාල්ලේ විරෝධතා අට්ටාලය ඉවත් කිරීමට යාමේ දී උණුසුම් තත්ත්වයක්

(17.04.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොරදී පැවැත්වෙන විරෝධතාවට සහය පළ කිරීම සඳහා ගාල්ල බස් නැවතුම්පල ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමත් සමඟ අද (17) උදෑසන උණුසුම් තත්වයක් ඇති වුණා.

‘ගෝල්ෆේස් තනි නොකරමු’ යන තේමාව යටතේ පසුගිය 15 වනදා ගාල්ල ප්‍රදේශයේ තරුණයින්, සිවිල් ක්‍රියාකාරකයින් සහ වෘත්තිකයින් ඇතුලු පිරිසක් එක්වයි මෙම විරෝධතාව ආරම්භ කළේ.

දින දෙකක් (2) පුරා පැවති මෙම විරෝධතාවට ඊයේ (16) දිනයේදී පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ දැනුම්දී ඇත්තේ ආදරවන්තයින්ගේ සටන හෙවත් රිච්මන්ඩ් – මහින්ද වාර්ෂික ක්‍රිකට් තරගය පැවැත්වෙන නිසා අදාළ විරෝධතාව සහ ඔවුන් ඉදිකර තිබූ තාවකාලික අට්ටාලය ඉවත් කරගන්නා ලෙසයි.

කෙසේ වෙතත් ඊට විරෝධය දක්වමින් විරෝධතාකරුවන් තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටි බව සඳහන්.

එහෙත් අද (17) උදෑසන එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් එහි ඉදිකර තිබූ අට්ටාලය සහ විරෝධතාව දැක්වූ පිරිස් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ ඇතිවූයේ උණුසුම් තත්වයක්.

එමෙන්ම රට තුල පවතින තත්වයට විරෝධය පල කරමින් ගාලුමුවදොර ඇරඹි විරෝධතාවට අද (17) දිනයේදීත් විශාල පිරිසක් එක්ව සිටිනවා.

ඊයේ (16) දිනයේදී එම විරෝධතා භූමියේදී ශාන්තිකර්මයක් සහ පහන් පූජාවක් ද සිදු කෙරුණා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණද අද (17) පෙරවරුවේ ජනතා පා ගමනක් ආරම්භ කළා.

බේරුවල සිට ආරම්භ කළ එම පා ගමනට එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් එක්ව සිටියා.

අද (17) දිනයේ දී එම පා ගමන බේරුවල සිට වාද්දුව දක්වාත්, හෙට (18) වාද්දුවේ සිට මොරටුව දක්වාත්, අනිද්දා (19) දින මොරටුවේ සිට කොළඹ – පුරහල දක්වාත් ගමන් කිරීමට නියමිතයි.

අද (17) ඔවුන් බේරුවල ප්‍රදේශයෙන් ජනතා පා ගමන ආරම්භ කළා.

මේ අතර සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව හමුදා බලය අයුතු ලෙස යොදාගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න අවධාරණය කරනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව කෙරෙන සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයන් යොදා නොගන්නා බවයි.

ප්‍රචණ්ඩකාරී අවස්ථාවක දේශයේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විසින් එවැනි සහයක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් එලෙස හමුදා සහය ලබාදීමට පියවර ගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරනවා.

***************************************

නිදහස් පක්ෂයෙන් චන්ද්‍රිකාට ඇරයුමක්

(17.04.2022 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නැවත එක්වී රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒමට අවශ්‍ය නායකත්වය ලබාදෙන්නැයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගෙන් ඉල්ලීමක් කරනවා.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (17) පැවති සිරිමාවෝ බණ්ඩාරනායකගේ 106 වන ඡන්ම දින සැමරුමට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *