බලපිටියේ දුම්රිය හරස් මාර්ගයකදී පිය-පුතු දෙපලක් දුම්රියට බිලි
*********************************************
බලපිටියේ දුම්රිය හරස් මාර්ගයකදී පිය-පුතු දෙපලක් දුම්රියට බිලි
(16.04.2022 – 16:10 +0530 – hirunews.lk/sinhala)
බලපිටිය – වැලිවත්ත ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පිය-පුතු දෙපලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කොළඹ සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඔවුන් ගමන් කළ යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බලපිටිය – මිගෙට්ටුවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පියා සහ 16 හැවිරිදි පුත්‍රයායි.
පොලීසිය සඳහන් කළේ ‘බෙල් ඇන්ඩ් ලයිට්’ ක්‍රමයට ක්‍රියාත්මක වන එම දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතිය එම අවස්ථාවේ විදුලි කප්පාදුව හේතුවෙන් අක්‍රිය වී තිබී ඇති බවයි.
මේ අතර අනතුර නැරඹීමට පැමිණි කාන්තාවකගේ නිවසක් ඇය යළි නිවසට යන විට ගිනි ගෙන තිබූ සිද්ධියක් ද මීට සමගාමීව වාර්තා වනවා.
එහිදී සිදුව ඇත්තේ විදුලි විසන්ධි වී තිබූ අවස්ථාවේ ඇය නිවසේ විදුලි හීටරය ක්‍රියාත්මක කර අනතුර සිදු වූ ස්ථානයට පැමිණ ඇති අතර යළි නිවසට යාමට පෙර විදුලි සැපයුම ලැබීමත් සමග හීටරයෙන් විදුලි කාන්දු වීමයි.
අනතුර සිදු වූ ස්ථානයේ රැඳී සිටි අය නිවස දෙසින් දුමක් නැගෙනු දැක යළි නිවසට දිව ගොස් ඇතත් එම අවස්ථාව වනවිට නිවසේ ශීතකරණය ඇතුළු භාණ්ඩ කිහිපයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා.
***************************************
දැදුරු ඔයේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්
(16.04.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala)
කොබෙයිගනේ – උජේකැලේ මංකඩ ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ දංකොටුව ප්‍රදේශයේ සිට පැමිණි 21 හැවිරිදි තරුණයෙක්.
ඥාති නිවසකට පැමිණ දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරුදන් වූ ඔහු සොයා පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසියක නිරත වනවා ෴
***************************************
යුවලක් කලාවැවට පනියි – පෙම්වතා මරුට, පෙම්වතිය ගොඩට
(16.04.2022 – 18:13 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ග්‍රාම සීමාවට මායිම්ව පිහිටා ඇති කලාවැව නැරඹීමට පැමිණි පෙම්වතුන් යුවලක් වැවට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී පෙම්වතා ජීවිතක්ෂයට පත්ව පෙම්වතිය ප්‍රදේශවාසින් විසින් බේරාගෙන තිබෙනවා.
අද (16) පස්වරුවේ දී මෙම පෙම් යුවල කලාවැව නැරඹීමට පැමිණ ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
එහිදී පෙම්වතුන් යුවල කලාවැවට පැන ඇත්තේ, සාමාන්‍ය ජනතාවට ‘ඇතුල්වීම තහනම්’ යැයි පුවරුවක් සවිකර ඇති ප්‍රදේශයකින්.
එම ප්‍රදේශය කලාවැවේ හදිසි වාන් දොරටු ද්විත්වය පිහිටා ඇති ප්‍රදේශය වන අතර, එහි පිටවානෙන් මොවුන් වැවට පැන තිබෙනවා.
මේ වනවිට අධික වර්ෂාපතනයත් සමග වැවේ ජල ධාරිතාව ඉහළ ගොස් ඇති අතර, මෙම පෙම් යුවල දිවි තොර කරගැනීමට යැයි සිතා වැවට පැන ඇති කොටසේ ජල ප්‍රමාණය පමණක් අඩි 20 කට ආසන්න බවයි අප වාර්තාකරු පැවසුවේ.
කෙසේවෙතත්, සිද්ධියෙන් පෙම්වතා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම පෙම් යුවල යුද හමුදාවේ සේවය කරනු ලබන අයවලුන් බවයි හඳුනාගෙන ඇත්තේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි 24 හැවිරිදි ලාන්ස් කෝප්රල්වරයෙකු වන අතර, ඔහු ගලේවෙල – මැදබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් එක්ව මියගිය සෙබළාගේ සිරුර සොයාගෙන ඇති අතර, ඔහුගේ පෙම්වතිය මේ වනවිට ඉපලෝගම පොලිස් අත්අඩංගුවේ පසුවනවා.
ඇය ද පනාගොඩ යුද හමුදා කඳවුරේ ම සේවය කරනු ලබන 22 හැවිරිදි සාමාන්‍ය සෙබළියක් වන අතර, ඇය ගල්කැටිවල – තලගමවත්ත , හෝමාගම පදිංචිකාරිනියක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර, මියගිය සෙබළාගේ සිරුර මේ වනවිට කලාවැව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
***************************************
හිසතෙල්ගෑමේ නැකැත හෙට (17) පෙරවරු 07:04 ට
(16.04.2022 – 21:15 +0530 – hirunews.lk/sinhala)
හිසතෙල්ගෑමේ නැකැත හෙට (17) පෙරවරු 07:04 ට යෙදී තිබෙනවා.
අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ ‘රතු සහ කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද, පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ නානු ගා ස්නානය කිරීම මැනවි’ යනුවෙන්.
හිස තෙල් ගෑමේ නැකත ඇරඹෙයි
(17.04.2022 – 07:07 +0530 – hirunews.lk/sinhala)
2022 සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අදට (17) යෙදී තිබෙනවා.
ඒ අනුව, පූර්ව භාග 07:04 ට හිස තෙල් ගෑමේ නැකත ඇති බව යි නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ.
මේ අතර, පින්නවල අලි සන්රක්ශනාගාරයේ අලි ඇතුන්ගේ හිස තෙල් ගෑමේ උත්සවයක් ද පැවැත්වුණා.
මෙහි දකින්න ලැබුණු තවත් කරුණක් වන්නේ, වෙන දා මෙන් මෙම අවස්ථාවට දේශපාලන අධිකාරියේ කිසිවකු සහභාගීත්වයක් නැත් වීම යි.
***************************************
ඡේතවනාරාම චෛත්‍යයට නැගී පුද්ගලයෙකු විරෝධතාවයක
(16.04.2022 – 17:04 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර – ඡේතවනාරාම චෛත්‍යය ගර්භයේ හතරැස් කොටුව පාමුලට නැග පුද්ගලයෙකු විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීමෙන් රට අරාජික නොකරන ලෙස ඉල්ලමින්.
පොලීසිය සහ ස්වාමින් වහන්සේ පැමිණ ඔහුට එම ස්ථානයෙන් බිමට බසින ලෙස දැනුම් දුන්න ද තවදුරටත් විරෝධතාවයේ නිරත වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචි ඡේතවනාරාම ව්‍යාපෘතියේ සේවකයෙකු බව ද සඳහන්.
***************************************
ගෝල්ෆේස් අරගල කරුවන් අත්අඩංගුවට ගෙන විරෝධතාව විසුරුවාලීමේ උත්සාහයක්…
(17.04.2022 – 06:20 +0530 – lankacnews.com)
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් පොලිස්පති තුමා වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
පොලිස්පති තුමා,
පොලිස් මූලස්ථාන,
කොළඹ 01.
ශ්‍රී ලංකා යුද හමුදාව යොදාගනිමින් ගාලු මුවදොර අබියස පැවැත්වෙන #gotagohome සාමකාමි විරෝධතාව විසුරුවා හැරීමට සූදානම් වීමක් සම්බන්ධයෙනි
පසුගිය 09 වනදා සිට ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් සාම්කමීව ගාලු මුවදොර අබියස පවත්වමින් සිටින #gotagohome සාමකාමි විරෝධතාවය බලය යොදා එහි අරගල කරුවන් අත්අඩංගුවට ගෙන විසුරුවාලීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මා හට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් දැන ගැනීමට ලැබී ඇත.
මෙය සත්‍යයක් වන්නේ නම්, වහාම පොලිස්පති වරයා ලෙස එය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා මෙන් මා ඉතා දැඩිව ඉල්ලා සිටී.
මහජනයා විසින් පවතින ආණ්ඩුව විවේචනය කිරීම ඔවුන් සතු අයිතියක් වන අතර එවැනි අයිතියක් බලය යොදා, හමුදාව යොදා යටපත් කිරීමට මිලිටරි පාලනකදී හැර ප්රජාතන්ත්රවාදී පාලනයක් තුල සිදු කල නොහැක.
ඒ අනුව මා මෙම ලිපියෙන් ගරු පොලිස්පති තුමගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකා හමුදාව යොදවා යම්කිසි අයෙකු එවැන්නක් සිදු කිරීමට උත්සාහ ගතහොත් එකී අනීතික ක්‍රියාවට සම්බන්ධයෙන් එකී ප්රජාතන්ත්ර විරෝදී අයවලුන්ට විරුද්ධව නොබියව නීතිය ක්‍රියත්මක කරන ලෙසයි.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා ලෙසත් ඔබ වගකිව යුතු රාජ්‍ය සේවකයෙකු වශයෙනුත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අදාළ තනතුරෙහි දිව්රුම් දී තිබේ. යම් හෙයකින් ඔබ විසින් එවන් ප්රජාතන්ත්ර විරෝධි ක්‍රියවකට නියමයෙන් හෝ අනියමින් සහයෝගය දැක්වුවහොත් නුදුරේදී බිහිවන ප්රජාතන්ත්රවාදී පාලනයක් යටතේ ඔබට සහ එයට සම්බන්ධ වන යුද හමුදා නිලධාරීන්ට විරුද්ධව මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන ලද අපරාධ වරද යටතේ චෝදනා ගොනු කොට දඩුවම් පැමිනවීමට ක්‍රියාමාර්ග ගන්නා බවටද මෙම ලිපියෙන් වැඩිදුරටත් ඔබට දන්වා සිටිමි.
මෙම ලිපියේ පිටපතක් ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත මෙයින් යොමුකර සිටින අතර ඔබගේ දැඩි අවධානය මෙම නව තත්වය සම්බන්ධයෙන් යොමුකරන මෙන් ඉත කාරුනිකව ඉල්ලා සිටිමි.
මෙයට,
විශ්වාසී,
ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න
***************************************
දෙමළ සන්ධානය වසරකට බලය ඉල්ලයි
(17.04.2022 – 07:50 +0530 – hirunews.lk/sinhala)
රට ගොඩනැගීමට වසරක (1) කාලයක් තමන්ට බලය ලබා දී ප්‍රතිඵල බලන්නැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් වවුනියාවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළා.
මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (17) රැස්වීමට නියමිත යි ෴
***************************************
පාස්කු ඉරිදාව අදයි
(17.04.2022 – 08:00 +0530 – hirunews.lk/sinhala)
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ මරණයෙන් උත්ථානය ලැබීම සැමරෙන පාස්කු ඉරිදා දිනය ලොවපුරා කිතුණුවන් අද (17) සමරනු ලබනවා.
වසර 2000 කට පමණ පෙර ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වරි කන්දේ දී කුරුසි පත් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවයි පුරාවෘත්තයේ සඳහන් වන්නේ.
පාස්කු දිනය ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වඩා සමරන අතර, පාස්කු යන වචනය පසුකර යෑම යන අර්ථය ගෙන දෙන්නක්.
යුදෙව්වන් ඊජිප්තුවේ වහල්බවින් නිදහස් වී සිය පොරොන්දු දේශය බලා නික්මීම සටහන් කරමින් ‘පාස් ඕවර්’ හෙවත් පසුකර යෑම යන අරුත් ඇතිව එය යෙදී තිබෙනවා.
පාස්කුව වටා කිතු දහමේ බොහෝ චාරිත්‍ර එක්ව ඇති අතර, කිතුණු ජනතාව දින ගණනාවක් පුරා ඊට අදාළ සැමරුම් සිදු කරනවා.
ජේසු සමිඳානන් මරණය පරාජය කර නැවත උත්ථානය වීම එතුමානන්ගේ විජයග්‍රහණය ලෙස සලකන කිතුණු බැතිමතුන් එය මිනිසුන්ට ලබාදුන් මහත් අස්වැසිල්ලක් ලෙසයි සඳහන් කරන්නේ.
මේ අතර පාස්කු ඉරිදා දිනය සමරමින් විශේෂ දේව මෙහෙයක් කොළඹ – කොටහේන ශාන්ත ලුසියා දෙව් මැදුරේ දී අද (17) අලුයම් කාලයේ පැවැත්වුණේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන්.
***************************************
රන් මිල තවත් ඉහළ යයි
(17.04.2022 – 08:06 +0530 – hirunews.lk/sinhala)
ගෝලීය ආර්ථික අවිනිශ්චිතභාවය හමුවේ ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,974 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම නුදුරු කාලයේදී ම රන් අවුන්සයක මිල ඩොලර් දෙදහසේ (2000) සිට 2020 දක්වා ඉහළ යනු ඇති බවටයි විශ්ලේෂකයන් අනාවැකි පළ කළේ.
ගතවූ වසරක කාලය සැළකූ විට ලෝක වෙළඳපොලේ රන් මිල ඩොලර් 209 කින් එනම් සියයට 12 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා ෴
***************************************
ඊලම ඉල්ලා කැනඩාවේ රථ පෙළපාලියක්
(17.04.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)
මේ වන විට ශ්‍රී ලංකාවේ මතු වී තිබෙන දේශපාලන අස්ථාවරත්වයට සහයෝගය දක්වන අතර වාරයේ දෙමළ සන්ධානය ප්රමුඛ දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් ඔවුන්ගේ ඊලාම් ව්‍යාපෘතිය රහසිගතව ක්‍රියාත්මක කරන බව කැනඩාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් චෝදනා කරනවා.
ඔවුන් මෙලෙස චෝදනා කරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර දී ඊයේ (16) පැවැති එල්ටීටීඊ හිතවාදී මෝටර් රථ රැලියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
මෙම මෝටර් රථ රැලිය සම්බන්ධ ප්රචාරක පෝස්ටර සඳහා පැරණි එල්ටීටීඊ සිතියම භාවිත කර තිබූ අතර ඔවුන් එහිදි ශ්‍රී ලංකාව සහ ඊළාම් ඒකකය වෙන්කර එම කොටස් දෙක සඳහා විශේෂ hashtag දෙකක් (2) ද භාවිත කරමින් සිය ප්‍රචාරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණා.
එහිදී කළු පැහැයෙන් සලකුණු කර තිබූ ශ්‍රී ලංකා කොටසට භාවිත කර තිබූ hashtag එක සමග ඔවුන් ප්‍රචාරණය කරනු ලැබුවේ #FaildState හෙවත් ‘අසමත් රාජ්‍යය’ ලෙසයි.
එමෙන්ම මෙම සිතියමේ රතු පැහැයෙන් දක්වා ඇති ඊළාම් රාජ්‍යය ලෙස සැලකෙන කොටස සඳහා ඔවුන් භාවිත කර තිබූ hashtag එක #Occupied හෙවත් ‘මේ වන විටත් අත්පත් කරගෙන ඇති ’බවට වන අර්ථය සඳහන් වී තිබුණා.
කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් චෝදනා කරන්නේ කල දුටු කල වළ ඉහ ගන්නා මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ මෙරට විදේශ සේවය මීට වඩා වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴