ගාලුමුවදොරින් සන්නිවේදන කුළුණ සහ පොලිස් ට්‍රක් රථ ඉවත් කෙරේ

ගාලුමුවදොරින් සන්නිවේදන කුළුණ සහ පොලිස් ට්‍රක් රථ ඉවත් කෙරේ

*********************************************

ගාලුමුවදොරින් සන්නිවේදන කුළුණ සහ පොලිස් ට්‍රක් රථ ඉවත් කෙරේ

(16.04.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර දී ඇරඹි විරෝධතාව 8 වන දිනටත් ක්‍රියාත්මක වන පසුබිමක් තුළ ඊට සහය පළ කරමින් තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා.

එමෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක සිට ගාලුමුවදොර විරෝධතාවට සහය පල කරමින් තරුණ සංවිධාන හා සිවිල් සංවිධාන ලෙස පිරිස් පැමිණීම ද දක්නට ලැබුණා.

ධීවරයින් ඇතුළු පිරිසක් එලෙස ගාලුමුවදොර විරෝධතාවයට සහය පල කිරීම සඳහා මීගමුවේ සිට ගාලුමුවදොර බලා පැමිණියා.

මෙම විරෝධතාවයට සහාය පළ කිරීම සඳහා අම්බලංගොඩ ප්‍රදේශයේ සිට යුවලක් පාගමනින් පැමිණිමේ පුවතක් ද වාර්තා වුණා.

මීගොඩ ප්‍රදේශයෙන් ද රථ පෙළපාලියකින් පිරිසක් පැමිණියේ ගාලුමුවදොර විරෝධතාවයට සහාය පළ කිරීම සඳහායි.

මේ අතර ගාලුමුවදොර විරෝධතාව පැවැත්වෙන භූමියේ නවතා තිබූ පොලිස් ට්‍රක් රථ පෙළ සම්බන්ධයෙන් අද (16) පෙරවරුවේ සිටම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් පළ වුණාග කෙසේ වෙතත් පසුව එම ට්‍රක් රථ පෙළ එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටයි පොලීසිය කටයුතු කරනු ලැබුවේ.

ගාලුමුවදොර විරෝධතාව ආරම්භ කරනු ලැබුවේ පසුගිය 09 වනදායි. ඊට සහාය පළ කරමින් කලාකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් එම විරෝධතාවට එක්ව සිටින අතර රංගන ශිල්පිනී විශාකා ජයවීර අද (16) උදෑසන එක්දින (1) නිරාහාර සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

මේ අතර ගාලුමුවදොර විරෝධතා භූමියේ ඊයේ (15) ස්ථාපිත කළ අධි තාක්ෂණික සන්නිවේදන කුළුණ එම ස්ථානයෙන් ඉවත් කිරීමට අදාළ පුද්ගලික සන්නිවේදන ආයතනය අද (16) කටයුතු කර තිබුණා.

බක්පුර පසලොස්වක පොහොය දිනය යෙදෙන අද (16) ගාලුමුවදොර විරෝධතා භූමියට වැඩම කර සිටි ස්වාමින් වහන්සේ වෙනුවෙන් දහවල් දානමය පිංකමක් ද පැවැත්වුණා.

ඒ ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියසදීයි.

ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහනුවරදී අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විපක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ නම් විපක්ෂයට යාමට තම ආණ්ඩුව සූදානම් බවයි.

මේ අතර අනුරාධපුර – ඡේතවනාරාම චෛත්‍ය ගර්භයේ හතරැස් කොටුව පාමුලට නැග පුද්ගලයෙකු විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීමෙන් රට අරාජික නොකරන ලෙස ඉල්ලමින්.

***************************************

වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්

(16.04.2022 – 16:25 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහි පළමු (1) සාකච්ඡාවට මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන යන පිරිස් සහභාගී වුණා.

එහි තවත් සාකච්ඡාවක් මුදල්, බලශක්ති සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමග ද පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එහිදී හැකි ඉක්මනින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා.

එමෙන්ම ඉදිරි මාස 3 සඳහා ඉන්ධන ආනයන කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සහ බලධාරින් අතර කරුණු සාකච්ඡා වූ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

+++++++

අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා මුදල් ඇමති හෙට (17) වොෂින්ටන් යයි

(16.04.2022 – 20:49 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) සමග පැවැත්වෙන සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි හෙට (17) දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව අමාත්‍යවරයා සමග අදාළ සංවාදය සඳහා මෙරටින් පිටත්ව යන්නේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ තවත් නියෝජිතයින් පිරිසක්.

හෙට (17) උදෑසන දී අමරිකාවේ වොෂින්ටන් ඩී.සී වල අයි.එම්.එෆ්. මූලස්ථානය වෙත මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස යාමට නියමිත බව වාර්තා වනවා.

අප්‍රේල් 19 සිට 24 දක්වා මෙම අයි.එම්.එෆ්. සාකච්ඡා පැවැත්වෙනවා.

+++++++

***************************************

ජන අරගලයට වැඩ කරන ජන බලය එක්වේ

(16.04.2022 – 16:51 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජය අත්තනෝමතික ලෙසත්, ඉතා උද්ධච්ච ලෙසත් ගනු ලැබූ අදූරදර්ශී තීන්දු හේතුවෙන් රට මේ වනවිට ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයක හිර කර ඇති අතර, එතුළින් සිදු ව ඇත්තේ මහජනතාව පීඩාවට පත් වීම බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සාමාජික රවී කුමුදේෂ් පවසනවා.

මේ හේතුවෙන් වත්මන් රජයට එරෙහිව ඔවුන් බලයෙන් එලවා දැමීමේ අරමුණින් යුතුව අප්‍රේල් 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස වෙන් කර, රජයට විරුද්ධව එක් රැස්ව අරගල කරන බවයි කුමුදේෂ් පවසන්නේ.

පක්ෂ, පාට, ජාති, ආගම් හෝ වයස් භේදයකින් තොරව මහජනතාව වීදි බසිමින් ජනාධිපතිවරයා ඇතුළු රජයට විරෝධය පළ කරමින් තිබුණ ද, අවසාන මොහොතේ දී පවා මහජනතාවට ඇහුම්කන් දෙන ස්වභාවයක් හෝ රට යථා තත්ත්වයට පත් කර ගැනීමට සහයෝගය ලබාදෙන බවක් ආණ්ඩුව තුළින් දිස් නොවන බව මෙම එකමුතුවේ මතයයි.

ඒ වෙනුවට සාමකාමී ජන අරගලය මර්දනය කිරීමටත්, විවිධ උපායන් යොදමින් යළි යළිත් මහජනතාව රවටමින් හැකිතාක් බලයේ රැඳී සිටීමට ජනාධිපතිවරයාගේ උත්සාහය බව ඉතා පැහැදිලි ව පෙනෙන්නට ඇති බව ද ඔවුන් ප්‍රකාශ කරනවා.

ඉතා ස්වාධීන ජන මතයක් වෙනුවෙන් අරගල කරන රටේ මහජනතාවට පිටුපාමින් රජය කටයුතු කිරීම පිළිබඳව රටේ වැඩ කරන ජනතාවගේ දැඩි පිළිකුල සටහන් කරමින්, ජන අරගලය ජයග්‍රහණය කරවීම උදෙසා කොන්දේසි විරහිත දායකත්වයක් ලබාදීමට වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව තීරණය තිබෙනවා.

ඒ අනුව අද (16) පස්වරු 3 ට, කොළඹ රීගල් සිනමා වට රවුමේ සිට ජන අරගල භූමිය දක්වා දැවැන්ත පාගමනකින් ගොස්, ජන අරගලයට වැඩ කරන ජන බලය ඒකාබද්ධ කිරීමට සූදානම් ව සිටිනවා.

එසේම අප්‍රේල් 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුළ අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩ කරන ජන විරෝධය ඒකරාශී කිරීමට ශ්‍රී ලංකාවේ සියලු වෘත්තීය සමිති කටයුතු කරන බව ද එම රවී කුමුදේෂ් සඳහන් කළා.

***************************************

මේ රටේ එකාට එකා නැති කළේ දේශපාලුවො යි – ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුළ

(16.04.2022 – 18:54 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 74 ක සිට මෙරට ජනතාව අතර එකාට එකා නැති කිරීමේ වරද සිදු කළේ මේ රට පාලනය කල ඇත්තන් ලෙස සැලකෙන දේශපාලනඥයින් බව ප්‍රවීණ රංගන ශිල්පි රොඩ්නි වර්ණකුළ පවසනවා.

අද (16) පස්වරුවේ ගාලු මුවදොර අරගලයට එක්වෙමිනුයි රොඩ්නි මේ බව කියා සිටියේ.

මෙරට පාලනය කරන්න දේශපාලනඥයින්ව හැඳින්විය හැක්කේ දේශපාලුවන් ලෙස බව ද හෙතෙම පැවසුවා.

මෙම අරගලයට හදවතින් ම ජය පැතූ රොඩ්නි, අරගලය ජය ගැනීමට නම් එකිනෙකා අතර තිබෙන බැඳීම් කිසිඳු ලෙසකින් බිඳ දැමීම නොකළ යුතු බව ප්‍රකාශ කළේය.

***************************************

ඇණවුම් කළ ඉන්ධන නොමැතිව පිරවුම්හල් රැසක් වැසේ

(16.04.2022 – 20:01 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිපෙට්කෝ පිරවුම් හල් රැසකට ඇනවුම් කර ඇති ඉන්ධන තොග මෙතෙක් ලැබී නොමැති බව ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිංහල – දෙමළ අලුත් අවුරුදු නිවාඩු ලබා දීම් නිසි කළමනාකරණයකින් තොරව සිදු කිරීම හේතුවෙන් මෙම ගැටලුව හටගෙන ඇති බවයි.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයත් බවුසර් රථ රියදුරන් ඇතුලු සියලු සේවකයන්ට ලබන 18 වනදා තෙක් නිවාඩු ලබා දී ඇති අතර මේ දිනවල බෙදා හැරීම් සිදු කෙරෙන්නේ සංස්ථාවට අනුබද්ධව සේවය කරන පෞද්ගලික බවුසර් රථ පමණයි.

කෙසේ වෙතත් එම පෞද්ගලික බවුසර් රථ රියදුරන්ද අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ දිනවල නිවාඩු ලබාගෙන තිබෙනවා.

එවන් පසුබිමක ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ඊයේ (15) රාත්‍රියේ සියලු ටැංකි රථ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බැවින් බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා තම බවුසර් අදාළ පර්යන්ත සහ ඩිපෝ වෙත යොමු කරන ලෙසටයි.

ඒ අනුව අද (16) දිනයේදී සමස්ථ ඉන්ධන බවුසර් සංඛ්‍යාවෙන් සියයට 25 ක් පමණ බෙදා හැරීමේ කටයුතු සිදු කරමින් ධාවනයේ යෙදුණු බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි කියා සිටියා. බෙදාහැරීම් ලබන 18 වනදා වන විට යථා තත්වයට පත් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, බවුසර්වලට ඉන්ධන පුරවන පර්යන්තය ද හෙට (17) දිනයේ ඉරිදා නිවාඩුව ලබා ගැනීම හේතුවෙන් හෙට (17) පැමිණෙන බවුසර් සඳහා ඉන්ධන පිරවීමට ද නොහැකි තත්ත්වයක් ඇති වන බව ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.

අයි.ඕ.සී. සමාගම ද සිය සේවකයන්ට අවුරුදු නිවාඩු ලබාදීම හේතුවෙන් එහි සියලු බෙදාහැරීම් ලබන 18 වනදා තෙක් තාවකාලිකව නතර කර ඇති අතර දිවයින පුරා අයි.ඕ.සී. පිරවුම්හල් අදත් (16) වසා තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එසේම ඉන්ධන නිකුත් කිරීමට පනවා ඇති සීමා හේතුවෙන් පිරවුම්හල්වල අර්බුදකාරී තත්වයක් හටගෙන ඇති බව ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පෙන්වා දෙනවා.

පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා සිපෙට්කෝ ඉන්ධන හල් රැසක් අදත් (16) වසා තිබුණු අතර විවෘතව පැවති පිරවුම්හල්වල දිගු පෝලිම් පැවතියා.

මේ අතර අද (16) ක්‍රියාත්මක වූ ආකාරයටම හෙටත් (17) දිවයින පුරා පැය දෙකයි (2) මිනිත්තු 15 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

***************************************

ගෝඨාගෝගමේ තොවිලයක්

(16.04.2022 – 21:35 +0530 – hirunews.lk/sinhala)

අඛණ්ඩව 08 වැනි දිනටත් මේ වනවිටත් නොනැවතී ඉදිරියට යන ගාලුමුවදොර විරෝධතා භූමියේ දී අද (16) රාත්‍රියේ දී 18 සන්නිය නටා තොවිලයක් සිදු කර තිබෙනවා.

රට මුහුණපා ඇති විපත්වලින් මාතෘභූමිය බේරාගෙන, දෙවියන්ගේ ආරක්ෂාව මව් බිමට ලබාදෙන ලෙස ඉල්ලමින් සහ දූෂිත පාලනය මෙරටින් අතුගා දමන ලෙස දෙවියන්ට භාර කරමිනුයි මෙම තොවිලය පැවැත්වී ඇත්තේ.

එමෙන්ම, ගෝඨාගෝගම නමින් ගාලු පුරයේ ශාඛාවක් අද (16) දින ඉදිකෙරුණා.

රට අර්බුද තත්ත්වයකට ඇද දැමූ පාර්ලිමේන්තුවේ 225 දෙනාම වහාම එම තනතුරුවලින් ඉවත්ව ගෙදර යා යුතු බව පවසමිනුයි එම ස්ථානයට එක්ව සිටි විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම අරගල භූමියේ රැඳී සිටින පිරිස් ආරාක්ෂා කිරීම ද දෙවියන්ට භාර කිරීම මෙම 18 සන්නිය නැටීමේ අරමුණක්.

***************************************

මන්ත්‍රී නිපුනට ‘හූ’ සංග්‍රහයක්

(16.04.2022 – 21:44 +0530 – hirunews.lk/sinhala)

මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකට හූ තියා එලවා දැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

අද (16) දින ඌරුබොක්ක ‌ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබුණා.

නිපුණ රණවක යනු අගමැති මහින්ද රාජපක්ෂගේ නැගණියගේ පුත්‍රයා යි.

එහිදී ආණ්ඩුවට එරෙහි විරෝධතා රැළියක් ද සංවිධාන කොට ඇති බවයි වාර්තා වන්නේ.

***************************************

අපේ සිරුරු ජනතාව සුරැකීමේ පළිහක් – සජිත්

(16.04.2022 – 22:13 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා උද්ඝෝෂනය මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ මන්ත්‍රවරුන් චෝදනා කරනවා.

කෙසේවෙතත් ආණ්ඩුව යම් හෙයකින් සිවිල් වැසි අරගල මර්දනයට උත්සාහ කළහොත්, සිය ශරීරයෙන් වුව ද අරගලයට දායක වෙමින්, ජනතාව රැකගැනීමේ පළිහක් වන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *