ඉන්ධන ප්‍රමාණවත් – බවුසර් රැගෙන එන්නැ යි සංස්ථාව ඉල්ලයි

ඉන්ධන ප්‍රමාණවත් – බවුසර් රැගෙන එන්නැ යි සංස්ථාව ඉල්ලයි

*********************************************

ඉන්ධන ප්‍රමාණවත් – බවුසර් රැගෙන එන්නැ යි සංස්ථාව ඉල්ලයි

(16.04.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බැවින් බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් තම බවුසර් අදාළ පර්යන්ත සහ ඩිපෝ වෙත යොමු කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සියලු ටැංකි රථ හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

සංස්ථා සේවකයන් සහ ඉන්ධන ටැංකි රථ රියදුරන් අලුත් අවුරුදු නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමාදයක් පවතින බවයි ලංකා ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කළේ.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඉන්ධන ප්‍රවාහන කටයුතු ඉදිරි දින දෙක (2) තුළ යළි සාමාන්‍ය තත්වයට පත්වනු ඇති බවයි.

එමෙන්ම ඊයේ (15) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක (2) කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පැනවූ ඉන්ධන නිකුත් කිරීමේ සීමා මේ වන විට ක්‍රියාත්මකයි.

ඒ අනුව යතුරුපැදිවලට රුපියල් දහසකට (1000) සීමාවූ ඉන්ධන නිකුත් කරන අතර, ත්‍රිරෝද රථ සඳහා වරකට නිකුත් කරනු ලබන්නේ රුපියල් 1500 ක ඉන්ධන ප්‍රමාණයක් පමණයි.

මෝටර් රථ, වෑන් රථ සහ ජීප් රථ සඳහා පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන නිකුත් කෙරෙන්නේ රුපියල් පන්දහසක (5000) සීමාවකට යටත්වයි.

කෙසේ නමුත් බස් හා ලොරි රථ සහ වානිජ කටයුතු සඳහා යොදාගැනෙන ට්‍රැක්ටර් ඇතුලු වාහන සඳහා එම සීමාවන් බල නොපවත්වන බව ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළා

පසුගිය දින 2 තුළ මෙරටට පැමිණි නෞකා වලින් රැගෙන ආ ඩීසල් මෙටි්‍රක් ටොන් 41,000 සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 37,500 ගොඩබෑමේ කටයුතු සහ බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවයි ලංකා ඛණිජ තෙල් සංස්ථාව පැවසුවේ.

කෙසේ වෙතත් ඊයේ (15) රාත්‍රියේදීත් දිවයින පුරා ඉන්ධන හල් රැසක් වසා තිබුණු අතර විවෘතව පැවති සීමිත ඉන්ධන හල් කිහිපයක් තුළ පැවතියේ දිගු පෝලිම් ෴

***************************************

ආණ්ඩුවේ විශේෂ රැස්වීමක් අද හෙට ම

(16.04.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින 2 තුළ ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළේ, එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව යි.

රට තුල පවතින අර්බුදකාරී තත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල සාකච්ඡා ආරම්භය සම්බන්ධයෙන් එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම ඉදිරි සතියේ පාර්ලිමේන්තු විවාදවලට අදාළ කරුණු රැසක්ද එහි දී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂ සහභාගී වීමට නියමිතයි.

කෙසේ වෙතත් එම රැස්වීම පවත්වන වේලාව සහ ස්ථානය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් සිදුකර නැහැ ෴

***************************************

මූල්‍ය හා නීති උපදේශකයන් පත් කිරීමේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

(16.04.2022 – 07:53 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා කැඳවූ අයඳුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලබන 22 වනදා දක්වා දීර්ඝ කර ඇති බව මහ බැංකුව පවසනවා.

මුදල් අමාත්‍යාංශය මගින් එම බඳවාගැනීම් ප්‍රකාශයට පත් කළේ මෙරට බාහිර ණය තිරසරභාවය කළමනාකරණය කිරීමේ අරමුණින්.

මේ වනවිට ශ්‍රී ලංකාව සිය විදේශ ණය සේවාකරණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා ෴

***************************************

ගාලු මුවදොර අරගල භූමියේ පොලිස් ට්‍රක් රථ

(16.04.2022 – 10:18 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර අරගල භූමියට පොලිස් ට්‍රක් පැමිණ ඇති බව වාර්තා වනවා.

කුමක් අරභයා මේ ලෙස පොලිස් ට්‍රක් රථ ගාලු මුවදොර ගාල් කර තිබෙනවා ද යන්න පිළිබඳ තවම ආරංචියක් නෑ.

ගාලු මුවදොර අරගලය අද (16) ක්‍රියාත්මක වන්නේ, 8 වැනි දිනට යි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යය තුළ අද (16) උදෑසන සිට ම පළවන්නේ, ගාලු මුවදොර අරගල භූමිය තුළ යම් විශේෂ යමක් සිදු විය හැකි බව යි ෴

++++++++

පොලිස් ට්‍රක් රථ ඉවත් කෙරෙයි

(16.04.2022 – 11:15 +0530 – hirunews.lk/sinhala)

අද (16) උදෑසන ගාලු මුවදොර අරගල භූමිය අසල පොලිස් ට්‍රක් රථ කිහිපයක් නවත්වා තිබූ බව වාර්තා වුණා.

මේවා කුමක් සඳහා කොතැනකින් පැමිණියා ද යන්න පිළිබඳ නිල ආරංචියක් ලැබුණේ නෑ.

කෙසේ වෙතත් උදෑසන සිට ම සමාජ මාධ්‍යය ඔස්සේ පළ වූ නිල නො වන තොරතුරු හරහා අදහස් වුණේ, අද (16) අරගල භූමිය තුළ සුවිශේෂ යමක් සිදු වනු ඇති බව යි.

නමුත් මේ මොහොත වන විට එම ට්‍රක් රථ නැවත රැගෙන ගොස් ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර නීතීඥ සංගමය ද ආණ්ඩුවට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වනවා.

විරෝධතාවක් පැවැත්වීමට ජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීමට ආණ්ඩුවට බලයක් නැති බව යි එම ලිපියේ දැක්වෙන්නේ.

***************************************

හිටපු කැබිනට් මණ්ඩලයටත් කැඳවීමක්

(16.04.2022 – 12:49 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (16) සාකච්ඡා වට කිහිපයක් කැඳවා තිබෙනවා.

ඒ අනුව පළමු සාකච්ඡාව පවත්වා තිබුණේ මුදල් අමාත්‍ය අලි සබ්රි සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමග යි. රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද ඊට එක්ව තිබුණා.

එහි තවත් සාකච්ඡාවක් මුදල්, බලශක්ති සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් සමග පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. එහිදී හැකි ඉක්මනින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා.

එමෙන්ම ඉදිරි මාස 3 සඳහා ඉන්ධන ආනයන කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සහ බලධාරින් අතර කරුණු සාකච්ඡා වූ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

මේ අතර ඉල්ලා අස්වූ කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඊයේ (15) දිනයේදී ද හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වාර්තා පළ වන්නේ නව කැබිනට් මණ්ඩලයක් සඳුදා (18) දිවුරුම් දෙනු ඇති බවටයි කෙසේ වෙතත් අද (16) සාකච්ඡාව ආරම්භ වනතුරු හිටපු අමාත්‍යවරුන්ට ඒ පිළිබඳ නිල දැනුම්දීමක් සිදුකර තිබුණේ නැහැ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපතිවරයා සමග අද (16) පැවැත්වෙන සාකච්ඡාවේදී ගැනෙනු ඇති බවයි හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ප්‍රකාශ කළේ.

***************************************

ඉන්ධන බෙදා හැරීම සඳුදා (18) වනවිට යථා තත්ත්වයට

(16.04.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (18) සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු යථා තත්වයට පත්වනු ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාගත් ටැංකි රථ රියදුරන් සුලු වශයෙන් යළි සේවයට පැමිණීමත් සමග සිපෙට්කෝ පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යම් ප්‍රමාණයකින් ආරම්භ කර ඇති බවයි එම සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

සංස්ථා සේවකයන් සහ ඉන්ධන ටැංකි රථ රියදුරන් අලුත් අවුරුදු නිවාඩු ලබා ගැනීම හේතුවෙන් පසුගිය දින 2 තුල ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමාදයක් පැවතුණා.

මෙවන් පසුබිමක ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ඊයේ (15) රාත්‍රියේ සියලු ටැංකි රථ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බැවින් බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් තම බවුසර් අදාළ පර්යන්ත සහ ඩිපෝ වෙත යොමු කරන ලෙසටයි.

ඒ අනුව සමස්ථ ඉන්ධන බවුසර් සංඛ්‍යාවෙන් සියයට 25 ක් පමණ මේ වන විට බෙදා හැරීමේ කටයුතු සිදු කරමින් ධාවනයේ යෙදෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි පැවසුවා.

කෙසේ වෙතත් අයි.ඕ.සී සේවකයන්ට අවුරුදු නිවාඩු ලබා දී තිබීම හේතුවෙන් ලබන සඳුදා (18) තෙක් බෙදා හැරීමේ කටයුතු සිදු නොවන බව ලංකා අයි.ඕ.සී. බවුසර් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ ලබන සඳුදා (18) සිට බවුසර් රථ රියදුරන් සහ අයි.ඕ.සී. සේවකයන් සේවයට වාර්තා කිරීමත් සමග දිවයින පුරා පිහිටි ලංකා අයි.ඕ.සී. පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කරන බවයි.

ඒ අනුව දිවයින පුරා පිහිටි අයි.ඕ.සී. පිරවුම්හල් අදත් (16) වසා තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම, ඊයේ (15) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක (2) කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පැනවූ ඉන්ධන නිකුත් කිරීමේ සීමා මේ වන විට ක්‍රියාත්මකයි.

ඒ අනුව යතුරුපැදිවලට රුපියල් දහසකට (1000) සීමාවූ ඉන්ධන නිකුත් කරන අතර, ත්‍රිරෝද රථ සඳහා වරකට නිකුත් කරනු ලබන්නේ රුපියල් 1500 ක ඉන්ධන ප්‍රමාණයක් පමණයි.

මෝටර් රථ, වෑන් රථ සහ ජීප් රථ සඳහා පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන නිකුත් කෙරෙන්නේ රුපියල් පන්දහසක (5000) සීමාවකට යටත්වයි. මෙලෙස ඉන්ධන ලබා ගැනීමට සීමා පැනවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් දැඩි විවේචන එල්ල වනවා.

දිවයින පුරා ඉන්ධන හල්වල අදත් දිගු පෝලිම් පවතිනවා.

මේ අතර බලාගාර වලට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (16) සහ හෙට (17) දිවයින පුරා පැය දෙකයි (2) මිනිත්තු 15 ක කාලයක් සිදුකරන විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ, පෙරවරු 9 ත් පස්වරු 6 ත් අතර කාලය තුළ පමණක් විදුලි කප්පාදුව සිදු කෙරෙන අතර, රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවයි ෴

***************************************

ගාලුමුවදොර විරෝධයට ආදිවාසීනුත් එක්වෙයි

(16.04.2022 – 12:57 +0530 – hirunews.lk/sinhala)

ගාලු‍ මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඇරඹි ජනතා විරෝධතාව අද (16) අටවැනි (8) දිනටත් ක්‍රියාත්මකයි.

විරෝධතාවට ඊයේ (15) රාත්‍රියේදීත් විශාල පිරිසක් එක්ව සිටි අතර ඊට ආදිවාසී ජනතාවද එක්වීම විශේෂත්වයක්.

රට තුළ පවතින තත්ත්වයට විරෝධය පළකරමින් පසුගිය 9 වැනිදා ඇරඹි මෙම විරෝධතාවයට කලාකරුවන්, ක්‍රිඩකයින් මෙන්ම විවිධ පිරිස් එක්ව සිටියා.

ගාලු‍ මුවදොර විරෝධතාවට සහය පළ කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිරිස් පැමිණෙමින් සිටිනවා.

එමෙන්ම, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් විරෝධතා භූමියේ ඊයේ (15) ආරම්භ කළ සත්‍යග්‍රහය අද (16) උදෑසන අවසන් කළා.

ආහාර වර්ජිතව සිටි ඔහුට කිරි වීදුරුවක් ලබාදී සත්‍යග්‍රහය අවසන් කිරීමට ආශිර්වාද කිරීම සඳහා ප්‍රවීන ගායන ශිල්පිනී මල්කාන්ති නන්දසිරි එක්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කිරීමත් සමඟ යළිත් එක්දින සත්‍යග්‍රහයක් සඳහා රංගන ශිල්පීනි විශාකා ජයවීර එම පරිශ්‍රයේ අසුන් ගත්තා.

එසේම, විරෝධතාව පැවැත්වෙන ගාලු‍ මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (16) පෙරවරුවේ පොලිස් ට්‍රක් රථ පෙළක් නවතා තිබූ අතර පසුව අදාළ ට්‍රක් රථ එම ස්ථානයෙන් ඉවත් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කළේ රටේ පොදු ජනතාව පවත්වන සාමකාමී විරෝධතාවක් අඩපණ කිරීම සඳහා කවරාකාරයකින් හෝ කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ සිය දැඩි අවධානය යොමුවන බවයි.

එවැනි ප්‍රයත්නයක් රටට, එහි ප්‍රජාතන්ත්‍රවාදයට, ආර්ථිකයට මෙන්ම නීතියේ ආධිපත්‍යය කෙරෙහි දැඩි අහිතකර බලපෑමක් ඇති කිරීමට හේතුවනු ඇති බවයි එමගින් අවධාරණය කළේ.

කෙසේ වෙතත්, අප කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම පොලිස් ට්‍රක් රථ ගෙන්වා ඇත්තේ මේ දිනවල කොළඹ නගරයේ රාජකාරි කරන පොලිස් නිලධාරින්ට පහසුකම් සැලසීම සඳහා පමණක් බවයි.

පසුව එම රථ පිටත් කර හැරීමට කටයුතු කළ බවද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.

***************************************

විරෝධතාවක් නිසා ගාල්ල – මාතර මාර්ගය මිරිස්සෙන් අවහිරයි

(16.04.2022 – 14:03 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවක් හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගය මේ වනවිට මිරිස්ස ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඉන්ධන ඉල්ලා අදාළ විරෝධතාව සිදුකරන බවයි.

***************************************

ගිනිගත්හේනේ හමු වූ නීතිවිරෝධී ගෑස් සඟවා තැබූ ස්ථානය ගැන ඉදිරි විමර්ශන ඇරඹේ

(16.04.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත්හේන – ගල්පොතුයාය ප්‍රදේශ නිවසක නීතිවිරෝධීව ලෙස සඟවා තිබූ ගෑස් සිලින්ඩර් තොගයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කටයුතු පාරිභෝගික සේවා අධිකාරිය මගින් ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එළඹෙන අඟහරුවාදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ (15) දිනයේ දී සිදුකළ වැටලීමකදී ගල්පොතුයාය ප්‍රදේශයේ නිවසක තිබී ගෑස් සිලින්ඩර් 230 ක් සහ හිස් ගෑස් සිලින්ඩර් 3 ක් සොයා ගත්තා ෴

***************************************

ගාලුමුවදොර විරෝධතාවයට සහාය පළ කරමින් දේව කන්නලව්වක් සිදුකළ කෝවිලකට පහරදීමක්

(16.04.2022 – 15:00 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහාය පළ කරමින් දේව කන්නලව්වක් සිදුකළ පූජකවරයෙකුට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

පොළොන්නරුව – යක්කුරේ ප්‍රදේශයේ පිහිටි කෝවිලක පසුගියදා මෙම දේව කන්ලව්ව සිදුකර තිබුණා.

කෙසේ වෙතත්, ඊයේ (15) දිනයේදී කිසියම් පිරිසක් විසින් දේව කන්නලව්ව සිදුකළ පූජකවරයාට සහ එම කෝවිලට පහර දී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *