විදුලි ජනන යන්ත්‍රයක් පිපිරීයාමෙන් මව සහ දියණිය ජීවිතක්ෂයට

විදුලි ජනන යන්ත්‍රයක් පිපිරීයාමෙන් මව සහ දියණිය ජීවිතක්ෂයට

*********************************************

විදුලි ජනන යන්ත්‍රයක් පිපිරීයාමෙන් මව සහ දියණිය ජීවිතක්ෂයට

(15.04.2022 – 21:35 +0530 – hirunews.lk/sinhala)

විදුලි කප්පාදුව හේතුවෙන් නිවසේ භාවිතයට ගත් විදුලි ජනන යන්ත්‍රයක් පිපිරී යාමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 38 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 9 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 29 වැනිදා ඔවුන්ගේ නිවසේ තිබු විදුලි ජනන යන්ත්‍රය පිපිරී යාමෙන් අදාළ කාන්තාව, ඇගේ දියණිය සහ පුතා තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණා.

පස්හැවිරිදි (5) පිරිමි දරුවා මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

***************************************

කොන්දොස්තර නැතිව බස් ධාවනය කරන යෝජනාව ගමනාගමන කොමිසමට

(16.04.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala)

කොන්දොස්තරවරුන් රහිතව පෞද්ගලික බස් රථ ධාවනය කිරීමට අදාල යෝජනාවලිය ජාතික ගමනාගමන කොමිසන් සභාව වෙත භාර දුන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ, පවතින තත්වය හමුවේ කොන්දොස්තරවරුන්ට වැටුප් ගෙවීමට වැයවන පිරිවැය ඉතිරි කර ගැනීම සඳහා එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව පෙරගෙවුම් කාඩ්පතක් හෝ ජංගම දුරකථන යෙදවුමක් භාවිතයෙන් බස් ගාස්තු ඍජුව බස් හිමියන්ගේ ගිණුම් වෙත ගෙවීමට මගීන්ට මේ වන විටත් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම සිංහල – දෙමළ අලුත් අවුරුදු නිවාඩුව සමග ධාවනය නතර කර තිබූ සියලු පෞද්ගලික බස් රථ අනිද්දා (18) සිට සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹ ඇතුලු ප්‍රධාන නගරවලට ඒම සඳහා ක්‍රියාත්මක විශේෂ දුරගමන් සේවා ධාවන කටයුතු අද (16) සිට පුලුල් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

එහි සභාපති කිංස්ලි රණවක කියා සිටියේ ඒ සඳහා දුර ගමන් සේවා ලංගම බස් රථ 2000 ක් පමණ යෙදවීමට නියමිත බවයි ෴

***************************************

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොරෝනා

(15.04.2022 – 15:59 +0530 – hirunews.lk/sinhala)

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්නා බවයි ආරංචි මාර්ග සඳහන් කළේ ෴

***************************************

බදු ක්‍රමයට ගන්නා ගුවන් යානා යෝජනාව අවලංගු කරන්න – එජාපයෙන් ඉල්ලීමක්

(15.04.2022 – 16:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගමට බදු පදනම යටතේ ගුවන් යානා ලබා ගැනීමට කැමැත්ත පළ කිරීමක් නිකුත් කර ඇති බව දැනගත් එක්සත් ජාතික පක්ෂය විමතියට පත්ව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලබන ව්‍යවසායක් ලෙස පොදු ව්‍යවසාය කමිටුව හෙවත් කෝප් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන දෙඅංශයෙන් ම වර්ගීකරණය කර තිබෙනවා.

ව්‍යාප්තිය සඳහා වන ඕනෑම සැලසුමක් වහාම නතර කළ යුතු අතර, අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය සඳහා පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඔවුන් රටේ විදේශ ණය සඳහා සේවය නොකරන බව රජය පවසනවා.

ආණ්ඩුවේ මෙම පැහැර හැරීම රට දැන් බංකොලොත් වී ඇති බව ගෝලීය ප්‍රජාවට නිවේදනයක් කිරීමක් බව ද එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

***************************************

ජල ටැංකියකට වැටී පියෙකු සහ පුතෙකු මරුට

(15.04.2022 – 16:53 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – බටදූව ප්‍රදේශයේ පිහිටි පාවහන් කර්මාන්ත ශාලාවක ජල ටැංකියකට වැටී අද (15) දහවල් එහි විධායක නිලධාරියෙකු සහ ඔහුගේ නව 7 හැවිරිදි පුත්‍රයා මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කම්හල පරීක්ෂා කිරීමට අදාළ විධායක නිලධාරියා සිය පුතු සමග පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බවයි.

එහිදී ඔහුගේ පුත්‍රයා ටැංකිය මතින් දිව යමින් සිටියදී ටැංකියට වැටී ඇති අතර, පුත්‍රයා බේරා ගැනීමට පියා උත්සාහ කළ අවස්ථාවේදී ඔහු ද ටැංකියට ඇද වැටී තිබෙනවා.

අනතුරුව කාර්ය මණ්ඩලය විසින් ඔවුන් මුදාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් ඔවුන් ජිවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල – අක්මීමණ, තල්ගම්පල – හව්පගෙවත්තේ පදිංචි අදාළ පාවහන් කර්මාන්ත ශාලාවේ සේවය කළ 37 හැවිරිදි විධායක නිලධාරියෙකු සහ ඔහුගේ පුත්‍රයායි ෴

***************************************

මෙදා පාර කොහා නෑඬුවේ ඇයි?

(15.04.2022 – 17:08 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්දත් සමඟ පරිසරයෙන් නිරන්තරයෙන් අසන්නට ලැබෙන හඬක් තිබෙනවා. අපි කවුරුත් අවුරුද්ද ළංවී ඇති බව දැනගන්නේ ඒ හඬින්. ඒ තමයි කොහාගේ හඬ. නමුත් දැන් දැන් පරිසරයෙන් එම හඬ ඈත්වී යන ආකාරයක් දක්නට ලැබෙනවා.

කොහා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොහා කෝකිල කුලයට අයත් පරපුටු පක්ෂයෙකු ලෙස හඳුන්වනු
ලබනවා.

ඒ වෙනත් පක්ෂීන්ගේ කූඩු වල බිත්තර දැමීම ඔවුන්ට විශේෂ වූ ලක්ෂණයක් වීම හේතුවෙන්.

ඒ අනුව කොහා කුඩු තැනීමක් සිදු නොකරන බැගින් බිත්තර දමන්නේ කපුටන්ගේ කුඩුවලයි.

ජනාවාස ආශ්‍රිත කැලෑබද ප්‍රදේශවල කොහා වැඩිවශයෙන් ජීවත් වනවා.

පිරිමි පක්ෂියා නිල්පාටට හුරු කළු පැහැයෙන් යුක්ත වන අතර ගැහැණු පක්ෂියාගේ කළු පැහැති ශරීරයේ සුදු තිත් පිහිටා තිබෙනවා.

කොහාගේ නාදය නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ අප්‍රේල් සහ මැයි මාසවලදී ඒ එම සතුන් බිත්තර දැමීමේ කාලසීමාව වීම හේතුවෙන්.

මෙවර කොහාගේ ශබ්දය පරිසරයෙන් අසන්නට ලැබුණත් වෙනත් වසරවලට සාපේක්ෂව එම නාදය බොහෝ අඩුවෙන් අසන්නට ලැබූ බවටයි පරිසරවේදීන් පවසන්නේ.

***************************************

කඩවත නිමි ඇඳුම් අලෙවිසලකින් රුපියල් ලක්ෂ 270 ක් පැහැර ගැනේ

(16.04.2022 – 10:36 +0530 – hirunews.lk/sinhala)

කඩවත නගරයේ පිහිටි ප්‍රමුඛ පෙලේ නිමි ඇඳුම් අලෙවිසැලක සේප්පුව බිඳ රුපියල් ලක්ෂ 270 කට අධික මුදලක් සොරකම් කර තිබෙනවා.

පෙරේදා (14) රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් අදාළ නිමි ඇඳුම් අලෙවි ආයතනයේ මූල්‍ය කළමනාකරුවෙකු ඊයේ (15) දිනයේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර, ඒ අනුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු එම ආයතනයේ ජල ටැංකිය මත සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා.

32 හැවිරිදි සැකකරු නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මීට පෙර ද බැංකු කොල්ලකෑම් ඇතුළු සිද්ධි රැසකට සම්බන්ධ අයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔහු විසින් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 270 ක මුදල ද සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා.

එහිදී සැකකරු විසින් ඩ්‍රිල් යන්ත්‍රයක් ආධාරයෙන් අදාළ මුදල් සේප්පුව බිඳ දමා ඇති අතර, මුදල් සොරකමෙන් පසු අනපේක්ෂිත ලෙස ආයතනයේ සේවකයින් උදෑසනම ආයතනය වෙත පැමිණීම නිසා සැකකරුට පලායාමට නොහැකිවී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව, සොරකම් කරන ලද මුදල් වෙනත් ස්ථානයක රඳවා රාත්‍රි කාලයේ මුදල් ද රැගෙන පලායාමේ අදහසින් සැකකරු නිමි ඇඳුම් ආයතනයේ ජල ටැංකිය මත සැඟව සිට ඇති බව මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (16) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

කොළඹ කොටස් වෙළෙඳපොළ වැසෙයි

(16.04.2022 – 11:11 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (18) සිට දින 5 ක කාලයක් සඳහා කොළඹ කොටස් වෙළඳපොල තාවකාලිකව වසා දැමීමට සුරැකුම්පත් සහ විනිමය කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ කොළඹ කොටස් වෙළඳපොලේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම, කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සම්මේලනය කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි.

රටේ වත්මන් වාතාවරණය සැලකිල්ලට ගෙන කොටස් වෙළඳපොල මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවන ලෙස ඔවුන් ඉල්ලා සිටි බවයි සුරැකුම්පත් සහ විනිමය කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එහිදී රටේ වත්මන් වාතාවරණය, කොටස් වෙළඳ ගණුදෙනු ක්‍රමවත් සහ සාධාරණ ආකාරයෙන් පවත්වා ගෙන යාමට ඇති කරන බලපෑම විශේෂයෙන් සැලකිල්ලට ගෙන තිබෙනවා.

ඒ අනුව, දිවයිනේ වර්තමාන ආර්ථික වාතාවරණය පැහැදිලිව අවබෝධ කරගෙන සිය ආයෝජන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයන් සහ අනෙකුත් වෙළඳපොල පාර්ශවකරුවන්ට අවස්ථාව සලසා දීම සඳහා ඉදිරි සතියේ ගනුදෙනු අත්හිටුවන බවයි සුරැකුම්පත් හා විනිමය කොමිසම නිවේදනය කළේ.

***************************************

ඉන්දියාවට යන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට තාවකාලික සරණාගතභාවය?

(16.04.2022 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරුකරයේ සිට තමිල්නාඩුවට මුහුදු මාර්ගයෙන් පැමිණෙන දෙමළ ජනතාවට විශේෂ අවසරයක් යටතේ තාවකාලික සරණාගතභාවය ලබාදෙන ලෙස තමිල්නාඩු මහඇමති එම්.කේ. ස්ටාලින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

හින්දු පුවත්පත වාර්තා කරන පරිදි එමගින් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංක්‍රමණිකයන්ට එහි සරණාගත කඳවුරුවල රැදී සිටීමට හැකිවනු ඇති.

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන මොවුන් සහෝදර ජනතාවක් ලෙස සලකා පිලිගන්නා බවයි තමිල්නාඩු මහඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම, ඔහු ඊයේ (15) එලෙස පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණික ජනතාව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයකට ද එක්වුණා.

මේ වනවිට මෑතකදී ශ්‍රී ලංකාවේ සිට පැමිණි 39 දෙනෙකු තමිල්නාඩුවේ – රාමනාදන්පුරම්හි මණ්ඩපම් සරණාගත කඳවුරේ රැදී සිටිනවා.

ඊට කාන්තාවන් 11 දෙනෙකු සහ ළමයින් 16 දෙනෙකු ඇතුළත්.

මෙරට යුද්ධය පැවති සමයේ පටන් පැමිණි ශ්‍රී ලාංකික දෙමළ පවුල් 19,233 කට අයත් 58,540 දෙනෙකු තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 29 ක පිහිටි පුනරුත්ථාපන කඳවුරු 108 ක තවදුරටත් රැදී සිටිනවා.

ඔවුන්ට ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයනු ලබන්නේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින්.

සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයට එක්වෙමින් තමිල්නාඩු මහඇමතිවරයා විමසා සිටියේ ඔවුන්ගේ අවශ්‍යතා සහ සුබ සාධනය පිළිබඳවයි.

මෙරට උතුරුකරයේ දෙමළ ජනතාවට අවශ්‍ය සැපයුම් තූත්තුකුඩි වරායේ සිට නෞකා මාර්ගයෙන් ලබාදිය හැකි බව තමිල්නාඩු මහඇමති එම්.කේ. ස්ටාලින් යලි අවධාරණය කළා.

එමෙන්ම, ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ධීවරයන් කඩිනමින් නිදහස් කර ගැනීමට පියවර ගන්නා ලෙස ද ඔහු මධ්‍යම රජයෙන් ඉල්ලා තිබෙනවා.

***************************************

බහුදින යාත්‍රාවක මුරකරුවෙකු සැක කටයුතු ලෙස මියයයි

(16.04.2022 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය චීන වරාය – කොඩ්බේ ධීවර වරායේ නවතා තිබූ බහුදින යාත්‍රාවක මුරකරුවෙකු මුහුදට වැටී සැක කටයුතු ලෙස මියගොස් තිබෙනවා.

පොලිසීය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ – පින්නදූව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු බවයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Sri Lankan leasing 21 aircraft. What a stupid decision at a time when the country cannot afford even to buy essential food supplies and fuel. Morons in Sri Lankan in cvollusion with pass rajas playing another of their trump cards to rob the nation before they disappear from the scene. Mortgage the country again to collect their commissions in dollars to fill their foreign bank accounts. There will be no motherland left for the future generations while these vultures are still remaining in power. Disgraceful.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *