ඉන්ධන නිකුත් කිරීමට සීමා පැනවේ – යතුරුපැදියකට රුපියල් දහසක් (1000) පමණයි

ඉන්ධන නිකුත් කිරීමට සීමා පැනවේ – යතුරුපැදියකට රුපියල් දහසක් (1000) පමණයි

*********************************************

ඉන්ධන නිකුත් කිරීමට සීමා පැනවේ – යතුරුපැදියකට රුපියල් දහසක් (1000) පමණයි

(15.04.2022 – 18:56 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීමට සීමාවන් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (15) දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක (2) කාලයක් සඳහා යතුරුපැදිවලට රුපියල් දහසකට (1000) සීමාවූ ඉන්ධන නිකුත් කරන අතර, ත්‍රිරෝද රථ සඳහා නිකුත් කරනු ලබන්නේ රුපියල් 1500 ක ඉන්ධන ප්‍රමාණයක්.

මෝටර් රථ, වෑන් රථ සහ ජීප් රථ සඳහා පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන නිකුත් කෙරෙන්නේ රුපියල් පන්දහසක (5000) සීමාවකට යටත්වයි.

කෙසේ නමුත් බස් හා ලොරි රථ සහ වානිජ කටයුතු සඳහා යොදාගැනෙන ට්‍රැක්ටර් ඇතුලු වාහන සඳහා එම සීමාවන් බල නොපවත්වන බව ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙනවා.

මේ අතර, ඊයේ (14) දිවයිනට ළඟා වූ ඩීසල් මෙට්‍රික් ටොන් 41,000 රැගත් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඊයේ (14) පස්වරුවේම ආරම්භ කෙරුණා.

එමෙන්ම, ඊයේ (14) දිනයේ දිවයිනට පැමිණි පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් සහිත නෞකාවේ පෙට්‍රල් ගොඩබෑම අද (15) සිදුකෙරෙනවා.

කෙසේ වෙතත්, අවශ්‍ය ඉන්ධන තොග නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර, ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ ලබන සඳුදා (18) වනවිට ඉන්ධන තොග බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි.

රියදුරන් සිංහල – හින්දු අලුත් අවුරුදු නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය සීමා වී ඇති බවයි එම සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක පවතින ඉන්ධන පෝලිම්වල අඩුවක් මෙතෙක් දක්නට ලැබෙන්නේ නැහැ.

***************************************

ගෝල්ෆේස් අරගලයට ආ පියෙකුගෙන් සංවේදී කතාවක්

(15.04.2022 – 18:22 +0530 – hirunews.lk/sinhala)

පවතින රජයට එරෙහිව අඛණ්ඩව සත්වැනි (7) දිනටත් අද (15) කොළඹ – ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලය පැවැත්වෙනවා.

ඊයේ (14) දින මෙම අරගලයට සහාය දැක්වීම පිණිස පැමිණි පියෙකු විසින් සිදු කරන ලද සංවේදී සහ ආත්ම ශක්තියෙන් මෙන්ම සිය රට ගැන පැවසූ අපූරු කතාවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා හි සංසරණය වන අයුරු දැක්වෙනවා.

තමන් කිසිදු දිනෙක තම මව්‍ රට අතහැර නොයන බවත්, තම දරුවන්ට අනාගතයේ දී ජීවත් වීමට නිදහස් වූ ස්වාධීන වූ රටක් අවශ්‍ය බවත් එම පියා පවසනවා.

එමෙන්ම, මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ අරුණලු වැටෙන තෙක් මෙම තරුණ අරගලයට සහාය ලබාදීම කිසිසේත්ම තමන් නොනවත්වන බවයි හෙතෙම පැවසුවේ.

මෙම අරගලයට ජනාධිපති ලේකම් කාර් යාලය අසලට විශාල ජනකායක් එක්ව සිටින අතර, ඔවුන් අතර කිසිදු ජාති ආගම් භේදයක් නොමැති බව පෙන්වාදෙන එම තැනැත්තා කියා සිටින්නේ, මේ රට හැමදාමත් සිය මාතෘභූමිය බවයි.

එමෙන්ම අරගලයට දිවා රෑ නොබලා කැපවෙන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව, සියලුම විද්වත් පිරිසට, සියලුම ආගමික නායකයින්ට මෙන් ම රටේ මහජනතාවට ද සිය ප්‍රණාමය පුද කරමින් තුරුණු ජවයට හදවතින්ම සුබ පැතුම් අරගලය ජය ගැන්මට මෙම පියා විසින් එක් කරනු ලැබුවා.

***************************************

ශ්‍රී ලංකාව සහ මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවට ඉන්දියාවත්

(15.04.2022 – 19:21 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ වොෂින්ටනය බලා යන මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඉන්දීය අමාත්‍ය කණ්ඩායමක් සමඟ සාකච්ඡාවක නිරතවන බව ‘ඉකොනොමික් ටයිම්ස්’ නැමති ඉන්දීය පුවත්පත හෙළිදරව් කළා.

ඉන්දීය නියෝජිත පිරිසක් වොෂින්ටනය බලා යන්නේ මූල්‍ය අරමුදලේ සාකච්ඡා සඳහා සහභාගිවීමටයි.

ඊට සමගාමීව පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා අමාත්‍ය හමුවේදී මෙරට ආර්ථික අර්බුදයේ බලපෑම අවම කරගැනීම සඳහා ඉන්දියාවට සහය විය හැකි ආකාරය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරනු ඇති.

මීට අමතරව බහුපාර්ශවික සහභාගීත්වය සහ ණය තිරසර භාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායම, මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයාද ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ‘ඉකොනොමික් ටයිම්ස්’ වැඩිදුරටත් අනාවරණ කළා.

එහිදී ඉන්දීය නියෝජිත පිරිස එරට ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආර්ථික කටයුතු පිළිබඳ ලේකම්වරයා විසින් නියෝජනය කරනු ඇති ෴

***************************************

විශේෂ දුර ගමන් මගී ප්‍රවාහන සේවා හෙට (16) සිට පුළුල් කෙරේ

(15.04.2022 – 19:27 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹ ඇතුලු ප්‍රධාන නගරවලට ගෙන ඒම සඳහා ක්‍රියාත්මක විශේෂ දුරගමන් සේවා ධාවන කටයුතු හෙට සිට පුළුල් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති කීංස්ලි රණවක කොලඹ අද (15) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලංගම බස් රථ සේවකයන් අවුරුදු නිවාඩු ලබාගෙන සිටීම හේතුවෙන් අද (15) දිනට නියමිතව තිබූ බස් රථ සංඛ්‍යාව ධාවනය කිරීමට නොහැකි වූ බවයි.

කෙසේ වෙතත් අද (15) දින දුර ගමන් සේවා බස් රථ 300 ක් පමණ ධාවනය කිරීමට කටයුතු යෙදූ බව ඔහු ප්‍රකාශ කළා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ පෞද්ගලික බස් රථ හෙට (16) සහ අනිද්දා (17) දින වලදීත් සාමාන්‍ය පරිදි ධාවනය නොවන බවයි.

ලබන 18 වනදා සිට පෞද්ගලික බස් රථ ධාවනය සමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළා.

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව නැවත ප්‍රධාන නගරවලට රැගෙන ඒම සඳහා යොදවා ඇති දුරගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ වලට අයත් පිරවුම්හල් වලින් ඩීසල් ලබාදීම සඳහා ද කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව ඩීසල් අවශ්‍ය පෞද්ගලික බස් රථ සඳහා මාකුඹුර පිහිටි විශේෂ මධ්‍යස්ථානයෙන් සහ දිවයින පුරා පිහිටි තෝරාගත් ලංගම ඩිපෝ කිහිපයකින් ඩීසල් ලබා ගත හැකි බවයි.

මේ අතර, සඳුදා (18) වනතුරු කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දුර ගමන් සේවා දුම්රිය සාමාන්‍ය කාල සටහනට අනුව ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

ඉන්ධන බවුසර් හිමියන් වෙත විශේෂ දැනුම්දීමක්

(15.04.2022 – 20:38 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සියලුම ඉන්ධන බවුසර් හිමියන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන්.

ඒ අනුව, ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් හැකි ඉක්මණින් තම බවුසර් අදාළ පර්යන්ත සහ ඩිපෝ වෙත යොමුකර ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස දැනුම්දී තිබෙනවා ෴

***************************************

ගෝල්ෆේස් අරගලයට ප්‍රහාරයක් ?

(15.04.2022 – 21:47 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය පාලනයට එරෙහිව අඛණ්ඩව සත්වැනි දිනටත් අද (15) ක්‍රියාත්මක ගාලු මුවදොර අරගලය කඩාකප්පල් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසනවා.

සංවිධායක ලේකම්වරයා පෙන්වා දෙන්නේ, ඊට කමාන්ඩෝ බලකා නිලධාරින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පෙර පුහුණුවීම් සිදු කරන බවයි.

ඔවුන් අද (15) දින පෙරවරුවේ කඩවත කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිදු කරන ලද පුහුණුවීමේ දර්ශන ඇතුළත්
වීඩියෝ පටයක් මාධ්‍යයට පෙන්වමින්, දුමින්ද නාගමුව පැවසුවේ, මෙම ආරක්ෂක අංශ නිලධාරින් සිය පුහුණුවීම් කටයුතු සිදු කර ඇත්තේ උද්ඝෝෂණයක් මර්දනය කරන ආකාරයේ සටන් පාඨ කියමින් බවයි.

එම පුහුණුවීම් සාමාන්‍ය විරෝධයක සිදු කෙරෙන සටන් පාඨා ප්‍රකාශ කරමින් සිදු කෙරෙන බවත්, ඊට උද්ඝෝෂකයින් සේ වෙස් ගත් තවත් කමාන්ඩෝ භට පිරිසක් අරගලයට මැදිහත් වීමට සූදානම් ශරීරයෙන් සිටින අයුරු සහ එසේ මැදි වූ විට පහරදීමට ලැබෙන අණ කිරීමක දර්ශනත් මෙම වීඩියෝ පටයේ ඇතුළත් බවයි නාගමුව චෝදනා කළේ.

රටේ අර්බුදකාරී අවස්ථාවක මෙසේ අරගලයක සටන් පාඨ කියමින් සිදු කෙරෙන පුහුණුකිරීම් ගෝල්ෆේස් අරගලයට එල්ල කළ හැකි මර්දනකාරී ප්‍රහාරයක් බවයි හෙතෙම අවධාරණය කළේ.

***************************************

225 ම හොරු නෙවෙයි ! විගණනයක් කර සත්‍ය හෙළි කරන්න – වීරසුමන වීරසිංහ

(15.04.2022 – 22:20 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින අර්බුදකාරී දේශපාලනයට එරෙහිව වීදි බැස ඇති ජනතාව පවසන අන්දමෙන් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම හොරු ලෙස ලේබල් කරන තත්ත්වයට ව්‍යවස්ථාදායකය පත් වී ඇති බව මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ ‘හොරු’ යන ලේබලයට අයත් පිරිස් සහ ඊට අයත් නොමැති පිරිස් ද සිටින බවයි.

ජනතාවගේ මෙම චෝදනාව වැරදි නොකල පාර්ලිමේන්තුවේ කටයුතු කරන මන්ත්‍රීවරුන්ට අයහපත් ලෙස බලපාන අතර, මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට පාර්ලිමේන්තුව තුළ වහාම විගණනයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

නිවැරදි විගණනයක් තුළින් වැරදිකරුවන් සිටී නම්, ඔවුන්ට දඬුවම් ලබා දී, එම දේපොළ ජනතාවට යළි පවරාගත හැකි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

චූටි දෝණි ඊයේ (14) රෑ බඩගින්නේ – ශාන්ත බණ්ඩාර සංවේදී ව කඳුලු සලයි

(15.04.2022 – 23:18 +0530 – hirunews.lk/sinhala)

තමන් ගත් දේශපාලනික තීරණය සම්බන්ධයෙන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

කුරුණෑගලදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සදහන් කළ අතර ඊයේ (14) සිය නිවස ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා සංවේදී වුණා.

සංවේදී ව කඳුළු සලමින් අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රශ්නයක් ඇත්නම් තමාව හමුවී ඕනෑම අයෙකු තමාව ප්‍රශ්න කළ හැකි බවත්, ඊට උත්තර ලබාදීමට තමන් සූදානම් බවත්, එහෙත් තම නිවස ඉදිරිපිට උද්ඝෝෂණ නොකරන ලෙසයි.

ඊයේ (14) උද්ඝෝෂණය හේතුවෙන් සිය කුඩා දියණිය රාත්‍රියේ කිසිදු ආහාරයක් නොගත් තත්ත්වයකට පත් වූ බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

***************************************

ගාලු මුවදොර හයියට ගාල්ලත් එක් වෙයි

(16.04.2022 – 06:52 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර පැවැත්වෙන පොදු ජන අරගලය තවමත් ක්‍රියාත්මක යි.

එය ආරම්භ වී දැන් සතියකට අධික කාලයක් වුණත් තරුණ තරුණියන් කිසිදු විඩාවක් හෝ පසු බැස්මක් නො පෙන්වමින් මවුබිම වෙනුවෙන් තම අරගලයේ නිරත වනවා.

මේ අතර, ගාලු මුවදොර අරගලයට සවියක් වෙමින් ගාලු නගරයේ තරුණයන් ද විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

ඔවුන් විමුක්ති ගීත ගායනා කරමින් ‘ජාතිභේද එපා එපා’ යනුවෙන් පවසමිනු යි විරෝධතාවේ නිරත වුණේ ෴

***************************************

විශ්වාසභංගයට කම්කරු කොංග්‍රසයේ සහාය නැහැ

(16.04.2022 – 07:10 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගය සඳහා සහය ලබා නොදෙන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩි රාමේෂ්වරන් හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ එහි දී ඡන්දය දීමෙන් වැළකී මධ්‍යස්ථව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි.

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක් හෙට (17) පැවැත්වීමටද නියමිතයි.

සමගි ජනබලවේගය සඳහන් කළේ අදාල යෝජනා කතානායකවරයාට භාරදෙන කාලසීමාව පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන බවයි.

විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව එළඹෙන සතියේ දී කතානායකවරයාට භාරදීමට සැලසුම් කර තිබුණ ද එය සතියකින් පමණ කල් දැමීමට යි සමගි ජන බලවේගය මේ වන විට තීරණය කර ඇත්තේ ෴

***************************************

අද (16) සහ හෙට (17) දිවා කාලයේ පමණක් පැය 2 යි මිනිත්තු 15 ක් විදුලිය කැපේ

(16.04.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නො මැති වීම හේතුවෙන් අද (16) සහ හෙට (17) දිවයින පුරා පැය දෙකයි (2) මිනිත්තු 15 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.

පෙරවරු 9 ත් පස්වරු 6 ත් අතර කාලය තුළ පමණක් විදුලි කප්පාදුව සිදු කෙරෙන අතර, රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි එම කොමිසන් සභාව සඳහන් කළේ ෴

***************************************

බලංගොඩ ලෝහ නිෂ්පාදනය කළ බවට තවත් සාක්ෂි

(15.04.2022 – 12:58 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිස්තු පූර්ව 600 සිට මෙරට ලෝහ නිෂ්පාදනය සිදු කර ඇති බවට තවත් සාක්ෂියක් බලංගොඩ – සමනල වැව ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

ඒ ආශ්‍රිත ව සිදු කළ කැණිම්වලින් එවැනි ස්ථාන 265 ක් පමණ හඳුනාගෙන ඇති බවයි පුරාවිද්‍යා ගවේෂක හා පර්යේෂක ආචාර්ය දයානන්ද බිනරගම සඳහන් කළේ.

එම ප්‍රදේශයේ පවතින සුළං ප්‍රවාහය ප්‍රයෝජනයට ගෙන යකඩ නිෂ්පාදනයට අවශ්‍ය උඳුන් සකසා ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වූ බවට සාක්ෂි හමුවී ඇති බවයි බලංගොඩ – කිංචිගුණේ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලගම බුද්ධානන්ද හිමි සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *