විශ්වාසභංගය සහ දෝෂාභියෝගය සතියකින් කල් යන ලකුණු

විශ්වාසභංගය සහ දෝෂාභියෝගය සතියකින් කල් යන ලකුණු

*********************************************

විශ්වාසභංගය සහ දෝෂාභියෝගය සතියකින් කල් යන ලකුණු

(15.04.2022 – 07:14 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව කතානායකවරයාට භාරදීම සතියකින් පමණ කල් දැමීමට විපක්ෂය සූදානම් වනවා.

ඒ, පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගැනීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කිරීමට නියමිත සාකච්ඡාවලට එය අහිතකර ලෙස බලපෑ හැකි බවට ආර්ථික උපදේශකයින් සිදු කළ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින්.

මීට පෙර එළැඹෙන පාර්ලිමේන්තු සතියේ දී ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව කතානායකවරයාට ලබාදීමට යි විපක්ෂය සැලසුම් කර තිබුණේ.

සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් අදාළ යෝජනාවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අත්සන් තබා අවසන්.

මෙම යෝජනාවලට දෙමළ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන්ද පසුගිය දා අත්සන් තැබුවා.

කෙසේ වෙතත්, ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අනිද්දා (17) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත ව තිබෙනවා.

එහි දී විශේෂයෙන් මෙම යෝජනා කතානායකවරයාට භාරදෙන කාලසීමාව පිළිබඳවද අවධානය යොමු කරනු ඇති.

***************************************

කෑන් සහ බූලිවලට ඉන්ධන ලබාදීම දිගට ම අත්හිටවෙයි

(15.04.2022 – 07:17 +0530 – hirunews.lk/sinhala)

අවසරලත් පාර්ශවයන්ට හැර වෙනත් කිසිදු පාර්ශවයකට බූලි හෝ කෑන්වලට තවදුරටත් පෙට්රල් සහ ඩීසල් නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ, කෘෂිකාර්මික කටයුතු සහ කර්මාන්ත සඳහා ඩීසල් අවශ්‍ය නම් ඒ සඳහා සකස් කර ඇති ක්‍රමවේදය හරහා කටයුතු කළ යුතු බවයි.

පසුගිය 12 වැනිදා සිට ඊයේ (14) දක්වා කෑන් සහ බූලිවලට ඩීසල් සහ පෙට්‍රල් නිකුත් නොකරන බව ඛනිජතෙල් සංස්ථාව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මේ අතර, ඊයේ (14) දිවයිනට ළඟා වූ ඩීසල් මෙට්‍රික් ටොන් 41,000 රැගත් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඊයේ (14) පස්වරුවේම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එසේම, පෙට්රල් මෙට්‍රික් ටොන් 37,500 ක් සහිතව ඊයේ (14) දිනයේ දිවයිනට තවත් නෞකාවක් පැමිණ ඇති අතර, එහි පෙට්රල් ගොඩබෑම අද (15) සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව සංස්ථාව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, කෙසේ වෙතත් සිංහල – දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබූ ඊයේ (14) දිනයේදීත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් වසා තිබූ අතර, විවෘතව පැවති පිරවුම්හල් වල දිගු පෝලිම් පැවතුණා ෴

***************************************

හෙට (16) සහ අනිද්දා (17) පැය දෙකයි කාලක (2¼) විදුලි කප්පාදුවක්

(15.04.2022 – 10:55 +0530 – hirunews.lk/sinhala)

හෙට (16) සහ අනිද්දා (17) දින දෙක (2) සඳහා මීට පෙර තීරණය කළ ආකාරයටම පැය දෙකයි (2) මිනිත්තු 15 ක කාලයක් විදුලිය කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව එම දින දෙක (2) තුළ දී විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පෙරවරු 9 ත් පස්වරු 6 ත් අතර කාලය තුළ පමණක් වන අතර, රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි එම කොමිසන් සභාව සඳහන් කළේ.

***************************************

මූල්‍ය අරමුදලේ සහාය ගැන මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

(15.04.2022 – 12:56 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දිගුකළ අරමුදල් පහසුකම යටතේ මෙරට වාරිකය මෙන් සියයට 400 ක් නව වැඩසටහනක් යටතේ ලබාගැනීමට හැකිවනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

කෙසේ නමුත් එය, මෙරට මූල්‍ය පරතරය ඇගයීමෙන් අනතුරුව තීරණය කරනු ඇති බවයි ඔහු කියා සිටියේ.

2009 වසරේ ශ්‍රී ලංකාව විසින් මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය පහසුකම, වාරිකය මෙන් සියයට 400 ක්.

එහෙත් දැන් බාහිර මූල්‍ය පරතරය ඊට වඩා ඉහළ මට්ටමක පවතින බැවින් එම ප්‍රතිශතය ලබාගැනීම අභියෝගයක් විය හැකියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් දිගුකළ අරමුදල් පහසුකමේ වාරිකය මෙන් සියයට 400 ක් හිමිවන්නේ නම් එය ඩොලර් බිලියන 3 ක් පමණ වනු ඇති බව සඳහන්.

මෙරට විදේශ මුදල් අර්බුදයට පිළියමක් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිල සාකච්ඡා ලබන 18 වන දා ආරම්භ කිරීමට නියමිත යි ෴

***************************************

ගාලු මුවදොර විරෝධයට සතියයි

(15.04.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – ගාලු මුවදොර ඇරඹි ජනතා විරෝධතාවට අදට (15) සතියක් සපිරෙනවා.

විරෝධතා භූමියේ රැය පහන් කිරීම සඳහා ඊයේ (14) අලුත් අවුරුදු දින රාත්‍රියේත් විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණා.

අද (15) පෙරවරුවේද ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා සහ අදහස් දැක්වීම් පැවති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාවට එක්ව සිටින පිරිස් වෙනුවෙන් වෛද්‍ය කඳවුරු, පුස්තකාල ආදී ස්වේච්ඡා සේවා අදත් ක්‍රියාත්මක යි.

විරෝධතා භූමියේ එකතුවන කසළ නිසි පරිදි එක් රැස් කර ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා යොමු කිරීමට යි එහි සිටින ස්වේච්ඡා කණ්ඩායම් කටයුතු කර ඇත්තේ.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සහ රට තුළ පවතින වර්තමාන ගැටළුවලට සාධාරණය ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අද (15) පෙරවරුවේ එම විරෝධතා භූමියේදී පැය විසි හතරක සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

***************************************

තාරුණ්‍යයේ අරගලයට 4G , 5G පහසුකම් ?

(15.04.2022 – 15:25 +0530 – hirunews.lk/sinhala)

7 වැනි දිනටත් ක්‍රියාත්මක වන, ගාලුමුවදොර අරගල පිටියේ සිටින විරෝධතාකරුවන් වෙනුවෙන්, අද (15) සිට නොමිලේ 4G , 5G පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සිංහල අළුත් අවුරුද්ද පැවැති ඊයේ (14) දිනයේත් මෙම විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටියා.

කෙසේ වෙතත්, අප වාර්තාකරු සඳහන් කළේ, එම ස්ථානයේ සම්ප්‍රේෂණ කුළුණක් සවි කර ඇති නමුත් මේ වන තෙක් එයට සම්බන්ධතාවය ලබා දී නොමැති බවයි.

එහි පැමිණි තාක්ෂණ ශිල්පීන් සඳහන් කර තිබුණේ, මෙය අරගල භූමිය වෙනුවෙන් ම සවි කරනු ලැබූවක් බවයි.

මේ අතර අරගල භූමියේ දී තවත් සුවිශේෂී සිදුවීමක් දක්නට ලැබුණා.

ඒ පිළිබඳ ඡායාරූප ද මේ වනවිට විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලා හි සංසරණය වනවා.

ඒ අදට යෙදී ඇති මහ සිකුරාදා දිනය නිමිත්තෙන්, දෙවියන් වහන්සේ සිහිපත් කරමින් සහ රුදුරු බෝම්බ ප්‍රහාරයෙන් 2019 අප්‍රේල් 21 වැනි දින දිවි අහිමි වූ කතෝලික වැසියන් සිහිපත් කර ඉටිපන්දම් දල්වා තිබීමයි.

***************************************

අරගලයට සහාය දැක්වූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

(15.04.2022 – 15:42 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර විරෝධතාවයට එක්වූ පොලිස් සැරයන්වරයා කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.

ඊයේ (14) එම පොලිස් සැරයන්වරයා කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවූ අවස්ථාවේදීයි.

මෙම පොලිස් සැරයන්වරයා පොලිස් නිල ඇඳුමින් සැරසී ගාලුමුවදොර විරෝධතාවයට එක්වෙමින් අදහස් දක්වන වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (14) සඳහන් කළේ ඊට අදාළව පොලිස් සැරයන්වරයාට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන බවයි.

මෙම සැරයන්වරයා දැනට සිරිපාගම පොලිසියේ විශේෂ රාජකාරී පදනම යටතේ රාජකාරී කරනු ලබන අතර සිරිපාගම පොලිස් ස්ථානයෙන් අනවසරයෙන් පිටව ගොස් ඊයේ (14) ගාලු මුවදොර වෙත පැමිණ තිබූ අතර, ඔහුගේ මෙම ක්‍රියාකලාපය ශ්‍රී ලංකා පොලිසියට බරපතල අපකීර්තියක් එක්කර ඇති බවයි එම නිවේදනයේ දැක්වුණේ.

මෙම පොලිස් නිලධාරීයා කුට්ටිගල පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන අතර, ඔහු 1989 වසරේ පොලිසියට එක්ව තිබෙනවා.

විවිධ පොලිස් ස්ථානවල සේවය කිරීමේදී විෂමාචාර ක්‍රියාවලට හසුවීම හේතුවෙන් ඔහු දඬුවම් සහ වැඩතහනමට ලක්ව ඇති බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා.

මේ අතර, කොළඹ – ගාලු මුවදොර ඇරඹි ජනතා විරෝධතාවට අදට සතියක් සපිරෙනවා.

විරෝධතා භූමියේ රැය පහන් කිරීම සඳහා ඊයේ (14) අලුත් අවුරුදු දින රාත්‍රියේත් කලාකරුවන් ඇතුළු විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණා.

විරෝධතාවට එක්ව සිටින පිරිස් වෙනුවෙන් වෛද්‍ය කඳවුරු, පුස්තකාල ආදී ස්වේච්ඡා සේවා අදත් ක්‍රියාත්මකයි.

එසේම, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සහ රට තුළ පවතින වර්තමාන ගැටළුවලට සාධාරණය ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් එම විරෝධතා භූමියේදී පැය විසි හතරක (24) සත්‍යග්‍රහයක් ආරම්භ කළේ අද (15) පෙරවරුවේයි.

කලාකරුවන් පිරිසක් ද බොරැල්ල – සුදර්ශි ශාලාවේදී ද ‘විලාපය’ නමින් විරෝධතා වැඩසටහනක් සංවිධාන කර තිබුණා.

මේ අතර, පවතින තත්ත්වයට විරෝධය පළ කරමින් අම්බලංගොඩ හා කලගෙඩිහේන ඇතුළු ප්‍රදේශවල අද දිනයේදීත් විරෝධතා සංවිධාන කර තිබුණා ෴

***************************************

“ජනතාව ආණ්ඩුව සමග උරණ වී සිටින්නේ ඇයි ද යන්න මට වැටහෙනවා” – නාමල් රාජපක්ෂ

(15.04.2022 – 16:14 +0530 – hirunews.lk/sinhala)

ජනතාව ආණ්ඩුව සමග උරණ වී සිටින්නේ ඇයි ද යන්න තමන්ට වැටහෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එසේ වුව ද, කෝපයට පමණක් නොව විසඳුම් සෙවීම සඳහා ද කාලය එළඹ ඇති බවට ඔහු අවධාරණය කරනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, ThePrint නමැති ඉන්දීය ඉන්ටර්නෙට් පුවත්පතක මාධ්‍යවේදිනියක සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදීයි.

ජනාධිපතිවරයා සහ රජය මීට වඩා විවෘතව රට වෙනුවෙන් කරන සැලසුම් ගැන හඬ නැගිය යුතුව තිබුණු බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

***************************************

වැඩි මිලට අලෙවි කිරීමට සැගවූ ගෑස් තොගයක් ගිනිගත්හේනේ නිවසකින් හමුවේ

(15.04.2022 – 16:57 +0530 – hirunews.lk/sinhala)

වැඩිමිලට අලෙවි කිරීම සදහා ගිනිගත්හේන අඹගමුව ශාන්ත ජනපදයේ නිවසක සඟවා තිබු ගෘහස්ථ ගෑස් සිලින්ඩර 230 ක් සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත පොලිසිය සහ නුවර එළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ද එක සිදුකළ වැටලීමකදි මෙම ගෑස් සිලින්ඩර තොගය සොයාගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 177 ක්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩර 28 ක් සහ කිලෝග්‍රෑම් 2.4 සිලින්ඩර 25 ක් සොයාගත් ගෑස් සිලින්ඩර තොගය අතර වනවා.

ගෑස් සඟවා තිබූ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෙට (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

‘දේවාලවල දොරගුලු ඇරලා දැන්වත් එළියට එන්න’ – ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න

(15.04.2022 – 17:48 +0530 – hirunews.lk/sinhala)

අඛණ්ඩව අද (15) සත්වැනි දිනටත් ක්‍රියාත්මක ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලයට මේ දිනවල විශාල වශයෙන් කලාකරුවන් පැමිණෙමින් සිය සහාය අරගලකරුවන් හට පළ කරමින් සිටිනවා.

ඒ අනුව අද (15) පෙරවරුවේ දී ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න සූරින් ද සිය සහාය තරුණ අරගලයට ලබාදීමට පැමිණියා.

කිසිදු පක්ෂයක්, පාටක්, ජාතියක් හෝ කුලයක් රහිතව තමන් මෙම තුරුණු ජවයට සහාය පළ කිරීමට අරගල බිමට පැමිණි බවයි ටී.එම්. ජයරත්න සූරින් කියා සිටියේ.

මහජනතාව වෙනුවෙන් පමණක් තමන් අරගලයට එක්වෙමින්, සිටින අතර, මෙලෙස ජනතාව දරු මල්ලෝ ද සමගින් කූඩාරම් යට දිවා රෑ නොතකා දුක් විඳිනුයේ, තවදුරටත් පාලක පක්ෂයේ පීඩිත පාලනය දරාගැනීම ඉක්මවා ගිය බැවින් බවයි හෙතෙම පවසන්නේ.

එවන් විශිෂ්ට ජනතාවට තමන් ප්‍රණාමය පුදකර සිටින අතර, දේවාලය ඇතුළට වී සිටින අයට ටී.එම්. ජයරත්න සූරින් කියා සිටියේ, දැන්වත් ජනතාවට ඇහුම්කන් දී දේවාලයේ දොරටු ඇර, එළියට පැමිණෙන ලෙසයි.

මේ වනවිටත් තමන්ට මේ පීඩිත පාලන ක්‍රමයෙන් හෙම්බත් වී සිටින ජනතාව ගැන දැනෙනුයේ, ‘අඳුරු කුටිය තුළ දොරගුලු ලා ගෙන.. ගැයෙන ගීතිකා දෙවියන් හට නෑසේ ’ යනුවෙන් බව ද ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න සූරින් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *