අවුරුදු උදාවෙන් පසුවත් තෙල් පෝලිම්

අවුරුදු උදාවෙන් පසුවත් තෙල් පෝලිම්

*********************************************

අවුරුදු උදාවෙන් පසුවත් තෙල් පෝලිම්

(14.04.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු උදාවෙන් පසුවත් බොහෝ පිරිස් පැමිණීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත පෝලිම් දක්නට ලැබෙනවා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද (14) දිනයේ දිවයිනට ළගා වීමට නියමිත බවයි.

එහෙත්, මේ වනවිට දැඩි පෙට්‍රල් හිඟයක් පවතින බවට ජනතාව චෝදනා කළා.

***************************************

ශ්‍රී ලංකාවේ විදෙස් ණය පියවීමේ සැලැස්මකට අයි.එම්.එෆ්. සහාය

(14.04.2022 – 16:27 +0530 – hirunews.lk/sinhala)

විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණයේ විශේෂිත බලපෑම් සම්බන්ධයෙන් ඇගයීමක් සිදු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

කෙසේ නමුත්, ණය හිමියන් සමඟ ගෙවීම් සැලසුමකට යෑම සම්බන්ධයෙන් තම සහය පළ වන බවයි එමඟින් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ අයි.එම්.එෆ් දූත කණ්ඩායමේ ප්‍රධානී මසාහිරෝ නොසාකි කියා සිටියේ මෙරට මූල්‍ය ප්‍රයත්නයන් සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සැකසුම් පමණක් ණය තිරසරභාවය ඇති කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.

මේ නිසා ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සහයෝගිතා සංවාදයකට එළඹීමේ පියවරට මූල්‍ය අරමුදල සහය වන බව ඔහු කියා සිටියා.

මෙරට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 51 ක් පමණ වන බව සඳහන් ෴

***************************************

ලෝක බැංකුව සහ අයි.එම්.එෆ්. දුන් සහනයෙන් ලැබෙන ගෑස් තොගයක් නුදුරේදී ම දිවයිනට

(14.04.2022 – 17:32 +0530 – hirunews.lk/sinhala)

රජයේ මැදිහත් වීමෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා විදේශ විනිමය ප්‍රතිපාදන සමගින් මෙට්‍රික් ටොන් 8500 ක ගෑස් තොගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම ගෑස් තොගය ළඟඳීම දිවයිනට ළඟාවනු ඇති.

මේ වනවිට අමරිකානු ඩොලර් මිලියන 10 ක ගෑස් ලැබී ඇති අතර, යළි ගෑස් නිෂ්පාදන කටයුතු අප්‍රේල් මස 18 සිට නැවත ආරම්භ වන බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් 11,000 ක් බෙදා හැර ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පැවසුවේ.

+++++++

ලිට්රෝ ගෑස් නිෂ්පාදන කටයුතු සඳුදා (18) සිට යළිත්

(14.04.2022 – 20:21 +0530 – hirunews.lk/sinhala)

ගෑස් නිෂ්පාදන කටයුතු ලබන සඳුදා (18) සිට යළි ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ රජයේ මැදිහත් වීමෙන් ලෝක බැංකු ආධාර යටතේ ගෑස් ආනයනයට අවශ්‍ය ඩොලර් මිලියන 10 ක් ලබා ගැනීමට හැකිවූ බවයි.

ඒ යටතේ ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් 8,500 ක් මෙරටට ලැබීමට නියමිත බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ලෝක වෙළඳපොලේ මිල ඉහළ යද්දී මෙරට ගෑස් මිල ප්‍රමාණවත් ලෙස මිල ඉහළ නොදැමීම සහ පසුගිය මාස 2 තුල ප්‍රමාණවත් පරිදි ණයවර ලිපි නිකුත් නොකිරීම මෙන්ම උත්සව සමයේ ඉල්ලුම වැඩි වීම යන හේතුන් මත මේ වන විට ගෑස් තොග සියල්ල අවසන් වී ඇති බව එම සමාගම පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී පමණක් සමාගමට රුපියල් මිලියන 2600 ක අලාභයක් සිදුව ඇති බවයි එමගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එවන් තත්වයක් තුළ ගෑස් බෙදාහැරීම නවතා දැමුණු ඊයේ (13) දින දක්වා මෙම මාසයේ ගතවූ දින 13 තුළ ගෑස් සිලින්ඩර ලක්ෂ 8 ක් වෙළඳපොලට නිකුත් කර තිබෙනවා.

මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාව ඉදිරි පැය කිහිපයේදී දිවයිනට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

එම සංස්ථාව සඳහන් කලේ ඒ අනුව දිවයින පුරා ඩීසල් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට හැකි වනු ඇති බවයි.

ලබන 22 වනදාට පෙර ඩීසල් මෙට්‍රික් ටොන් 37,000 ක් රැගත් තවත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කළා. මෙම මාසය තුළ මෙරටට ආනයනය කිරීමට නියමිත මුළු ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 265,000 ක්.

කෙසේ වෙතත් සිංහල – දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබෙන අද (14) දිනයේදීත් දිවයින පුරා ඉන්ධන හල් රැසක් වසා තිබූ අතර විවෘතව පැවති පිරවුම් හල් වල පෝලිම් පැවතුණා.

මේ අතර අද (14) මෙන්ම හෙට (15) සහ අනිද්දා (16) දිනවලදීද පෙර දැනුම් දුන් පරිදි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළේ ලබන 17 වනදා සිට විදුලි කප්පාදුව සිදුකරන ආකාරය පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි.

බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලැබීම සහ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාවේ ප්‍රමාණය මත එය තීරණය වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කලේ.

***************************************

නිල ඇඳුමින් සැරසී අරගල බිමට ගිය පොලිස් සැරයන්වරයාට විනය පියවර

(14.04.2022 – 20:28 +0530 – hirunews.lk/sinhala)

නිල ඇඳුමින් ගාලුමුවදොර විරෝධතාකරුවන් අතරට ගොස් ඔවුන්ට සහාය දක්වන ප්‍රකාශයක් සිදු කළ පොලිස් සැරයන්වරයෙකුට විනය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (14) පෙරවරුවේ මෙම නිලධාරියා විසින් නිර්පාක්ෂික අරගල බිමට ගොස් රාජකාරි නිල ඇඳුමින් අරගලයට එක්වීම මතයි.

මෙම සිදුවීම මත අනාවරණ තොරතුරු මත නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මේ අතර, සිංහල – දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සැමරූ ගාලු මුවදොර විරෝධතා භූමිය ආශ්‍රිත විරෝධතාවය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

රටේ උද්ගතව ඇති අර්බුද වලට විසඳුම් ඉල්ලා පසුගිය 09 වනදා ඇරඹි මෙම විරෝධතාව අද (14) ක්‍රියාත්මක වන්නේ 6 වන දිනටයි.

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සමරන අද (14) දිනයේ විරෝධතා භූමිය තුළ අවුරුදු නැකැත් චාරිත්‍ර ඉටු කිරීමට විරෝධතාකරුවන් කටයුතු කළා.

විරෝධතාවයේ නිරත පිරිස් විවිධ ක්‍රීඩාද සංවිධානය කර තිබූ අතර ඔවුන් එම ස්ථානයේ සිට නූතන රබන් පද වාදනය කළා.

***************************************

අවසර ලද අයට පමණක් බූලි හා කෑන්වලට තෙල් දෙනවා – සිපෙට්කෝ සභාපති

(14.04.2022 – 21:26 +0530 – hirunews.lk/sinhala)

අවසර ලබා දී ඇති පාර්ශ්වයන්ට හැර අනෙකුත් පුද්ගලයින්ට තවදුරටත් බූලි සහ කෑන්වලට පිරවුම්හල්වලින් පෙට්‍රල් හෝ ඩීසල් ලබා නොදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.

රට තුළ පවතින දැඩි ආර්ථික අවපාතයත් සමග විශාල වශයෙන් ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබෙනවා.

මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල විශාල වශයෙන් පෝලිම් මෙන් ම ඇතැම් පිරවුම්හල් ඉන්ධන අවසන් වීම හේතුවෙන් වසා දමා ඇති අයුරු ද දක්නට පුළුවන් ෴

***************************************

‘අයුබෝවේවා’ ගීතය ගැයුවාට මට සමාවෙන්න.. ඒ ගැන මා පසුතැවෙනවා.. – සහේලි ගමගේ ජාතියෙන් සමාව ඉල්ලයි..

(14.04.2022 – 22:02 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකාව අද වන විට පත්වී ඇති අවාසනාවන්ත තත්වයට තමන් විසින් ගැයූ ‘ආයුබෝවේවා’ ගීතය කිසියම් අයුරකින් හෝ හේතු සාධකයක් වූවානම් සියලු දෙනාගෙන්ම සමාව අයදින බව එම ගීය ගායනා කල සහේලි ගමගේ සදහන් කරයි.

එම ගීතය හුදෙක් කාලාණුරූපිතව ගැයූ ගීතයක් පමනක් වන අතර මෙම ගීතය ගායනා කිරීම පිලිබඳ තමන් තුල ඇත්තේ ඉමහත් පසුතැවීමක් බවත් ඇය පවසයි.

මේ බව සදහන් කරමින් ඇය තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය :

‘ආයුබෝවේවා’ ගීතය ගැන ඔබ නොදන්නා කෙටි සටහනක් තැබීමට සුදුසුම අවස්ථාව දැන් බව මට හැඟේ.

තිස් අවුරුදු යුද්ධයෙන් හෙම්බත්ව පීඩිතව තිබූ අප රට එයින් මුදාගැනීම නිසා උද්දාමයට පත්වූ සුව හසක් ශ්‍රී ලාංකිකයන්ගේ හදගැස්ම ගීතයකින් එළිදැක්වීමේ උතුම් අරමුණට මගේ හඬ දායක කිරීම රට වෙනුවෙන් කළහැකි යුතුකමක් ලෙස මම සැලකුවෙමි. මෙම ගීතය කිසිදු දේශපාලන පක්ෂයක මදිහත්වීමකින් තොරව, මා සහ මාගේ දෙමාපියන්ගේ අදහසකින්, ස්ව මූල්‍යමය දායකත්වයෙන් කිසිදු ප්‍රතිලාභයක් නොපතා නිර්මල චේතනාවකින් නිර්මාණය කරන ලද්දකි.

මේ ගීතය නිසා එවකට යොවුන් තරුණියක් ලෙස මා ලද උපහාස, අපහාස නිමක් නැත. අදටත් එය එසේමයි. මාගේ මාතෘභූමියට මා අසීමිත ලෙස ආදරය කළත්, අද මා විදේශ ගතව ජීවත් වන්නේත්, මගේ රට වෙනුවෙන් ගායිකවක් සහ වෛද්‍යවරියක් ලෙස කළහැකි කලයුතු මෙහෙවර බොහෝ දුරකට මගෙන් අත් හැරුණෙත්, මේ ගීතය නිසයි. එය අදටත් මට දරාගත නොහැකි වේදනාවක්. තවද බොහොමයක් ඔබ දන්නා ‘ආයුබෝවේවා’ ගීතයට සමගාමීව, මා විසින් කුරිරු යුද්ධයෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සමරමින් ‘සත්‍යය ඔබයි’ ගීතය එලිදැක්වුවද, නොසිතූ ලෙස ‘ආයුබොවේවා’ ගීතය එය අභිබවා ජනගත වීම, මා දේශපලන ගැත්තෙකු සේ හංවඩු ගැසීමට හේතුවක් වුණ බව මාගේ අදහසයි.

කෙසේ වෙතත්, ‘අයුබෝවේවා’ ගීතය වෙනුවෙන් සියලුම මුදල් Mobitel සහ Dialog ‘RingIN Tone’ ඔස්සේ ලැබුනු අතර, එම සියලුම මුදල් යුද්ධයෙන් ආබාධිතවූ වීරෝධාර රණවිරුවන් උදෙසා ඉදිකෙරුණු අභිමංසල ව්‍යාපෘතියටත්, රණවිරු නිවාස ඉදිකිරීමටත්, අනෙකුත් විවිධ රණවිරු සුභසාධක කටයුතු සහ පිළිකා රෝගීන්ගේ සුභසාධනය සඳහාත් යෙදවීමට මට භාග්‍යය ලැබුණා. අවසානයේ මාහට ඉතිරි වූයේ එම පරිත්‍යාගශීලී සතුට පමණයි.

අද වනවිට අපේ මාතෘ භූමිය පත්වී ඇති අවාසනාවන්ත තත්වයට මා ගැයූ ‘ආයුබෝවේවා’ ගීතය කිසියම් අයුරකින් හෝ හේතුසාධකයක් වූවානම් මම මාගේ රට වෙනුවෙන් ඔබ සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. එපමණක් නොව, මෙය හුදෙක් කාලාණුරූපිතව ගැයූ ගීතයක් පමනක් වන අතර මෙම ගීතය ගායනා කිරීම පිලිබඳ මා තුල ඇත්තේ ඉමහත් පසුතැවීමකි. මා දිවයිනෙන් බැහැරව සිටියත් ශ්‍රී ලාංකික ඔබ සැමගේ මෙම අභීත ජන අරගලයට මා ඉතිසිතින්ම දායක වෙමි. අදත් හෙටත් මාගේ මාතෘ භූමියේ අභිවෘද්ධිය සඳහා කරන ඕනෑම ජන අරගලයකට මා නොබියව දායක වෙමි.

මාගේ මාතෘ භූමිය දිනේවා!
ඔබ සැමට ජයෙන් ජයම වේවා!

ලැබුවාවූ මෙම අලුත් අවුරුද්ද ඔබ හැමගේම සිතුම් පැතුම් ඉටුවන, සතුටින් පිරි වාසනාවන්ත යුගයක ඇරඹුමම වේවා!

සහේළී ගමගේ

+++++++

2009 යුද ජයග්‍රහණයත් සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රතිරූපය ඉහළනැංවීම සඳහා නිර්මාණයවූ ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ලියූ රචකයා මෙන්ම ගැයූ ගායිකාව එම නිර්මාණය සිදුකිරීම සම්බන්ධයෙන් දැන් පසුතැවෙන බවත් සමාව අයදින බවත් දන්වා ඇත.

පසුගිය 13 වනදා ගෝල්ෆේස් පිටියේ අරගල භූමියට පැමිණි මෙම ගීතයේ රචක සුනිල් ආර්. ගමගේ එම ගීතය ලිවීම සම්බන්ධයෙන් ජනතා අධිකරණයෙන් තමන් නිදොස් කොට නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව මයික්‍රෆෝනයෙන් පිරිස අමතා පැවසීය.

තමන් අද සිටින්නේ එදා සිටි තැන නොවන බවත් අද සිටින්නේ නව පරපුරේ දරුවන් සමග බවත් ඔහු එහිදී සඳහන් කළේය.

මේ අතර මෙම ගීතය නිසා විශාල මුදලක් හරිහම්බ කළ බවට ඒ දිනවල ආරංචි පැතිරගිය සහේලි ගමගේ ගායිකාව සයිටම් වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය විද්‍යාව හදාරා මේවනවිට ඕස්ට්‍රෙලියාවේ වෛද්‍යවරියක ලෙස සේවය කරන අතර ඇය එහි සිට ෆේස් බුක් ඔස්සේ පණිවිඩයක් තබමින් මේ කටයුත්තට දායකවීම ගැන ජාතියෙන් සමාව අයැද සිටින්නීය.

gossiplankanews.com

***************************************

ගිනිකෙළි අනතුරුවල අඩුවක්

(14.04.2022 – 12:52 +0530 – hirunews.lk/sinhala)

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ගිණිකෙලි අනතුරුවල ශීඝ්‍ර පහළ යාමක් දක්නට ලැබෙනවා.

ගත වූ පැය 24 තුල ගිනිකෙළි අනතුරු හේතුවෙන් රෝහල් ගත කර ඇත්තේ රෝගියෙකු පමණක් බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ.

මීට අමතරව, එම කාලසීමාව තුල මහාමාර්ග අනතුරු 38 ක්, නිවසේ සිදුවූ අනතුරු 20 ක්, වැටීම් ආශ්‍රිත අනතුරු 45 ක්, කලකෝලහාල හේතුවෙන් 27 දෙනෙකු ප්‍රතිකාර ගැනීම සඳහා ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා ෴

***************************************

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළට

(14.04.2022 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත ඉහළ නැංවීමේ ප්‍රවණතාව සහ ශක්තිමත් ඩොලරය හමුවේ වුව ද ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව, රන් අවුන්සයක ඉදිරි වෙළඳපොල මිල ඇමෙරිකානු ඩොලර් 1945.60 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ සතියේ වර්ධනය සියයට 1.1 ක් ෴

***************************************

මිලියන 45 ක කේරළ ගංජා සමග 3 දෙනෙකු නාවික හමුදා භාරයට

(14.04.2022 – 13:39 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 45 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 150 ක් සමග සැකකරුවන් 3 දෙනෙකු උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ඊයේ (13) රාත්‍රීයේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

සැකකරුවන් 22 සහ 49 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් ඉදිරි විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාර දී තිබෙනවා.

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකා පූගොඩ කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මල්වාන ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සමග 23 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

මීතොටමුල්ල කසල කන්ද නාය ගොස් වසර 5 යි

(14.04.2022 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මීතොටමුල්ල කසල කන්ද නාය ගොස් අදට (14) වසර 5 ක් සපිරෙනවා.

2017 වසරේ අප්‍රේල් මස 14 වන දින මීතොටමුල්ල කසල කන්ද නායගිය අතර, ඉන් මීතොටමුල්ල – දහම්පුරය ගම්මානයේ පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

නිවාස 145 කට ආසන්න ප්‍රමාණයක් කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් විනාශ වූ අතර, පවුල් 180 කට අයත් පුද්ගලයින් 625 දෙනෙකු ඒ හේතුවෙන් අවතැන් වුණා ෴

***************************************

හිරුගේ භූ චුම්භක මාරුතයක් අද මහ පොළොවට

(14.04.2022 – 16:20 +0530 – hirunews.lk/sinhala)

සූර්යයාගේ අධි ශක්ති මුදාලීමේ ක්‍රියාදාමය මගින් හටගත් භූ චුම්භක කුණාටුවක් අද (14) පෘථිවිය වෙත යොමුවන බව අමෙරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.

එමඟින් පෘථිවිය මත විදුලි ග්‍රිඩ් පද්ධති සහ බලශක්ති සැපයුම්වලට ද බාධා එල්ල විය හැකි බවයි නාසා ආයතනය සඳහන් කළේ.

මෙම මධ්‍ය ප්‍රමාණයේ භූ චුම්භක කුණාටුව පැයකට කිලෝමීටර් විසිඑක් ලක්ෂයක (21,00,000) පමණ වේගයකින් හිරුගේ සිට පෘථිවියට පැමිණෙනවා.

මෙම හිරු කුණාටු ප්‍රබලතාව අනුව G-1 සිට G-5 දක්වා වර්ගීකරණය කර ඇති අතර, අද (14) පෘථිවියට ළඟා වන්නේ G-2 මට්ටමේ කුණාටුවක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *