අගමැතිගේ ආරාධනය ගාලුමුවදොර තරුණයන් ප්‍රතික්ෂේප කරයි

අගමැතිගේ ආරාධනය ගාලුමුවදොර තරුණයන් ප්‍රතික්ෂේප කරයි

*********************************************

අගමැතිගේ ආරාධනය ගාලුමුවදොර තරුණයන් ප්‍රතික්ෂේප කරයි

(13.04.2022 – 19:55 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරිමට සුදානම් නොමැති බව ගාලුමුවදොර විරෝධතාවයේ නිරත තරුණ පිරිස් ප්‍රකාශ කළා.

ඒ රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අපේක්ෂා කරන බවට අග්‍රාමාත්‍ය කාර්යාලය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මේ අතර, ගාලු‍ මුවදොර විරෝධතාවට අද (13) කලාකරුවන් වන නිශ්ශංක දිද්දෙණිය, ජයන්ත චන්ද්‍රසිරි, සෝමරත්න දිසානායක සහ රෝහණ විරසිංහ ද එක්ව සිටියා.

විරෝධතාවට එක්ව සිටින පිරිසට ආහාර පානවලට අමතරව ඖෂධ මෙන්ම පුස්තකාල පහසුකම්ද සපයා තිබෙනු දක්නට ලැබුණා.

අද (13) දිනයේදි එම ස්ථානයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොෂාන් මහානාම සහ චම්පක රාමනායක ද එක්වුණා.

***************************************

මන්ත්‍රීවරුන් මුදලට ගැනීමට උත්සාහ නොකරන්න – සජිත්ගෙන් බැසිල්ට අවවාදයක්

(13.04.2022 – 18:04 +0530 – hirunews.lk/sinhala)

සිය බලය රැකගැන්ම වෙනුවෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මේ වනවිට මන්ත්‍රීවරුන් මුදලට මිලදී ගැනීමට උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

ලාබෙට බලය රැකගැන්ම උදෙසා සිදු කරන මෙවැනි ක්‍රියාදාම වහාම නවත්වන ලෙස ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටිනවා.

විපක්ෂ නායකවරයා කියා සිටින්නේ, මන්ත්‍රීවරුන් විකිණීමට නොමැති අතර, බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගත් අනිත් භාණ්ඩ සේ එම ක්‍රියාවලිය පහසු නොවන බවයි.

මේ අතර, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද ප්‍රකාශ කළේ, හිටපු මුදල් අමාත්‍යවරයා අමාත්‍ය ධුර ලබා දී මන්ත්‍රීවරුන් නම්මා ගැනීමට උත්සාහ කරන බවයි ෴

***************************************

මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන හරහා මේ අර්බුදය විසඳන්න බෑ – රනිල් වික්‍රමසිංහ

(13.04.2022 – 15:57 +0530 – sinhala.adaderana.lk)

සියලුම විදේශ ණය ආපසු ගෙවීම රජය විසින් අත්හිටුවීමට තීරණය කිරීමත් සමග අර්බුද රැසක් නිර්මාණය වෙමින් ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ඉන් රටේ බැංකු ක්ෂේත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇති බවය.

රජයේ එම තීරණය හරහා රට බංකොලොත් බව රජය විසින් නිවේදනය කිරීමක් බවද ඔහු පෙන්වා දෙයි.

මැයි මාසයේ මැද භාගය වනවිට ඉන්දියානු ණය පහසුකම අවසන් වන බවත් විදේශ විනිමය නොමැතිකම හේතුවෙන් ජුනි මාසය වනවිට පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෙසේවෙතත් මේ මොහොතේ මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන මගින් රටේ අර්බුදය විසඳෙන්නේ නැති බවත් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ හේතුවෙන් රජය කිසිදු කොන්දේසියකින් තොරව අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ සම්බන්ධ කරගත යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

• නිවේදනය : [පිටුව 1][පිටුව 2]

***************************************

ශ්‍රී ලංකාවේ ආර්ථික අවපාතය ලෝක බැංකුව කනස්සල්ලට පත් කරන්නක් – ෆාරිස් හඩාඩ් සර්වෝස්

(13.04.2022 – 21:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ලෝක බැංකු අධ්‍යක්ෂවරයා වන ෆාරිස් හඩාඩ් සර්වෝස් (Faris Hadad-Zervos) සිදු කර තිබෙනවා.

අධ්‍යක්ෂවරයා පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ මේ වනවිට උද්ගතව පවතින දැඩි ආර්ථික වියවුල්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ලෝක බැංකුව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

ආර්ථික අවපාතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට ඇතිවන බලපෑම සහ එලෙස ජනතාව පීඩිත වීමට ඇති ප්‍රධානතම හේතුව වන්නේ එරට පවතින අවිනිශ්චිත ආර්ථික දැක්ම බව ද හෙතෙම පෙන්වා දෙනවා.

දිළිඳු සහ අවදානමට ලක්වූවන්ට හදිසි ආධාර සැපයීමට සහ ජනතාවගේ යහපැවැත්ම සඳහා ලෝක බැංකුව කැපවී සිටින බවයි ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴

***************************************

සාකච්ඡාවට ආණ්ඩුව කැමති වීම ම අරගලයේ ජයග්‍රහණයක් – හිටපු මැ.කෝ

(13.04.2022 – 21:38 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලකරුවන් සමග තමන් හමු වී සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින්, ඒ බව කියා සිටියේ අද (13) පෙරවරුවේදීයි.

එහෙත් අදාළ සාකච්ඡාව තමන් ප්‍රතික්ෂේප කරමින් විරෝධතාවයේ නිරත පිරිස අග්‍රාමාත්‍යවරයාට යැවූ බව සඳහන් පිළිතුරු ලිපි කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ඒ පිළිබඳව උද්ඝෝෂණ භූමියේ රැඳී සිටින පිරිස ද ප්‍රතිචාර දැක්වුවා.

අරගලකරුවන් පවසන්නේ, කිසිදු සාකච්ඡාවක් අවශ්‍ය නොවන බවත්, වහාම පාර්ලිමේන්තුවේ 225 දෙනා ඉල්ලා අස්වී යා යුතු බවත් ය.

මේ අතර, මෙම නිර්පාක්ෂික අරගලකරුවන් අග්‍රාමාත්‍යවරයාට ලබාදුන් පිළිතුරට හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ද අදහස් පළ කර තිබෙනවා.

සිය නිල ෆේස් බුස් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා ඇත්තේ, පළමුකොට සාකච්ඡාවට ආණ්ඩුව කැමති වීම ම අරගලයේ ජයග්‍රහණයක් බවයි.

සාකච්ඡා යනු අරගලය විසඳීමේ සහ ජයග්‍රහණය කිරීමට ඇති හොඳම උපාය මාර්ගයක් බවත්, කිසිසේත්ම අරගලකරුවන් එම ආරාධනය ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බව ද හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එවන් තත්ත්වයක් තුළ ගාලු මුවදොර ඇරඹි විරෝධතාවය අඛණ්ඩව පස්වන (5) දිනටත් ක්‍රියාත්මක වුණා.

ඊට නම්දරා සිටින ප්‍රවීණ කලාකරුවන් රැසක් ද එක්ව සිටින අයුරු දක්නට ලැබුණා ෴

***************************************

‘GO HOME GOTA’ නමින් වර්ණවත් වූ විදුලි පහන් ආලෝක පුවරුව

(13.04.2022 – 22:49 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර අඛණ්ඩව පස්වැනි (5) දිනටත් පැවැත්වෙන ආණ්ඩු විරෝධි නිර්පාක්ෂික අරගලකරුවන් විසින් කොළඹ වරාය නගරයේ ප්‍රධාන පිවිසීමේ දොරටුව අසල විශාල පුවරුවක් සවිකර ඇති අයුරු දක්නට ලැබෙනවා.

ඒ වර්ණවත් වූ විදුලි පහන් ආලෝක ද භාවිත කරමින්, ‘GO HOME GOTA’ යනුවෙන්.

මීට දින කිහිපයකට පෙර ද ගාලු මුවදොර අව් වැසි නොතකා රැඳී සිටින අරගලකරුවන් විසින් ‘ගෝඨාගෝගම’ යනුවෙන් ද නව ගම්මානයක් සාදා නම්කොට තිබෙන අයුරු දක්නට ලැබුණා.

මේ වනවිට ඒ නමින් ගාලු මුවදොර අරගල භූමියේ ‘ගෝඨාගෝගම විද්‍යාලය’ නමින් නව විද්‍යාලයක් විරෝධතාකරුවන් විසින් නිර්මාණය කර ඇති අයුරු දක්නට ලැබෙනවා.

එමෙන්ම රටක නව පරපුරක සාක්ෂරතාව වගේ ම, ඔවුන්ගේ දියුණු ආකල්පවලට මූලික පදනම ලබාදෙන ‘පුස්තකාලයක්’ ද මෙම නව ගම්මානයේ ඊයේ (12) දින විවෘත කෙරුණා.

එහි විශේෂත්වය නම්, පැමිණෙන සෑම අයෙකුටම දැනුම ලබාගැනීමට අවැසි නම්, පුස්තකාලයට පැමිණ පොතක් ගෙන කියවීමට ඉඩ ලබා දීමයි.

එමෙන්ම, මෙම අරගලයට එන සෑම අයෙකුට ම ඊට අවශ්‍ය කරන ඕනෑම දෙයක් රැගෙන සිය අරගල බිමට ඇති දායකත්වය ද ඊට ලබාදිය හැකි වනවා.

මෙම නව ගම්මානයේ දිනෙන් දින ඇරඹෙන නවාංග පිළිබඳ සේයා රූ සමාජ මාධ්‍ය ජාලවල මේ දිනවල වැඩි වශයෙන් සංසරණය වන අයුරු ද දක්නට ලැබෙනවා.

***************************************

හිටපු ජනපති මෛත්‍රීගේ නිවස රුපියල් කෝටි 800 ක් ද ? – ඇත්ත නැත්ත ගැන මෛත්‍රී කට අරියි

(13.04.2022 – 23:30 +0530 – hirunews.lk/sinhala)

තමන් ජීවත් වන නිවස රුපියල් කෝටි 800 ක නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, තමන්ගේ විරුද්ධ පාක්ෂිකයින් විසින් මඩ ගැසීම සඳහා මෙවන් පුහු කතා මවන බවත්, තම ගෙදර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද නියෝගයක් නිකුත් වූ බවයි.

රුපියල් කෝටි 800 ක් වටින නිවෙස් මෙරට තුළ නොමැති බව පවසන මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ, තමන් අවුරුද්දෙන් පසුව එම නිවසෙන් ඉවත් ව යන බවයි.

එමෙන්ම, සිය පාලන කාලය තුළ දී මෙරට කූඨ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවෙමින් සහ මෙරටට මත්ද්‍රව්‍ය සැපයූ එතෙර අපරාධකරුවන් රැසක් ද දිවයිනට ගෙනැවිත් එල්ලුම් ගහට නියම කිරීමට තමන් කටයුතු කළ බවයි.

***************************************

ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 2 ක්

(14.04.2022 – 06:35 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 2 ක මූල්‍ය ආධාරයක් ලබා දීමට කැමැත්තෙන් පළ කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර සහ ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන්.

මීට පෙර ද ඉන්දියාවෙන් ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර මිල දී ගැනීම වෙනුවෙන් මූල්‍ය ආධාර ඉල්ලීමට ශ්‍රී ලංකාවට සිදු වුණා.

ඒ හිටපු මුදල් ඇමති බැසිල් ‍රාජපක්ෂගේ ඉන්දීය සංචාරය අතරතුර දි යි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *