සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2022

සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2022

*********************************************

සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2022

• පරණ අවුරුද්ද වෙනුවෙන් වැඩ අත් හැරීම :

අප්‍රේල් 14 වැනිදා පූර්ව භාග 2:17 තත්පර 17 සිට අපර භාග 3:05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින් පරණ අවුරුද්ද වෙනුවෙන් වැඩ අත් හැරීම බ්‍රහස්පතින්දා පූර්ව භාග 2:17 තත්පර 17 ට සිදු කළ මැනවි.

අලුත් අවුරුදු උදාව :

අලුත් අවුරුද්ද අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින් දා පූර්ව භාග 8:41 තත්පර 17 උදාවෙයි. අප්‍රේල් 14 පූර්ව භාග 9:05 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද උඳුපිටි මිශ්‍ර කැවිල් වර්ගයක් ද පිළියෙළ කර ගැනීම මැනවි.

• වැඩ අල්ලා ගනු දෙනු කොට ආහාර අනුභවය :

අප්‍රේල් 14 පූර්වභාග 10:17 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනු දෙනු කොට ආහාර අනුභවය සුදුසුයි.

• හිසතෙල් ගෑම :

හිසතෙල් ගෑම අප්‍රේල් 17 වැනි ඉරිදා පූර්ව භාග 07:04 ට දකුණු දිශාව ලබා හිස ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය මැනවි.

• රැකියා සඳහා පිටත්ව යෑම :

අප්‍රේල් 18 වැනිදා සඳුදා පූර්ව භාග 06:51 ට ශ්වෙත වර්ණ වස්ත්‍රාභරයෙන් සැරසී කිරි සහ මිශ්‍ර කිරිබත් හා කැවිලි අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි ෴

lankadeepa.lk

+++++

+++++++

***************************************

රුපියල් මිලියන 6200 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 325 ක පමණ තොගයක් දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට

(13.04.2022 – 11:45 +0530 – navy.lk/si/)

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2022 අප්‍රේල් මස 12 වන දින සවස් කාලයේ ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 ක පමණ හා අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25 ක පමණ තොගයක් රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් සමඟ එම ජාවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක් සහ ත්‍රී රෝද රථයක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් නිවැරදි බුද්ධි තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සති දෙකක (2) කාලයක් පුරා දේශීය මුහුදු තීරය හා ජාත්‍යන්තර මුහුදු තීරය ආවරණය වන පරිදි අඛණ්ඩ සෝදිසි මෙහෙයුමක නිරත විය. ඒ අනුව 2022 අප්‍රේල් මස 12 වන දින සවස කාලයේ ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා මඟින් ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු මෙරට බහු දින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම බහු දින ධීවර යාත්‍රාවේ සුක්‍ෂම ලෙස සඟවා තිබූ උර 13 ක අසුරන ලද හෙරෝයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 ක පමණ හා අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25 ක පමණ තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. එම මත් ද්‍රව්‍ය තොගය සමඟ බහු දින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. පසුව මෙම සිදු වීමට අදාළව සිදු කළ විමර්ශණ මඟින් මෙම ජාවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක් සහ ත්‍රී රෝද රථයක් සමඟ තවත් සැකකරුවන් පස් දෙනෙකු (05) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාව 2022 මාර්තු මස 26 වන දින බේරුවල ධීවර වරායෙන් බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේ දී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහු දින ධීවර යාත්‍රාව වෙත ලබා ගෙන මෙරටට ගෙන ඒමට සැකකරුවන් උත්සහ කරන්නට ඇතැයි සැක කෙරේ. එමෙන්ම, මෙම මෙහෙයුමේ දී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 6200 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 36 ත් අතර වයසේ පසුවන හික්කඩුව, බූස්ස, කලවාන, බෙරිල්ලවත්ත සහ මොරගොඩ ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් 11 දෙනා පිළිබඳ ඉදිරි විමර්ශණ සහ මෙම මත්ද්‍රව්‍ය තොගයයේ වැඩි දුර ගණනය කිරීම් පිළිබඳ කටයුතු මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදු කරමින් පවතී.

තවද, දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ භුමිකාව නොපිරිහෙලා ඉටු කිරිමට රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් සමඟ සම්බන්ධීකරණය වී ඉදිරියටත් මෙවැනි සාර්ථක මෙහෙයුම් අඛණ්ඩ‍ සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.

[සේයාරූ]

‘රුපියල් මිලියන 6200 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 325 ක පමණ තොගයක් දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට’ යන සිරස්තලය යටතේ 2022 අප්‍රේල් 13 වන දින නිකුත්කළ පුවත හා සබැ‍ඳේ

උක්ත පුවතට අදාල මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ වටිනාකම ඒ සම්බන්ධ පසු විමර්ශණ වලදී සංශෝධනය වී ඇති බැවින් උක්ත පුවත පහත පරිදි සංශෝදනය වේ.

රුපියල් මිලියන 6610 කට අධික වටිනාකමකින් යුත් පැකට් 300 අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 330 ග්‍රෑම් 532 පමණ ප්‍රමාණයක් හා රුපියල් මිලියන 98 කට අධික වටිනාකමකින් යුත් පැකට් 10 ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 818 පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව මෙම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාමක රුපියල් මිලියන 6708 කට අධික වෙතැයි විශ්වාස කෙරේ ෴

+++++

***************************************

13, 14 සහ 15 දිනවල විදුලි කප්පාදුවක් නැහැ

(13.04.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

13, 14 සහ 15 දිනවල දිවයින පුරා විදුලිය කප්පාදු නො කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ, සිංහල – දෙමළ අලුත් අවුරුද්ද මුල් කරගනිමින් මෙම පියවර ගත් බවයි.

එමෙන්ම, පවතින වැසි තත්ත්වයත් සමඟ ඉදිරියේ දී විදුලි කප්පාදුව තවත් අවම කර ගැනීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළා.

මේ අතර, ඉන්දීය ණය ආධාර යටතේ හෙට (14) තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ රට තුළ ඩීසල් සහ පෙට්රල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පැවතියත් අවශ්‍ය තරම් පෙට්රල් තොග සංස්ථාව සතුව පවතින බවයි.

කෙසේ වෙතත්, ඊයේත් (12) ඩීසල් සහ පෙට්රල් ලබාගැනීම සඳහා පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා ෴

***************************************

අමාත්‍යාංශවල වියදම් කපන චක්‍රලේඛය ඉක්මන් වන ලකුණු

(13.04.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

වියදම් අඩු කිරීම සඳහා රජයේ අමාත්‍යාංශ වෙත නව චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ රජයේ ඉහළ වියදම් සහ අඩු ආදායම් හේතුවෙන් අයවැය හිඟය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

එම නිසා ආදායම් ඉහළ දැමීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

විදෙස් ණය පියවීමද තාවකාලිකව අත්හිටුවන බව මහ බැංකු අධිපති ඊයේ (12) ප්‍රකාශ කළ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇති ආර්ථික වැඩසටහනක් වෙනුවෙන් එය ක්‍රියාත්මක බවයි ප්‍රකාශ කෙරුණේ ෴

***************************************

විසි වැනි දා (20) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

(13.04.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 97,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වනදා පැවැත්වෙනවා.

එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 47,500 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන මිලියන 27,500 ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 22,500 ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති ෴

***************************************

‘ෆිච් රේටින්ග්ස්’ වෙතින් තවත් දැනුම් දීමක්

(13.04.2022 – 08:57 +0530 – hirunews.lk/sinhala)

බැංකු පද්ධතියේ විදේශ විනිමය හිඟය හේතුවෙන් Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13 ක් පහත හෙලීම සඳහා (Rating Watch negative) නිරීක්ෂණයන් ආරම්භ කර තිබෙනවා.

මීට පෙරත් ෆිච් රේටින්ග්ස් යටතේ ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ඉත පහළ මට්ටමක පවතින බව ප්‍රකාශ කර තිබුණා.

***************************************

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකයින් රැස්වෙයි

(13.04.2022 – 09:05 +0530 – hirunews.lk/sinhala)

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකයින්ගේ විශේෂ රැස්වීමක් ඊයේ (12) පැවැත්වුණා.

ඒ වවුනියාවේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදියි.

වර්තමානයේ රටේ පවතින දේශපාලන ගැටළු මෙන්ම පක්ෂයේ ස්ථාවරභාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සඳහන් කළේ.

එමෙන්ම මැයි දින රැළිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙන අතර එය බොහෝදුරට කිලිනොච්චියේ හෝ වවුනියාවේ පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

විරෝධතාවයේ නිරත තරුණ තරුණියන් හා සකච්ඡා කිරීමට කැමති බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

(13.04.2022 – 09:10 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව අගමැති කියයි.

ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදෙන තරුණ කණ්ඩායම් සමග රජය සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි දිනයකදී විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

මේ වනවිට විරෝධතාකරුවන් පස්වන (5) දිනයටත් අඛන්ඩව විරෝධතාවයේ නිරත වනවා.

දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය 09 වනදා මෙම විරෝධතාව ආරම්භ කෙරුණේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටි විරෝධතා සඳහා වෙන් කර ඇති භූමියේ කූඩාරම් ද සවි කර ගනිමින්.

තරුණ තරුණියන් පවතින රජයට හා ජනාධිපතිවරයාට ඉල්ලා අස් වෙන්න යැයි පවසමින් රාත්‍රිය ද පහන් කරමින් එහි රැඳී සිටිනවා.

***************************************

භාණ්ඩ 367 කට පැනවූ ආනයන සීමා කාලය දීර්ඝ කෙරේ

(13.04.2022 – 09:30 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 367 කට පැනවූ ආනයන සීමාව තවදුරටත් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඊට ආහාර වර්ග සහ විද්‍යුත් උපකරණ ඇතුලු භාණ්ඩ රැසක් ඇතුළත්.

පසුගිය 09 වනදා මධ්‍යම රාත්‍රියේ සිට එය බලපැවැත්වෙන බවයි මුදල් අමාත්‍යාංශය කියා සිටියේ.

මෙලෙස ආනයන සීමා කර ඇති භාණ්ඩ අතරට ඇපල්, බටර්, රටඉඳි, දොඩම්, මුදවපු කිරි, යෝගට් ඇතුලු ආහාර වර්ග මෙන්ම බීර වර්ග විදෙස් මත්පැන් සහ දුම්වැටි වර්ග මෙන්ම සුවඳ විලවුන් හා රූපලාවන්‍ය උපකරණ ද තවදුරටත් ඇතුළත්.

මීට අමතරව, වායු සමීකරණ, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, රයිස් කුකර් සහ තවත් විදුලි උපකරණ රැසක් ද මෙම ආනයන සීමාවට ඇතුළත් වනවා.

පසුගිය මාර්තු මස 09 වනදා විනිමය අර්බුදය සැළකිල්ලට ගනිමින් ආර්ථිකය කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙලෙස භාණ්ඩ 367 ක් සඳහා ආනයන සීමා පනවනු ලැබුවා.

මුදල් අමාත්‍යවරයෙකු විසින් මෙලෙස සීමාවන් පනවමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ විට එය අදාළ මුදල් අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වූ පසු අවලංගු වනවා.

ඒ අනුවයි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නමින් නිකුත් කර තිබූ ආනයන සීමා ගැසට් පත්‍රය තවදුරටත් දීර්ඝ කරමින් වත්මන් මුදල් අමාත්‍ය අලි සබ්රි විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ ෴

***************************************

ආණ්ඩුවට එරෙහි ව විශ්වාසභංගයක් සහ ජනාධිපතිවරයාට එරෙහි ව දෝෂාභියෝගයක් අස්සන් කෙරෙයි

(13.04.2022 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාවලියට එරෙහි ව සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහි ව විශ්වාසභංගයක් සහ ජනාධිපතිවරයාට එරෙහි ව දෝෂාභියෝගයක් අස්සන් කර තිබෙනවා.

මේ සඳහා විපක්ෂ නායක සමඟි පෙරමුණු නායක සජිත් ප්‍රේමදාස ද එක් වූ බව යි වාර්තා වන්නේ.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (12) සිය මන්ත්‍රී කණ්ඩායම සමඟ විපක්ෂ නායක කාර්යාලයේ දී ඊට අදාළ අත්සන් තැබුවා.

ආණ්ඩුවට එරෙහි ව මහපාරේ අරගල කරන ජනතාවගේ හදගැස්ම සමග සමගි ජන බලවේගය එකට හිටගන්න ආ බව පැවසූ විපක්ෂ නායක ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී ගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ලබා ගැනීම උදෙසා කටයුතු කරන බව ප්‍රකාශ කළ බව යි වාර්තා වන්නේ.

විශ්වාස භංගයට සහ දෝෂාභියෝගයට අමතර ව විසිවෙනි (20) සංශෝධනය ආපසු හරවා දහනවවෙනි (19) සංශෝධනය නැවත ක්‍රියාත්මක කිරීම සහ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග හරහා සියලු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් අරගල කිරීම තිරසාර ම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *