CID යට එන්න කාදිනල් හිමියන්ට ආයාචනා කරන බව ආරක්ෂක ලේකම් කියයි

CID යට එන්න කාදිනල් හිමියන්ට ආයාචනා කරන බව ආරක්ෂක ලේකම් කියයි

*********************************************

CID යට එන්න කාදිනල් හිමියන්ට ආයාචනා කරන බව ආරක්ෂක ලේකම් කියයි

(12.04.2022 – 23:15 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට උන්වහන්සේට ආයාචනා කළ හැකි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසනවා.

අද (12) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළකළා.

++++++

පාස්කු ප්‍රහාරයට හේතු කියමින් සහරාන් පටිගත කළ වීඩියෝවක් එළියට

(12.04.2022 – 21:25 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම විසින් පටිගත කරන ලද එම ප්‍රහාර එල්ල කිරීමට හේතු දැක්වෙන වීඩීයෝවක් අද (12) මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 735 දෙනෙකු අතරින් 196 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

***************************************

අද (12) කොවිඩ් මරණ නැහැ

(12.04.2022 – 17:02 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (12) ප්‍රකාශයට පත් කළ කොවිඩ් මරණ සටහන අනුව ඊයේ (11) දිනය තුල කොවිඩ්-19 ආසාදිතයන්ගේ මරණ කිසිවක් වාර්තාවී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,492 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 6,62,657 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 3649 ක් රෝහල්වල හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 6,42,516 ක් ෴

++++++

තවත් කොරෝනා ආසාදිතයන් 60 ක්

(12.04.2022 – 19:39 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 60 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,62,717 ක් ලෙසටයි.

ඉන් ආසාදිතයන් 3709 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 6,42,516 ක්.

මෙරටින් කොරෝනා මරණ 16,492 ක් ද වාර්තාවී තිබෙනවා ෴

***************************************

ඇමරිකාවේ උමං දුම්රිය ස්ථානයක වෙඩි තැබීමක්

(12.04.2022 – 19:57 +0530 – hirunews.lk/sinhala)

අද (12) ඇමරිකා එක්සත් ජනපදයේ ආපන ශාලාවක පුද්ගලයින් කිහිප දෙනෙකුට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

තුවාල ලැබූ 13 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුව කබායක් සහ මුහුණු ආවරණයක් පැළඳ සිටි බවටයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

බෘක්ලින් උමං දුම්රිය ස්ථානයේ තිබී පුපුරා නොගිය උපාංග කිහිපයක් ද සොයා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ ෴

***************************************

කරුණාකරලා ඔයා දූරයෙන් ඉල්ලා අස්වෙලා හිටපු රටට ගිහින් නිදහසේ ඉන්න – විජයදාස රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් (12.04.2022)

***************************************

පක්ෂ 11 ක එකමුතුව විසින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය සාකච්ඡාව – එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ සිට (13.04.2022)

***************************************

ගොඩකවෙල අඹු – සැමි ඝාතනය තවමත් අභිරහසක්

(13.04.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – ගොඩකවෙල – පල්ලෙබැද්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී අඹුසැමි යුවලක් ඝාතනය කිරීම අභිරහසක් බවට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඝාතනය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් මේ වනවිටත් සොයා ගැනීමට නො හැකි වී ඇති බවයි.

කෙසේ වෙතත්, ඝාතනයට සම්බන්ධ පිරිස් සෙවීම සඳහා විමර්ශන කණ්ඩායම් 03 ක් යොදවා ඇති බවද ඔහු සඳහන් කළා.

මෙම අඹුසැමි යුවල සිය නිවසේ සිටිය දී පෙරේදා (11) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

මෙලෙස මියගියේ වයස අවුරුදු 82 සහ 75 වන වයස්වල පසුවන අඹුසැමි යුවලක්.

ඝාතනයට ලක්වූ අඹුසැමි යුවළ සතිපොළවල වෙළදාමේ නිරත අය බවයි වාර්තා වන්නේ.

මොවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත යි ෴

***************************************

රම්බොඩ ඇල්ලේ අතුරුදන් තුන්දෙනා (3) සොයා තවදුරටත් මෙහෙයුම්

(13.04.2022 – 07:27 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ – රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තුන්දෙනා (3) සෙවීමේ කටයුතු තවදුරටත් සිදු කරන බව පොලිසිය සඳහන් කළා.

වවුනියාවේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවය කරන පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා ඊයේ (12) පැමිණ තිබූ අතර, ඉන් හත්දෙනෙකු (7) මෙලෙස රම්බොඩ ඇල්ලේ දිය නාමින් සිටියදී ගසාගෙන ගොස් තිබුණා.

පසුව හතරදෙනෙකු (4) බේරාගැනුනු අතර, කාන්තාවන් දෙදෙනෙකු (2) සහ එක් (1) පිරිමියෙකු මෙලෙස අතුරුදන් වුණා.

මොවුන් අවුරුදු 19 සහ 22 යන වයස්වල පසුවන්නන් ෴

***************************************

තායිලන්තයේ සිට පතොක් පැල සහ විසිතුරු මසුන් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

(13.04.2022 – 08:28 +0530 – hirunews.lk/sinhala)

තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට රැගෙන ආ පතොක් වර්ගයේ පැල 202 ක් සහ විසිතුරු මසුන් 6 දෙනෙකු සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා කියා සිටියේ, ඊයේ (12) රේගු භාරයට ගත් පැල සහ මසුන්ගේ වටිනාකම රුපියල් 1,17,500 ක් වශයෙන් තක්සේරු කර ඇති බවයි.

පසුව අදාළ පැල සහ විසිතුරු මසුන්, රාජසන්තක කර ඇති අතර, සැකකරුට දඩ නියම කිරීමෙන් අනතුරු ව මුදාහැර තිබෙනවා ෴

***************************************

බංග්ලාදේශය සමඟ ආනයන අපනයන වර්ධනය කිරීමට පියවර රැසක්

(13.04.2022 – 13:10 +0530 – hirunews.lk/sinhala)

බංග්ලාදේශය සහ මෙරට අතර සිදුකරන ආනයන සහ අපනයන තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා අවධානය යොමුව තිබෙනවා. ඒ බංග්ලාදේශ ආනයන සැකසුම් සංවර්ධන අධිකාරිය සහ මෙරට වානිජ මණ්ඩලය අතර පසුගියදා පැවති සාකච්ඡාවකදීයි.

එහිදී මෙරට කර්මාන්තවල නියැලෙන්නන්ට බංග්ලාදේශයේ ආයෝජනයන් සිදුකිරීමට පැමිණෙන ලෙසට ද එරට බලධාරින් ආරාධනාවක් සිදුකරනු ලැබුවා ෴

***************************************

හොරණ ප්‍රදේශයේ දී පුද්ගයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කෙරේ

(13.04.2022 – 13:31 +0530 – hirunews.lk/sinhala)

තියුණු ආයුධයකින් පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු අද (13) අලුයම හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුව ඒ සම්බන්ධයෙන් පොලිසියට සිදු කළ දැනුම්දීම මත විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

එහි දී හොරණ – 13 වන පටුමඟ ප්‍රදේශයේදී මිතුරන් දෙදෙනෙකු (2) මත්පැන් පානය කරන අවස්ථාවක දී ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවට තොරතුරු අනාවරණ වුණා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 40 හැවිරිදි හික්කඩුව – වැල්ලත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 31 හැවිරිදි ගාල්ල – හල්විටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා ෴

***************************************

අකුණු සැර වැදීමකින් පුද්ගලයෙකු මරුට

(13.04.2022 – 14:21 +0530 – hirunews.lk/sinhala)

ගලෙන්බිඳුණුවැව – කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ මෙම පුද්ගලයා සිය කුඹුරේ වී වපුරමින් සිටිය දී අකුණු සැර වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා 43 හැවිරිදි කහටගස්දිගිලිය – උපුල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට ස්ථාන මාරුවක්

(13.04.2022 – 16:13 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙස වහාම ක්‍රියාත්මක පරිදි ස්ථාන මාරු කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතාව සලකා මෙම ස්ථාන මාරු වීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා ෴

***************************************

කලාවැව – අවුකන මාර්ගය ජලයෙන් යට වෙයි – යතුරුපැදිකරුවෙකුගේ ජීවිතයත් අනූනවයෙන් ගැලවෙයි

(13.04.2022 – 16:23 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (13) රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරුව අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

මේ අතර, රජරටට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට වැව් සහ ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙනවා.

කලාවැවේ වාන් දොරටු කිහිපයක් ද මෙහි ප්‍රතිඵලයක් ලෙස විවෘත කෙරුණා.

ඒ අනුව කලා වැවේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා අද (13) දහවල් වනවිට අඩි 04 ක් දක්වා ඉහළ දැමීමට කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර් යාලය පියවර ගත්තා.

ඒ අනුව මේ වනවිට තත්පරයට ඝන අඩි 2424 ක ජල ධාරිතාවක් ඉන් කලාඔයට මුදා හැරෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ අතර, කලා වැව – අවුකන මාර්ගය ජලයෙන් යටවී තිබෙනවා.

සැඩ ජල පහරට හසුව යතුරුපැදිකරුවෙකු ගසාගෙන යාමේදී ප්‍රදේශවාසී හා ආරක්ෂක අංශ එක්ව ඔහුව බේරාගැනීමට සමත් වුණා.

***************************************

ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන්ගෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සුභාසිංසන

(13.04.2022 – 22:02 +0530 – hirunews.lk/sinhala)

තවත් හෝරා කිහිපයකින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් විසින් නිකුත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ පළමුකොට සඳහන් කර ඇත්තේ, සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරන සැමට සිය සුබ පැතුම් පළ කිරීමට ලැබීම ගැන තමන් සතුටු වන බවයි.

මෙම අතිවිශාල වූ උත්සවය තුළ දී සිය භාෂාව සමග බැඳී ඇති සංස්කෘතිය ස්පර්ශ කරන බව ද මොරිසන් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඉපැරණි සම්ප්‍රදායේ ගිලී, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද හොඳ හිත, ස්තුතිය, සහ අලුත් සබඳතා නිර්මාණය කරගැනීමට වැදගත් වන බව ද ඔහු සිය සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරනවා.

පවතින ගෝලීය වසංගත තත්ත්වය ජයග්‍රහණය කරමින්, ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස සමස්ත ප්‍රජාවගෙන් ම ඉල්ලා සිටින ඔස්ට්‍රේලියානු අගමැතිවරයා කියා සිටින්නේ, 2022 අලුත් අවුරුද්ද ආත්මය සමගින් බැඳුණු ඔබේ ජීවිතයට සාමය හා සෞභාග්‍යයේ ආශිර්වාදයක් වේවා ! යනුවෙනි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *