මහ සඟ රුවන පා ගමනක – ජනපති ලේකම් කාර්යාලයට ලිපියක්

මහ සඟ රුවන පා ගමනක – ජනපති ලේකම් කාර්යාලයට ලිපියක්

*********************************************

මහ සඟ රුවන පා ගමනක – ජනපති ලේකම් කාර්යාලයට ලිපියක්

(12.04.2022 – 22:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට වැඩම කළ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාර දුන්නේ පවතින ආණ්ඩුව ඉවත් වී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන ලෙසට ඉල්ලා සිටිමින්.

අනතුරුව ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ආශිර්වාද කරමින් එම භික්ෂූන් වහන්සේ පිරිත් සජ්ජායනයක ද නිරත වුණා.

***************************************

රජය සමග සාකච්ඡා ඵලක් නැහැ – රතන හිමි

(12.04.2022 – 23:27 +0530 – hirunews.lk/sinhala)

මන්ත්‍රීවරුන් බිලිබාගන්නා පසුබිමක අර්බුදය විසඳීම සඳහා රජය සමග සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේබව සඳහන් කළේ පක්ෂ 11 නායකයින් සහ නියෝජිතයන් සමග අද (12) පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

+

@@@@@@@@@@

ගොඩකවෙල ඝාතනයකින් අඹු – සැමි යුවළක් මරුට

(12.04.2022 – 10:02 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – ගොඩකවෙල – පල්ලෙබැද්ද ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී අඹු සැමි යුවලක් ඝාතනය කර තිබෙනවා.

ඔවුන් සිය නිවසේ සිටිය දී ඊයේ (11) රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් වයස අවුරුදු 82 සහ 75 වයස් වියේ පසුවනවා.

ඝාතනය සිදුකළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

ඝාතනයට ලක්වූ අඹු – සැමි යුවළ සති පොළ වල වෙළදාමේ නිරත පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

නිවසේ අල්මාරිය විවෘතව තිබී ඇති අතර මුදල් කොල්ලකෑමේ අරමුණෙන් මෙම ඝාතන සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා ෴

***************************************

විශේෂ කාර්ය බලකා නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මංකොල්ල කෑ සිවු දෙනෙකු අත් අඩංගුවට

(12.04.2022 – 10:30 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකා නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ගිනි අවි පෙන්වා අත් විලංගු යොදා අමානුෂික ලෙස පහර දී මුදල් කොල්ල කෑ පුදුගලයින් හතර (4) දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, මාකොල, කඩුවෙල, වැලිපැන්න, අතුරුගිරිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23, 26, 30, 30 යන වයස්වල පසුවන සැකකරුවන් සිවු දෙනෙක්.

රුපියල් 2,28,000 ක මුදලක් මොවුන් විසින් මංකොල්ල කා ඇති බව යි පොලිසිය පවසන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු මුල්ලේරියාව පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති ෴

***************************************

එළවළු මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක්

(12.04.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් දින 2 ක කාලයක්.

මේ වන විට ජනතාව අලුත් අවුරුදු සැමරීම සඳහා සාප්පු සවාරියේ යෙදෙමින් අත්‍යාවශ්‍ය ආහාරපාන එක්රැස් කරමින් සිටිනවා.

කෙසේ වෙතත්, අහස උසට වැඩි වී ඇති බඩු මිල හමුවේ ජනතාවට අවුරුද්ද සැමරිමට සිදුව ඇත්තේ මහත් අසිරුතාවකින්.

මහ බැංකුවේ දෛනික දත්ත වාර්තාවලට අනුව එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේදි කිලෝග්‍රෑමයක් රුපියල් 145 ක් ව පැවැති බෝංචි මිළ අද වනවිට පවතින්නේ රුපියල් 315 ක මිළකටයි.

මීට අමතරව, අර්තාපල් කිලෝග්‍රෑමයක මිළ ද රුපියල් 115 සිට රුපියල් 215 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, රතුලූණු කිලෝග්‍රෑමයක් රුපියල් 325 කටත් ලොකුඵෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 295 කට ඉහළ ගොස් ඇති බවයි මහබැංකු දත්තවලට අනුව පෙනී යන්නේ.

මීට අමතරව, වම්බටු, කැරට් ඇතුළු තවත් එළවළු කිහිපයක මිල ගොස් තිබෙනවා.

මේ අතර, මෙරට ජනතාවගේ දෛනික ආහාර වේලෙහි ප්‍රධාන අංගයක්ව පවතින පරිප්පු කිලෝග්‍රෑමයක් පසුගිය දින කිහිපය තුළ 480 ක මිලක පැවැති අතර එය මේ වනවිට රුපියල් 500 ත් රුපියල් 510 ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව, ඉවුම් පිහුම් කටයුතු සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා පොල් තෙල් බෝතලයක මිළ ද රුපියල් දහසකට (1000) ආසන්න මිලකට අලෙවි වන බවටයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

අලුත් අවුරුදු සමයේ වෙළඳපළේ කුකුළු මස් ඇතුළු මත්ස්‍ය මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, බිත්තරයක මිල ද වෙළඳපොළේ අලෙවි වන්නේ රුපියල් 30 ත් 34 අතර මිලකට යි.

මේ අතර, අලුත් අවුරුදු චාරිත්‍ර ඉෂ්ට කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන බුලත් කොළයක මිල ද රුපියල් 5 සිට 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බුලත් අතට කොළ 40 ක් අඩංගු වන අතර ඒ අනුව බුලත් අතක් මිලදී ගැනීම සඳහා රුපියල් 320 ක මුදලක් වැය වනවා.

***************************************

පොලිස් නිලධාරීන්ට රුපියල් 2500 ක ත්‍යාග මුදලක්

(12.04.2022 – 13:44 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය හමුවේ පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයීම සඳහා රුපියල් 2500 ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සහායක සේවා ඇතුළුව ඊයේ (11) දින සේවයේ නියුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ ඊට පහළ සියළුම නිලධාරීන්ට මෙන්ම ආරක්ෂක සහයක නිලධාරීන්ට ද මෙම ත්‍යාග මුදල හිමි වනු ඇති.

කෙසේ වෙතත්, පොලිස් විද්‍යාලවල පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධාරීන්, පුහුණුව අවසන්ව පිටව ගොස් ඊයේ (11) දිනට මාස 6 ක සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති පොලිස් නිලධාරීන්ට මෙන්ම වැඩ තහනමට ලක්වූ අයට මෙම දීමනාව හිමි නොවන බවයි පොලිස්පති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴

***************************************

ඥාතින් තිදෙනෙකුට සිරකරුවන් බැලීමට අවස්ථාව

(12.04.2022 – 15:28 +0530 – hirunews.lk/sinhala)

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව අද (12) සිට ලබන 16 වැනිදා දක්වා මෙම විශේෂ කාලසීමාව ලබාදෙන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ.

එමෙන්ම, පවුලේ ඥාතීන් තුන් දෙනෙකුට (3) ඒ සඳහා අවස්ථාව ලැබෙන අතර, බත් පාර්සල් සහ රස කැවිලි පාර්සල් එක් සිරකරුවෙක් වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි ලබාදීමට අවස්ථාව හිමිවනු ඇති ෴

***************************************

පාස්කු ප්‍රහාරයට 735 ක් අල්ලයි

(12.04.2022 – 15:54 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් 735 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගත් පිරිසෙන් 196 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

එමෙන්ම, පුද්ගලයින් 493 දෙනෙකු මේ වනවිට ඇපමත නිදහස් කර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා ෴

***************************************

අදත් (12) පස්වරුවේ වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

(12.04.2022 – 16:03 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, අද (12) පස්වරුවේ හෝ හෙට (13) පෙරවරුවේ උතුරු, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර, ගම්පහ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි ඇති අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසට ද උපදෙස් දෙනවා.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතුයි.

බයිසිකල් ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘථ වාහන භාවිතයෙන් වළකින ලෙසට සහ තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසට ද දැනුම් දෙනවා.

හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ෴

***************************************

රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය 3 ක් අතුරුදන්

(12.04.2022 – 16:18 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි තුන්දෙනෙකු (3) දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

අද (12) පස්වරුවේ දිය නෑමට ගිය 7 දෙනෙකු අතර සිටි තුන්දෙනෙකු (3) මෙලෙස අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් සොයා මේවන විට පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

අතුරුදන්වූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු (2) ද වන බවයි පොලිසිය කියාසිටියේ.

පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එක් වරම ඇල්ලේ සැඩ පහර වැඩිවී තරුණයන් 7 දෙනාම ගසාගෙන ගොස් ඇති බවයි.

එහිදී රාජකාරියේ යෙදී සිටි ජීවිතාරක්ෂක භටයන් විසින් හතරදෙනෙකු (4) බේරාගනු ලැබ තිබෙනවා. වව්නියාවේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් පිරිසක් වන ඔවුන් නුවරඑළියේ සංචාරයකට පැමිණ යළිත් වව්නියාව දක්වා යන අතරවාරයේදීයි දිය නෑමට ගොස් ඇත්තේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඇල්ලේ ජල පෝෂක ප්‍රදේශවලට අද (12) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඇල්ලේ ජල පහර එක් වරම වැඩිවීම හමුවේ මෙම අනතුර සිදුව ඇති බවයි ෴

***************************************

බාබකිව් උඳුනක් තුන්දෙනෙකු රෝහලට යවයි

(12.04.2022 – 18:02 +0530 – hirunews.lk/sinhala)

බාබකිව් උඳුනක් කාමරයක තබාගෙන නින්දට ගිය පුද්ගලයන් තිදෙනෙකු (3) අසාද්‍ය තත්වයෙන් රෝහල් ගතකර තිබෙනවා.

පවතින ශීතල තත්වය හේතුවෙන් බාබකිව් උඳුන කාමරයක තබාගෙන නින්දට ගොස් තිබු මෙම පුද්ගලයන් තුන්දෙනා (3) සිහිසුන් ව සිටියදී නුවරඑලිය මහ රෝහල වෙත අද (12) දින ඇතුලත් කල බවයි පොලිසිය පැවසුවේ.

කුරුණෑගල මහව ප්‍රදේශයේ සිට (11) දින නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණි 08 දෙනෙක් නුවරඑලිය මාගස්තොට ගැමුණු මාවතේ පිහිටි නිවසක් කුලියට ගෙන නතර වී සිට තිබෙනවා.

එම පිරිස ඊයේ (11) දින රාත්‍රියේ අදාළ නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එහිදි බාබකිව් උඳුනෙන් මස් පුළුස්සා ආහාරයට ගෙන අලුයම 3 ට පමණ එම පිරිස සමග පැමිණි පුද්ගලයන් තිදෙනෙකු (3) පවතින අධික ශීතල කාලගුණයත් සමග බාබකිව් උඳුන නිවසේ කාමරයක් තුලට රැගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම කාමරය තුල වයස අවුරුදු 20, 30 සහ 48 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකු (3) සිට ඇති අතර, ඔවුන් අද (12) අලුයම අවදි නොවීම හමුවේ අනෙක් පිරිස කළ සොයා බැලිමේදියි ඔවුන් නිවසේ හිමිකරු වෙත දැනුම් දී ඇත්තේ.

පසුව ප්‍රදේශවාසින් ගිලන් රථයක් මගින් ඔවුන් තිදෙනා (3) නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් නුවරඑලිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

නුවරඑලියේ සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ට බාබකිව් උඳුන් කාමරය තුලට රැගෙන යාමට අවසර ලබා නොදෙන ලෙසට නුවරඑලිය ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සපයන පුද්ගලයන්ට නුවරඑලිය පොලිසිය මීට පෙර අවස්ථා කිහිපයකදීම දැනුවත් කිරීම් ද සිදුකර තිබෙනවා ෴

***************************************

වැසි සමග කලා වැවේ වාන් දොරටු විවෘත වෙයි

(12.04.2022 – 18:33 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාවත් සමග කලා වැවේ හදිසි වාන් දොරටු දෙක අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

කලා වැවේ ජල ධාරිතාවය පිටාර මට්ටමට ළගාවීමත් සමග මෙම පියවර ගත් බවයි කලා වැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය අද සවස ප්‍රකාශ කළේ.

අද (12) සවස 4 ට මෙම වාන් දොරටු විවෘත කිරීම සිදුකර ඇති අතර ඒ සමගම කලා ඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 1100 ක්.

කලා වැවේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 84,883 ක්.

අප වාර්තාකරුවන් සඳහන් කළේ තවමත් කලාවැව අවට ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබෙමින් පවතින බවයි.

අවශ්‍ය වුවහොත් තවදුරටත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසටයි කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය කලාඔය දෙපස ජනතාවට දැනුම්දෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *