ගාලු මුවදොර විරෝධතාවට නීතිඥවරුන්, ගුරුවරුන් සහ කලාකරුවන් එක්වෙයි

ගාලු මුවදොර විරෝධතාවට නීතිඥවරුන්, ගුරුවරුන් සහ කලාකරුවන් එක්වෙයි

*********************************************

ගාලු මුවදොර විරෝධතාවට නීතිඥවරුන්, ගුරුවරුන් සහ කලාකරුවන් එක්වෙයි

(12.04.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ඉල්ලා ගාලු‍ මුවදොරදී ආරම්භ කළ විරෝධතාවට සහාය පලකරමින් තවත් ප්‍රදේශ කිහිපයක අදත් (12) විරෝධතා පැවැත්වුනා. නීතිඥවරුන් පිරිසක් අලු‍ත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට අද (12) දහවල් පාගමනින් ගාලු‍ මුවදොරට පැමිණ විරෝධතාකරුවන්ට සහය පළ කළා.

පසුගිය 09 වැනිදා ආරම්භ කෙරුණු ගාලුමුවදොර ජනතා විරෝධතාව අද (12) සිව්වැනි (4) දිනට ක්‍රියාත්මකයි.

විරෝධතාව සඳහා මෙරට ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක්ද එක්ව සිටියා.

විශාරද නන්දා මාලනී, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ප්‍රවීණ රංගන ශිල්පිණි ස්වර්ණා මල්ලවාරච්චිද ඒ අතර වුණා.

මේ අතර, කලාකරුවන් පිරිසක්ද අද (12) පස්වරුවේ කොටුව දුම්රිය ස්ථානයේ සිට පාගමනින් පැමිණ ගාලුමුවදොර විරෝධාතාවට සහාය පළ කළා.

පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, පුජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් ඇතුළු මහා සංඝරත්නයද ගාලු මුවදොර විරෝධතාවට සහාය පලකරමින් එම ස්ථානයට වැඩම කරනු ලැබුවා.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ එහිදි උන්වහන්සේලා සත්‍යග්‍රහයකද නිරත වු බවයි.

මේ අතර, ‘ශිරාස් රූඩ් බෝයි’ යන නමින් ප්‍රකට ජනප්‍රිය රෙගේ ගායකයෙකු වන ‘ශිරාස් යුනූස්’ ඊයේ (11) රාත්‍රියේ ගාලු ‍මුවදොර පරිශ්‍රයේ විරෝධතාවට එක්ව සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මේ අතර, ‘ව්‍යාජ අරගලයට මුවා වී, සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු’ යන තේමාව යටතේ පාගමනක් කොළඹ නෙලුම් පොකුණ රගහලේ සිට විහාර මහදේවි උද්‍යානය දක්වා අද (12) පැවැත්වුණා. භික්ෂූන් වහන්සේ සහ සමාජ ක්‍රියාකාරින් පිරිසක් ඊට එක්ව සිටියා.

***************************************

ඖෂධ හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි – වෛද්‍ය සංගම් වෙනත් මතයක

(12.04.2022 – 20:22 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

රෝහල්වල ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු පදනම් කරගනිමිනුයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා එම අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කළේ.

බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් නොමැති අතර, එම ඖෂධවල දත්ත ඇතුළත් වාර්තාවක්ද අද (12) මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

පසුගිය දින කිහිපය තුළ ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සඳහන් කළ අතර, ඇතැම් රෝහල්වල අධ්‍යක්ෂවරුන් ඒ බව තහවුරු කරනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ හිඟයක් නොමැති බවට නිකුත් කර ඇති මෙම නිවේදනය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ ජනතාව නොමඟ යැවීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මෙවැනි උත්සහයන් සිදුකරන බවයි.

***************************************

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

(12.04.2022 – 20:30 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටවල සිට මුදල් එවීමේදී මෙරට බැංකු පද්ධතිය භාවිත කරන ලෙසට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා කියා සිටියේ කළු කඩ වෙළඳාම හරහා අක්‍රමවත් ක්‍රමවේදයන් ඔස්සේ විදේශ මුදල් මෙරටට එවීමට කටයුතු නොකරන ලෙසයි.

මේ අතර, ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත සියළුම විදේශීය ණය පියවීම් තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂණිකව විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා.

රොයිටර් පුවත් සේවය සහ ප්‍රංශ පුවත් සේවය මගින් පළ කළ මේ පිළිබද වාර්තා එන්.ඩී.ටී.වී, හින්දුස්ථාන් ටයිම්ස්, ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇතුළු සියළුම ඉන්දීය පුවත්පත්වල විශාල ප්‍රසිද්ධියක් ඒ සඳහා ලබාදී තිබෙනවා.

මේ අතර, ණය පැහැර හැරීම සහ මුදල් අවප්‍රමාණය වීම පිළිබඳව සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් කැඳවන ලෙසට එක්සත් ජාතික පක්ෂය අද (12) රජයෙන් ඉල්ලීමක් කළා.

+++++++

***************************************

අදත් (12) දිවයින පුරා ගෑස් සහ ඉන්ධන පෝලිම්

(12.04.2022 – 20:33 +0530 – hirunews.lk/sinhala)

අදත් (12) දිවයින පුරා ගෑස් සහ ඉන්ධන ලබාගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

මේ අතර, ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය බෙන්තොට ප්‍රදේශයෙන් අවහිර කරමින් ගෑස් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද (12) දහවල් විරෝධතාවක නිරත වුණා.

පසුව අදාළ ගෑස් අලෙවිසැලේ හිමිකරු පැමිණ අද (12) දිනයේ ගෑස් වෙළඳසැලට රැගෙන නොඑන බව ප්‍රකාශ කිරිමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ එය පාලනය කළ කිරීමත් සමඟ ජනතාව මාර්ගයෙන් ඉවත්වීමට කටයුතු කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, මහනුවර – අස්ගිරිය මංසන්ධියෙන් ප්‍රවේශ මාර්ග 05 ක් අවහිර කරමින් ජනතාව අද (12) ගෑස් ඉල්ලා විරෝධතාවයක නිරත වුණා.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන්ට මාර්ගයෙන් ඉවත් වන ලෙසට දැනුම්දීමත් සමඟ උණුසුම් තත්ත්වක් ඇති වුණා.

එසේම, මතුගම – පැලවත්ත මාර්ගය මීගහතැන්න ප්‍රදේශයෙන් අවහිර කරමින්ද ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණේ කඩිනමින් ගෑස් ලබාදීමට කටයුතු කරන ලෙසට බලධාරීන්ට බල කරමින්.

හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේද ජනතාව අද (12) ගෑස් ඉල්ලා විරෝධාතාවයක නිරත වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, දින 05 කට වැඩි කාලයක් පෙට්රල් සහ ඩීසල් බවුසර් හතරක් (4) තබාගෙන සිටි ඉන්ධන පිරවුම්හල් හිමිකරුවෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා විසින් ජාඇල – පමුණුගම ප්‍රදේශයේ බලපත්‍ර නොමැති ස්ථානයක මෙම ඩීසල් සහ පෙට්රල් බවුසර් 04 රඳවාගෙන තිබූ බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පමුණුගම පොලිසිය සඳහන් කළා.

එසේම, බලපත්‍ර නොමැතිව ඉන්ධන ළඟ තබා ගැනීම සහ වැඩි මිලට විකිණීමේ චෝදනා යටතේ ඩීසල් ලීටර් 105 ක් සමඟ පුද්ගලයෙකු වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

අවුරුද්ද ළං වෙයි, පෝලිම් දික් වෙයි

(12.04.2022 – 22:28 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්දට ඇත්තේ තවත් දින 2ක් පමණයි.

මෙවර අලුත් අවුරුද්ද උදාවන්නේ මෙරට ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට ලක්ව ඇති සමයක වීම විශේෂත්වයක්.

අහස උසට වැඩිවන බඩු මිල හමුවේ මෙවර අවුරුද්ද සැමරීම ද බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්තයක් වී තිබෙනවා.

සිංහල මාස ක්‍රමයට අනුව සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරමින් දින 365 ක් නිමවා නව වාසස්ථානයට පැමිණීම අලුත් අවුරුද්දෙන් සනිටුහන් වනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර 2 ක් අලුත් අවුරුද්ද නිදහසේ සැමරීමට නොහැකිවූ මෙරට වැසියන්ට මෙවර අවුරුද්ද සැමරීම ගැටලුවක් වී ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර පාන ඇතුළු බොහෝ දේ වල මිල ශිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමකයි.

යළිත් වෙළෙඳපොළේ එළවළු මිල ඉහළ ගොස් ඇති අතර, මහ බැංකු දෛනික දත්ත වාර්තාවලට අනුව එළවළුවල සිල්ලර මිලගණන් දෙගුණයකට ආසන්න මිලකින් ඉහළ ගොස් තිබෙනවා.

2022-04-082022-04-12
බෝංචි145315
අර්තාපල්115215
වම්බටු198265
රතුළූණු270325
ලොකු ළූණු218295

මේ අතර පෑලියගොඩ මතස්‍ය වෙළෙඳපොළේ මාලු මිල ගණන් දැක්වූණේ මෙලෙසින්.

මාලු කිලෝ ග්‍රෑමයක මිල : (රුපියල්)

කොප්පරා – 1600
තෝරා – 2000
ගල්මාලු – 1000
පරා – 1200
කෙලවල්ලා – 1000
තලපත් – 1250
බලයා – 550
සාලයා – 280

කෙසේ වුවත් සහල් මිලෙහි කැපී පෙනෙන වෙනසක් සිදුව නොමැතිවීමත් විශේෂත්වයක්.

වෙනත් වර්ෂවලදී මෙන්ම මෙවරත් අලුත් අවුරුදු කැවිලි වෙළෙඳපොළේ මිලදී ගැනීමට ඇතත් ඒවායේ මිල ගණන් සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත්තේ අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන්.

පොල්තෙල්, මුංඇට, සීනි, බිත්තර ඇතුළු අනෙකුත් ද්‍රව්‍යවල මිල ගණන් මේ වනවිට පවතින්නේ ඉහළ මට්ටමකයි.

වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ පොල්තෙල් බෝතලයක් රුපියල් 700 ත් 800 ත් අතර මිලකටත්, මුංඇට කිලෝග්‍රෑමයක් රුපියල් 1000 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව කොන්ඩ කැවුම්, අතිරස, මුං කැවුම් එකක මිල රුපියල් 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෙර වර්ෂවලදී ඒවායේ මිල පැවතියේ රුපියල් 40 ක පමණ මිලකටයි.

කොකිසක මිලද රුපියල් 30 දක්වා ඉහළ ගොස් ඇති අතර පැණිවලලු අලෙවි කෙරෙන්නේ රුපියල් 35 ත් 40 ක් අතර මිලකටයි.

රුපියල් 90 ක මිලකට පැවති ආස්මි එකක් නව මිල රුපියල් 120 ක් ලෙස වන අතර රුපියල් 35 ක මිලකට පැවති අලුවා කැබැල්ලක නව මිල රුපියල් 50 ක් බව රසකැවිලි අලෙවිකරුවන් පවසනවා.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් මේ වනවිට බටර් කේක් කිලෝග්‍රෑමයක මිල පවතින්නේ රුපියල් 1000 ක් ලෙසයි.

මේ අතර, අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන බුලත් කොලයක මිල ද රුපියල් 8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර පවතින ගෑස් හිඟය හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්ව ඇත්තේ අලුත් අවුරුදු සමය ආසන්නයට පැමිණීම හේතුවෙන්.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවමත් දිගු පෝලිම් දක්නට ලැබුණා. මහනුවර අස්ගිරිය ප්‍ර දේශයේද ගෑස් නොමැතිව පිරිසක් විරෝධතාවයේ නිරත වුණේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමමින්.

ගාල්ල මාපලගම ප්‍රධාන මාර්ගය නාගොඩ මංසන්ධියෙන් අවහිර කරමින් ගෑස් ලබා දෙන ලෙස ඉල්ලමින් ජනතාව උද්ඝෝෂණයක නිතර වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *