විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවෙයි

විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවෙයි

*********************************************

විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවෙයි

(12.04.2022 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත සියළුම විදේශීය ණය පියවීම් තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂණිකව විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (12) උදෑසන පැවති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේ විදේශ ණය පියවීම් අභියෝගකාරී මෙන්ම යථාර්ථයක් නොවන තත්ත්වයක් මතු වී ඇති බවයි.

මේ නිසා විශාල ණය පැහැර හැරීමක් වළක්වාලීම සඳහා එම පියවීම් යළි සැකසීමට මෙම පියවරට එළඹුණු බව ඔවුන් සදහන් කළා.

කෙසේ නමුත් එය තාවකාලික පියවරක් වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් ණය දායකයන් සමග එකඟත්වයකට පැමිණෙන තුරු එය ක්‍රියාත්මක වන බව මහබැංකු අධිපතිවරයා අවධාරණය කළා.

රොයිටර් පුවත් සේවය සහ ප්‍රංශ පුවත් සේවය මගින් පළ කළ මේ පිළිබද වාර්තා එන්.ඩී.ටී.වී, හින්දුස්ථාන් ටයිම්ස්, ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇතුළු සියළුම ඉන්දීය පුවත්පත්වල විශාල ප්‍රසිද්ධියක් ලබාදී පළ කර තිබුණා.

රොයිටර් පුවත් සේවය සදහන් කරන පරිදි මේ වසරේ මෙරට සමස්ත ණය සේවාකරණය ඩොලර් බිලියන 7 ක් පමණ වන අතර දැනට පවතින හිඟය ඩොලර් බිලියන 3 ක් පමණ වනවා.

***************************************

දිවයිනේ තවත් ප්‍රදේශ දෙකක (2) ගෑස් ඉල්ලා විරෝධතා

(12.04.2022 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය බෙන්තොට ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ගෑස් ඉල්ලා විරෝධතාවක නිරත වනවා.

මේ හේතුවෙන් මාර්ගය අවහිර වීම නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, මතුගම – පැලවත්ත මාර්ගය මීගහතැන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් ද ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වන්නේ කඩිනමින් ගෑස් ලබාදීමට කටයුතු කරන ලෙසට බලධාරීන්ට බල කරමින්.

***************************************

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330 ක් වෙයි

(12.04.2022 – 13:40 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුව මගින් අද (12) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල 319.20 ක් ලෙසයි.

කෙසේ වෙතත්, වානිජ බැංකුවල ඩොලර් විනිමය සඳහා විකුණුම් මිල රුපියල් 335 ක් ලෙස අද සටහන් වුණා ෴

***************************************

ඖෂධ හිඟයක් ගැන පැතිර යන වාර්තා අසත්‍යයි

(12.04.2022 – 15:51 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල බරපතල හිගයක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන තොරතුරු අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බවටයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඇති හිග භව පවසන ඖෂධ හා ශල්‍ය උපකරණ දත්ත ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මේබව තහවුරු කර තිබෙනවා.

***************************************

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවතට

(12.04.2022 – 16:45 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්කර තිබෙනවා.

නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනට එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව සහ ඔහුගේ උපදෙස් මත පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසිනුයි ශාන්ත බණ්ඩාර මහතාට මේබව ලිපියකින් දන්වා ඇත්තේ.

ඒ අනුව මන්ත්‍රීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් පක්ෂයේ උප ලේකම් මධ්‍යම කාරක සභා සාමාජිකත්වය සහ යාපහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක තනතුර ඇතුලු පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම ඉදිරි විනය කටයුතු පිළිබඳ පියවර ගැනීමට ද තීන්දු කර ඇති බව එම ලිපිය මගින් දන්වා ඇත්තේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය තනතුර සඳහායි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ඊයේ දිවුරුම් දෙනු ලැබුවේ.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමෙන් පසු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය ද හිස් වූ අතර, එම පුරප්පාඩුවට යි ශාන්ත බණ්ඩාර පත් කළා.

ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් අයෙක් වීම විශේෂත්වයක්.

***************************************

නීති කඩමින් ඉන්ධන ගන්නා පොලිසිය

(12.04.2022 – 17:15 +0530 – hirunews.lk/sinhala)

බිබිල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නීති රීති උල්ලංඝනය කරමින් බූලිවලට ඉන්ධන ලබා ලබාගැනීමේ සිදුවීමක් වාර්තාවනවා.

ඒ අවස්ථාවේදී ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයකු විසින් අදාල සිදුවීම පටිගත කරමින් ස්ථානාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ රටේ සාමාන්‍ය ජනයාට බලපාන නීති රීති පොලිසියට බල නොපානනේද යන්නයි.

එහිදී ස්ථානාධිපතිවරයාගේ පිළිතුර වී ඇත්තේ අදාළ ඩීසල් ඉන්ධන තොග රැගෙන යනු ලබන්නේ පොලිසියේ ඇති විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට බවයි.

ඊයේ (11) රාත්‍රියේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දිවයිනේ සියලුම ඉන්ධනහල් වලට බූලි වලට සහ කෑන් වලට පෙට්‍රල් සහ ඩීසල් ලබාදීම වහාම අත්හිටුවන ලෙස නිවේදනයක් නිකුත් කළා.

කෙසේවෙතත් එම නිවේදන, නියෝග නොතකා හරිමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවමත් කෑන් වලට සහ බූලි වලට ඉන්ධන නිකුත් කරන අයුරු දැක ගන්නට පුළුවන්.

මෙලෙස කෑන් වලට සහ බූලිවලට ඉන්ධන ලබා දීම අත්හිටුවීමක් සමග ඉන්ධනහල් අවට දැඩි යතුරු පැදි පෝලිම් දැකගන්නට ලැබීම විශේෂත්වයක්.

මෙතෙක් කලක් කුඩා බෝතලයකට හෝ හෝ කෑන් එකකට ඉන්ධන ලබා ගෙන එමඟින් ඉන්ධන ටැංකිය පුරවාගත් යතුරුපැදිකරුවන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ යතුරුපැදි රැගෙන ඉන්ධන හල් අසලට පැමිණීම මෙලෙස ඉන්ධන හල් අසල යතුරුපැදි පෝලිං දිගු වීමට හේතු වී ඇති බව ඉන්ධනහල් හිමියන් පවසනවා.

***************************************

ඩීසල් සහ පෙට්රල් බවුසර් 04 ක් දින 05 ක් රඳවාගෙන සිටි පිරවුම්හල් හිමියෙකු ගැන විමර්ශන

(12.04.2022 – 17:18 +0530 – hirunews.lk/sinhala)

දින 05 කට වැඩි කාලයක් පෙට්රල් සහ ඩීසල් බවුසර් හතරක් (4) තබාගෙන සිටි ඉන්ධන පිරවුම්හල් හිමිකරුවෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා විසින් ජාඇල – පමුණුගම ප්‍රදේශයේ බලපත්‍ර නොමැති ස්ථානයක මෙම ඩීසල් සහ පෙට්රල් බවුසර් 04 රඳවාගෙන තිබූ බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පමුණුගම පොලිසිය සඳහන් කළා ෴

***************************************

ඉන්දියාවෙන් එන සහල්වලින් පළමු තොගය දිවයිනට

(12.04.2022 – 17:27 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන්, ටොන් 11,000 ක පළමු සහල් තොගය රැගත් නෞකාව අද (12) පස්වරුවේ කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

ඒ අනුව, මෙම සහල් තොගය ඉන්දියාවේ කාකිනඩා වරායේ සිට දින හතරකට (4) ආසන්න කාල සීමාවක් තුළදී මෙරටට ගෙන ආ අතර, නාඩු සහල් ටොන් 7,000 ක්, සම්බා සහල් ටොන් 2000 ක්, කැකුළු සහල් ටොන් 2000 ක් මෙම සහල් තොගයට ඇතුළත්.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් විසින් මෙම සහල් තොගය, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා ඇතුළු වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයන් පිරිසක් වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවි ශාඛා සහ සමූපකාර ප්‍රාදේශික හරහා සම්බා සහල් කිලෝවක් රුපියල් 130 ක මිලටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 110 කටත්, කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට නියමිතයි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ තවත් සහල් තොගයක් ඉදිරි දින වලදී මෙරටට ළඟා වීමට නියමිත අතර එම තොගය ද රජයේ අලෙවිසැල් ජාලය හරහා අවම මිලගණන් යටතේ පාරිභෝගිකයාට කඩිනමින් ලබා දීමට සැලසුම් කර තිබෙනවා ෴

***************************************

ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සියලු දෙනා ජනපති සමඟ සාකච්ඡාව වර්ජනය කරයි – චන්ද්‍රිකා පක්ෂ නායකයන් කැඳවයි

(12.04.2022 – 20:07 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ දහයේ (10) නායකයින් මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව ආරම්භ කර ඇත්තේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමටයි.

ජනාධිපතිවරයා සමඟ අද (12) පැවැත්වීමට නියමිත සාකච්ඡාවටද ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිසිවෙකුත් සහභාගි නොවීමට තීරණය කර තිබුණා.

මේ අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කොළඹ දී ඊයේ (11) පැවති එම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්තද එක්වුණා.

හිටපු ජනාධිපතිනිය කැඳවා තිබූ මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් කරුණු හුවමාරු කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් සහභාගි වී නැහැ.

***************************************

අමාත්‍යංශවල වියදම් අඩු කිරීමට නව චක්‍රලේඛයක්

(12.04.2022 – 21:03 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍යංශවල වියදම් අඩු කිරීම සඳහා රේඛීය අමාත්‍යාංශ වෙත නව චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් පවසනවා.

රජයේ ඉහළ වියදම් සහ අඩු ආදායම හේතුවෙන් අයවැය හිඟය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ආදායම සැලකිය යුතු ලෙස වැඩි කළ යුතු අතර ඉලක්කය සපුරා ගැනීම සඳහා විවිධ ක්‍රමවේද හඳුන්වා දෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *