ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10 ක හදිසි මූල්‍යාධාරයක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10 ක හදිසි මූල්‍යාධාරයක්

*********************************************

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10 ක හදිසි මූල්‍යාධාරයක්

(12.04.2022 – 06:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා හදිසි ප්‍රතිපාදන ලෙස ඩොලර් මිලියන 10 ක් නිදහස් කිරීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍ය අලි සබ්රි සමග ඊයේ (11) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එමෙන්ම, සති දෙකක (2) කාලසීමාවක් තුළ ගෑස්, ඖෂධ සහ තවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක් නිදහස් කිරීමටයි ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත්තේ.

මේ අතර, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදය කළමණාකරණය කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු ප්‍රධාන පාර්ශව 4 ක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඊයේ (11) අනාවරණයක් සිදු කළා.

ඒ, හිරු ටී.වී ඔස්සේ ඊයේ (11) රාත්‍රීයේ විකාශය වූ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

***************************************

වී හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

(12.04.2022 – 07:21 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන සහ පොහොර අර්බුද හේතුවෙන් යල කන්නයේ වී හිඟයක් ඇතිවිය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් තවදුරටත් වෙළඳපොලෙහි සහල් මිල ගණන් ඉහළ යා හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේ වනවිට වෙළඳපොලෙහි දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 210 ත් 220 ත් අතර මිලකට අලෙවි වනවා.

එමෙන්ම සම්බා කිලෝග්‍රෑමයක් අද (12) වනවිට වෙළඳපොලේ අලෙවි වන්නේ රුපියල් 230 ක මිලකට යි.

කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල ද මේ වනවිට රුපියල් 270 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

‘එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ’ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ, ඉන්ධන අර්බුදයත් සමඟ යල කන්නයේ නියමිත ලෙස වගාවන් සිදු කිරීමට නො හැකි වුව හොත් සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි ෴

***************************************

අත්‍යවශ්‍ය ඖෂධ සපයා ගැනීමට, විදෙස් දානපතියන්ගේ සහාය ඉල්ලයි

(12.04.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මෙරට ජනතාවට අවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ ලබාගැනීම සඳහා සහය වන්නැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විදෙස් දානපතියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය ඖෂධ 273 ක් කඩිනමින් සපයා ගැනීම සඳහා සිදු කළ මෙම ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා විදේශීය තානාපති කාර්යාල වෙත යොමුකර ඇති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශය යොමු කළ ලිපියේ දැක්වෙන්නේ දේශීය නිෂ්පාදනය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සහ ඉන්දීය ණය සහන යෝජනා ක්‍රමය යටතේ ඖෂධ සැපයුම් ලබාගැනීමට කටයුතු කර ඇති බවයි.

එහෙත් විදේශ සංචිත අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට නිෂ්පාදනය කළ නොහැකි සහ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කළ නොහැකි ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් මතු වී තිබෙනවා.

මේ නිසා ඇමරිකානු ඩොලර් විනිමය හෝ ද්‍රව්‍යමය ආධාර ලෙස මෙරටට අවශ්‍ය ඖෂධ සැපයුම පවත්වාගැනීමට කටයුතු කරන ලෙසයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය දානපතියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එලෙස පරිත්‍යාග වශයෙන් සපයන ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ද එමඟින් අවධානය යොමුකර තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිතව හෝ වෛද්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ ජාතික ක්‍රියාකාරී කමිටුව මගින් අනුමත කරන අදාළ ඖෂධ ජාතික පද්ධතිය හරහා බෙදාහැරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළා.

එමෙන්ම එම පරිත්‍යාග විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක්වන පරිදි නිල මාර්ග ඔස්සේ ලබාදෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යාංශය විදෙස් දානපතියන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

මහනුවර – මහියංගනය මාර්ගයේ ගමනාගමනයට බාධා

(12.04.2022 – 08:04 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවක් හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය දිගන ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

හිරු වාර්තාකරු සදහන් කළේ, ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් සිදු කරන විරෝධතාවක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි.

මේ අතර, අම්පාර – නුවර ප්‍රධාන මාර්ගය, ඉන්ධන ඉල්ලා සිදු කළ විරෝධතාවක් නිසා උහන ප්‍රදේශයෙන් ඊයේ (11) රාත්‍රියේ අවහිර වුණා.

එමෙන්ම, වරකාපොළ නගරයේ ඊයේ (11) රාත්‍රියේ සිදු කළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා ෴

***************************************

ඉන්ධන සඟවා වැඩි මිලට අලෙවි කළ අයෙක් අත් අඩංගුවට

(12.04.2022 – 08:59 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කොට තබා ගනිමින් වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල – හැඳලවත්ත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරකට අනුව යි.

එහි දී සැකකරු සතුව තිබී පෙට්‍රල් ලීටර් 30 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම පසුගිය දිනවල දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් වැඩි මිලට ඉන්ධන අලෙවි කරන ස්ථාන 68 ක් සොයා ගැනීමට පොලීසිය කටයුතු කළා.

එහි දී පෙට්‍රල් ලීටර් 8025 ක් සහ ඩීසල් ලීටර් 726 ක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

මේ අතර, කෑන්වලට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් ගොවීන් පිරිසක් අද (12) උදෑසන දඹුල්ල නගරයේ විරෝධතාවක නිරත වුණා.

මේ හේතුවෙන් මහනුවර – යාපනය – ඒ-9 මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ ෴

***************************************

නෙළුම් පොකුණ පරිශ්‍රයේ සිට පා ගමනක් ඇරඹෙයි

(12.04.2022 – 10:44 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ අරගලයට මුවා වී සිංහල බෞද්ධ ජන මතයට අත නො තබනු යන මැයෙන් පා ගමනක් ආරම්භ වී තිබෙනවා.

කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ සිට අද (12) පෙරවරුවේ මෙම පා ගමනක් ආරම්භ වූ බව යි වාර්තා වන්නේ.

ඊට මහා සංඝරත්නය ද එක් ව සිටින අතර, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු ද සහභාගි වී සිටින බව ද සඳහන්.

බුද්ධ චීවරයට අත නො තබනු! – ගෝල්ෆේස් එකේ ඉන්නේ හිඟන්නෝ – ඩෑන් ප්‍රියසාද්

(12.04.2022 – 16:02 +0530 – hirunews.lk/sinhala)

ඩෑන් ප්‍රියසාද්, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු පිරිසක් විහාර මහා දේවි උද්‍යානය අසල විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ සිංහල බෞද්ධ ජනමතයට අත නො තබනු යන මැයෙන් ‍යුතුව යි.

***************************************

ඉන්ධන නිකුත් කිරීම සීමා වේ

(12.04.2022 – 10:51 +0530 – hirunews.lk/sinhala)

පිරවුම් වෙත ඉන්ධන නිකුත් කිරීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සීමා පැනවීම, මේ මොහොත් පෝලිම් ඇතිවීමට හේතුව බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් රට තුළ පවතින නමුත් මෙලෙස සීමා පැනවීම නිසා ජනතාව අසීරුතාවට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ සදහන් කළේ.

මේ අතර, අද (12) සිට අනිද්දා (14) දක්වා කෑන්, බූලි සහ බැරල්වලට ඩීසල් සහ පෙට්‍රල් නිකුත් නොකරන බව ඛනිජතෙල් සංස්ථාව ඊයේ (11) ප්‍රකාශ කළා.

ඒ සමඟම බලපත්‍ර නොමැතිව ඉන්ධන රැගෙන ගොස් අලෙවි කරන්නන් සොයා මෙහෙයුම් ද පොලිසිය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එලෙස ඉන්ධන ගබඩා කොට තබා ගනිමින් වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ වත්තල – හැඳලවත්ත ප්‍රදේශයේදීයි.

ඔහු සතුව තිබී පෙට්‍රල් ලීටර් 30 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මේ අතර, කෑන්වලට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් ගොවීන් පිරිසක් අද (12) උදෑසන දඹුල්ල නගරයේ විරෝධතාවක නිරත වුණා.

මේ හේතුවෙන් මහනුවර – යාපනය – ඒ-9 මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, ඉන්ධන ඉල්ලා පැවැත්වූ විරෝධතාවක් නිසා මහනුවර – මහිංගනය මාර්ගය දිගන ප්‍රදේශයෙන් අද (12) උදෑසන අවහිර වුණා.

උහන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට ඊයේ (11) රාත්‍රියේ ජනතාව පැමිණ විරෝධතාවක නිරත වුනේ ඩිසල් සගවා ඇති බවට චෝදනා කරමින්.

මීට අමතරව රත්නපුර නගරයේදී ද පිරිසක් විරෝධාතාවයේ නිරත වි තිබෙනවා.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් රැසක දිගු පෝලීම් දක්නට ලැබෙනවා.

මේ අතර වෙළද පොලේ පෙට්‍රල් හිගයක් පවතින බවට ප්‍රකාශ වුවද සාමන්‍ය දිනවලදි නිකුත් කරන ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් පෙට්‍රල් නිකුත් කරන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජෙසිංහ සදහන් කළා.

මේ අතර, ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා අස්ගිරි මහනුවර මාර්ගය සහ තවත් මාර්ග කිහිපයක් අවහිර කරමින් අද (12) දිනයේ දී ජනතාව විරෝධතාවක නිරත වුණා ෴

***************************************

රැප් ගායක ශිරාස් යූනුස් හදිසියේ මිය යයි

(12.04.2022 – 11:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රැප් ගායකයෙකු වන ශිරාස් යූනුස් ගාලුමුවදොර පරිශ්‍රයේ ගායනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හදිසියේ මිය ගොස් තිබෙනවා.

ඔහු වේදිකාවේ ප්‍රකට වී සිටින්නේ ‘ශිරාස් රූඩ් බෝයි’ යන නමින්.

ගාලු මුවදොර පරිශ්‍රයේ පැවැත්වෙන විරෝධතා උද්ඝෝෂණයේ නිරත පිරිස් වෙනුවෙන් ඔහු ගායනා කර ඇත්තේ, සුප්‍රකට රෙගේ ගායක බොබ් මාලේගේ ‘ස්ටෑන්ඩ්අප් ෆෝ යුවර් රයිට්ස්’ හෙවත් ‘ඔබේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න’ යන ගීතය යි.

ගායනයෙන් අනතුරුව හදිසියේ රෝගාතුර වූ ඔහු පසුව මිය ගොස් ඇති අතර, එවැනි මරණයක් සිදු වූ බව කොටුව පොලීසිය තහවුරු කළා ෴

***************************************

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජනපති සමඟ සාකච්ඡාව වර්ජනය කරයි

(12.04.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා සමග අද (12) පැවැත්වීමට නියමිත සාකච්ඡාව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වර්ජනය කිරීමට තීරණය කළ බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

මේ අතර, නිදහස් පක්ෂයේ තීරණයට පටහැනිව යමින් රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර දැරූ යාපහුව ආසන සංවිධායක ධුරය ඇතුළු සියළු තනතුරුවලින් ඉවත් කළ බවයි හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සදහන් කළේ.

පසුගිය දා ආණ්ඩුවෙන් ස්වාධීන වූ නිදහස් පක්ෂය ප්‍රමුඛ හවුල්කාර පක්ෂ 11 හේ මන්ත්‍රී කණ්ඩායම හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ජනාධිපතිවරයා හමුවුණේ සර්වපාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව එම කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

කෙසේ වෙතත්, එහිදී මේ පිළිබදව එකඟතාවක් ඇති නොවූ අතර අද (12) දිනයේදී යළි සාකච්ඡා කිරීමට තීරණය වුණා.

එහෙත් නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරට රාජ්‍ය අමාත්‍ය ධුරයක් පිරිනැමීමට විරෝධය පළ කරමින් මෙම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම අද (12) පැවැත්වෙන සාකච්ඡාව වර්ජනය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර අද (12) එම ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සදහන් කළේ පක්ෂ 11 හේ අන්තර් කාලීන ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අසාර්ථක බැවින් තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයක් භාර ගැනීමට තීරණය කළ බවයි.

***************************************

ගාලු මුවදොරට හමා ආ ‘පවන’

(12.04.2022 – 11:36 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධතාවට සහාය පළ කිරීම සඳහා, මේ දින කිහිපයේ ම විවිධ පාර්ශවයන් විසින් තම දායක්තවය සපයන ආකාරය දැකගත හැකි යි.

කලාකරුවන් ද විවිධ අවස්ථාවල දී තම නොමසුරු දායකත්වය තරණ තරුණියන් වෙනුවෙන් ලබා දුන්නා.

මේ අතර, අද (12) උදෑසන ගාලු මුවදොර පිටියට අතිවිශේෂ කලාකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ වූ බව වාර්තා වනවා.

ක්‍රම විරෝධී සිංහල ගීතයේ සලකුණක් සනිටුහන් කළ හෙළයේ ගීත කෝකිලාවිය වූ නන්දා මාලිනියත් ඇයගේ ගීතාවලිය අකුරු කළ සුනිල් ආරියරත්නයනුත් මීට එකතු වූ බව යි ආරංචි වන්නේ.

එසේ ම, ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි හා සුභාවිත ගීතයට සිය පෑනෙන් බරපතළ ගණයේ දායකත්වයක් සැපයූ බුද්ධදාස ගලප්පත්ති ද මෙම අවස්ථාවට එකතු වී සිටියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *