විස්ස (20) අහෝසි කොට විසි එක (21) ගෙන එන බව ස්වාධීන වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කියයි

විස්ස (20) අහෝසි කොට විසි එක (21) ගෙන එන බව ස්වාධීන වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කියයි

*********************************************

විස්ස (20) අහෝසි කොට විසි එක (21) ගෙන එන බව ස්වාධීන වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කියයි

(11.04.2022 – 19:28 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී පිහිටුවීමට බලාපොරොත්තු වන අන්තර්වාර පාලනයක් තුළින් විසිවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට විසි එක්වන (21) සංශෝධනය ගෙන ඒමට කටයුතු කරන බව ස්වාධීන වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පවසනවා.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ 19 වන සංශෝධනයේ ඇතැම් කරුණු වෙනසකට ලක් කරමින් 21 වන සංශෝධනය ගෙන ඒමට කටයුතු කරන බවයි.

පවතින තත්වයට හොඳම විසඳුම අන්තර්වාර පාලනයක් බව එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟද ඒ පිළිබඳ ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා කරන බවයි.

***************************************

ගාලු මුවදොර තරුණ අරගලය නො නැවතී පෙරට ම

(11.04.2022 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ආර්ථිකය දුගී දුප්පත්භාවයට පත් කරමින්, ජනතාව දරිද්‍රතාවයේ උපරිමයට ගෙන ඒමේ බරපතළ විපාකය උදා කළේ වත්මන් ආණ්ඩුව බවට චෝදනා කරමින් දිවයින පුරා සිටින සියලු ම තරුණ ප්‍රජාව එක් ව විශාල විරෝධතාවක් ආරම්භ කළේ පෙරේ දා (09) දිනයේ දී යි.

ඒ අනුව දිවයිනේ නන් දෙසින් එක් රොක් වුණු බාල මහලු සහ තරුණ ප්‍රජාව රජයට බලයෙන් පහ ව යන ලෙස බල කරමින් දැඩි විරෝධතාවකට සිය අරගල බිම බවට පත්කර ගත්තේ, කොළඹ – ගාලු මුවදොර පිටිය අවට ප්‍රදේශය යි.

බොහෝ තරුණ පිරිස් එම ස්ථානයේ අරගල කරමින්, ජනාධිපති ලේකම් කාර්යාලය අසලට එක් රොක් වී කූඩාරම් සවි කරගනිමින් දිවා රෑ මෙන්ම අව් වැසි නො තකා ද සිය විජයග්‍රහණය වෙනුවෙන් අරගල බිමෙහි රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

ජාති ආගම් භේද නොසලකා එකා මෙන් සිය මවුබිම වෙනුවෙන් උපන් අසීමිත ප්‍රේමය හා කැක්කුම වෙනුවෙන් අරගල කරන තරුණ ප්‍රජාව පිළිබඳ මුළු රට ම කතාබහට ලක් කරන කාරණයක්.

***************************************

භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිලාභ ඉහළ ම අගයකට

(11.04.2022 – 21:25 +0530 – hirunews.lk/sinhala)

රජයේ භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාත වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (10) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී වසරකින් (1) කල් පිරෙන බිල්පත් සඳහා ඵලදා අනුපාතිකය සියයට විසි තුනයි දශම තුනයි හයක් (23.36) ලෙස සටහන් වුණා.

පසුගිය වෙන්දේසියේ දී එම බිල්පත් සඳහා හිමිවූයේ සියයට 15.69 ක පොලී අනුපාතිකයක්.

එහි දී දින 182 කින් එනම් මාස හයකින් (6) කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා සියයට 22.73 ක පොලී අනුපාතිකයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, මාස 3 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා ප්‍රකාශිත පොලී අනුපාතික සියයට 19.71 ක් ෴

***************************************

ශෂීන්ද්‍රගේ පුටුව ශාන්ත බණ්ඩාරට

(11.04.2022 – 21:44 +0530 – hirunews.lk/sinhala)

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය තනතුර සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර දිවුරුම් දී තිබෙනවා.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමෙන් පසු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය ද හිස් වූ අතර, එම පුරප්පාඩුවට යි ශාන්ත බණ්ඩාර පත් කර ඇත්තේ.

ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් අයෙක් වීම විශේෂත්වයක්.

එමෙන්ම ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට ද කටයුතු කරනවා.

මේ අතර, විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පියංකර ජයරත්න ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිළිගෙන නොමැති බව ද වාර්තා වනවා ෴

***************************************

ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් සාකච්ඡාවක

(11.04.2022 – 22:53 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේදී ජනතා අභිලාෂ නොසලකා හැර වගකීම් විරහිතව මහජන නියෝජිතයින් කටයුතු කළ ආකාරය පිළිබඳව දැඩි කනගාටුව පළ කරන බව ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් පවසනවා.

මල්වතු මහා විහාරයේ අද (11) පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ඒකාබද්ධ සාකච්ඡාවක් මල්වතු මහා විහාරයේදී පැවැත්වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් මහා සංඝරත්නය පවසන්නේ පාර්ලිමේන්තුවේ පැවති දින 3 ක විවාදයේදී රට තුළ පවත්නා අර්බුදයන් සඳහා පැහැදිලි විසඳුම් ඉදිරිපත් කරනු ඇතැයි තමන් වහන්සේ බලාපොරොත්තු වූ බවයි.

සැබෑ අර්බුදයට විසඳුම් ලබාදෙනවා වෙනුවට ඇතැම් දේශපාලනඥයින් විසින් සිදුකරන අදූරදර්ශී ප්‍රකාශ අර්බුදය උග්‍ර කිරීමට හේතු වූ බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙන්වා දෙනවා.

අර්බුදය විසඳා ගැනීම සඳහා ත්‍රෛනිකායික මහා නා හිමිවරු ඉදිරිපත් කළ යෝජනා අනුව කටයුතු කිරීමට අවශ්‍ය විධි විධාන යොදා ඇතැයි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම සාකච්ඡා අවස්ථාවේදී මහා නා හිමිවරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

වත්මන් අර්බුදය සමනය කර ගැනීමට රාජ්‍ය නායකත්වය සමඟ මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාධනීය ලෙස සාකච්ඡා කිරීම ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ අභිලාෂය බවද අදාළ නිවේදනයේ සඳහන්.

***************************************

ගෝඨාභය රට ඉදිරියට රැගෙන යන්න හදන්නේ අන්දයින්ගෙන් පාර අහගෙන (27.03.2022)

***************************************

විරෝධතාකරුවෝ අඛණ්ඩ සටනට ගෝල්ෆේස්හි පදිංචි වෙති – කෑම වෛද්‍ය පහසුකම් වැසිකිලි හා නිදන කූඩාරම් (11.04.2022)

***************************************

සෙවනගල මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට

(11.04.2022 – 08:28 +0530 – hirunews.lk/sinhala)

සෙවනගල – සමාධිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතන කිරීමේ සිද්ධියකට සම්බන්ධ 4 දෙනෙකු උඩවලව – මලබොටුආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 07 වන දා පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී 33 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පළා ගොස් සිටි අතර සිදුකළ පරීක්ෂණවලින් අනතුරුවයි ඊයේ (10) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් අවුරුදු 22 සහ 35 අතර වයස්වල පසුවන සෙවනගල ප්‍රදේශයේම පදිංචිකරුවන්.

ඔවුන් සතුව තිබී ඝාතනය කිරීමට යොදා ගත් තියුණු ආයුධය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්

(11.04.2022 – 09:13 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය මධුශාන් පුතා නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු මුහුදට වැටීමෙන් අතුරුදන් වී තිබෙනවා.

පසුගිය 9 වන දා මෙම බහුදින යාත්‍රාව තවත් නෞකාවක ගැටීමෙන් අනතුරට ලක්වුණා.

පසුව එහි සිටි ධීවරයන් මුහුදට ඇද වැටී ඇති අතර, සිව් දෙනෙකු (4) අදාළ නෞකාව මගින් බේරාගෙන තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ 49 හැවිරිදි අහංගම – ගුරුල්ලවල ප්‍රදේශයේ පදිංචි ධීවරයෙක්.

අදාළ ධීවර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ පසුගිය 07 වන දායි ෴

***************************************

ඩෙල්ෆ් දූපතෙන් මතු වූ රුපියල් මිලියන අටේ (8) මත්ද්‍රව්‍ය තොගය

(11.04.2022 – 12:51 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 8 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ අද (11) පෙරවරුවේ යාපනය – ඩෙල්ෆ් දූපතට ඔබ්බෙනුයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදීයි, මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගැනුණේ.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 01 ක් වන අතර, එහිදී සැකකරුවන් 03 කුත් නාවික හමුදාව විසින් තම භාරයට ගත්තා.

සැකකරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත්, ඩිංගි යාත්‍රාවක් ද නාවික හමුදාව විසින් සොයාගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුනරීන් සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

***************************************

වාරි ජලාශවල ජල ධාරිතාව සියයට 70 දක්වා ඉහළට

(11.04.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala)

පෙර දිනයට සාපේක්ෂව අද (11) දිනයේ වර්ෂාවේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඔහු කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළදීත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, ජලාශ 5 ක වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන කියා සිටියේ දැදුරුඔය, රාජාංගණය, අංගමුව, රඹකැන්ඔය, මඩකලපුව – උන්නෙච්චි යන ජලාශවල මෙලෙස වාන් දොරටු විවෘත කර ඇති බවයි.

එමෙන්ම වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාව සියයට 4 කින් ඉහළ යාමත් සමග අද වන විට එම ජලාශවල ජල ධාරිතාව සියයට 70 මට්ටමට ළඟා වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා ෴

***************************************

දඹුල්ලට වාර්තාගත එළවළු සැපයුමක්

(11.04.2022 – 13:15 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පෙර දිනට සාපේක්ෂව අද (11) පෙරවරුවේ එළවළු කිලෝ ලක්ෂ 30 කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ එළවළු රැගෙන එන ගොවීන් සහ එළවළු මිල දී ගැනීම සදහා ව්‍යාපාරිකයින් වැඩි වශයෙන් පැමිණ සිටි බවයි.

කෙසේ වෙතත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා, ගෝවා, පිපිඤ්ඤා සහ කැකිරි යන එළවළු වර්ග හැර අනෙක් සෑම එළවළු වර්ගයක්ම ඉහළ මිලකට අලෙවි වී තිබෙනවා.

***************************************

යතුරුපැදියක් මෝටර් රථයක ගැටී දෙදෙනෙකු (2) මරුට

(11.04.2022 – 13:20 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ රිල්හේන ප්‍රාදේශීය සභාව අසළ දී යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඉදිරියෙන් ගමන් කළ බවුසර් රථයක් පසුකර යාමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථයේ යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් කොළොන්නාව සහ දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2) ෴

***************************************

අවුරුදු සමයේ ගැටලුවකට මැදි වූ ගිනිකෙළි කර්මාන්තය

(11.04.2022 – 13:43 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින ඩොලර් අර්බුදයත් සමඟ මෙරටට ගෙන්වන රසායනික අමුද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදනය පහත වැටී තිබෙනවා.

නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් දින 3 ක් පමණයි.

කොහාගේ හඬ වගේම රතිඤ්ඤා හඬ අලුත් අවුරුදු අසිරිය කියාපානවා.

නමුත්, රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදකයින් මේ වන විට අර්බුද රැසකට මුහුණ දී තිබෙනවා.

මේ ගිනිකෙළි නිෂ්පාදනයේ නිරත මහනුවර හල්ඔළුව ගම්මානයයි.

පාරම්පරිකව සිය වෘත්තීය සිදු කරගෙන ගිය මෙම ගම්මානයේ වැසියන් අද වන විට පත්ව ඇත්තේ දැඩි පීඩාවටයි.

ඒ, රට තුළ පවතින ඩොලර් අර්බුදයත් සමඟ ගිනිකෙළි නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික අමුද්‍රව්‍ය ආනයනය සීමා කිරීම හේතුවෙන් ගිනිකෙළි නිෂ්පාදනය අඩුවීමයි.

නිෂ්පාදනය අඩුවීමත් සමඟ ගිණිකෙළි මිලද ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර වඩා වැඩි සේවක පිරිසක් මෙම කර්මාන්තයේ නියුතුව සිටියත් අද වනවිට බොහෝ පිරිසක් වෙනත් වෘත්තීන් සඳහා යොමුව තිබෙනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

***************************************

ගුවන් සේවක වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන්

(11.04.2022 – 15:03 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු දීමනාවක් ඉල්ලා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සේවකයින් අද (11) උදෑසන ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

රුපියල් 30,000 ක අවුරුදු දීමනාවක් ඉල්ලමිනුයි ඔවුන් ගුවන් තොටුපල පරිශ්‍රය තුළ මෙම විරෝධතාව ආරම්භ කළේ.

එහිදී වෘත්තිය සමිති සහ ගුවන් තොටුපල බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අවුරුදු දීමනාව ලෙස රුපියල් 25,000 ක් ලබාදීමට එකඟත්වය පළවී තිබෙනවා.

ඒ අනුවයි ඔවුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *