ගෝඨා ඕනේ කියන අය සහ ගෝඨා එපා කියන අය අතර උණුසුම් තත්වයක්

ගෝඨා ඕනේ කියන අය සහ ගෝඨා එපා කියන අය අතර උණුසුම් තත්වයක්

*********************************************

ගෝඨා ඕනේ කියන අය සහ ගෝඨා එපා කියන අය අතර උණුසුම් තත්වයක්

(11.04.2022 – 16:14 +0530 – hirunews.lk/sinhala)

හලාවත නගරයේ රජයට පක්ෂ ව සහ විපක්ෂ ව පැවති විරෝධතාවක් අතරතුර අද (11) උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

පොලිසිය සහ යුද හමුදාව මැදිහත් වී එම තත්වය පාලනය කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් නගරයේ රථවාහන තදබදයක්ද හටගෙන ඇති අතර, විරෝධතාකරුවන්ගේ ගල් ප්‍රහාර හමුවේ වාහනයක වීදුරුවකට ද හානි සිදු ව ඇති බව හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

හලාවත නගරයේ රජයට පක්ෂ ව පැවති විරෝධතාවක් අතරතුර විරුද්ධව පැමිණි විරෝධතාකරුවන් පිරිසක් ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ යි උණුසුම් තත්ත්යක් මතු වූයේ.

***************************************

කැකිරාවේ රෝහල්වල වෛද්‍යවරු ඇතුළු කාර්‍ය මණ්ඩලය විරෝධතාවක

(11.04.2022 – 15:23 +0530 – hirunews.lk/sinhala)

රෝහල්වල පවතින ඖෂධ හිඟයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් කැකිරාව අවට රජයේ රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලවල වෛද්‍යවරුන්, හෙදියන් හා සෙසු සෞඛ්‍ය නිලධාරින් විසින් විරෝධතාවක් ආරම්භ කරනු ලැබ තිබෙනවා. ඒ අද (11) වැනිදා යි.

කැකිරාව රෝහල අසලට එක් වූ විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් හා විරෝධතා පුවරු රැගෙන සාමකාමී ලෙසිනු යි විරෝධතාව පවත්වා ඇත්තේ.

අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය පිළිබඳ කඩිනම් විසඳුම් ලබා දී රෝගී ජීවිත ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් යෝජනා කරන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් මෙහි දී ඉල්ලීම් කර ඇති බව වාර්තා වනවා.

උද්ඝෝෂණය පැවති අවස්ථාවේ නගර ආරක්ෂාව සඳහා කැකිරාව පොලිස් ස්ථානය කටයුතු කළ බවත් සඳහන්.

***************************************

අසත්‍ය තොරතුරක් ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් පැහැදිළි කිරීමක්

(11.04.2022 – 16:38 +0530 – hirunews.lk/sinhala)

මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි කියන පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ එම වාර්තාවල සඳහන් කරුණු අසත්‍ය වන අතර එවැනි රැස්වීමක් ද නොපැවති බවයි.

ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලදී නිල නොවන පුද්ගලයින් තනතුරු දැරූ අවස්ථා නොමැති බව ජාතික ආරක්ෂක කවුන්සිලයේ සංයුතිය සහ වැදගත්කම පිළිබඳ පැහැදිළි කරමින් ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සියලුම තීරණ ගැනීමේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආයතනය ජාතික ආරක්ෂක කවුන්සිලය වන බැවින් මෙම රැස්වීම සඳහා සත්කාරකත්වය සපයනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින්.

ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ ධුරයට පත්වීමෙන් පසු කිසිදු නිල නොවන පුද්ගලයෙකුට මෙම රැස්වීම සඳහා ආරාධනා කර හෝ අවසර ලබාදී නොමැති බවයි.

ජාතික ආරක්ෂාවට බලපාන කරුණු ඇත් නම් ඊට අදාළ ආයතනවල ප්‍රධානීන් කැඳවා ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කෙරෙනු ඇති බව එම නිවේදනයේ සඳහන්.

එබැවින් මෙම තොරතුරු වැරදි පදනම් විරහිත සහ ජනතාව නොමග යවන සුළු වන අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් සහ බෙදාහැරීමෙන් වළකින ලෙසටයි ආරක්ෂක අමාත්‍යංශය උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යංශය විසින් රටේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු අධීක්ෂණය කිරීම සිදුකරනු ලබන අතර ජාතික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ නිරන්තරයෙන් තොරතුරු ලබාදෙන බව ද ආරක්ෂක ලේකම්වරයා සිය නිවේදනය මගින් ප්‍රකාශකර තිබෙනවා ෴

***************************************

මෙම මස අවසන් වන විට විදෙස් සංචිත අවසන් විය හැකි බව හිටපු අගමැති රනිල් කියයි

(11.04.2022 – 17:06 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත අවසන් විය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ලබාගත් ණය ද මැයි මස දෙවන (2) සතිය පමණ වන විට අවසන් වනු ඇති බවටයි හිටපු අගමැතිවරයා අනාවැකි පළ කළේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සහ ඒ තුලින් ජනතාව මුහුණදෙන පීඩාව පිළිබඳ විදෙස් මාධ්‍ය ආයතනයක් කළ සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළා.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මේවන විට ඉතා බරපතල තත්ත්වයක පවතින බවයි.

එමෙන්ම ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ලබාගත් ණය ද මැයි මස දෙවන (2) සතිය පමණ වන විට අවසන් වනු ඇති බවටයි හිටපු අගමැතිවරයා අනාවැකි පළ කළේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සහ ඒ තුලින් ජනතාව මුහුණදෙන පීඩාව පිළිබඳ විදෙස් මාධ්‍ය ආයතනයක් කළ සාකච්ඡාවකදී යි හිටපු අග්‍රාමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළා.

එමෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාගත් ණය මුදල් ද මැයි මාසයයේ අවසානය වන විට අවසන් වනු ඇති බවටයි රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු අඟවන්නේ.

ඇතැම් කණ්ඩායම් විශ්වාසය පළ කරන්නේ ලබාගෙන ඇති මෙම ණය මුදල් මැයි මස මැද භාගය වන විට අවසන් වනු ඇති බවට ද ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ජුනි මාසය වන විට පෞද්ගලික අංශයට සිය සේවා පවත්වාගෙන යාම සඳහා ඩොලර් නොමැති වන බව හිටපු අගමැතිවරයා සිය සංවාදයේදී ප්‍රකාශ කළා.

මෙවර ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය අඩුවීම පිළිබඳව කරුණු දක්වමින් රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ විදෙස් රටවලින් සහල් ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් රට තුල පවතිනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

මධ්‍යම පාන්තික ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටින අතර ගොවීන්ට ප්‍රමාණවත් අස්වනු නොලැබීම හමුවේ පීඩාවකට පත්ව සිටිනවා.

එමෙන්ම මෙම ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයන් ද ගැටලුවලට මුහුණදී සිටින බවයි හිටපු අගමැතිවරයා විදෙස් මාධ්‍ය සමග පැවති සාකච්ඡාවේදී කියාසිටියේ.

තරුණයන් නායකත්වය දෙන උද්ඝෝෂණ සහ විරෝධතා රැළි මේවන විට රට පුරා ආරම්භ වී තිබෙන අතර පසුගිය සෙනසුරාදා ගාලුමුවදොර පිටියට රැස්වූ විරෝධතාකරුවන් පිළිබඳව ද රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධානය යොමු කළා.

ජනාධිපති ලේකම් කාර්යාලය අසන එම විරෝධතාකරුවන් තවදුරටත් රැඳී සිටීම පිළිබඳ ඔහු විදෙස් මාධ්‍ය වෙත කරුණු දැක්වූවා.

මෙවැනි දැවැන්ත විරෝධතා මෙන්ම රජයට පාර්ලිමේන්තුවේ බලය අඩුවීම හමුවේ මෙතෙක් ගැටලුවලට විසඳුමක් ගැනීම පිළිබඳ සුබදායී තත්වයක් දක්නට නොමැති බවයි හිටපු අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා විසින් නව රජයක් ස්ථාපිත කිරීමට උත්සාහ කළ ද අවසන් ප්‍රතිඵලය කුමක් ද යන්න මෙතෙක් කරුණු දැක්වීමට හැකියාවක් නොමැති බව ඔහු කියාසිටියා.

මේ අතර මෙම තත්වයෙන් මිදීමට ගත යුතු පියවර පිළිබඳ විදෙස් මාධ්‍යවේදීන් මෙහිදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්ණ කළා.

ඔහු එහිදී කියාසිටියේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය යුතු බවට පවසමින් රට තුල දැවැන්ත විරෝධතා රැල්ලක් මතුවෙමින් ඇති බවයි.

මෙහිදී සිදු කළ යුතු වන්නේ ජනපතිවරයා ඉවත් වීම හෝ ජනතාවට පිළිගත හැකි නව වැඩපිළිවෙලක් සමග ජනාධිපතිවරයා ජනතාව හමුවට පැමිණීම බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

***************************************

ඉන්ධන රැස් කරගෙන, වැඩි මිලට අලෙවි කරන අයට වැඩ වැරදෙන ලකුණු

(11.04.2022 – 18:06 +0530 – hirunews.lk/sinhala)

හෙට (12) දිනයේ මෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති 13 වනදා සහ 14 වනදා ඩීසල් සහ පෙට්‍රල් – කෑන්, බූලි ආදියට ලබා නොදෙන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ කෘෂිකර්මාන්තයේ නිරත පිරිස් ඉන්ධන ලබාගැනීමේදී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සහ කෘෂිකර්ම නිලධාරිවරයාගේ අවසරය රැගෙන ආ යුතු බවයි.

කෙසේ වෙතත් භූමි තෙල් සදහා මෙම තත්ත්වය බලනොපාන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර ඉන්ධන රැගෙන ගොස් බලපත්‍ර නොමැතිව අලෙවි කරන්නන් සොයා හෙට (12) සිට වැටලීම් වැඩි කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා ඩීසල් මෙන්ම පෙට්‍රල් නොමැතිවීම් වාර්තා වන අතර ඇතැම් ඉන්ධනහල්වල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

එමෙන්ම මීගමුව නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් හයෙන් පහක්ම (5/6) මේ වනවිට ඩීසල් නොමැතිව වසා දමා ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ගාල්ල – හිනිඳුම – තවලම ප්‍රදේශයේ සිපෙට්කෝ පිරවුම්හල අසල ඩීසල් ලබා ගැනිමට පෝලිමක රැදි සිටි පුද්ගලයෙකු අද (11) උදෑසන ජිවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි ගාල්ල – හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (10) දිනයේදී ද පෝලිම්වල සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) මිය යාමේ පුවත් වාර්තා වුණා.

මේ අතර, ලබන 13, 14 සහ 15 යන දිනවල විදුලි කප්පාදුවක් සිදුනොවන අතර, 16 සහ 17 දිනවල පැය දෙකයි (2) විනාඩි 15 ක විදුලි කප්පාදුවක් පමණක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

මේ අතර, ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විරෝධතාවල නිරත වුණා.

එවැනි විරෝධතාවක් හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ ගාල්ල – සමුද්‍ර වීථියෙන් අවහිර වූ අතර, ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අහුංගල්ල ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (11) උදෑසන විරෝධතාවයේ නිරත වුණා.

***************************************

අයි.එම්.එෆ්. ණය ගන්නත් දේශපාලන සංහිඳියාවක් අවශ්‍ය බවට මතයක්

(11.04.2022 – 19:12 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ දේශපාලන පක්ෂ ඇතුලු මෙරට සියලු පාර්ශවකරුවන්ගේ සහතිකවීමකින් තොරව ශ්‍රී ලංකාව සඳහා කඩිනම් ණය වැඩසටහනකට එකඟවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැලිවනු ඇතැයි ජාත්‍යන්තර වෙළඳපොල විශ්ලේෂණ ආයතනයක් පවසනවා.

‘සිටි ගෲප් ග්ලෝබල් මාකට්ස්’ හෙවත් ‘ගෝලීය වෙළඳපොල පිළිබඳ සිටි සමූහයේ’ ආසියා පැසිෆික් කලාපීය ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරිය වන ජොඈනා චුවා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනකට සම්බන්ධ දැඩි කොන්දේසි ක්‍රියාත්මක කරලීම සඳහා පුළුල් දේශපාලන සහයක් අවශ්‍ය වන බවයි.

වත්මන් වාතාවරණය යටතේ එය අභියෝගකාරී වන බව ඇය සඳහන් කළා.

සිටි සමූහයේ ආර්ථික විද්‍යාඥවරිය වැඩිදුරටත් කියා සිටියේ මහ බැංකුව මගින් අසාමාන්‍ය ලෙස පොලී අනුපාත ඉහළ නැංවීම මගින් යම් විශ්වසනීයත්වයක් ගොඩනංවා ඇති බවයි.

කෙසේ නමුත් දේශපාලනමය අර්බුදයක් පවතින විට එය, ණය පැහැර හැරීමේ අවදානම තුරන් කිරීමට ප්‍රමාණවත් නොවන බව ඇය අවධාරණය කළා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය නොගෙවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවයි ඇය සඳහන් කළේ.

අප්‍රේල් 18 වනදා ගෙවීමට නියමිත ණය කුවිතාන්සි පියවීම සඳහා ඩොලර් බිලියන 2 කට අඩු මෙරට සංචිත ප්‍රමාණවත් නොවන බවද සිටි සමූහයේ ආසියා පැසිෆික් කලාපීය ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරිය වන ජොඈනා චුවා වැඩිදුරටත් සඳහන් කළා.

දැනට පවතින සංචිත චීනය, ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ පවතින විනිමය හුවමාරු ණය පියවීමට ද ප්‍රමාණවත් නොවන බවයි ඇය කියා සිටියේ ෴

***************************************

තැන් දෙකකදී (2) පක්ෂ විපක්ෂ ආධාරකරුවන් ගැටේ

(11.04.2022 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට පක්ෂව සහ විපක්ෂව විරෝධතාවල නිරතවු පිරිස් අතර ගැටුම්කාරි සිදුවීම් කිහිපයක් අද (11) ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.

මේ අතර ගාලුමුවදොර පරිශ්‍රයේ ආරම්භ කළ විරෝධතාව අද (11) තුන්වන (3) දිනටත් ක්‍රියාත්මකයි.

එහිදී විරෝධතාවයට පැමිණ සිටි පුද්ගලයෙකු එම ස්ථානයෙන් ධාවනය වූ මෝටර් රථයක ගැටී අනතුරට ලක්ව ඇති අතර ඊට එහි සිටි පිරිසගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

එමෙන්ම ගාලු මුවදොර විරෝධතාව පැවැත්වෙන ප්‍රදේශය ‘ගෝඨාගෝගම’ යනුවෙන් ගූගල් සිතියමටද එක් කිරීම අද (11) දිනයේ මෙම විරෝධතාවට සමගාමීව සිදුවූ විශේෂ සිද්ධියක්.

මේ අතර ප්‍රදේශ කිහිපයකදී ජනාධිපතිවරයාට සහය පළකිරීමේ උද්ඝෝෂණද සංවිධාන කර තිබුණා.

ජනාධිපතිවරයාට සහය පළ කරමින් අනුරාධපුර – පොදුජන පෙරමුණු දිස්ත්‍රික් කාර්යාලය අසලින් ආරම්භ කළ පාගමනක් පැවත්වුණේ උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්ගේ ප්‍රධානත්වයෙන්.

අනුරාධපුර ඔරලෝසු කණුව දක්වා පාගමනින් පැමිණ උද්ඝෝෂණයේ නිරත වූ ඔවුන් නැවත පාගමනින් පොදුජන පෙරමුණු කාර්යාලය වෙත ගමන් කළ අතර එම ස්ථානයට වැඩම කළ ස්වාමීන් වහන්සේ හා පාගමනේ නිරතවූවන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

මේ අතර මෙම පාගමනට විරෝධය පළකරමින් තණකොළ සහ පුනක්කු දන්සලක් සංවිධානය කර තිබුණේ අනුරාධපුර තරුණ කැල විසින්.

හලාවත නගර මධ්‍යයේද අද විරෝධතා දෙකක් පැවති අතර එම විරෝධතා ආණ්ඩුවට පක්ෂව සහ විපක්ෂව සංවිධාන කර තිබුණා.

ආණ්ඩුවට එරෙහිව හලාවත නගර මධ්‍යයේ පිරිසක් පළමුව විරෝධතාවයේ නිරත වු අතර එම ස්ථානයට ජනාධිපතිවරයාට සහාය පලකරමින් තවත් පිරිසක් පැමිණිමත් සමඟ ඇතිවුනේ උණුසුම් තත්ත්වයක්.

මේ අතර, කතෝලික පියතුමන් පිරිසක්ද විරෝධතා පාගමනකින් හලාවත නගරයට පැමිණි අතර එම විරෝධතා හේතුවෙන් අද (11) හලාවත නගරයේ දැඩි රථවාහන තදබදයක් පැවති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ජාතික ජනබලවේගයද අද (11) ප්‍රදේශ කිහිපයකදි විරෝධතා සංවිධානය කර තිබුනා.

එමෙන්ම, රටටත් ජනතාවටත් දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක කතෝලික ජනතාව පාගමන් සහ නිහඩ විරෝධතාවල නිරත වුණා.

අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ විදේශිකයන් පිරිසක්ද කහව පාලම මතදී විරෝධතාවක නිරත වුනේ මෙරට තුල උද්ගතව ඇති තත්ත්වයට විරෝධය පලකරමින්.

මෙම විරෝධතාවලට සමගාමීව විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ද අදත් (11) විරෝධතාවල නිරත වුනා.

මේ අතර, මිරිහාන ප්‍රදේශයේ ඇතිවු ප්‍රචණ්ඩකාරී විරෝධතාව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි එල්ලවන චෝදනා පදනම් විරහිත බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

ඒ පිළිබඳ පළවූ තොරතුරු අසත්‍ය බවත් එවැනි රැස්වීමක් නොපැවති බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කළා.

***************************************

අර්බුදය ගැන කියන මුරලි

(11.04.2022 – 22:44 +0530 – hirunews.lk/sinhala)

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද ඉන්දීය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙරට පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *