ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙකු (1) මරුට

ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙකු (1) මරුට

*********************************************

ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙකු (1) මරුට

(11.04.2022 – 09:07 +0530 – hirunews.lk/sinhala)

ඩීසල් ලබා ගැනීමේ අරමුණින් පිරවුම්හලක් අසල පෝළිමේ රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල හබරකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙක්.

මේ අතර යළිත් පෙට්‍රල් හිඟයක් මතුවීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ඉන්ධන හල් වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඇද හැලුණු අධික වැසි ද නොතකමින් ජනතාව තවදුරටත් පෙට්‍රල්, ඩීසල්, සහ ගෑස් ලබා ගැනීමේ අරමුණින් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

මේ අතර, යළිත් පෙට්‍රල් හිඟයක් පවතින බවට වාර්තා වන පසුබිමක බොහෝ පිරවුම්හල් වසා දමා ඇති ආකාරය මෙලෙස දක්නට ලැබුණා.

ඇතැම් පිරවුම්හල් අසල උණුසුම් තත්ත්වයන් ද වාර්තා වුණා.

ගාල්ල – හිනිදුම – තවලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඩීසල් ලබා ගැනීමට පෝලිමේ රැඳි සිටි පුද්ගලයෙකු අද (11) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය ලොරි රථයට ඩීසල් ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා පිරවුම් හල අසලට පැමිණ ඇති අතර, පැයකට (1) ආසන්න කාලයක් එහි රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ එහිදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි ගාල්ල – හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගෑස් හිඟයටද තවමත් නිසි විසඳුමක් ලැබී නොමැති අතර ජනතාව මහ වැසි ද නොතකමින් පෝළිම්වල රැඳී සිටියේ මෙලෙසින්.

මේ අතර ගෑස් ඉල්ලා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය සමුද්‍ර වීදියෙන් හරස්කර විරෝධතාවක් ද පැවැත්වුණා.

කෙසේ වුවත් දෛනිකව ගෑස් සිලින්ඩර 1,10,000 බැගින් ඊයේ (10) සිට වෙළෙදපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළේ.

මාලදිවයිනේ සිට මෙරටට ළඟා වූ ගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ද ඊයේ (10) සිට ක්‍රියාත්මකයි.

දිවයින පුරා භුමිතෙල් පෝලිම්වල ද තවමත් අඩුවක් දක්නට නැහැ.

මේ අතර දිවයින පුරා කාණ්ඩ 2 ක් යටතේ අද (11) සිට යළිත් පැය 4 ක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

+++++++

විරෝධතාවක් හේතුවෙන් ගාල්ල – මාතර මාර්ගය අවහිර වෙයි

(11.04.2022 – 09:55 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් සිදු කරන විරෝධතාවක් හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ ගාල්ල – සමුද්‍ර වීථියෙන් අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර, ගෑස් ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ තවත් කොටසක් අවහිර වී තිබෙනවා.

මෙලෙස අවහිර ව ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයෙනුයි.

***************************************

කාසල් රෝහලේ නව ඡන්ම දරුවන්ට, කෘත්‍රීම ශ්වසනයට අවශ්‍ය උපකරණවල හිඟයක්

(11.04.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala)

කාසල් වීථිය කාන්තා රෝහලේ නව ඡන්ම දරුවන්ට කෘත්‍රිම ශ්වසනයට අවශ්‍ය වෛද්‍ය උපකරණවල තොග අවසන් වෙමින් පවතින බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් එම උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සහාය ඉල්ලා වෛද්‍යවරුන් මේ වන විටත් විදේශගත පිරිස් වෙත විවිධ දැනුවත් කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෘත්‍රීම ශ්වසනය ලබාදීමේදී ශ්වසන ආධාරක සහ පෙනහළු සම්බන්ධ කෙරෙන ප්ලාස්ටික් බටවල හිගයක් ඇතිවීමේ අවදානම වළක්වා ගැනීමේ අරමුණින් ඔවුන් එම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.

මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ද සායනවලින් ප්‍රතිකාර ලබන දරුවන්ට මීට පෙර මාස 3 ක කාලයකට ඖෂධ නිකුත් කිරීම සිදුකළ ද එය මේ වන විට මසක (1) කාලයකට සීමා කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සදහන් කළේ පවතින ඩොලර් අර්බුදය හමුවේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවත්වා තොග කළමනාකරණය සඳහා එම පියවර ගත් බවයි ෴

***************************************

මව්බිම රැකගැන්මට එතෙර ලාංකිකයෝත් වීදි බසිති

(11.04.2022 – 10:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රජයේ දූෂිත පාලනයට එරෙහිව මේ වනවිට රට පුරා ජනතාව වීදි බැස් ඇති අවස්ථාවක, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් ද ඊට සහාය පළ කරමින් විවිධ අවස්ථාවලදී එරට රටවල්වලදී විරෝධතා සංවිධානය කරන අයුරු දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාව තුළ දැඩි ආර්ථික අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කළ බවට චෝදනා ලබන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමතිවරුන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරුවලින් ඉල්ලා අස්වී රට ගොඩනැගිය හැකි පාලනයකට රට භාර කරන ලෙසයි මෙරට විරෝධතාකරුවන් මෙන් ම එතෙර ශ්‍රී ලාංකික විරෝධතාකරුවන් ද ඉල්ලා සිටින්නේ.

ඒ අනුව අද (11) දිනයේ දී බ්‍රිතාන්‍යයේ හෙන්ලි ප්‍රදේශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ද වත්මන් දූෂිත සහ අකාර් යක්ෂම රාජ්‍ය පාලනය වහාම අතුගා දැමිය යුතු බවට බල කරමින් උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර, ඊයේ (10) දිනයේ දී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී මෙන්ම ජපානයේ තෝකියෝ නගරය සහ තවත් නගර කීපයක ද විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් එරට වෙසෙන ලාංකික ප්‍රජාව විසින් මෙරට අර්බුදකාරී දේශපාලනයට සිය විරුද්ධත්වය පළ කර අයුරු දක්නට ලැබුණා.

මේ අතර, දූෂිත පවුල් පාලනයට එරෙහිව විශාල විරෝධතාවක් ඉතාලියේ වෙරෝනා නගරයේ දී හා රෝමයේ ද පැවැත්වුණා.

ඒ ඊයේ (10) දිනයේ දී.

මීට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙන් ම ශ්‍රී ලංකාවට ආදරය කරන එරට ඉතාලි ජාතිකයින් මෙන්ම විදේශිකයින් පිරිසක් ද එක්ව සිටියා.

එමෙන්ම පසුගිය සතියේ දී ස්කොට්ලන්තයේ පර්ත් සහ ඩන්ඩි නගරවල දී මෙන් ම රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී ද ශ්‍රී ලාංකිකයින් විසින් සිය මාතෘභූමිය රැකගැනීම සඳහා අරගල සිදු කළා.

***************************************

ගාලු මුවදොර අරගලයෙන් කරළියට ආ අලුත් ම ‘ගම’ : ‘ගෝඨාගෝගම’

(11.04.2022 – 10:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ආර්ථිකය දුගී දුප්පත්භාවයට පත් කරමින්, ජනතාව දරිද්‍රතාවයේ උපරිමයට ගෙන ඒමේ බරපතළ විපාකය උදාකළේ වත්මන් ආණ්ඩුව බවට චෝදනා කරමින් දිවයින පුරා සිටින සියලුම තරුණ ප්‍රජාව එක්ව විශාල විරෝධතාවක් ආරම්භ කළේ පෙරේදා (09) දිනයේ දී යි.

ඒ අනුව දිවයිනේ නන් දෙසින් එක් රොක්වුණු බාල, මහලු සහ තරුණ ප්‍රජාව රජයට බලයෙන් පහව යන ලෙස බල කරමින් දැඩි විරෝධතාවකට සිය අරගල බිම බවට පත්කර ගත්තේ, කොළඹ – ගාලුමුවදොර පිටිය අවට ප්‍රදේශයයි.

බොහෝ තරුණ පිරිස් එම ස්ථානයේ අරගල කරමින්, ජනාධිපති ලේකම් කාර්යාලය අසලට එක් රොක් වී කූඩාරම් සවි කරගනිමින්, දිවා රෑ මෙන්ම අව් වැසි නොතකා ද සිය විජයග්‍රහණය වෙනුවෙන් අරගල බිමෙහි රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

එවන් පසුබිමකදියි, වත්මන් ජනාධිපතිවරයාගේ නමින් නම් කෙරුණු නාමයක් සහිත පුවරුවක් සවිකළ පාඨයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලයේ වැඩි කතාබහකට පත්ව ඇත්තේ.

අරගලකරුවන් විසින් සිය කූඩාරම් අටවා ගත් අරගල බිමෙහි එක් කොටසක් නම් කර ඇත්තේ, ‘ගෝඨාගෝගම’ (GOTAGOGAMA / GOTAGO VILLAGE) යනුවෙන් ය.

විවිධ සටන් පාඨ ලියූ පුවරු තවදුරටත් එම අරගල බිමේදී ම නිර්මාණය කරමින් තරුණ අරගලකරුවන් රැය පහන් කිරීම ද මේ වනවිට සිදු කරනුයේ ගාලු මුවදොර පිටියේ දීයි.

වත්මන් පාලනය හේතුවෙන් මෙරට අසරණ ජනයා කබළෙන් ළිපට වැටී ඇති බව පෙන්වා දෙන තරුණ බලපෑම් කණ්ඩායම් කියා සිටින්නේ, වහාම ජනාධිපතිවරයා සිය තනතුර අතහැර ගෙදර යා යුතු බවයි.

ඔවුන් එය සිය අරගල බිමෙහි බොහෝ සෙයින් ප්‍රදර්ශනය කිරීමට උත්සුක වී ඇත්තේ, ‘Gota Go Home’ යනුවෙන්.

කෙසේවෙතත්, මෙවන් තත්ත්වයක් තුළ තවදුරටත් අරගලය අත්නොහැර අරගල බිමෙහි රැඳී සිටින විරෝධතාකරුවන් හට අවශ්‍ය ආහාරපාන, ඖෂධ මෙන්ම වෙනත් අත්‍යවශ්‍ය පහසුකම් ලබාදීමට ද විවිධ සංවිධාන මෙන් ම කණ්ඩායම් කටයුතු කරමින් සිටින අයුරු ද වාර්තා වනවා.

ඒ සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව ද සහායෝගය දක්වන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ද විරෝධතාකරුවන් විසින් අදාළ අරගල බිමෙහි දී ම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද වාර්තා වනවා.

+++++++

තව තවත් රත් වෙන ගෝල්ෆේස් – ජනපතිට එරෙහිව රට වටා අරගල

(11.04.2022 – 12:41 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ඉල්ලා ගාලු මුවදොරදී ආරම්භ කළ විරෝධතාව අද (11) අඛණ්ඩ තුන්වැනි (3) දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර, ජනතා ගැටලුවලට කඩිනම් විසඳුම් ඉල්ලා තවත් ප්‍රදේශ රැසක මෙන්ම විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ද විරෝධතාවල නිරත වුණා.

රටේ උද්ගතව පවතින අර්බුදයට විසඳුම් ඉල්ලා පසුගිය 09 වැනිදා ගාලු මුවදොරදී ඇරඹි‍ ජනතා විරෝධතාව ඊයේ (10) රාත්‍රියේත් පැවැත්වුණා.

මේ හේතුවෙන් ගාලු මුවදොර අවට ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබූ අතර විරෝධතාකරුවන් ගාලු මුවදොර පිටියේ සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියා.

රැය පහන් කළ සිටින විරෝධතාකරුවන් වෙනුවෙන් පාර්ශ්ව රැසක් ස්වෙච්ජාවෙන් ආහාර පාන ආදිය ගෙනැවිත් දීමට ඊයෙත් (10) පියවර ගත්තා.

මේ අතර ගාලුමුවදොර පිටියේ සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තවමත් ඔවුන් රැදී සිටින අයුරු දැකිය හැකියි.

මේ අතර, ත්‍රිකුණාමලය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ස්වාමීන් වහන්සේ පිරිසක් ත්‍රිකුණාමල නගරයට පාගමනින් වැඩම කර ත්‍රිකුණාමල නගර මධ්‍යයේ දී විරෝධතාවයේ නිරත වුණා.

ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, ජනතාව පත්ව ඇති අපහසුතාවලට විසඳුම් ලබාදීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් දිවයිනේ තවත් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.

මේ අතර රටේ උද්ගතව ඇති වත්මන් අර්බුදයට විසඳුම් ඉල්ලා, දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක කතෝලික ජනතාව පාගමන් සහ නිහඬ විරෝධතා සංවිධානය කර තිබුණා.

අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ සිටින විදේශිකයින් පිරිසක් කහව පාලම මත දී වත්මන් අර්බුදයට විරෝධය පළකළා.

මේ අතර ප්‍රදේශ කිහිපයකදී ජනාධිපතිවරයාට සහය පළකිරීමේ උද්ඝෝෂණ ද සංවිධාන කර තිබුණා.

***************************************

රුපියල් 330 කට ආසන්න වූ ඩොලරයේ අගය

(11.04.2022 – 11:32 +0530 – hirunews.lk/sinhala)

වාණිජ බැංකු කිහිපයක අද (11) දිනයේ දී අමරිකානු ඩොලරයක විකුණුම් අගය ඉහළම අගයක් වාර්තා කර තිබෙනවා.

ඒ රුපියල් 330 කට ආසන්න කරමින්.

ඩොලරයෙහි ගැනුම් මිල රුපියල් 316.79 ක් ව තීරණය වෙද්දී, එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 327.49 ක් ලෙසයි.

රටේ පවතින දැඩි මූල්‍ය සහ ආර්ථික අර්බුදය හේතුවෙනුයි, රට තුළ ඩොලරයක අගය උපරිමයකට දිනෙන් දින දෝලනය වෙමින් පවතින්නේ.

ඊට හේතුව පසුගිය දිනෙක උද්ධමනය අවප්‍රමාණය කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල පා කර හැරීමයි.

එමෙන්ම, යුරෝ ගැනුම් මිල රුපියල් 347.85 ක් ලෙසත්, වඑහි විකුණුම් මිල රුපියල් 359.55 ක් ලෙසත් දැක්වුණා.

රුපියල් 413.03 ක් ලෙස සටහන් වූයේ බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල වන අතර එහි විකුණුම් මිල වූයේ රුපියල් 427.91 ලෙසයි.

***************************************

අන්තර්වාර පාලනය සහ විශ්වාසභංග යෝජනාව

(11.04.2022 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (10) පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ අන්තර්වාර පාලනයක් පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකළ බවයි.

හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ද ඒ බව ප්‍රකාශ කළා.

ඊයේ (10) තවත් සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයට සම්බන්ධ තවත් පාර්ශ්ව කිහිපයක් එක්ව සිටියා.

එහිදී රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙන්ම අන්තර්වාර පාලනයක් පිළිබඳ කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ද සාකච්ජා කර තිබෙනවා.

ඉන් පසුව විපක්ෂ නායකවරයා මෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ තවත් පිරිසක් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් පැවත්වුණේ ඔහුගේ නිල නිවසේදීයි.

මෙහිදී සාකච්ඡාවට බදුන් වූ කරුණු පිළිබදව සිය මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (11) පියවර ගත්තා.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊට අදාළ සාකච්ඡාව පැවති අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග කාලීන දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳව ද විපක්ෂ නායකවරයා සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

මේ අතර විධායකයත්, ව්‍යවස්ථාදායකයත් නීතියට යටත් වන ජාතික ප්‍රතිපත්ති මත පදනම් වූ ව්‍යවස්ථා සංශෝධනයක් කඩිනමින් සිදුකළ යුතු බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද (11) පැවති ජාතික ආර්ථික කතිකාවට එක්වෙමින්.

***************************************

හෙට (12), සිට දින 3 ක් ඩීසල් සහ පෙට්‍රල් කෑන්, බූලිවලට දීම අත්හිටුවයි

(11.04.2022 – 13:58 +0530 – hirunews.lk/sinhala)

හෙට (12), අනිද්දා (13) සහ 14 වනදා ඩීසල් සහ පෙට්‍රල්, කෑන්, බූලි වලට ලබා නොදෙන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ කෘෂිකර්මාන්තයේ නිරත පිරිස් ඉන්ධන ලබාගැනීමේදි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සහ කෘෂිකර්ම නිලධාරිවරයාගේ අවසරය රැගෙන ආ යුතු බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *