පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වුණා – කාදිනල් හිමි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වුණා – කාදිනල් හිමි

*********************************************

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වුණා – කාදිනල් හිමි

(10.04.2022 – 20:36 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වූ බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්ට තිබෙන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කතෝලික ජනතාව හා සිවිල් ක්‍රියාකාරීන් විසින් ‘යුක්තියේ පා ගමන’ නමින් සංවිධානය කළ පාගමන ඊයේ (09) රාත්‍රියේ කටුවාපිටියේ සිට කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ගත්තා.

***************************************

මහ වැසි හමුවේ ජල විදුලි උත්පාදනය ඉහළට

(10.04.2022 – 22:22 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි තත්ත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම 26% සිට 30% දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මවුස්සාකැලේ සහ කාසල්රී ජල පෝෂක ප්‍රදේශවලට ද ඊයේ (09) රාත්‍රියේ සිට තද වැසි ලැබෙමින් පවතින බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් අද (10) සිට ජල විදුලි උත්පාදනය ඉහළ දමන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තව දින කිහිපයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇද හැලුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශයෙන්.

එම අගය දැක්වුණේ මිලිමීටර 157.1 ක් ලෙසයි.

අම්පාර ප්‍රදේශයට මිලිමීටර 129.5 ක සහ ඉංගිරි ප්‍රදේශයට මිලිමීටර 129 ක වර්ෂාපතනයකුත් වාර්තා වී තිබුණා.

ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර – රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කර ඇති අතර, ඉන් තත්ත්පරයට ඝණ අඩි 4900 ක ජල ධාරිතාවක් කලාඔය වෙත මුදාහැරෙනවා.

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05 ක් ද අඩි 03 බැගින් විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් දැදුරුඔය සහ කලා ඔය භාවිත කරන ජනතාව දැඩි ලෙස සැලකිලිමත්ව සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් කඩුවෙල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබුණා.

ගාල්ල, කළුතර, වව්නියාව යන ප්‍රදේශවලද අධික වර්ෂාවක් ඇදහැලුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතරල ඉංගිරිය – හඳපාන්ගොඩ – මෙනේරිගම ප්‍රදේශයේ සපත්තු පාලමක් මතින් ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් සැඩ පහරකට හසුවීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (09) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් රියදුරුගේ සිරුර අද (10) උදෑසන සොයා ගැනුණා.

එමෙන්ම නෙළුව ඇඹලේගෙදර මාර්ගය හරහා පිටාර ගලමින් තිබූ ඉන්ගල් දොළ පහරෙන් එගොඩවීමට ගිය මවක් ඇතුළු දරුවන් සිව්දෙනෙකු (4) අතරින් 8 හැවිරිදි දරුවෙකු සැඩ පහරට හසුවී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අම්පාර ප්‍රදේශයේ ස්ථාන රැසක් ද ජලයෙන් යටව පැවතියා. අධික වර්ෂාව හේතුවෙන් කොළඹ සහ ඒ අවට ස්ථාන කිහිපයක් ජලයෙන් යටවුණා.

අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ ඇඳුරාපොත ප්‍රදේශයේ දී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් අද (10) උදෑසන එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මද වේලාවකට ඇනහිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ, කළුතර, මහනුවර, බදුල්ලල කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

***************************************

අද (10) කොවිඩ් මරණ වාර්තාවී නැහැ

(10.04.2022 – 20:26 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (09) දිනයේ කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් වාර්තාවී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) ප්‍රකාශයට පත් කළ කොවිඩ් මරණ සටහනට අනුවයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 6,62,559 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 3570 ක් රෝහල්වල හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 6,42,500 ක්.

මෙරටින් මේවන විට වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,489 ක් ෴

++++++++

තවත් කොවිඩ් ආසාදිතයන් 33 ක්

(10.04.2022 – 21:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 33 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,62,592 ක් ලෙසටයි.

අද (10) මෙරටින් කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් වාර්තාවී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) ප්‍රකාශයට පත් කළ කොවිඩ් මරණ සටහනට අනුවයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 6,62,592 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 3603 ක් රෝහල්වල හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 6,42,500 ක්. මෙරටින් මේවන විට වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,489 ක් ෴

***************************************

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

(11.04.2022 – 06:19 +0530 – hirunews.lk/sinhala)

පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල ද ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේ අතර, දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින අතර අද (11) දින දහවල් 12:11 ට උලුක්කුලම, අනුරාධපුර නව නගරය, කයිනට්ටම සහ පලුගොල්ලැව යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති.

එමෙන්ම, ඊයේ (10) දින ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ තදාසන්න ප්‍රදේශවල ඇතැම් ස්ථාන ජලයෙන් යටවී ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

ඒ අනුව, කොළඹ ආමර් වීදිය, නුගේගොඩ, කිරුළපන ආදී ප්‍රදේශ මේ අතර විශේෂයි.

උතුරුමැද පළාතට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ඇතැම් ජලාශ පිටාර මට්ටමට ආසන්න වීමේ මුල් අදියර පසුකර ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් රාජාංගනය මෙන්ම දැදුරු ඔය ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කොට ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම, අධික වර්ෂාව හේතුවෙන් නායයෑමේ අවදානම් නිවේදනයේ පළමු මට්ටමේ නිවේදනය ද ඇතැම් ප්‍රදේශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබුවා.

බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය ආදී දිස්ත්‍රික්ක මේ අතර ප්‍රධානයි.

මාවුස්සාකැලේ මෙන්ම කාසල්රී ජලාශවල ද වර්ෂාපතනය නොලැබී වියළි ගොස් තිබූ ආකාරය මේ වනවිට වර්ෂාව පතිත වීම හේතුවෙන් පහව ගොස් ඇති බව ද එහි ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මෙලෙස දිගින් දිගටම වර්ෂාව ලැබෙන්නේ නම්, ජල විදුලිය උත්පාදනයට එය මහඟු දායකත්වයක් දක්වන බව ද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

+++++++

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සේවකයින් බෝනස් ඉල්ලයි

(11.04.2022 – 10:00 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 30,000 ක අවුරුදු දීමනාවක් ඉල්ලා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සේවකයින් සේවයෙන් ඉවත් වී අද (11) උදෑසන සිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

මේ හේතුවෙන් ගුවන් තොටුපළේ දෛනික කටයුතුවලට බාධාවක් වී නොමැති අතර වර්ජනයේ නිරත වෘත්තීය සමිති නියෝජිතයින්ට ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

***************************************

දුම්රිය එන්ජිමක් ඩීසල් ටැංකියක ගැටෙයි

(11.04.2022 – 11:13 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඩීසල් අඩංගු දුම්රිය ටැංකියක පිටුපසින් පැමිණි දුම්රිය එන්ජිමක් ගැටී තිබෙනවා.

අද (11) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරෙන් ඩීසල් ටැංකියේ ඉන්ධන කාන්දුවක් සිදුවී ඇති අතර අදාළ ඩීසල් තොගය බවුසර් රථවලට පිරවීමේ කටයුතු මේ වන විට සිදු කරන බවයි රඹුක්කන දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ඩීසල් ටැංකිය ඛනිජ තෙල් සංස්ථාව මගින් පේරාදෙනිය දක්වා ප්‍රවාහනය කිරීමට නවතා තිබුණා.

මේ අතර, ගෑස් ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අහුංගල්ල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

***************************************

ගෙවුණු පැය 24 දි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

(11.04.2022 – 07:37 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම, ඒවා අලෙවි කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා මත දිවයිනේ විවිධ ප්‍රදේශවල දී පුද්ගලයින් පස්දෙනෙකු (5) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (10) පස්වරුවේ මන්නාරම – පෙරියකර්සල් ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනුණා.

එහිදී සැකකරු සන්ත්කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 145 ක් සොයා ගෙන ඇති අතර, ඔහු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

පෑලියගොඩ පොලිස් වසමේ පිලපිටිය – කනත්ත ප්‍රදේශයේ දී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ පොලිස් නිලධාරින් විසින් සිදු කරන ලද අදාළ වැටලීමේ දී අත් අඩංගුවට ගත් සැකකාරිනිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 440 ක් සොයා ගැනුණා.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 1,28,460 ක මුදලක් ද පොලිස් භාරයට ගැනුණු අතර, සැකකාරිනිය 20 හැවිරිදි අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ග්‍රෑන්ඩ්පාස් – වදුල්ල වත්ත ප්‍රදේශයේ දී ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලද තොරතුරකට අනුව හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 410 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකාරිනිය 22 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මේ අතර, හොරණ – ඕවිටියාගල ප්‍රදේශයේ දී ඊයේ (10) උදෑසන සිදු කළ මෙහෙයුමක දී නීතිවිරෝධී මත්පැන් පෙරූ අයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මතයි අදාළ වැටලීම සිදුකර ඇත්තේ.

36 හැවිරිදි සැකකාර තැනැත්තා නිෂ්පාදනය කර තිබූ මත්පැන් ලීටර් 56 ක් පොලිස් භාරයට ගැනුණා.

මේ අයුරින් ගෙවුණු පැය 24 දී අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන්ට නීතිමය ක්‍රියාමාර්ග සිදු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ෴

***************************************

බිම් සකස් කරන්න – වාරිමාර්ගය ගොවීන්ට දැනුම් දෙයි

(11.04.2022 – 07:50 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසු යල කන්නයේ වගාවන් ආරම්භ කිරීම සදහා සූදානම් වන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම්දීමක් සිදු කරනවා.

ඒ අනුව අප්‍රේල් 15 වන දායින් පසු බිම් සකස් කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස ගොවීන්ට දැනුම්දෙන බවයි එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන සඳහන් කළේ ෴

***************************************

ගිනිකෙළි නිෂ්පාදකයින් ගැටලු රැසක

(11.04.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ රතිඤ්ඤා සහ ගිනිකෙළි අලෙවිය විශාල වශයෙන් අඩු වී ඇති බව කිඹුලිපිටියේ පාරම්පරික සුළු හා මධ්‍ය පරිමාණ ගිනිකෙළි කර්මාන්තකරුවන් පවසනවා.

ඔවුන් කියා සිටියේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර එම නිෂ්පාදනවල මිල ඉහළ යාම මෙන්ම ජනතාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා ද හමුවේ තම නිෂ්පාදන සදහා ඇති ඉල්ලුම අඩු වී ඇති බවයි.

මීට පෙර අවුරුදු සමයන්වල ගිනිකෙළි සහ රතිඤ්ඤා මිල දී ගැනීමට පිට පළාත්වලින් විශාල වශයෙන් කිඹුලාපිටියට පැමිණිය ද මෙවර ඔවුන්ගේ පැමිණීම ද සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා ෴

***************************************

වාලච්චේන ඒ – ෆෝ නිෂ්පාදනය ඇරඹේ

(11.04.2022 – 08:05 +0530 – hirunews.lk/sinhala)

වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාවේ ඒ-ෆෝ (A-4) කඩදාසි නිෂ්පාදනය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එහි පළමු ඒ-ෆෝ කඩදාසිය පසුගියදා නිසි ප්‍රමිතියෙන් යුක්තව සාර්ථකව නිෂ්පාදනය කළ බවයි ජාතික කඩදාසි සංස්ථාවේ අධ්‍යක්ෂ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද සදහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *