ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී

*********************************************

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී

(10.04.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

විදුලිය නිෂ්පාදනය කරන ජලාශ ආශ්‍රිතව ජල මට්ටම සියයට 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් සාමාන්‍ය ජලවිදුලි නිෂ්පාදන ධාරිතාව ක්‍රියාත්මක කිරීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සඳහන්.

එහෙත් පවතින තත්ත්වය කළමනාකරණය කරගනිමින් පසුගිය දින දෙකෙහි පෙරදිනවලට සාපේක්ෂව ජල විදුලි නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

තවදුරටත් බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට අධික වැසි ලැබෙමින් පවතින බවයි වාර්තාවන්නේ.

එමෙන්ම ඊයේ (09) සහ අද (10) දිනයේ මිල අධික ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීම යම් මට්ටමකින් අඩුකළ බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

දැඩි වර්ෂාපතනයත් සමඟ ජල විදුලි ධාරිතාව ඉහළ යනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසමද ප්‍රකාශ කළා.

එමෙන්ම අද (10) දිනයේ දිවයින පුරා විදුලිය කප්පාදු කෙරෙන්නේ පැයක (1) කාලයක් පමණක් බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ 06 ත් රාත්‍රී 10ත් අතර කාලයේදී දිවයින පුරා ප්‍රදේශ වලට කලාප වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇති බවයි.

ඉන්දීය ණය පහසුකම යටතේ මෙට්‍රික් ටොන් 40,000 ක තවත් ඉන්ධන නෞකාවක් හෙට (11) දිනයේ මෙරටට ළඟාවීමට නියමිත බව තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කළා.

අදාළ ණය පහසුකම යටතේ මෙරටට පැමිණි තුන්වන (3) නෞකාව එයයි.

මෙලෙස ඩීසල් ඇතුලු ඉන්ධන රැගත් නෞකා දිවයිනට පැමිණිය ද ඩීසල් පෝලිම්වල රැඳී සිටින ජනතාවගේ තවමත් අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ.

එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3,900 ක් රැගෙන ඊයේ (09) පැමිණි නෞකාවෙන් ගෑස් තොග ගොඩ බෑම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 1,10,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළ ද තවමත් ගෑස් පෝලිම්වල අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ.

***************************************

වසර දෙකකින් (2) පසු යළිත් ගුරු මාරු

(10.04.2022 – 13:33 +0530 – hirunews.lk/sinhala)

වසර 2 ක විරාමයකින් පසු ගුරු මාරු යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

එකම පාසලක උපරිම කාලසීමාව සම්පූර්ණ කළ සහ අතිරේක කාර්ය මණ්ඩල සඳහා එම ගුරු මාරු පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූයේ කොරෝනා වසංගතය නිසා මතු වූ තත්ත්වය හේතුවෙන්.

කෙසේ නමුත් මේ වනවිට ස්ථාන මාරු සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීම ගුරුවරුන්ට අවස්ථාව සලසා දී ඇති අතර, ගුරුවරුන් 35,000 ක් පමණ මෙලෙස මාරුවීම් ලැබීමට නියමිත බව සඳහන්.

එහෙත් අයදුම්පත් ලැබීමෙන් පසු එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තාවන්නේ.

ගුරු මාරු දැනටමත් ප්‍රමාද වී ඇති අතර, ලබන 18 වනදා පාසල් නැවත ආරම්භ වූ පසු එම ගුරු මාරු කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා ෴

***************************************

රෝගීන් ලෙඩ කරවන ගම්පහ දිසා රෝහල

(10.04.2022 – 13:58 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන ශල්‍යාගාර හයක් (6) ඇතුළු අංශ කිහිපයක් වසා තැබීමෙන් රෝගීන් මෙන්ම රෝහල් කාර්යමණ්ඩලයද දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා.

‘රතු මිනිත්තුව’ මේ අවධානය ඒ පිළිබඳවයි.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මහල් අටකින් (8) යුත් මෙම ගොඩනැගිල්ලේ මහල් තුනක් (3), අලුත්වැඩියාවක් හේතුවෙන් වසරකට (1) අධික කාලයක් තිස්සේ වසා දමා තිබෙනවා.

ඒ, මහල් අතර පැවති ජල කාන්දුව, මධ්‍යම වායු සමීකරණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ඇතුලු අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු කිහිපයක් සඳහායි.

2021 දෙසැම්බර් මාසයේදී මෙහි අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට නියමිත වූවත් තවමත් මෙහි කටයුතු අවසන් කර නැහැ.

මෙම මහල් තුනේ (3) පවත්වාගෙන ගිය ප්‍රධාන ශල්‍යාගාර හයක් (6), හෘද රෝග දැඩි සත්කාර ඒකකය මෙන්ම වාට්ටු කිහිපයක් ද මේ වන විට වසා දමා තිබීම හේතුවෙන් රෝගීන් මෙන්ම රෝහල් කාර්යමණ්ඩලය ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

වසා දමා ඇති මහල්වල පවත්වාගෙන ගිය වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනත් වාට්ටුවලට යොමු කිරීමෙන් ඒවායේ ද දැඩි තදබදයක් දැකගත හැකියි.

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් අතිවිශාල පිරිසකට ප්‍රතිකාර ලබා දෙන මෙම රෝහලේ හදිසි සැත්කම් සඳහා වෙනත් රෝහල්වලට රෝගීන් යොමු කරන අතර සීමිත සැත්කම් ප්‍රමාණයක් පමණක් පැරණි රෝහල් ගොඩනැගිල්ලේ ඇති කුඩා ශල්‍යාගාරයක දී සිදු කෙරෙනවා.

ගම්පහ රෝහලේ අලුත්වැඩියා කටයුතුවල ප්‍රමාදයට හේතුව කුමක්දැයි සොයා බලා බලධාරීන් අවශ්‍ය පියවර ගන්නා තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

අණ නොතකා අධිවේගයේ ධාවනය කළ ලොරි රථය

(10.04.2022 – 14:20 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයක්, මුදල් ද නොගෙවා කොට්ටාව අධිවේගී පිවිසුමේ පිටවීමේ දොරටුව කඩා ගෙන පලා යන ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.

පසුව අදාළ ලොරි රථය, එහි රියදුරු සහ රිය සහයකවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, අද (10) උදෑසන කාලයේ දී මාවනැල්ල පොලිස් වසමේ කොළඹ – නුවර පරණ පාර මාර්ගයේ මහන්තේගම හන්දිය අසල දී රිය අනතුරක් සිදු වුණා.

කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනට වූ කන්ටේනර් රථයක එහි බහාලුම් පෙට්ටිය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක් මතට පෙරලීමෙනුයි මෙම අනතුර සිදු වුණේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ගෙලිඔය පදිංචි 59 හැවිරිදි අයෙක්.

අනතුරට හේතුව අපරික්ෂාකාරී රිය ධාවනය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

+++++++

බිරිඳ වෙනුවෙන් උපකාර අයදින දඹුල්ලේ සැමියා

(10.04.2022 – 14:23 +0530 – hirunews.lk/sinhala)

වකුගඩු රෝගයෙන් පෙළෙන, දෑස් නොපෙනෙන සිය බිරිඳගේ ප්‍රතිකාර කටයුතු සඳහා උපකාරයක් බලාපොරොත්තු වන සැමියෙකු පිළිබඳ පුවතක් දඹුල්ල, කිතුල්හිටියාව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

වික්‍රමරත්න මහතා පවසන්නේ, දියවැඩියා රෝගය නිසා ක්‍රමයෙන් දෑස් නොපෙනීමේ තත්ත්වයට පත් වුණු, ශ්‍රියා නිල්මිණි තිලක මහත්මියගේ ගෙල ප්‍රදේශයෙන් සවිකළ නළයකින් ලේ මාරු කිරීම සඳහා දින 2 කට වතාවක් දඹුල්ල මහ රෝහල වෙත යාමට සිදුවීම හේතුවෙන් තමන් දුෂ්කරතාවයට පත්ව ඇති බවයි.

නිරන්තරයෙන් තම බිරිඳ වෙනුවෙන් කැප වී සිටින වික්‍රමරත්න මහතා ඉල්ලා සිටින්නේ, ප්‍රවාහන මෙන්ම, ඖෂධ සඳහා වැයවන මුදල් ආදිය සඳහා හෝ කළ හැකි උපකාරයක් තමන් වෙත ලබාදෙන ලෙසයි.

+++++++

පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

(10.04.2022 – 14:26 +0530 – hirunews.lk/sinhala)

පෙම්වතා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කළ 22 හැවිරිදි කාන්තාවකගෙ මළ සිරුරක් මැදිරිගිරිය, යාය 11, අඹගස්වැව ප්‍රදේශයේ නිවසකින් හමු වී තිබෙනවා.

එම ප්‍රදේශයේම ඇඟළුම් සේවිකාවක් ලෙස රැකියාවේ නිරත වී සිටි මියගිය කාන්තාව, සිය පෙම්වතා සමඟ අදාළ නිවසේ එක්ව වාසය කර ඇති බවට වාර්තා වන අතර, ඔවුන් අතර අද (10) පෙරවරුවේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් අඹගස්වැව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

ඩුප්ලිකේෂන් මාර්ගයේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට

(10.04.2022 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ගසක් කඩා වැටීම හේතුවෙන් බාධා එල්ල වී තිබූ ඩුප්ලිකේෂන් මාර්ගයේ රථ වාහන ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ක්වින්ස් පාරට හැරෙන මං සන්ධියේ තිබූ ගසක් මෙලෙස අද (10) දහවල් ඩුප්ලිකේෂන් මාර්ගයට කඩා වැටී තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

එම ගස මේ වන විට ඉවත් කර ඇති බැවින් සාමාන්‍ය පරිදි රථ වාහන ධාවනය සිදුකළ හැකි බව එම කාර්යාලය ප්‍රකාශ කළා.

***************************************

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව නිවේදන

(10.04.2022 – 15:59 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සවිධානය විසින්.

අද (10) පස්වරුවේ නිකුත් කර ඇති අදාළ නිවේදනය මගින් දැක්වෙන්නේ ප්‍රදේශ 08 කට අදාළ අනතුරු ඇඟවීම් සිදු කර ඇති බවයි.

ඒ අනුව පූර්ව නායයෑමේ අවදානමක් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත්තේ, කොළඹ, කළුතර, මහනුවර, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක්.

මෙම නිවේදන නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනයයි ෴

***************************************

මාවක්ඔයේ අතු ගංඟාවකට ත්‍රිරෝද රථයක් පෙරළී රියදුරු මරුට

(10.04.2022 – 16:06 +0530 – hirunews.lk/sinhala)

ඉංගිරිය – මෙනේරිගම ප්‍රදේශයේ ඉදිකටුව මං සන්ධියේ සපත්තු පාලමක් මතින් ගමන් කිරීමට උත්සාහ ගත් ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසුව මාවක්ඔයේ අතු ගංඟාවකට පෙරළීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (10) අළුයම 12:30 ට පමණ තවත් දෙදෙනෙකු (2) සමග අදාළ ත්‍රිරෝද රථ රියදුරු කුලී ගමනක් පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ (09) උදෑසන සිට එම ප්‍රදේශයට පැවති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මාවක්ඔයේ අදාළ අතු ගංඟාව පිටාර ගලමින් තිබී ඇති අතර කුලී ගමනට එක්වූ මගීන් දෙදෙනා (2) පාලමෙන් එතෙර විය නොහැකි බව පවසා ත්‍රිරෝද රථයෙන් බැස තිබෙනවා.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ රියදුරු ඔවුන්ගේ අනතුරු ඇගවීම නොතකා සපත්තු පාලම මතින් ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී ත්‍රිරෝද රථය සැඬ පහරකට හසුව මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

වැසි තත්ත්වය ඉදිරියටත්

(10.04.2022 – 17:09 +0530 – hirunews.lk/sinhala)

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරුමැද යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලට ද මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

දකුණු පළාතේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 ක් 50 ක් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ අතර, අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 ක් 50 ක් පමණ දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට විමසිලිමත් වන ලෙසටයි ඉල්ලා සිටින්නේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

***************************************

ත්‍රිරෝද රථවලින් ඉන්ධන සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

(10.04.2022 – 17:18 +0530 – hirunews.lk/sinhala)

නිවෙස්වල නවතා ඇති ත්‍රිරෝද රථවලින් ඉන්ධන සොරකම් කළ බවට සැකපිට දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුත්ගම, බේරුවල, කාලවිලකන්ද සහ මාතර යන ප්‍රදේශවල මොවුන් මෙලෙස රාත්‍රී කාලයේ නිවෙස්වල නවතා තිබූ ත්‍රිරෝද රථවලින් ඉන්ධන සොරාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ හිමිකරුවන්ගෙන් ලද පැමිණිලි ඔස්සේ අලුත්ගම පොලීසිය සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අද (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් (1) සැකකරුවෙකුට අධිකරණ කිහිපයක වරෙන්තු පවතින බව ද පොලීසිය සදහන් කළා.

පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොවුන් සොරකම් කරන ලද ඉන්ධන අලෙවි කර මත්ද්‍රව්‍ය පානයට මුදල් සපයා ගෙන ඇති බවටයි ෴

***************************************

දිස්ත්‍රික්ක 8 කට නායයෑම් අනතුරු ඇඟවීම්

(10.04.2022 – 18:58 +0530 – hirunews.lk/sinhala)

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරුමැද යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලට ද මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර, ඉංගිරිය – මෙනේරිගම ප්‍රදේශයේ ඉදිකටුව මං සන්ධියේ සපත්තු පාලමක් මතින් ගමන් කිරීමට උත්සාහ ගත් ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසුව මාවක්ඔයේ අතු ගංඟාවකට පෙරළීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (10) අළුයම තවත් දෙදෙනෙකු (2) සමග අදාළ ත්‍රිරෝද රථ රියදුරු කුලී ගමනක් පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

එමෙන්ම, නෙලුව, ඇඹලේගෙදර මාර්ගය හරහා පිටාර ගලමින් තිබූ ඉංගල් දොළ පාරෙන් එගොඩවීමට ගිය මවක් ඇතුළු දරුවන් සිව් (4) දෙනෙකු අතරින් 8 හැවිරිදි දරුවෙකු සැඬ පහරට හසුවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පවතින වැසි තත්ත්වයත් සමඟ බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැසිත් සමග පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ සහ ඒ අවට ස්ථාන කිහිපයක් ද ජලයෙන් යටව තිබුණා.

මේ අතර, ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග අනුරාධපුර, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6 ක් තවදුරටත් විවෘතව පවතින අතර, ඉන් තත්ත්පරයට ඝණ අඩි 4900 ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙනවා.

ඊට අමතරව දැදුරුඔය ජලාශයේ ද වාන් දොරටු 5 ක් අඩි 3 බැගින් විවෘතයි.

මාවුස්සාකැළේ සහ කාසල්රී ජල පෝෂක ප්‍රදේශවලට මේ වන විට තද වැසි ඇද හැලෙමින් පවතින බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

එම වැසිත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් සියයට 26 සිට 30 දක්වා ඉහළ ගොස් ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *