වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත්

වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත්

*********************************************

වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත්

(10.04.2022 – 19:01 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින අර්බුදකාරී තත්වයට විසඳුම් ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව අද (10) දෙවන (2) දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේ (09) උදෑසන සිට විරෝධතාකරුවන් එහි රැදී සිටින්නේ ඇද හැලුණු මහ වැසිද නොතකමින්.

තවදුරටත් එම ප්‍රදේශය අවට ආරක්ෂාව තර කර තිබෙනවා.

එමෙන්ම කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයට එක්ව සිටි හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් අද (10) පවත්වනු ලැබුවා.

එහිදී ඔහු කියා සිටියේ වත්මන් රජය බලයෙන් පහ කිරීම අනිවාර්ය කරුණක් වුවද ඊට පෙර ඔවුන් ලවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර ගැනීමට බලපෑම් කිරීම වැදගත් බවයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ අද (10) අනුරාධපුර සතොස වෙළෙඳසැල අසළ සිට අනුරාධපුර බස් නැවතුම්පළ දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවයක නිරත වුණා.

ගාල්ල ශාන්ත මරියා දේවස්ථානයේ ද අද (10) විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

එමෙන්ම රටේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය කඩිනමින් විසදෙන ලෙසට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක කතෝලික ජනතාව පා ගමන් සහ නිහඩ විරෝධතා සංවිධාන කර තිබෙනු දක්නට ලැබුණා.

එසේම, කටුවාපිටිය දේවස්ථානයේ සිට කොච්චිකඩේ දේවස්ථානය දක්වා විරෝධතා පා ගමනෙන් අනතුරුව ඊයේ (09) පැවති දේව මෙහෙයේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය පිටුපස ඉස්ලාම් අන්තවාදයට අමතරව වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වූ බව මේ වනවිට සනාථවෙමින් පවතින බවයි.

රට තුළ පැවැත්වෙන විරෝධතාවලට අමතරව විදෙස් රටවල්වල වෙසෙන ශ්‍රී ලංකිකයන් ද විරෝධතා සංවිධානය කර තිබුණා.

පසුගියදා ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර පැවති විරෝධතාවකට එක් වූ මෙරට ගායිකා සංජීවනී වීරසිංහට ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධය පල කර තිබෙනවා.

***************************************

මෛත්‍රී ඇතුළු ස්වාධීන මන්ත්‍රීවරු ජනපති හමුවට – සජිත් හදිසියේ මෛත්‍රී මුණ ගැසේ

(10.04.2022 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවෙන් ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ හවුල්කාර පක්ෂ 11 හේ මන්ත්‍රී කණ්ඩායම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 10 දෙනාගේ කණ්ඩායම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග අද (10) සාකච්ජාවක් පැවැත්වෙනවා.

සර්වපාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව එම කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කෙරෙන අතර එය රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනා, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 10 දෙනෙකු සහ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධිනව කටයුතු කරන බව දැනුම් දුන්නා.

අනතුරුව එම කණ්ඩායම විසින් සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව කරුණු 11 ක් ඇතුළත් යෝජනාවලියක් පසුගිය 08 වනදා ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබුවා.

ජනාධිපතිවරයා සමඟ අද (10) පැවැත්වෙන සාකච්ජාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (10) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පක්ෂ මහ ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අදහස් පළ කළා.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට පෙර මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අද (10) පස්වරු 3 ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවසේදී තවදුරටත් සාකච්ඡා කරනු ලැබුවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර ද හමුවක් අද (10) පස්වරු 5 ට පැවැත්වුණා.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදීයි.

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී අද (10) පැවැත්වුණා.

එහිදී ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

+++++++

විපක්ෂ නියෝජිතයන් කොළඹ දී හමුවේ

(10.04.2022 – 19:21 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින අර්බුදය සහ ආර්ථිකමය ගැටළු සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබෙනවා.

ඊට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

***************************************

ඉන්ධන ලබා ගැනීමට ගිය දෙදෙනෙකු (2) හදිසියේ ලෙඩ වී මරුට

(10.04.2022 – 19:12 +0530 – hirunews.lk/sinhala)

දංකොටුවේ සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හල් දෙකක් (2) අසල ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් මියගොස් තිබෙනවා.

වෙන්නප්පුව – තඹලවිල ප්‍රදේශයේදී මෙලෙස එක් පුද්ගලයෙකු මියගොස් තිබුණේ ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව මෝටර් රථය තුළ දීමයි. අද (10) උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

එමෙන්ම, දංකොටුව නගරයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ද වාර්තා වනවා.

ඊයේ (09) රාත්‍රී 7 ට පමණ ඩීසල් ලබා ගැනීමට පැමිණ සිටියදී මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මිය ගොස් ඇත්තේ පන්නල – ගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

මේ අතර, ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම සදහා ජනතාව තවමත් පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

***************************************

විධායක ජනපති ධුරය අහෝසි කරන බව සජිත් කියයි

(10.04.2022 – 20:45 +0530 – hirunews.lk/sinhala)

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

දෙහිඅත්තකණ්ඩියේ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.

සමගි ජනබලවේගයට අනුබද්ධ සමගි ගොවි බලවේගය සංවිධාන කළ ජන රැළියක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවේදී පැවැත්වුණා.

***************************************

ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

(10.04.2022 – 20:55 +0530 – hirunews.lk/sinhala)

පවතින ගෑස් හිඟයට පිළියමක් වශයෙන් අද (10) සිට දෛනිකව ගෑස් සිලින්ඩර එක් ලක්ෂ දසදහසක් (1,10,000) පමණ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.

මාලදිවයිනේ සිට ඊයේ (09) මෙරටට ළඟාවූ නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඉන්ධන ලබා ගැනීම සඳහා දංකොටුව ප්‍රදේශයේ පෝලිම්ක රැඳි සිටි පුද්ගලයෙකු ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.

අද (10) දිනයේ දිවයින පුරා පැයක (1) විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියලුම කලාප සඳහා අද (10) පස්වරු 06 ත් රාත්‍රී 10 ත් අතර කාලයේ පැයක (1) විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

මේ අතර ඉන්දීය ණය යෝජනා ක්‍රමය සහ දීර්ඝ කාලීන සැපයුම් ගිවිසුම් යටතේ හෙට (11) දිනයේ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 30,000 ක් මෙරටට ලැබීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළා.

කෙසේවෙතත් ඩීසල් සහ පෙට්‍රල් ලබා ගැනීමේ අරමුණින් මහ වැසි නොතකමින් ජනතාව ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම්වල රැඳි සිටියා.

මේ අතර, දඹරවිල ප්‍රදේශයේදී ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටි පුද්ගලයෙකු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෝටර් රථය තුළම මියගොස් තිබෙනවා.

අද (1) සන මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර දංකොටුව නගරයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳි සිටි පුද්ගලයෙකු (1) ඇද වැටී මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (09) රාත්‍රී 7 ට පමණ අදාළ පුද්ගලයා ඩීසල් ලබා ගැනීමට පැමිණ සිටිය දී මෙලෙස මිය ගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පන්නල ගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මාරවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) සිදු කිරීමට නියමිතයි.

මේ අතර ගෑස් මෙට්‍රික්ටොන් 3900 ක් රැගෙන මාලදිවයිනේ සිට මෙරටට යාත්‍රා කළ නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (10) සිට දෛනිකව ගෑස් සිලින්ඩර එක්ලක්ෂ දසදහසක් (1,10,000) පමණ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අප කළ විමසීමක දී සඳහන් කළා.

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට මෙතෙක් කටයුතු කර නොමැති බැවින් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳ පොලිසියට පැමිණිලි කරන ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.

ඒ පිළිබඳ පැමිණිලි 1311 දුරකතන අංකයට ද දැනුම් දිය හැකි බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

කෙසේවෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථා ඉදිරිපිට ඊයේ (09) මෙන්ම අදත් (10) පෝලිම් දැක ගත හැකි වුණා.

***************************************

ස්වාධීන මන්ත්‍රීවරුන් සහ ජනපති අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

(10.04.2022 – 22:33 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මෙම සාකච්ඡාවේදී නව අගමැතිවරයෙක් සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති බවයි.

කෙසේවෙතත් අගමැති ධුරය වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එකගතාවක් පළවී නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඉදිරි දිනයකදී යළිත් සාකච්ඡා කිරීමට මෙම කණ්ඩායම එකගතාව පළකළ බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර කියාසිටියේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර කියාසිටියේ මෙම සාකච්ඡාවේදී අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳ යෝජනා ගැන ස්ථිර සාකච්ඡාවක් සිදු නොවූ බවයි.

එමෙන්ම වැඩිදුර සාකච්ඡා සඳහා යළි හමුවීමට ද මෙහිදී එකඟතාවකට එළඹ තිබෙනවා.

මේ අතර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ලබාදුන් යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (10) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ජනතා ඉල්ලීම්වලට පිටුපා රාජපක්ෂවරුන් ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් නැවත පත්කළහොත් ජනතාවගේ විරෝධය මැඩලිය නොහැකි වන බවයි.

ඔහු මේ බව සඳහන් කළේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාකදී.

ජනාධිපතිවරයා සමග සිදුකරන සාකච්ඡාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 11 නියෝජිතයින් සහ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අද (10) පස්වරු 03 ට පමණ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වුවා.

මෙම සාකච්ඡාව අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසට පැමිණියේ සාකච්ඡාවක් සඳහායි.

සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කොටුව ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡාවක නිරත වුණා.

‍මේ අතර සමගි ජන බලවේගය ද අද (10) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී සාකච්ඡාවක නිරතවුයේ ඔවුන් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝගය පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *