මහබැංකුව ණය කළමනාකරණයට යෝජනා කැඳවයි

මහබැංකුව ණය කළමනාකරණයට යෝජනා කැඳවයි

*********************************************

මහබැංකුව ණය කළමනාකරණයට යෝජනා කැඳවයි

(10.04.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala)

බාහිර ණය තිරසරභාව කළමනාකරණය කිරීම සඳහා මූල්‍ය සහ නීති උපදේශකයින් පත් කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සහ නියෝජිතායතන වලින් රජය අභිලාස කැඳවා තිබෙනවා.

අදාළ යෝජනා සඳහා වන ඉල්ලීම් මුදල් අමාත්‍යාංශය ඊයේ (10) ප්‍රකාශයට පත් කළා.

මෙලෙස පත් කෙරෙන මූල්‍ය උපදේශකයන් රජයේ ණය තත්ත්වය ඇගයීමට ලක් කර ණය කළමනාකරණය සඳහා සහාය විය යුතුයි.

එමෙන්ම ණය පියවීම් යළි සැකසීම ආදිය පිළිබඳ සාකච්ඡා සංවිධාන කිරීම ද ඔවුන් වෙත පැවරෙනවා.

එම ණය පිළිබඳ සාකච්ඡාවල දී ලක් රජය නියෝජනය කිරීම සඳහායි නීති උපදේශකයන් පත් කෙරෙන්නේ.

ඔවුන් මූල්‍ය උපදේශකයන් සහ අනෙකුත් ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරනු ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

මේ අතර, මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීම සඳහා තමාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ලබන 18 වනදා වොෂින්ටන් නුවර වෙත ළගා වීමට නියමිත බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (09) හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාස 6 ඇතුළත ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ආධාර අවශ්‍ය බවයි.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මූල්‍යාධාර ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ධූරයට පත්වීමෙන් පසු සිය පළමු මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිත ණය වාරික ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කර ඇති බවයි ෴

***************************************

නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමට ජනපතිගෙන් සාකච්ඡාවක්

(10.04.2022 – 08:12 +0530 – hirunews.lk/sinhala)

පක්ෂ එකොළහේ (11) එකමුතුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ලබාදුන් යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් ආරාධනයක් ලැබී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව අද (10) පස්වරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂ එකොළහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනා 11 ක් ජනාධිපතිවරයා වෙත යොමු කළා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා ඇති බව සඳහන්.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ එළඹෙන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ සියලු මන්ත්‍රී කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි මහ ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ එම සාකච්ඡා අඛණ්ඩව සිදු කෙරෙන බවයි.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහාය ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් 41 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන බව නිවේදනය කළේ පසුගිය 05 වැනිදායි ෴

***************************************

ඉදිරි මාස 3 ඉතා අභියෝගාත්මක වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි

(10.04.2022 – 08:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දුන්නේ ඖෂධ සහ උපකරණවල හිඟය හේතුවෙන් බොහෝ ආරෝග්‍යශාලාවල හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර, මේ වනවිට දිවයින පුරා පැවැත්වෙන ආණ්ඩු විරෝධී අරගලවලට කුඩා දරුවන් දායක කරගැනීම අනාගතයේ දී එම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් එල්ල කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා පවසනවා.

දරුවන් කිසිදු විරෝධතාවකට එක් කරගැනීමේ සිදුවීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි අතර, එතුළින් ළමා මනසට යන පණිවිඩය භයානක බවයි විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

හඬක් නැති දරුවන් හට හඬක් නැගීම අපේ වගකීමක් වුව ද ඊට ළමුන්ගේ සහභාගීත්වය ලබා නොගැනීමට වගබලා ගැනීම සියලු වැඩිහිටියන්ගේ වගකීමක් බව ද ඔහු පැවසුවා.

එමෙන්ම මෙම මාධ්‍ය හමුවේදී මේ වනවිට සෞඛ්‍ය අංශ මුහුණපා ඇති දැඩි ඖෂධ හිඟය සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා.

පවතින ඖෂධ හිඟය මත හදිසි නොවන ශල්‍ය කර්ම පසෙකලා, හදිසිම ශල්‍යකර්ම පමණක් රෝහල්වල සිදු කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත සිදු ව ඇති බවයි හෙළි වුණේ ෴

***************************************

වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් ගැන පොලිසියට පැමිණිලි කරන්න – ලිට්රෝ සමාගම

(10.04.2022 – 08:35 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ සමාගම මෙතෙක් ගෑස් මිල වැඩි කිරීමක් සිදු නොකර ඇති බැවින් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.

එසේම, ඒ පිළිබඳව පැමිණිලි ලිට්රෝ සමාගමේ 1311 දුරකතන අංකයටද දැනුම්දිය හැකි බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගෙන මාලදිවයිනේ සිට ඊයේ (09) දිවයිනට පැමිණි නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

සමාගමේ නිෂ්පාදන කටයුතු අඛන්ඩව සිදුකෙරෙන අතර, මේ වනවිට දිනකට ගෑස් සිලින්ඩර 1,10,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට ඊයේ (09) තවදුරටත් ගෑස් පෝලිම් දැකගත හැකිවුණා.

මේ අතර, අද (10) දිනයේ දිවයින පුරා විදුලිය කප්පාදු කෙරෙන්නේ පැයක (1) කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ 06 ත් රාත්‍රී 10 ත් අතර කාලයේදී දිවයින පුරා ප්‍රදේශවලට කලාප වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇති බවයි.

මේ අතර, ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඊයේ (09) දිනයේදීත් පෝලිම් දැකගත හැකි වුණා.

++++++

ඩීසල් පෝලිමක තවත් මරණයක්

(10.04.2022 – 15:21 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ලබා ගැනීම සඳහා දංකොටුව ප්‍රදේශයේ පෝලිම්ක රැඳි සිටි පුද්ගලයෙකු ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.

මේ අතර, පවතින ගෑස් හිඟයට පිළියමක් වශයෙන් අද (10) සිට දෛනිකව ගෑස් සිලින්ඩර 1,10,000 ක් පමණ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

මාලදිවයිනේ සිට ඊයේ (09) මෙරටට ළඟාවූ නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

විරෝධයට එක් වන්නට ආ ජනප්‍රිය රංගන ශිල්පිනී සංජීවනී වීරසිංහ අරගලකරුවන් හූ කියා පන්නා දමයි

(10.04.2022 – 11:16 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සංජීවනී වීරසිංහට ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ අමරිකාවේ – ලොස් ඇන්ජලිස් නුවරදීයි.

ශ්‍රී ලංකාවේ පවතින දූෂිත පාලනයට එරෙහිව එරට ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද විරෝධතාවකට එක්වීමට පැමිණි සංජීවනී වීරසිංහ හට එහිදී ජනතා අප්‍රසාදය එල්ල වුණේ, අදාළ විරෝධතාවයෙන් පිටව යන ලෙස බලකරමින්.

ඊට හේතුව ලෙස විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලයට ගෙන ඒමට සංජීවනී වීරසිංහ විසින් ද එකල සහායෝගය දැක්වූ බවයි.

මෙහිදී විරෝධතාකරුවන් ඇයට හූ තබා පන්නාගෙන ඇති බවත් වාර්තා වනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ පවතින දූෂිත සහ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයට එරෙහිව එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් විසින් ද විරෝධතා ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රෙලියාවේ – මෙල්බන් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයින් විසින් සිදුකළ උද්ඝෝෂණයක් පිළිබඳව ද තොරතුරු වාර්තා වුණා.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් පැය දෙකකට (2) ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ බවයි මෙල්බර්න් නුවර සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම ජපානයේ ද ශ්‍රී ලංකා රජයට එරෙහිව උද්ඝෝෂණ ක්‍රියාත්මක වනවා.

ජපානයේ නරිටා ප්‍රදේශයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (10) උදෑසන ශ්‍රී ලංකා රජයට එරෙහි උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළා.

ජපානයේ චිබා ප්‍රදේශයේ නරිටා හි සන්රිසූකා මංසන්ධියේ පැවති මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එම ප්‍රදේශයේ වාසය කරන ලොකු කුඩා බොහෝ පිරිසක් සිටියා.

විරෝධතා සටන් පාඨ රැගත් පුවරු සහ විරෝධතා සටන් පාඨ කියමින් මෙම පිරිස පැය දෙකකට (2) ආසන්න කාලයක් එහි විරෝධතාවයේ නිරත වූ බවයි ජපානයෙන් ලැබෙන වාර්තා අපට සඳහන් කරන්නේ.

***************************************

ස්වාධීන වූ මන්ත්‍රීන් හට ජනපතිගෙන් සංවාදයකට ඇරයුම්

(10.04.2022 – 11:55 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 41 දෙනාට විශේෂ සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ, මෙම හමුවීම ජනාධිපතිවරයා විසින් අද (10) දිනයේ දී ලබාදුන් බවයි.

ඒ අනුව අදාළ සාකච්ඡාවට මෙම මන්ත්‍රීවරුන් සහභාගී වන්නේ අද (10) රාත්‍රී 7 ටයි.

මෙහිදී අන්තර් වාර ආණ්ඩුවක් සඳහා වන මාතෘකාව යටතේ පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇති.

***************************************

මුදල් මණ්ඩලයේ පත්කිරීම් ගැන නව මහ බැංකු අධිපතිවරයා සතුට පළ කරයි

(10.04.2022 – 13:53 +0530 – hirunews.lk/sinhala)

මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රාණි ජයමහ, අඛන්ඩව සේවය කිරීමට එකඟවීම ගැන සතුටට පත්වන බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අපක්ෂපාතීව වෘත්තිමයභාවය ආරක්ෂා කරගනිමින් සියලු කටයුතු සදහා ධනාත්මකව දායකත්වය දැක්වූ ඔවුන්ගේ වෘත්තිය භාවය පිළිබඳ පූර්ණ විශ්වාසයක් තමන් සතු වන බවයි.

ඔවුන්ගේ දායකත්වය සහ මග පෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, මහ බැංකු අධිපතිවරයා ලෙස තමාටත් ලබාගැනීමට බලාපොරොත්තු වන බව නව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළා ෴

***************************************

ඉන්ධන හිඟයෙන් තේ කර්මාන්තයත් අර්බුදයක

(10.04.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට තේ කර්මාන්තය ඉන්ධන හිඟය හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයකට ලක් වී ඇති බව වාර්තා වනවා.

තේ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ඩීසල් ලබාගැනීම දුෂ්කරවීම ඊට හේතුවයි.

මෙරට තේ කර්මාන්තයෙන් සියයට 70 ක් පමණ නියෝජනය කරන සුළු පරිමාණ තේ වතු හිමියන් පවසන්නේ, ශ්‍රී ලංකා තේවලට ගෝලීය වෙළඳපොලේ පවතින ඉල්ලුම මේ නිසා අවදානමකට ලක්විය හැකි බවයි.

එමෙන්ම පොහොර හිඟය හේතුවෙන් දැනටමත් මෙරට තේ නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා ෴

***************************************

විදේශ අමාත්‍යවරයා නොබැඳි රටවල රාජතාන්ත්‍රිකයන් දැනුවත් කරයි

(10.04.2022 – 15:27 +0530 – hirunews.lk/sinhala)

නොබැඳි ව්‍යාපාරයේ සාමාජික රටවල රාජ්‍යතාන්ත්‍රිකයන්, ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කටයුතු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ සඳහා නොබැඳි රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් සමඟ පසුගිය හත්වනදා (07) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී රැස්වීමක් ද පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වර්ධනයන් මෙන්ම පවතින දේශපාලන හා ආර්ථික වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වූ බව එමඟින් නිකුත් නිවේදනයේ සඳහන් ෴

***************************************

ව්‍යවස්ථාව සංශෝධනය කරගැනීම අනිවාර්යයි – හිටපු විගණකාධිපති

(10.04.2022 – 16:14 +0530 – hirunews.lk/sinhala)

පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළකරමින් නිදහස් චතුරස්‍රයේ පැවති විරෝධතාවකින් අනතුරුව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ අද (10) පෙරවරුවේදීයි.

එහිදි හිටපු විගණකාධිපතිවරයා සඳහන් කළේ, වත්මන් රජය බලයෙන් පහ කිරීම අනිවාර්ය කරුණක් බවයි.

එහෙත් ඊට පෙරාතුව ආණ්ඩුව ලවා නියත වශයෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද සිදු කරගැනීමට බලපෑම් කිරීම වැදගත් ම කරුණ බවයි හෙතෙම පැවසුවේ.

රට තුළ ජීවත්වන සියලුම පුරවැසියන්ට එකම නීතියක් සැකසීම කළ යුතු අතර, ඒ සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් සම්පාදනය කරගත යුතු බව ද හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ වැඩිදුරටත් කියා සිටියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *