රොෂාන් රණසිංහ ගේ නිවසට එල්ලවූ ප්‍රහාරය – CCTV

රොෂාන් රණසිංහ ගේ නිවසට එල්ලවූ ප්‍රහාරය – CCTV

*********************************************

රොෂාන් රණසිංහ ගේ නිවසට එල්ලවූ ප්‍රහාරය – CCTV

(09.04.2022 – 19:05 +0530 – sinhala.adaderana.lk)

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නිවසට පසුගියදා එල්ලවූ ප්‍රහාරයට අදාළ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ.

රොෂාන් රණසිංහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පොළොන්නරුවේ පිහිටි නිවසට එලෙස ප්‍රහාරයක් ඉල්ලවී තිබුණේ පසුගිය 04 වනදා ය.

රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් ආණ්ඩුවට සහ අමාත්‍යවරුන්ට එල්ලවී තිබෙන දැඩි විරෝධය මධ්‍යයේ එම ප්‍රහාරය එල්ලවී තිබුණි.

අදාළ වීඩියෝව :

https://www.youtube.com/watch?v=pG-mHjH4nT4#t=5

***************************************

මෝටර් රථ දෙකකට (2) මැදිවූ අවාසනාවන්තයා – CCTV

(09.04.2022 – 18:44 +0530 – sinhala.adaderana.lk)

අද (09) පස්වරුවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ඉතා අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්ව තිබුණි.

ඒ පිටකෝට්ටේ සල්මල් මාවත ප්‍රදේශයේදීය.

එම පුද්ගලයාගේ පසුපසින් පැමිණි මෝටර් රථයක ඔහු ගැටෙන අතර අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.

***************************************

කාන්තාවක් සහ යතුරුපැදියක් වළදමා තිබියදී සොයා ගනී

(09.04.2022 – 16:19 +0530 – sinhala.adaderana.lk)

දින ගණනාවක සිට අතුරුදන්ව සිටි කාන්තාවක් යතුරුපැදියත් සමග වළදමා තිබියදී සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පසුගිය 01 වනදා සිට අතුරුදන්ව සිටි බවට තොරතුරු ලැබුණු බවය.

යාපනය, මනියම්තෝටෙයි, උදයපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටියදී ඇය එලෙස අතුරුදන්වී තිබේ.

42 හැවිරිදි අදාළ කාන්තාව සම්බන්ධයෙන් පොලීසිය කළ විමර්ශනවලදී ඇයව ඝාතනය කර වළදමා ඇති බවට තොරතුරු හෙළිවීමෙන් පසු අදාළ සැකසහිත ස්ථානයේ කැණීම් කර තිබුණි.

ඒ අනුව සිරුර සහ යතුරුපැදිය සොයා ගැනීමට පොලීසියට හැකිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන පොලිස් පරීක්ෂණ සිදු කෙරේ.

අදාළ කාන්තාව මුදල් පොලියට දීමේ යෙදී සිටි තැනැත්තියක් වන අතර ඒ සම්බන්ධයෙන් ආරවුලකදී ඇයව ඝාතනය කර එලෙස වළදමා ඇති බවට අනාවරණය වී ඇත.

ඝාතනය කළ පුද්ගලයා විසින් ඔහුගේ නිවස පිටුපස ඇයව සහ යතුරුපැදිය එලෙස වළදමා තිබියදී පොලීසිය විසින් සොයා ගත්තේය.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එලෙස ඝාතනය කළ බවට කරුණු අනාවරණයවී ඇති සැකකරු, ඔහුගේ බිරිඳ සහ තවත් අයෙකු ය ෴

***************************************

සගවා තිබු ගෑස් තොගයක් දිස්ත්‍රික් ලේකම් සොයාගනී…

(10.04.2022 – 02:17 +0530 – lankacnews.com)

හැටන් නගරයේ පිහිටි ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයා සමාගම විසින් ලබාදුන් ගැස් තොග පාරිභෝගිකයන්ට ලබා නොදි වසා ගිය වෙලදසැලක් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව වෙලදසැලේ ඉබි කඩා වෙලදසැල තුල තිබු කිලෝ 12.5 ගැස් සිලින්ඩර් බෙදා හැරිමට පියවර ගැණින.

එම ගැස් අලෙවි නියෝජිතයට සමාගම විසින් ගැස් සිලින්ඩර් 100 ක් ලබා දි ඇති අතර,එම සිලින්ඩර් කිසිවක් පාරිභෝගිකයන්ට ලබා නොදුන් බවයි පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් කියා සිටියේ.

දිස්ත්‍රික් ලේකම්වරයා සහ පොලිසිය අලෙවි නියෝජිත වෙලදසැල කඩා පරික්ෂා කිරිමේදි එම වෙලදසැල තුල කිලෝ 12.5 ගැස් සහිත ගෘහස්ථ ගැස් සිලින්ඩර් 48 ක් තිබු අතර, ඉතිරි ගැස් තොගය වෙලදසැල තුල නොතිබුණු බවට දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරික්ෂණයට ලක් වුහ.

පාරිභෝගිකයන් කියා සිටින්නේ එම අලෙවි නියොජිතයා ගෘහස්ථ ගැස් සිලින්ඩර් වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටිම නිසා ඉතිරි ගැස් තොගය ඉතා සුක්ෂම ලෙස සගවන්නට ඇති බවයි.

රංජිත් රාජපක්ෂ

***************************************

ලංකාව අතහැර විදෙස් ගතවීම වේගයෙන් ඉහලට

(09.04.2022 – 17:30 +0530 – lankacnews.com)

පවතින අර්බුදකාරී තත්වය මත ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට යාම යාම සඳහා විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම තවදුරටත් ඉහළ යමින් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වෙන විට එසේ පැමිණෙන තරැණ පිරිස්වල සංඛ්‍යාව 40% කින් පමණ ප්‍රමාණයකින් වැඩිවී ඇතැයිද සදහන්ය.

ආසන්න කාල සිමාවේ රටපුරා නිවාස හා වාහන විකිණීම ද වැඩිවී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ ඔවුන් දේපොළ විකුණා විදේශගතවීම සඳහා මුදල් සොයා ගැනීමයි.

එමෙන්ම නීති විරෝධී ක්‍රම මගින් විදේශීයන්ට පලා යන පිරිස වැඩි වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍යද වාර්තා කර තිබේ ෴

***************************************

රාජපක්ෂලාගේ ඇමරිකානු දේපළ අත්පත්කරදෙන්න – ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධයක්

(09.04.2022 – gossiplankanews.com)

ශ්‍රී ලංකාවේ රාජපක්‍ෂ පවුලේ අයගේ ඇමරිකාවේ ඇති දේපළ කැටි කරන ලෙස ඉල්ලමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (9) උදෑසන පැවතිණි.

ඔවුනගේ නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් වත්කම් තහනම් කර ඈවර කළ යුතුය, අර්බුදයට ලක්ව සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා එම මුදල් ආපසු එවිය යුතුය. යන්න සටන් පාඨ වලින් කියැවිණි. එසේම ඔවුනට රටින් පැන යාමට ඉඩදිය යුතු නැති බවද සටහන් විය.

මෙම විරෝධතාව ඉන්දීය ANI පුවත් වාර්තා මගින්ද ප්‍රසිද්ධ කර තිබේ.

***************************************

ගාලු මුවදොර තවමත් උණුසුම් – අරගලකරුවන් නොනැවතී අරගලයේ

(10.04.2022 – 07:10 +0530 – hirunews.lk/sinhala)

රට තුළ උද්ගතව ඇති අර්බුදවලට විසඳුම් ඉල්ලා ඊයේ (09) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටිය අවට සහ ජනාධිපති කාර්යාලය අසල විරෝධතා සඳහා වෙන්කර ඇති භූමියේ ආරම්භ කළ විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් අද (10) උදෑසන දී ද ජනාධිපති කාර්යාලය අසලින් ගාලු පාර අවට විරෝධතාකරුවන් රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

ඒ විරෝධතා පුවරු ද ඇතැතිවයි.

විරෝධතාව හේතුවෙන් ගාලු මුවදොර ආශ්‍රිත මාර්ග කිහිපයක් පොලිස් මාර්ග බාධක යොදා අවහිර කිරීමට ඊයේ (09) දිනයේ දී පියවර ගෙන තිබූ අතර සමාජ ක්‍රියාකාරීන් සංවිධාන කළ විරෝධතාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිරිස් එක්ව සිටියා.

විරෝධතා පුවරු ඔසවමින් අරගලකරුවන් වත්මන් අදූර්දර්ශී පාලනයට චෝදනා කරමින් කියා සිටියේ, වහාම ජනාධිපතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් සිය ධුරවලින් ඉවත් විය යුතු බවයි.

***************************************

නිලා, රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි මිලත් වැඩි වේ

(10.04.2022 – 8:10 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙලි නිෂ්පාදනවල මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ගිනිකෙළි නිෂ්පාදකයින් සහ වෙළෙඳුන් පවසනවා.

කිඹුලාපිටිය සුළු පරිමාණ ගිනිකෙළි නිෂ්පාදකයින් සඳහන් කළේ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

එමෙන්ම වෙඩි බෙහෙත් ඇතුළු අමුද්‍රව්‍යවල දැඩි හිඟයක් පැවතීම හේතුවෙන් සිය කර්මාන්තය සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් හටගෙන ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එලෙස රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යාමත් සමග ඒවා මිල දී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ගේ අඩුවක් පවතින බව ගිනිකෙළි නිෂ්පාදන අලෙවිකරුවන් පෙන්වා දෙනවා ෴

***************************************

ඉන්දියාව මුහුදු තීරයේ ආරක්ෂාව තර කරයි

(10.04.2022 – 08:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිට අනවසරයෙන් ඇතුළු වන පිරිස් වැළැක්වීම සඳහා ඉන්දීය මුහුදු තීරයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ පවතින ආර්ථික අර්බුදය හමුවේ එලෙස පැමිණෙන පිරිස් වැඩිවිය හැකි බවට එරට බුද්ධි අංශ නිකුත් කළ වාර්තාවකට අනුවයි.

ඒ අනුව, ඉන්දීය නාවික හමුදාව වෙරළාරක්ෂක බලකාය මෙන්ම පොලීසිය ද අදාළ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළතීරය මෙහිදී වැඩි අවධානයට ලක්ව ඇති අතර, ධීවර ගම්මාන 500 කට වැඩි සංඛ්‍යාවක් එහි පිහිටා තිබෙනවා.

එම ප්‍රදේශවලට ශ්‍රී ලාංකිකයන් ඇතුළු වන්නේ නම් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා ආරක්ෂාව ඉහළ නංවා ඇති බව ද අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණා.

මේ අතර, ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ තම දරු දෙදෙනා ද සමග තමිල්නාඩුවට ගිය ලාංකික දමිළ යුවලක් මණ්ඩපම්හි නාවික පොලීසිය විසින් රැඳවුම් භාරයට ගෙන තිබෙනවා.

මන්නාරම ප්‍රදේශයේ සිට පෙරේදා (08) දිනයේදී මොවුන් ධීවර යාත්‍රාවකින් තමිල්නාඩු ප්‍රාන්තයේ ධනුෂ්කොඩි ප්‍රදේශයට පැමිණ ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා.

මේ දක්වා ලාංකික දෙමළ පවුල් 20 ක් තමිල්නාඩුවට සරණාගතභාවය අපේක්ෂාවෙන් නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වී ඇති බව ද එම වාර්තාවල සඳහන් ෴

***************************************

අදත් (10) පළාත් රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

(10.04.2022 – 08:39 +0530 – hirunews.lk/sinhala)

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අදත් (10) පළාත් රැසකට වැසි කාලගුණයක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහිදී උතුර, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

මේ අතර, ඊයේ (09) සිට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ ආමර් වීදිය, නුගේගොඩ ඇතුළු ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6 ක් ද විවෘත කිරීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.

එමඟින් තත්පරයට ඝන අඩි 4900 ක් කලාඔය වෙත මුදාහැරෙන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

අප වාර්තාකරු සඳහන් කළේ, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 5 ක් ද විවර කර ඇති බවයි.

එසේම අම්බලන්තොට වලවේ ගඟේ මෝය කට ඇහිරීම හේතුවෙන් අම්බලන්තොට – හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ එක්කස්ස ප්‍රදේශයේ කිරල කැලේ වංගුව අසල මාර්ගය ජලයෙන් යට වී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයට අනුව පළාත් රැසකට අද (10) මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

මේ මොහොතේ දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වැඩි ජල විදුලියක් නිපදවීමේ ධාරිතාව වැඩි කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ද ඊයේ (09) රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවතිනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය, ශ්‍රී පාද, නල්ලතන්නිය, අප්කට්, සාමිමලේ යන ප්‍රදේශවලට වර්ෂාව පතිත වන බවයි.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පසුගිය දිනවල පැවති අධික වියළි කාලගුණයත් සමග පහළ බැස තිබු අතර , මේ වන විට එම ජලාශයේ වේල්ලේ අඩි 120 සිට අඩි 44 දක්වා පහළ බැස ඇති බවත් වාර්තාකරු පැවසුවා.

කාසල්රී ජලාශ වේල්ලේ උස අඩි 155 සිට අඩි 39 ක් දක්වා පහළ බැස ඇති බව ද එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියා.

මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නොර්වුඩ් , බගවන්තලාව යන ප්‍රදේශවලට ද අධික වර්ෂාව ඇදහැලෙනවා.

පවතින වර්ෂාවත් සමග මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පානීය ජලය ලබා ගන්නා ජල මුලාශ යළිත් සක්‍රීය වී ඇති බව ද හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසුවා.

***************************************

රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක

(10.04.2022 – 08:41 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර, රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,945 ක් ලෙසයි.

එමෙන්ම විවාහ උත්සව සමය ආසන්නවීමත් සමඟ ඉන්දියාවේ රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

ඉන්දියාව ලොව විශාලතම රන් පාරිභෝජකයෙකු ලෙසයි සැළකෙන්නේ ෴

***************************************

දොළ පාරකින් එගොඩ වීමට ගිය දරුවෙකු දියේ ගිලී මරුට

(10.04.2022 – 10:06 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාව හේතුවෙන් නෙළුව – ඇඹලෙගෙදර මාර්ගය හරහා පිටාර ගලමින් තිබූ ඉන්ගල් දොළ පාරෙන් එගොඩවීමට ගිය දරුවෙකු ජල පහරට හසු වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගිය අට (8) හැවිරිදි දරුවාගේ මව, ඇගේ දරුවන් සිව්දෙනා (4) සමඟ ඊයේ (09) මෙම දොළ පාරෙන් එගොඩවීමට යාමේ දී මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

මොවුන් ඇඹලෙගෙදර ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, නෙළුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවාගේ මෘතදේහය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු නිධන් හෑරූ හය (6) දෙනෙකු ආරච්චිකට්ටුවේ දී අත්අඩංගුවට

(10.04.2022 – 12:52 +0530 – hirunews.lk/sinhala)

ආරච්චිකට්ටුව – මානවේරිය ප්‍රදේශයේ දී නිධන් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි හලාවත නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු හය (6) දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ඊයේ (09) ලද තොරතුරකට අනුව සිදුකරන ලද වැටලීමේදී කැණීම් සඳහා රැගෙන එන ලද උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

සැකකරු සමඟ ඔහුගේ සහෝදරයෙකුගේ දරුවන් දෙදෙනෙකු (2) සහ යාපනය සහ නුවර ප්‍රදේශවල පදිංචි කපුවන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *