මෙරට තේ අපනයන සම්බන්ධයෙන් රුසියාව සමග ගිවිසුමකට එළඹෙන්නැයි ඉල්ලීමක්

මෙරට තේ අපනයන සම්බන්ධයෙන් රුසියාව සමග ගිවිසුමකට එළඹෙන්නැයි ඉල්ලීමක්

*********************************************

මෙරට තේ අපනයන සම්බන්ධයෙන් රුසියාව සමග ගිවිසුමකට එළඹෙන්නැයි ඉල්ලීමක්

(09.04.2022 – 10:20 +0530 – hirunews.lk/sinhala)

‘සිලෝන් ටී’ හෙවත් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් මිලට ගන්නා රුසියාව සමග අවබෝධාත්මක වෙළඳ ගිවිසුමකට එළඹෙන්නැයි තේ අපනයනකරුවන්ගේ සම්මේලනය ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා.

යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට පැනවුණු ජාත්‍යන්තර සම්බාධක නිසා එරට සමග වෙළඳ කටයුතු දැන් ගැටලුකාරි වීම ඊට හේතුවයි.

එහෙත් එම සම්බාධක පිළිනොගන්නා චීනය හා වියට්නාමය රුසියාව වෙත තවදුරටත් තේ අපනයන සිදු කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්දියාව ද රුසියාව සමග අවබෝධාත්මක වෙළඳ ගිවිසුම් වලට එළඹී එරට සමග ගනුදෙනු සිදු කරනවා.

එහිදී බ්‍රෙන්ට් වර්ගයේ යූරල් බොරතෙල් බැරලයක් ඩොලර් 35 ක වැනි මුදලකට ඉන්දියාවට ලබාදීම විශේෂත්වයක්.

එමෙන්ම, ඩොලරය වෙනුවට ඉන්දියාව, රුසියාව සමග ගණුදෙනු කරන්නේ ඉන්දීය රුපියල් සහ රූබල් විනිමය මගින්.

තේ අපනයනකරුවන්ගේ සම්මේලනය ඉල්ලා සිටින්නේ රුසියානු තේ වෙළඳපොල රැක ගැනීමට නම් එවැනි ගිවිසුමකට එළඹීම අවශ්‍යතාවක් බවයි.

ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව රුසියාවට තේ කිලෝග්‍රෑම් මිලියන 28 ත් 30 ත් අතර ප්‍රමාණයක් අපනයන කරන අතර යුක්රේනයට ද කිලෝග්‍රෑම් මිලියන 4 ක් පමණ අපනයනය කරනවා.

සම්බාධක පනවා නැතත් යුක්රේනය වෙත තේ සැපයීම අඩාල වී ඇත්තේ නෞකා ගමනාගමනයට පවතින බාධා ඇතුලු වෙනත් ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ෴

***************************************

තලවකැලේ – වටගොඩ නිවසක දී කාන්තාවක් ඝාතනය කෙරේ

(09.04.2022 – 07:19 +0530 – hirunews.lk/sinhala)

තලවකැලේ පොලිස් වසමේ වටගොඩ ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ගෙල සිර කර ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත තලවකැලේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 84 ක් වන පූඩළුඔය – වටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මරණකාරිය නිවසේ තනිව රැඳී සිටියදී ඇයගේ කට රෙදි පටියකින් ගැට ගසා ගෙල ද රෙදි පටියකින් සිරකොට ඝාතනය කර තිබෙනවා.

ඇයගේ කන පැළඳි කරාබු ජෝඩුව ද ඝාතකයා විසින් කොල්ලා කා ඇති බවයි පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර යාපනය – උදයපුරම් ප්‍රදේශයේ අතුරුදන්වූ කාන්තාවක් පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇතිවූ ආරවුලක් මත අදාළ කාන්තාව ඝාතනය කර ඇති බවයි විමර්ශනවල දී හෙළිවී ඇත්තේ.

මියගිය කාන්තාවගේ සිරුර සහ ඇය පැමිණි යතුරුපැදිය ද මනියම්තෝට්ටම් ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබියදී සොයාගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

***************************************

රුපියල් ලක්ෂ 76 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු (2) නාවික හමුදා භාරයට

(09.04.2022 – 09:08 +0530 – hirunews.lk/sinhala)

තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 76 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (2) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 965 ක් සහ ඔවුන් පැමිණි යාත්‍රාවක් ද මෙහිදී සිය භාරයට ගත් බවයි.

සැකකරුවන් වයස අවුරුදු 37 සහ 45 යන වයස්වල පසුවන අතර ඔවුන් තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ ෴

***************************************

ගැසට් නොකළ ඖෂධ මිලත් සියයට විස්සකින් (20%) ඉහළට

(09.04.2022 – 10:56 +0530 – hirunews.lk/sinhala)

මීට පෙර ගැසට් පත්‍රයේ පළ නොකරන ලද අත්‍යවශ්‍ය නොවන ඖෂධ නිෂ්පාදනවල මිල ගණන් ද ඊයේ (08) සිට බලපැවැත්වෙන පරිදි සියයට විස්සක (20%) උපරිමයකින් ඉහළ නැංවීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා.

රුපියල අවප්‍රමාණවීම සැළකිල්ලට ගෙන ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි මෙම තීරණයට එළඹි බවයි ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.

මෙම මිල ඉහළ නැංවීම පසුගිය මාර්තු 11 වනදා ඖෂධවල මිල සංශෝධනයට අමතරව සිදුකළ හැකි බවයි ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙත ලිපියක් යොමු කරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.

***************************************

එළවළු මිලේ අඩුවක් ?

(09.04.2022 – 12:42 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරවල අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ එළවළු මිලෙහි සාපේක්ෂ අඩුවක් පවතින බව එළවළු තොග වෙළඳුන් පවසනවා. සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එළවළුවල අවම ඉල්ලුමක් පැවතීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

එසේම පවතින ඉන්ධන සහ ගෑස් අර්බුදය ද මේ සඳහා හේතු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴

***************************************

නීතිවිරෝධී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(09.04.2022 – 14:39 +0530 – hirunews.lk/sinhala)

බ්‍රවුනින්ග් වර්ගයේ පිස්තෝලයක් පතොරම් සහිතව ළඟ තබාගෙන සිටි අයෙකු වෙරළබඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිස්තෝලය කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මතයි සොයාගෙන සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ – ජම්පටා වීදියේ ම පදිංචිකරුවෙක්.

ඔහු මීට පෙර මරදාන පොලිසිය මගින් කේරළ ගංජා කිලෝ 16 ක් සමඟ අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදුකර ඇති බවට ද වාර්තාවනවා.

සොයාගත් ගිනිඅවිය සැකකරු විසින් අපරාධ සඳහා යොදාගෙන ඇත්දැයි පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර, සැකකරුව අද (09) දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි ෴

***************************************

දැව ජාවාරමේ යෙදුණු අයෙකු පොලිස් දැලට

(09.04.2022 – 14:45 +0530 – hirunews.lk/sinhala)

මඩු රක්ෂිතයෙන් අනවසරයෙන් දැව කපා ඒවා ප්‍රවාහනයට සූදානම් කර තිබියදී විශේෂ කාර්ය බලකාය පුවරසන්කුලම් කඳවුරේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් කපා තිබූ බුරුත දැව කඳන් තොගයක් මෙහිදී සොයා ගැනුණා.

විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඊයේ (08) රාත්‍රියේ දී මඩු රක්ෂිතයේ සින්න වලයංකට්ටු ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුව නඩු භාණ්ඩ සමග විමර්ශන කටයුතු සඳහා මඩු අඩවිවන කාර්යාලය වෙත භාර දුන්නා.

සැකකරු ඉරනඩලුප්පුකුලම්, මඩු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක අයෙකු බවයි වාර්තා වන්නේ ෴

***************************************

මොරටුව උප නගරාධිපති, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දෙයි

(09.04.2022 – 16:57 +0530 – hirunews.lk/sinhala)

මොරටුව මහනගර සභාවට අයත් ගලි බවුසරය නොමිලේ ලබා ගැනීමට කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම නගර සභාවේ උප නගරාධිපති සමන්ත සිල්වා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මොරටුව මහනගර සභාවට තේරි පත් වූ සමන්ත සිල්වා විසින් මෙලෙස පහරදී ඇත්තේ එම නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස කටයුතු කරන යසන්ත රුවන්සිරිට යි.

පහරදීම සම්බන්ධයෙන් ප්‍රධාන මහජන සෞඛය පරීක්ෂකවරයා මොරටුව පොලීසියට පැමිණිලි කර ඇති අතර, ඔහු මේ වනවිට ලුනාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ ෴

***************************************

නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ගිය ලාංකික යුවලක් ඉන්දීය පොලිස් භාරයට

(09.04.2022 – 19:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිට අනවසරයෙන් ඇතුළු වන පිරිස් වැළැක්වීම සඳහා ඉන්දීය මුහුදු තීරයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ පවතින ආර්ථික අර්බුදය හමුවේ එලෙස පැමිණෙන පිරිස් වැඩිවිය හැකි බවට එරට බුද්ධි අංශ නිකුත් කළ වාර්තාවකට අනුවයි.

ඒ අනුව, ඉන්දීය නාවික හමුදාව වෙරළාරක්ෂක බලකාය මෙන්ම පොලීසිය ද අදාළ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළතීරය මෙහිදී වැඩි අවධානයට ලක්ව ඇති අතර, ධීවර ගම්මාන 500 කට වැඩි සංඛ්‍යාවක් එහි පිහිටා තිබෙනවා.

එම ප්‍රදේශවලට ශ්‍රී ලාංකිකයන් ඇතුළු වන්නේ නම් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා ආරක්ෂාව වැඩි කර ඇති බව ද අදාල වාර්තාවල වැඩිදුරටත් දැක්වුණා.

මේ අතර, ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ තම දරු දෙදෙනා (2) ද සමග තමිල්නාඩුවට ගිය ලාංකික දමිළ යුවලක් මණ්ඩපම් හි නාවික පොලීසිය විසින් රැඳවුම් භාරයට ගෙන තිබෙනවා.

මන්නාරම ප්‍රදේශයේ සිට ඊයේ (08) දිනයේදී මොවුන් ධීවර යාත්‍රාවකින් තමිල්නාඩු ප්‍රාන්තයේ ධනුෂ්කොඩි ප්‍රදේශයට පැමිණ ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා.

මේ දක්වා ලාංකික දෙමළ පවුල් 20 ක් තමිල්නාඩුවට සරණාගතභාවය අපේක්ෂාවෙන් නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වී ඇති බව ද එම වාර්තාවල සඳහන් ෴

***************************************

වැසි වැඩිවෙයි – අකුණු අවදානමත් ඉහළට

(09.04.2022 – 19:17 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය කිහිපය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමග මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට සහ ත්‍රිකුණාමලය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවු වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ඇතිවිය හැකියි.

ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

දිවයිනේ ප්‍රධාන වාරි ජලාශ වල ජල ධාරිතාවය සියයට 67 ක ප්‍රමාණයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් මුල් සතියේ සිට අවසන් සතිය දක්වා කාලය තුල ජලාශ ආශ්‍රිත වගා කටයුතු සිදුකිරීම සඳහා මේ වනවිට කාලසටහන් නිකුත් කර අවසන් බවයි ෴

***************************************

ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය ඉහළ දැමීමෙන් සිදුවන දේ ගැන පැහැදිලි කිරීමක්

(09.04.2022 – 19:39 +0530 – sinhala.adaderana.lk)

මෙරට ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය ඉතිහාසයේ වැඩිම අගයකින් ඉහළ දැමීමේ තීරණය ආර්ථිකයට බලපාන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සොයාබැලීමක් සිදු කළේය.

නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරය භාරගෙන සහභාගී වූ පළමු මූල්‍ය මණ්ඩල රැස්වීමේදීම මෙරට ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය ඉතිහාසයේ වැඩිම අගයකින් ඉහළ දැමීමට තීරණය කෙරුණි.

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 700 කින් ඉහළ දැමීමත් සමග, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.50% දක්වාත් ඉහළ නැංවුණි.

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවීම සමග එය බැංකු මුදල් තැන්පතුවලට සහ බැංකුවලින් ණය මුදල් ලබාගැනීමේදී සිදුකරන බලපෑම කෙබඳුද ?

මේ සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂක සංජීව ප්‍රනාන්දු මහතාගෙන් අප විමසීමක් කළේය.

“මුලින්ම වැඩි වෙනවා ණයට ගන්න තියෙන මුදල්වල පොලී අනුපාතය. ඒ කියන්නේ මම අද ගිහින් ණයක් ගන්නවා නම් මට ගෙවන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. තැන්පතුවලට දෙන පොලියත් වැඩි කරන්න වෙනවා. 7% කින්ම තැන්පතු අනුපාතය වැඩි වෙයිද කියලා කියන්න බෑ.”

“කොවිඩ් කාලයේ විතරක් ට්‍රිලියන 1.5 ක විතර මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළා. ජනවාරි සිට අප්‍රේල් 08 වෙනකම් බිලියන 430 ක් පමණ සල්ලි මුද්‍රණය වුණා. මුද්‍රණය කළ මුදල් ටිකට ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය වළක්වා ගැනීමට තමයි පොලී අනුපාත ඉහළ දැමීම කළේ. මුදල් සංසරණය අඩු කරලා තැන්පතු වැඩි කරලා ණය ගැනීම අඩුකිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ.”

“බදු වැඩි කරනවා නම් ඉස්සෙල්ලා වැඩි කරන්නේ VAT එක, ‘ඉන්කම් ටැක්ස්’ වගේ දේවල්. හැබැයි වැට් වගේ දෙයක් වැඩි කිරීම දේශපාලන වශයෙන් සුබවාදී දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි මේක නොකර අපිට IMF ගිහින් ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා ඉල්ලන්න බෑ.”

“ඊට පස්සේ කරන්න වෙන්නේ වැට් වගේ ඒවා වැඩි කරපු එකෙන් ජනතාවට වෙන බලපෑම අඩු කරන්න මුදල් හුවමාරු වැඩසටහනක් දාන්න වෙනවා. එතකොට ජනතාව අතට මුදල් ලැබෙනවා. වැඩි කරපු බදු මුදල් වලින් එන මුදල් ප්‍රමාණයක් එතනට යනවා. ‘සෝෂල් සේෆ්ටි නෙට්’ කියන එක හැදුවම ‘ඉකොනොමික් ෂොක්’ එක අඩු කරගන්න පුළුවන්.”

මේ අතර ණය තිරසාරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජික, ජොර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත දේවරාජන් මහතා ඊයේ (08) CNBC පුවත් සේවය සමග ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක්වුණි.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට අඛණ්ඩ සමාජ නොසන්සුන් තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ශාන්ත දේවරාජන් මහතා පවසයි.

ශාන්ත දේවරාජන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ බහුපාර්ශ්වික කටයුතු හා ණය තිරසරභාවය පිළිබඳ උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙකි.

එහිදී, ඔහු පවසා ඇත්තේ සමාජයේ කැළඹීම විශාල අවදානමක් වන අතර මුදල් හුවමාරු කිරීම පිළිබඳ කාරණය තමා දැඩිව අවධාරණය කරන බවය.

දුප්පතුන්ට උපකාර කිරීම අරමුණු කරගත් මුදල් හුවමාරු වැඩසටහනක් සහ ආහාර හා ඉන්ධන සඳහා සහනාධාර අඩුකිරීම මෙරට අධික ණය බරින් පෙළෙන ආර්ථිකයේ බිඳවැටීම වළක්වා ගැනීම සඳහා ඉතා වැදගත් වනු ඇති බව ඔහු පෙන්වාදෙයි.

කොරෝනා වසංගත තත්ත්වයත් සමග සංචාරක ආදායම නොලැබීම හේතුවෙන් විදේශ මුදල් හිඟයක් පවතිද්දී ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට සිදුව ඇති බවද දේවරාජන් මහතා සඳහන් කළේය.

ඉන්ධන හා විදුලි වැනි සහනාධාර බොහොමයක් ධනවතුන් විසින් භුක්ති විඳිමින් සිටින අතර ඉන්ධන මිල ඉහළ යාම දුප්පතුන්ට හානියක් වී ඇති බැවින් රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කළයුතු බව ආර්ථික විද්‍යාඥ ශාන්ත දේවරාජන් මහතා වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මේ අතර මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අද (09) රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින් පවසා තිබු‍ණේ, ඉදිරි මාස 06 සඳහා මෙරට ජනතාවට අවශ්‍ය ඉන්ධන, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 03 ක පමණ මුදලක් විදේශ රටවලින් ලබාගත යුතුව ඇති බවය.

එය අතිදුෂ්කර කාර්යභාරයක් වනු ඇති බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබුණි.

මේ අවස්ථාවේ සියලු උත්සාහ දරමින් සිටින්නේ රට බංකොලොත්භාවයට පත්වීම වැළැක්වීමට වන බවත් බංකොලොත්භාවයට පත්වුවහොත් අත්විදීමට සිදුවන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් හොඳින් තේරුම්ගෙන සිටින බවත් ඔහු පවසා තිබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *