මාර්ග සංවර්ධනය අත්හිටුවා අර්බුදයෙන් ගොඩඒමට සහාය වන්න – භාණ්ඩාගාර ලේකම්

මාර්ග සංවර්ධනය අත්හිටුවා අර්බුදයෙන් ගොඩඒමට සහාය වන්න – භාණ්ඩාගාර ලේකම්

*********************************************

මාර්ග සංවර්ධනය අත්හිටුවා අර්බුදයෙන් ගොඩඒමට සහාය වන්න – භාණ්ඩාගාර ලේකම්

(09.04.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් මාර්ග ඉදිකිරීම් ඇතුලු සංවර්ධන කටයුතු තාවකාලිකව නතර කළ යුතු බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සමඟ ඊයේ (08) පැවති විශේෂ සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

එම වැඩසටහනට එක්වෙමින් ආර්ථික විද්‍යා මහාචාර්ය එම්. තිලකසිරි කියා සිටියේ රට මුහුණදී ඇති තත්වයෙන් ගොඩගැනීම සඳහා පාලනාධිකාරිය ජනතාවට ආදර්ශයක් ලබාදිය යුතු බවයි ෴

***************************************

අප්‍රේල් 11 සහ 12 දෙදින සියලු බැංකු විවෘතයි

(09.04.2022 – 14:51 +0530 – hirunews.lk/sinhala)

සියලු බලපත්‍රලාභී බැංකු ලබන 11 සහ 12 යන දෙදින තුළ ගනුදෙනුකරුවන් සඳහා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

රජයේ නිවාඩු දින ලෙස එම දින දෙක ප්‍රකාශයට පත් කළ ද බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙසයි මහබැංකුව උපදෙස් ලබා දී ඇත්තේ ෴

***************************************

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සම්පුර්ණයෙන්ම අවහිර වෙයි

(09.04.2022 – 16:53 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ගාලු මුවදොර පිටිය අසල විරෝධතාවයේ යෙදී සිටි පිරිස් මේ වන විට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ විරෝධතාවයේ නිරත වනවා.

එම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සම්පුර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

+++++

+++++++

ගාලු මුවදොර විරෝධතා – සේයාරූ

***************************************

අලි සබ්රි වොෂින්ටනයට

(09.04.2022 – 17:28 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමට තමා ඇතුලු නියෝජිත පිරිසක් ලබන 18 වනදා අමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ වැඩපිළිවෙල සඳහා මූල්‍ය සහ නීතිමය උපදේශකයන් තෝරා ගැනීම ඉදිරි දින 21 තුළදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඉදිරි මාස 06 තුළදි ඉන්ධන මිළ සහ බදු වැඩි කරන බවත් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්ට අදාළ ප්‍රතිසංස්කරණයට බලාපොරොත්තු වන බවත් අලි සබ්රි සඳහන් කලා.

මෙම තීරණ ජනප්‍රිය ඒවා නොවුනද වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා අකමැත්තෙන් වුවද සිදුකල යුතුව ඇතැයි මුදල් අමාත්‍යවරයා කියාසිටියා.

ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් අපේක්ෂා කරන බවයි අලි සබ්රි අනාවරණය කලේ.

ඊට අමතරව චීනයෙන් තවත් ඩොලර් බිලියන එකහමාරක (1½) ණය පහසුකමක් සහ ඩොලර් බිලියන 01 ක ණයක් ලබාගැනීම කෙරෙහිද අවධානය යොමුකර ඇති බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

අත්‍යවශ්‍ය ආහාර,ඉන්ධන සහ ඖෂධ මිළදී ගැනීම වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 03 ක පමණ විදේශීය ආධාර අවශ්‍යව ඇති බවයි මෙහිදී අනාවරණය කෙරුණේ.

ඉන්ධන – ගෑස් සහ ඖෂධ සැපයුම යථා තත්වයට පත්කිරීම මූලික අපේක්ෂාව බවද මුදල් අමාත්‍ය අලි සබ්රි සඳහන් කර තිබෙනවා.

+++++++

මුදල් ඇමති ඇතුළු නියෝජිතයන් 18 වනදා මූල්‍ය අරමුදලට

(09.04.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීම සඳහා තමාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ලබන 18 වනදා වොෂින්ටන් නුවර වෙත ළගා වීමට නියමිත බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අමාත්‍යවරයා කියා සිටියේ මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් ද ඊට එක්වන බවයි.

මේ අතර, අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාස 6 ඇතුළත ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ආධාර අවශ්‍ය බවයි.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මූල්‍යාධාර ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍ය අලි සබ්රි කියා සිටියා.

මේ අතර, ඉදිරි මාස හය (6) ඇතුළත බදු අනුපාතය හා ඉන්ධන මිල තවදුරටත් ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි ද මුදල් අමාත්‍යවරයා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණා.

එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමට සහ ණය ප්‍රතිව්‍යූහ ගත කිරීමට අදාළව ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරන ලද ත්‍රිපුද්ගල උපදේශක සාමාජික ශාන්ත දේවරාජන් විදෙස් ප්‍රවෘත්ති නාලිකාවක් සමග අදහස් පළ කරමින් කියා සිටියේ ඉදිරි මාස කිහිපයේදී ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ස්ථාවර වීමට ක්‍රම දෙකක් (2) පවතින බවයි.

ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (08) ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිත ණය වාරික ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කර ඇති බවයි.

මේ අතර, උද්ධමනය පාලනය කිරීම සඳහා නව මහබැංකු අධිපතිවරයා යටතේ මේ වනවිට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

ඉන් එක් ක්‍රියාමාර්ගයක් වූයේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දැමීමයි.

ඒ අනුව, මහබැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කරමින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් ඒකක 700 බැගින් ඉහළ නංවනු ලැබුවා.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.50 සිට සියයට 13.50 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 7.50 සිට සියයට 14.50 බවට පත් වනවා.

***************************************

ටොන් 3900 ක ගෑස් නැවක් ළඟා වෙයි

(09.04.2022 – 19:20 +0530 – hirunews.lk/sinhala)

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් මාලදිවයිනේ සිට දිවයිනට ළගා වී තිබෙනවා.

ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු අද (09) රාත්‍රී 7 ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

සමාගමේ නිෂ්පාදන කටයුතු අඛන්ඩව සිදුකෙරෙන අතර, මේ වනවිට දිනකට ගෑස් සිලින්ඩර 1,10,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට තවදුරටත් ගෑස් පෝලිම් පවතිනවා.

මේ අතර හෙට (10) දිනයේ දිවයින පුරා විදුලිය කප්පාදු කෙරෙන්නේ පැයක (1) කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ සවස 06 ත් රාත්‍රී 10 ත් අතර කාලයේදී දිවයින පුරා ප්‍රදේශ වලට කලාප වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇති බවයි.

බලාගාර වලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා සිදු කරන පැය 2 ක විදුලි කප්පාදුව අදත් (09) ක්‍රියාත්මකයි.

මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් පිරවුම්හල් ඉදිරිපිට දක්නට ලැබෙන පෝලිම් තත්ත්වය ඉදිරි දින දෙක (2) තුළ සම්පූර්ණයෙන්ම අවසන් වනූ ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළා.

කෙසේ වෙතත් පිරවුම් හල් රැසක මේ වන විටි ඩීසල්, භූමිතෙල් මෙන්ම, ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ද නොමැති තත්වයක් පවතින බවට ජනතාව චෝදනා කරනවා.

ඒ අනුව දිවයින පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම් හල්වල අදත් දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම පානදුර – වෑකඩ සහ ඌවපරණගම – අඹගස්දෝව ඇතුලු ඉන්ධන පිරවුම්හල් කිහිපයක ඉන්ධන හල් සේවකයන් සහ ජනතාව අතර නොසන්සුන්තාවයන් ඇති වුණා.

ඒ බූලි වලට ඉන්ධන ලබා නොදීම, ඉන්ධන නිකුත් කිරීම ප්‍රමාද කිරීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්.

***************************************

ගාලු මුවදොර විරෝධය තවමත්

(09.04.2022 – 19:34 +0530 – hirunews.lk/sinhala)

රට තුළ උද්ගතව ඇති අර්බුදවලට විසඳුම් ඉල්ලා අද (09) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටිය අවට සහ ජනාධිපති කාර්යාලය අසල විරෝධතා සඳහා වෙන්කර ඇති භූමියේ ආරම්භ කළ විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසලින් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වුණා.

විරෝධතාව හේතුවෙන් ගාලු මුවදොර ආශ්‍රිත මාර්ග කිහිපයක් පොලිස් මාර්ග බාධක යොදා අවහිර කිරීමට පියවර ගෙන තිබූ අතර සමාජ ක්‍රියාකාරීන් සංවිධාන කළ විරෝධතාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිරිස් එක්ව සිටියා.

මේ අතර, රටට විශාල වෙනසක් අවශ්‍ය වී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ මීගමුව ප්‍රදේශයේ අද (09) පැවති විරෝධතාවක් අමතමින්.

එසේම, පාස්කු ප්‍රහාරයට කඩිනමින් යුක්තිය ඉල්ලා සහ වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයට විරෝධය පළකරමින් පිරිසක් කටුවාපිටියේ සිට කොළඹ කොච්චිකඩේ පල්ලිය දක්වා පාගමනක නිරත වුණා.

යුක්තිය ඉල්ලා විරෝධතා පාගමන – යන්න තේමා කරගත් මෙම පාගමන ආරම්භ කිරීමට පෙර ඔවුන් ආගමික වතාවත්වල නිරත වෙමින් යාඥාවන් සිදුකළා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කිරීම සහ ජනතාව පත්ව ඇති අපහසුතාවන්ට කඩිනමින් විසඳුම් ඉල්ලා සිටිමින් කටුවාපිටිය දේවස්ථානයෙන් මෙම විරෝධතා පාගමන ආරම්භ කළේ අද (09) පෙරවරු 10 ට පමණයි.

කටුවාපිටිය දේවස්ථානයෙන් ඇරඹි විරෝධතා පා ගමනේ ගමන් මාර්ගය වූයේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කටුනායක ශාන්ත පේදුරු පාවුළු දේවස්ථානය, තුඩැල්ල අඩක්කල මාතා දේවස්ථානය, කඳාන හැඳල හන්දිය ඇලකන්ද ඔස්සේ කොච්චිකඩේ පල්ලිය දක්වායි.

කිලෝමීටර් 36 ක පමණ දුරක් පාගමනින් පැමිණි කටුවාපිටිය – කොච්චිකඩේ දක්වා වූ මාර්ගයේ ප්‍රධාන නගරවල මඳ වේලාවක් රැඳී සිටිමින් විරෝධය දැක්වුවා.

මෙම පාගමනේ යෙදුණු පිරිසට එම මාර්ගයේ විවිධ නගරවලදී ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීමට ස්වෙච්ජාවෙන් පිරිස් එක්ව සිටියා.

කොච්චිකඩේ දේවස්ථානයට පැමිණි පිරිස එහිදී ආගමික වතාවත්වලද නිරත වුණා.

මේ අතර සර්වආගමික උද්ඝෝෂණයක් මීගමුව ග්‍රීන්පාක් මංසන්ධියේදී මීගමුව කතෝලික සාශනාරක්ෂක බල මණ්ඩලය විසින් සංවිධාන කර තිබුණා.

ඊට ධීවර සමිති ඇතුළු සංවිධාන කිහිපයක්ද එක්වුණා.

උද්ඝෝෂණය හේතුවෙන් මීගමුව – හලාවත පරණ පාර ග්‍රීන් පාර්ක් හන්දියෙන් වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා.

අනතුරුව පොලීසිය මැදිහත්ව විකල්ප මර්ග ඔස්සේ ගමන් කිරීමටයි විරෝධතාකරුවන්ට උපදෙස් ලබාදුන්නේ.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද එම අවස්ථාවට එක්වුණා.

මේ අතර ජනතා ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලා දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක අද (09) විවිධ කණ්ඩායම් විරෝධතාවල නිරත වුණා.

විදෙස් රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද එම රටවලදී විරෝධතා සංවිධාන කර තිබුණා.

ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයක් සහ විරෝධතා පා ගමනක් මහරගම නාවින්න බස් නැවතුම්පොල ඉදිරිපිට පැවැත්වුණා.

එම විරෝධතාකරුවන් හයිලෙවල් මාර්ගය ඔස්සේ දෙල්කද හන්දිය දක්වා ගමන් කිරීමෙන් පසු එම ස්ථානයේ පන්දම් දල්වා විරෝධතාවක නිරත වුණා.

මේ අතර සමගි ජනබලවේගය සංවිධාන කළ විරෝධතා අද (09) ස්ථාන කිහිපයකදී පැවැත්වුණා.

ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, ජනතාව පත්ව ඇති අපහසුතාවයන්ට විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවතුණා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ නිවසේ විදුලිය කප්පාදු කරන අවස්ථාවන්වලදී තමන්ටද ආණ්ඩුවට එරෙහිව විරෝධය දැක්වීමට සිතෙන බවයි.

මේ අතර බොහෝ ප්‍රදේශවල මහා සංඝරත්නය සහ ආගමික නායකයින් මෙන්ම ජනතාව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඩ විරෝධතාවලට එක්ව සිටි අකාරය ද දක්නට ලැබුණා.

මේ අතර ඊයේ (08) දිනයේ රැස් වූ නීතිපති දෙපාර්තුමේන්තුවේ නීති නිළධාරීන්ගේ සංගමය විශේෂ මහ සභා රැස්වීමේදී ගත් තීරණ අනුව පසුගියදා නීතිපති දෙපාර්තුමේන්තුවේ නව ගොඩනැගිලි සංකීර්ණයේ දොරටුව අභියස ඒකරාශී වූ නීතිඥවරුන්ගේ ආචාරධර්මයන් සහ හැසීරීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

එමෙන්ම, නීතිපතිතුමා ඇතුළු නීතිපති දෙපාර්තුමේන්තුව පිළිබඳව කරන ලද පදනම් විරහිත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් එම ක්‍රියාවන් හෙළා දකින බවත්, එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර, කුරුණෑගල නගරයේ ඊයේ (08) පැවති විරෝධතාවකට එක්වූ තරුණයින් පිරිසක් එම විරෝධතාවය අවසන් කර විසිර යන අවස්ථාවේදී කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් ඔවුන්ට පහරදී තිබෙනවා.

පහර කෑ තරුණයින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් රෝහල් ගත කිරීමට කුරුණෑගල පොලිසිය කටයුතු කර තිබෙනවා.

***************************************

ඉදිරි මාස තුන (3) අභියෝගාත්මක බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි

(09.04.2022 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ සහ උපකරණ වල හිඟය හේතුවෙන් ඉදිරි මාස 3 ඉතා අභියෝගාත්මක කාලවකවානුවක් වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ බොහෝ ආරෝග්‍යශාලාවල හදිසි ශෛල්‍යකර්ම පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

***************************************

මූල්‍ය උපදේශක සහ නීති උපදේශකයින් පත් කිරීම ගැන රජය ගත් තීරණය

(09.04.2022 – 19:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රජය මුදල් අමාත්‍යාංශය හරහා සිය බාහිර ණය තිරසාරභාවය කළමනාකරණය කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් සහ නීති උපදේශකයින් පත් කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් / නියෝජිතායතන වලින් යෝජනා (RfPs) ප්‍රකාශයට පත් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *