ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය හෙට (10) විශේෂ සාකච්ඡාවක

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය හෙට (10) විශේෂ සාකච්ඡාවක

*********************************************

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය හෙට (10) විශේෂ සාකච්ඡාවක

(09.04.2022 – 08:25 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව හෙට (10) රැස්වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම වෙත යොමු කිරීමට නියමිතයි.

සමගි ජනබලවේගය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ හෙට (10) සිය පක්ෂ කාර්යාලයේ දී මන්ත්‍රී කණ්ඩායම රැස්වන බවයි.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීම මේ වනවිටත් ආරම්භ වී තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරයා සඳහන් කළේ විශ්වාසභංගයට අදාළ අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව එය කථානායකවරයා වෙත භාරදෙන බවයි.

විශ්වාසභංගයට සහය ලබා ගැනීම සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමග සහ ස්වාධීන වූ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව, ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය නොමැති බවට පෙන්වීම තම අරමුණ බවයි අදාළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

මේ තැනැත්තා හඳුනනවා ද ? – තොරතුරක් වෙතොත් පොලිස් ස්ථානයට දැනුම්දෙන්න

(09.04.2022 – 06:47 +0530 – hirunews.lk/sinhala)

මාර්තු මස 31 වැනි දින මිරිහාන පොලිස් වසමේ පරණ කොට්ටාව පාර පැඟිරිවත්ත පාර මංසන්ධියේ දී කලහකාරී ලෙස හැසිරෙමින් පොදි දේපලවලට අලාභ හානි සිදුකර ඒ අසල වූ බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනි තබා අනර්ථයන් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ අපරාධමය සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය අපේක්ෂ කරනවා.

එම අවස්ථාවේ ලබාගත් සී.සී.ටී.වී. දර්ශන ඇසුරින් බස් රථ ගිනි තබන ලද පුද්ගලයෙකුගේ රුවට සමාන වන පරිදි අඳින ලද සිතුවමක් ද පොලීසිය විසින් මාධ්‍ය වෙත මුදා හැරුණා.

එම සැකකරු ගැන යම් තොරතුරක් වෙතොත් විමර්ශන භාර පොලිස් අධිකාරිවරයාගේ දූරකථන අංකය වන 071 859 1755 ට හෝ 071 859 4929 යන ස්ථානාධිපති – ඩිජිටල් වෝහාරික අංශය වෙත හෝ 011 244 4265 යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හෝ දැනුම්දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

***************************************

අදත් (09) විදුලි කප්පාදුවක්

(09.04.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් අදත් (09) දිවයින පුරා පැය 2 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී තිබෙනවා.

එහෙත් මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමය තුළ එනම් 13, 14, සහ 15 යන දිනයන්හි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා ඊයේ (08) ප්‍රකාශ කළා.

එහි සභාපති ජනක රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම දිනවලට අදාළ ව විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන මේ වනවිට ලැබෙමින් පවතින බවයි.

මේ අතර අප්‍රේල් මාසය සඳහා ඛණිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන මෙට්‍රික් ටොන් 1,24,000 ක් පවතින බව එහි සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ඉන්දීය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ඩීසල් තොග ලැබීමට නියමිත අතර, ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 290 ක ඉන්ධන මේ වනවිට මෙරටට ලැබී ඇති බවයි.

කෙසේ වුවත් ඩීසල් බෙදා හැරීමේ කටයුතු සිදු කෙරුණ ද, ඉන්ධන ලබා ගැනිම සඳහා පිරවුම්හල් අසල ජනතාව තවදුරටත් දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

***************************************

විදුලි – ඉන්ධන – ගෑස් අර්බුද විසඳන සැලසුම් ගැන මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවන්න – අධිකරණයට ඉල්ලීමක්

(09.04.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala)

රට තුළ උද්ගත වී ඇති විදුලිය, ඉන්ධන, ගෑස් සහ ඖෂධ හිඟය වැළැක්වීම සඳහා අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවන ලෙසට නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ එම සංගමය විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඊයේ (08) මුර්දු ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ විදුලිය, ඉන්ධන, ගෑස්, ඖෂධ සම්බන්ධයෙන් මතු වී තිබෙන හිඟය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවයි.

මෙම තත්ත්වය කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අනාගතයේ දී ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදාළ වාර්තා කැඳවන ලෙස නීතිපතිවරයා වෙත දැනුම් දෙන ලෙසයි ඔවුන් එහිදී ඉල්ලා සිටියේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපතිවරයා නියම වී ඇති බල අධිකාරියට අනුකූලව මෙම වාර්තා කැඳවීමට පියවර ගන්නා බව සඳහන් කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින අමාත්‍ය මණ්ඩලය ලේකම්වරයාට පමණක් අධිකරණය විසින් නිකුත් කළ නොතීසි ලැබී ඇති බවත් සෙසු වගඋත්තරකරුවන් මෙම නඩුවට අදාළව නීතිපතිවරයා වෙත උපදෙස් ලබා දීමක් සිදු කර නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී දන්වා සිටියා.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු විවෘත අධිකරණයේ සඳහන් කළේ ජනතාව මුහුණ දී සිටින අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය නිරාකරණය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සැකසීම අවශ්‍ය බවයි.

ඒ අනුව පෙත්සම මැයි මස 05 වනදා කැඳවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසට ද දැනුම් දුන්නා ෴

***************************************

යළි පාර්ලිමේන්තු රැස්වීම 19 වනදා

(09.04.2022 – 08:26 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව ලබන 19 වනදා සිට 22 වනදා දක්වා යළි රැස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා ෴

***************************************

වෛද්‍ය සංගමය ජනපති සමඟ හදිසි හමුවක් අපේක්ෂාවෙන්

(09.04.2022 – 08:28 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනතාවගේ සෞඛ්‍ය හා යහ පැවැත්ම පිළිබඳ මේ වන විට වර්ධනය වෙමින් පවතින අර්බුදය සම්බන්ධයෙන් හදිසි හමුවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ මෙරට රජයේ රෝහල්වල සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණවල උග්‍ර හිඟයක් පවතින බවයි.

සාමාන්‍ය ශල්‍යකර්ම වැනි සමහර සේවා සීමා කිරීමට මෙන්ම ජීවිතයට තර්ජනයක් වන රෝගවලට අදාළව පවා ඇතැම් සැපයුම් සීමා කිරීමට දැනටමත් තීරණ ගෙන ඇති බව ද එම ලිපියේ දැක්වෙනවා.

මෙය කිසිසේත්ම ගුණාත්මක ප්‍රතිපත්තියක් නොවන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට යැවූ ලිපියේ දැක්වෙන්නේ. දින කිහිපයක් ඇතුළත නොහැකි නම් සති කිහිපයක් ඇතුළත හෝ හදිසි සැපයුම් නැවත ලබාදීම සිදු නොකළහොත් හදිසි ප්‍රතිකාර ද කළ නොහැකි බවත් පෙන්වා දෙනවා.

මෙම අර්බුදයෙන් මිදීම සඳහා බලධාරීන්ට සහාය ලබාදිය හැකි ආකාර හඳුනාගෙන ඒවා ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය තුළින් ලයිස්තුගත කිරීමට ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කටයුතු කර තිබෙනවා.

***************************************

ආනයනය ප්‍රමුඛතාව මත වාහන ගෙන්වීම ගැන මහබැංකු අධිපතිගෙන් මතයක්

(09.04.2022 – 08:30 +0530 – hirunews.lk/sinhala)

ඕනෑම ආනයනයක් සඳහා විදේශ මුදල් නිදහස් කිරීම ප්‍රමුඛතාව මත පදනම්ව එක් එක් අවස්ථාව අනුව විමසා බැලිය යුතු කරුණක් බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේ වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ඔහු එහිදී කියා සිටියේ එලෙස ආනයනයන් සඳහා මුදල් වෙන් කිරීමේදී ජනගහණයෙන් වැඩි කොටසකට ඇති කරන සමස්ත බලපෑම සැළකිල්ලට ගත යුතු බවයි ෴

***************************************

විදුලි බලාගාර ආශ්‍රිතව වැසි වසිද්දී ජල විදුලි නිෂ්පාදනයට කොළ එළි

(09.04.2022 – 13:03 +0530 – hirunews.lk/sinhala)

විදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට මේ වනවිට පසුගිය දිනවලට සාපේක්ෂව තරමක වැසි ඇද හැලෙමින් පවතිනවා.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමණී ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පහළ වායුගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අද (09) සහ හෙට (10) දිනවල දී ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි ඇති විය හැකි බවයි.

ලබන 15 වනදා දක්වා ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි ඇති විය හැකි බව ද ඇය සඳහන් කළා.

හැටන් – මාවුස්සාකැලේ සහ කාසල්රී ජල පෝෂක ප්‍රදේශ වලට ඊයේ (08) පස්වරුවේ ඇදහැලුණු වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයේ වේල්ලේ පරතරය අඩි 120 සිට අඩි 48 දක්වා අඩු වී ඇති බව ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළා.

එමෙන්ම වැසි සමග මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර ද සක්‍රීය වී ඇති බවයි හැටන් – ප්‍රාදේශීය ජල පාරිභෝගික මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

එහෙත් ජලාශවල ජල මට්ටම් ප්‍රමාණවත් මට්ටමට තවමත් ළගා වී නොමැති අතර ඒ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. එමෙන්ම බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අදත් දිවයින පුරා පැය 2 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත්තේ.

මේ අතර ඉන්ධන තොග ලැබී, විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවලට ජලය ලැබීමත් සමග ඉදිරියේදී විදුලි කප්පාදුව සීමා කිරීමට හැකි වනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

එමෙන්ම දිවයින පුරා පිරවුම් හල් වෙත ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛන්ඩව සිදු වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වන විට පිරවුම් හල් රැසක ඩීසල්, භූමිතෙල් මෙන්ම ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් නොමැති තත්ත්වයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව අදත් (09) ඉන්ධන හල් රැසක දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එමෙන්ම ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට ද තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

***************************************

කටුවාපිටියේ සිට කොච්චිකඩේ පල්ලියට පා ගමනක්

(09.04.2022 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයක ජනතාව අද (09) දිනයේදීත් විරෝධතා ව්‍යාපාරවල නිරත වනවා.

ඒ අනුව, ජනාධිපති කාර්යාලය අසල මේ වනවිටත් විරෝධතාවක් ක්‍රියාත්මකයි.

සමාජ ක්‍රියාකාරින් පිරිසක් විසින් සංවිධාන කළ විරෝධතාව මේ වනවිට ජනාධිපති කාර්යාලය අසල පිහිටි විරෝධතා සඳහා වෙන් කර ඇති භූමියේ පැවැත්වෙනවා.

මේ අතර, ජීවන වියදම ඉහළ යාමට එරෙහිව සහ පාස්කු ප්‍රහාරයට යුක්තිය – සාධාරණය ඉල්ලා ජනතා හඬ සංවිධානය, මීගමුව – ග්‍රීන් පාක් මංසන්ධියේදී සර්ව ආගමික විරෝධතාවක් අද (09) උදෑසන සංවිධාන කර තිබුණා.

මේ හේතුවෙන් මීගමුව – හලාවත පරණ පාර ග්‍රීන් පාක් හන්දියෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එම ස්ථානයට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊට එක්ව සිටියා.

මේ අතර, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අසල සිට කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙනවා.

විරෝධතාකරුවන් ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ යාඤාවන්ට සහභාගි වී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පාගමන ආරම්භ කළ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර ඊයේ (08) රාත්‍රියේ මහරගම නගරයේ දි ද ජාතික ජනබලවේගය විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

***************************************

ගාලුමුවදොර අවට රථ වාහන තදබදයක්

(09.04.2022 – 14:08 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවක් හේතුවෙන් කොළඹ – ගාලු මුවදොර අවට මාර්ගවල රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

හිරු වාර්තාකරු පැවසුවේ ජනාධිපති කාර්යාලය අසල විරෝධතා සඳහා වෙන් කර ඇති ස්ථානය අවට එම විරෝධතාව පැවැත්වෙන බවයි.

ජනතා ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලා අද (08) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවක් ආරම්භ කෙරුණා.

ඒ හේතුවෙන් කොළඹට පිවිසෙන මාර්ග රැසකට පොලිස් මාර්ග බාධක යොදා ඇති අතර කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීමටත් ආරක්ෂක
අංශ පියවර ගෙන තිබෙනවා.

මේ අතර, තවත් ප්‍රදේශ කිහිපයක විවිධ කණ්ඩායම් විරෝධතාවල නිරත වී තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *