සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවකට අත්සන් තැබෙයි

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවකට අත්සන් තැබෙයි

*********************************************

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවකට අත්සන් තැබෙයි

(08.04.2022 – 16:15 +0530 – hirunews.lk/sinhala)

සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු 4 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබෙනවා.

එම ලිපියට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ හවුල්කාර පක්ෂ 10 නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා මෙන්ම, විජේදාස රාජපක්ෂ අත්සන් කර තිබුණා. කරුණු 11 කින් යුත් එම ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ මහජන අසහනය දුරුකර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර තමන් කැමති ආණ්ඩුවක් පත් කිරීමට අවස්ථාව ලබාදීම සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය කළ යුතු බවයි.

එමෙන්ම, සියලුම දේශපාලන පක්ෂය එක් වී රට ආරාජික වීම වැළැක්වීමට විශ්වසනීය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි එම ලිපියෙහි වැඩිදුරටත් දැක්වුණේ.

එමෙන්ම, ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම, ජාතික විධායක සභාවේ උපදෙස් මත, ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම, සීමිත ඇමති මණ්ඩලයක් පත්කිරීම ඇතුළු කරුණු 11 ක් ඊට ඇතුළත්.

***************************************

සරසවි සිසුන්ගේ විරෝධයෙන් රාජගිරිය අවට දැඩි තදබදයක්

(08.04.2022 – 16:19 +0530 – hirunews.lk/sinhala)

සරසවි සිසුන්ගේ පා ගමන නිසා රාජගිරිය අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

අද (08) දහවල් කාලයේ සිට මෙම සරසවි සිසුන් පවතින ආණ්ඩුවේ දැඩි අකාර්‍යක්ෂම පරිපාලනයට එරෙහිවයි විරෝධතාව පළ කරන්නේ.

ඔවුන් දහවල් වනවිට බොරැල්ල නගරය පසුකර ගිය අතර, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් අතර, වැඩි වශයෙන් ඉල්ලා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සිය ජනපති ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බවයි ෴

***************************************

අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ඉල්ලා අධිකරණයට ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභා කරයි

(08.04.2022 – 16:49 +0530 – hirunews.lk/sinhala)

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සහතික කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට අදාළ අමාත්‍යාංශවලට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ පෙත්සම අධිකරණයෙන් නිෂ්ප්‍රභ කර තිබෙනවා.

ඒ අද (08) පස්වරුවේ දී අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී සලකා බැලීමෙන් අනතුරුවයි ෴

***************************************

පොල්දූව මංසන්ධිය අසල සරසවි අරගලයට පොලීසියෙන් කඳුලු ගෑස් හා ජල ප්‍රහාර

(08.04.2022 – 17:20 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වයන්ට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට අද (08) පස්වරුවේ පාර්ලිමේන්තු මාර්ගයේ බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ දී පොලීසිය විසින් ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලා.

කැළණිය සරසවිය ඉදිරිපිටින් අද (08) දහවල් ආරම්භ වූ විරෝධතා පාගමන පෑලියගොඩ, දෙමටගොඩ, මරදාන, බොරැල්ල සහ රාජගිරිය හරහා බත්තරමුල්ල දක්වා පැමිණියේ වැසි සහිත කාළගුණ තත්වයක් මධ්‍යයේයි.

විරෝධතාවය සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය ද එක්ව සිටිනවා.

කෙසේ වෙතත්, පොලීසිය මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කර තිබීම හේතුවෙන් විරෝධතාකරුවන්ට පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට හැකි වුනේ නැහැ.

එහිදී පොලිස් මාර්ග බාධක පෙරළා දමා පොලිස් නිලධාරීන් ද තල්ලු කර දමමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමග පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

එහිදී විසිර ගිය පිරිස යළි පැමිණ මාර්ගයේ බිම වාඩි වී විරෝධතාවයේ නිරත වු බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාවය හේතුවෙන් රාජගිරිය සහ බත්තරමුල්ල ආශ්‍රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද හටගත්තා.

මේ අතර රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර රැසක් නියෝජනය වන වෘත්තීය සමිති නියෝජිතයින්ද අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර ඔවුන් පළාත් මට්ටමින් සියලු‍ම ප්‍රධාන නගරවල දී විරෝධතාවල ද නිරත වුණා.

එසේම, ජීවන වියදම ඉහළ යාම ඇතුළු ගැටලු‍වලට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක තවදුරටත් විරෝධතා පැවැත්වුණු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහයෝගය පළකරමින් ද ප්‍රදේශ කිහිපයක ජනතාව ඒකරාශී වී සිටියා.

රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර රැසක් නියෝජනය වන වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද (08) දිනයේ ජාතික විරෝධතාවක් සහ එක්දින (1) වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබුණා.

මේ අතර රට අස්ථාවර නොකරනු මහානාහිමියන්ගේ යෝජනා ක්‍රියාත්මක කරනු යන මැයෙන් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු මහා සංඝරත්නය නියෝජනය කරන ස්වාධීන භික්ෂු එකමුතුව අද (08) පස්වරුවේ විහාර මහා දේවී උද්‍යානයේදී සාමකාමී සත්‍යග්‍රහයක් සංවිධාන කර තිබුණා.

මේ අතර, කුරුවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (08) ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවට නිරත වූ අතර ඔවුනට ප්‍රාදේශීය සභාවට ඇතුල්වීම සඳහා වන ගේට්ටුව වසා දැමීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

රත්මලාන දුම්රිය සේවකයින් එක්ව වත්මන් අර්බුදවලට විරෝධය දක්වා සංවිධාන කළ උද්ඝෝෂණයක් පැවැත්වුණේ රත්මලාන බෙලෙක්කඩේ මංසන්ධියේදීයි.

මරදාන ටෙක්නිකල් මංසන්ධියේදී දුම්රිය සේවකයින් පිරිසක් අධික වර්ෂාව නොතකමින් විරෝධය පළ කරන අයුරු ද දැකගත හැකිවුණා.

රෝහල් කිහිපයක වෛද්‍යවරු හා හෙද හෙදියන් සුළු සේවකයින් ඇතුළු පිරිස් රටේ වත්මන් තත්ත්වයට විරෝධය පළ කළ අතර, වත්මන් අර්බුදයට විරෝධය පළකරමින් ගුරු විදුහලපතිවරුන් ද විරෝධය පළ කළා.

මේ අතර ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, ජනතාව පත්ව ඇති අපහසුතාවයන්ට විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවතුණා.

මේ අතර සමගි ජනබලවේගය සංවිධාන කළ විරෝධතා කිහිපයක් ද අද (08) ස්ථාන කිහිපයකදී පැවැත්වුණා.

මේ අතර, හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක පියවරක් බව යුරෝපා සංගමය පවසනවා.

ශ්‍රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳව අවධානය යොමුකරන ලෙස සියලු පාර්ශ්වයෙන් ඉල්ලා සිටින බවයි එම සංගමය නිවේදනය කළේ.

එමෙන්ම, සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකමක් වන අතර සියලු පාර්ශ්ව සාමකාමීව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින බවයි යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

***************************************

අලුත් අවුරුද්දේ විදුලිය නොකැපෙන බවට පොරොන්දුවක්

(08.04.2022 – 17:38 +0530 – hirunews.lk/sinhala)

අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා ඉන්ධන ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගිතා කොමිසම ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළා.

ඒ වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම ද ප්‍රතික්ෂේප කරමින්.

ජන ජිවිතයට අත්‍යාවශ්‍ය සේවාවක් වන විදුලි අඛන්ඩව සැපයීම තහවුරු කිරීමේ වගකීම මහජන උපයෝගිතා කොමිසම වෙත පැවරී ඇති බවයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙහිදී සඳහන් කළේ.

කෙසේ වෙතත්, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ශි හේරත් ප්‍රකාශ කළේ පෙත්සම තුළින් ඉල්ලා ඇති පරිදි රජය වෙත නියෝගයක් නිකුත් කිරීමේ බලයක් ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් බවයි.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට කටයුතු කළා.

එසේම මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමය තුළ එනම් 13, 14 සහ 15 යන දිනයන්හි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන මේ වනවිට ලැබෙමින් පවතින බවයි.

එමෙන්ම ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට යම්තාක් දුරට වර්ෂාපතනයක් ඊයේ (07) දිනයේදී ලැබීම මීට එක් හේතුවක්.

මේ නිසා මෙම සතියට සාපේක්ෂව ඉදිරි සතිය තුළදී දිවයින පුරා සිදුකරන විදුලි කප්පාදුවෙහි කාලය තවදුරටත් අවම කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, අප්‍රේල් මාසය සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 2,65,000 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති බව ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළා.

එහි සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ ප්‍රමාණවත් ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන බැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන එක් රැස් කිරීමෙන් වළකින ලෙසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඉන්දීය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ඩීසල් තොග ලැබීමට නියමිත අතර, ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 290 ක ඉන්ධන මේ වනවිට මෙරටට ලැබී ඇති බවයි.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවට දිගටම සහය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ ඉන්දීය මාධ්‍යවේදීන් සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කර තිබෙනවා.

කෙසේ වුවත් ඩීසල් බෙදා හැරීමේ කටයුතු සිදු කෙරුණ ද, ඉන්ධන ලබා ගැනිම සඳහා පිරවුම්හල් අසළ ජනතාව තවදුරටත් දිගු පෝළිම්වල සිටින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, ආනයනය කරන ඩීසල්වලට භූමිතෙල් කලවම් කරන බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න චෝදනා කළා ෴

***************************************

මූල්‍ය තැන්පතු වෙත මහබැංකුවේ ප්‍රතිපත්ති තවත් දැඩි වෙයි – IMF සාකච්ඡාත් කඩිනම් කෙරේ

(08.04.2022 – 17:58 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද (08) මුදල් මණ්ඩලය රැස්වී මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කරමින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් ඒකක 700 කින් වැඩි කිරීමට තීරණය කළා.

එහිදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13.5 දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14.5 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

පසුගිය මාසයේ තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 ක් ලෙසත්, ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 ක් ලෙසත් ඉහළ නංවා තිබුණා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම, රුපියල අවප්‍රමාණය වීම ඇතුළු කරුණු රැසකට බලපෑ උද්ධමනකාරී පීඩනය හේතුවෙන් ආර්ථිකයට සිදුව ඇති බලපෑම අවම කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි මහ බැංකුව නිවේදනය කළේ.

මේ අතර, ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගැනීම සහ තාක්ෂණික සහාය ලබා ගැනීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන සාකච්ඡා කඩිනම් කර ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා ෴

***************************************

ශ්‍රී ලංකා මහබැංකුව දේශපාලනය රහිත ස්වාධීන තැනක් – මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

(08.04.2022 – 18:36 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථිකය නියත වශයෙන්ම යහපත් ගමන් මාර්ගයකට හැරවීමේ හැකියාව සහ ශක්තිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති බව තමන් විශ්වාස කරන්නේ යැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු කියා සිටින්නේ එම හැරවුම් ලක්ෂය ඉදිරි මාස කිහිපය තුළ දී ඇති කරගත හැකි වනු ඇති බවයි.

ඒ සඳහා දේශපාලන ස්ථාවරභාවය සහ සමාජයීය ස්ථාවරභාවය අත්‍යවශ්‍ය සාධකයක් බවත් ඔහු අවධාරණය කළා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (08) දින වැඩ භාර ගැනීමෙන් අනතුරුව පවත්වනු ලබන පළමු මාධ්‍ය හමුවේ දී යි මේ අදහස් ප්‍රකාශ කළේ.

එමෙන්ම රටේ අභිවෘද්ධිය සඳහා තමන් උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත් සිය කටයුතුවල දී දේශපාලන මැදිහත්වීම් ඇති කර ගැනීමට කිසිදු ඉඩක් නොතබා ස්වාධීනව කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

තමන් එම කටයුත්ත සිදු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමෙන් පසුව මේ අවදානම භාර ගෙන මෙරටට පැමිණි බවයි ඔහු සඳහන් කර සිටියේ.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා හැකි උපරිම වේගයෙන් කටයුතු කරන බවත් ඒ සඳහා වහාම යෝජනා කැදවීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවත් ඔහු කියා සිටියා.

එම යෝජනා සලකා බැලීමෙන් අනතුරුව ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වහාම කමිටුවක් පත් කිරීමට තමන් අදහස් කර සිටින බවත් මෙම මාධ්‍ය හමුවේ දී ආචාර්ය වීරසිංහ පවසා සිටියා.

තමන් රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදී කිසිදු දේශපාලන අධිකාරියට හෝ දේශපාලන උවමනාවකට නතුව කටයුතු කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සෘජුව වගකියන්න මෙරට මහජනතාවට බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී හමුවේ දී අවධාරණය කර සිටියා.

+++++

ණය ගෙවන හැටි ගැන මහබැංකු අධිපති හෙළි කරයි

(08.04.2022 – 19:10 +0530 – hirunews.lk/sinhala)

විදේශ විනිමය අර්බුදයේ ප්‍රධාන කොටස් දෙකක් ඇති බවත් ඉන් පළමු වැන්න ණය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම වන අතර දෙවැන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා විදේශ මුදල් සපයා ගැනීම බව මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

මෙම තත්ත්වය නිරාකරණය කර ගැනීම සඳහා ඉක්මනින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාකර ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ණය මුදලක් ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන බවත් ඔහු කියා සිටියා.

ඒ සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ලබන 18 වැනිදා සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ආචාර්ය වීරසිංහ පවසා සිටියේ.

2021 වසරේ ඉතිහාසයේ වැඩිම අයවැය හිගය ඇති වීමට හේතු වූයේ අනවශ්‍ය ලෙස බදු මුදල් අඩු කිරීම නිසා බව නව මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මුදල් මුද්‍රණය කිරීම සෑම මහ බැංකුවක් විසින් ම සිදුකරන කාර්යභාරයක් බවක් එය සෑම විටම සිදුකළ යුත්තේ මනා පරිපාලනයක් සහිතව බවයි.

***************************************

මමයි මුදල් ඇමති ! – අලි සබ්‍රි කට අරියි

(08.04.2022 – 18:53 +0530 – hirunews.lk/sinhala)

තමන් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකාව පිලිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව පිළිබඳ සභා කල් තැබීමේ විවාදයට එක්වෙමින්.

මෙම විවාදය අතරතුර අශෝභන ලෙස හැසිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ තිස්ස කුට්ටිආරච්චි සභා ගර්භයෙන් ඉවත් කිරීමටයි කථානායකවරයා නියෝග කළේ.

මේ අතර, මීළඟ පාර්ලිමේන්තු සතිය ලබන 19 වනදා සිට 22 දක්වා පැවැත්වීමට අද (08) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා ෴

***************************************

යුරෝපා සංගමය ලක් රජයෙන් සිදු කළ විශේෂ ඉල්ලීම

(08.04.2022 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන ලෙස යුරෝපා සංගමය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ලක් රජය දැඩි ආර්ථික අවපාතයකට ඇඳ වැටෙමින් පවතින බව පෙන්වා දෙන යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ, එය තවත් නුදුරු අනාගතයේ දී තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවයි.

එබැවින් වහාම ඊට අදාළ විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද යුරෝපා සංගමය විසින් ලක් රජයට දැනුම්දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *