ඉන්දීය ණය ආධාර තෙල් දිවයිනට

ඉන්දීය ණය ආධාර තෙල් දිවයිනට

*********************************************

ඉන්දීය ණය ආධාර තෙල් දිවයිනට

(08.04.2022 – 10:14 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 500ක වටිනාකමකින් යුත් ඉන්ධන තොගයෙන් මේ වන විටත් 60%ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව මේ වන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 270 ඉන්දියාව විසින් සපයා අවසන්.

කෙසේ වෙතත් මෙලෙස ලැබුණු ඉන්ධන තොගයෙන් වැඩි ප්‍රතිශතයක් වෙන්කර ඇත්තේ මෙරට විදුලි බල උත්පාදන කටයුතු සඳහායි.

ඒ අනුව ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු සමස්ත ඉන්ධන තොගයෙන් 50%ක ප්‍රමාණයක් විදුලි උත්පාදන කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.

ඉතිරි 50% අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා තවත් 20%ක කොටසක් වෙන් කෙරුණු අතර, සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනය සඳහා තවත් 30%ක පමණ ප්‍රමාණයක් නිකුත් කෙරුණු බවත් එම ප්‍රකාශකයා සඳහන් කරනවා.

කෙසේ වෙතත් තවත් ඉන්ධන තොග සීමිත ගණනාවකින් පසුව ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන ඉන්ධන ප්‍රමාණය ද අවසන් වන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව නව වසරෙන් අනතුරුව අප්‍රේල් මස තුන් වන සතිය පමණ වන විට මෙරට ඉන්ධන සැපයීම බරපතළ ගැටලුවක් වනු ඇති බවට යි එම උසස් නිලධාරියා අනතුරු අඟවා සිටියේ.

එමෙන්ම මේ දිනවල ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල පවතින අඩු ජල මට්ටම් මැයි මාසයේ දී ආරම්භ වන මෝසම් වර්ෂාවත් සමඟ යම් තරමකට පිරි යාමෙන් අනතුරුව ජල විදුලි බලය නිෂ්පාදනය ඉහළ යාමත් සමඟ තාප විදුලි ජනන කටයුතු අඩු වනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළා.

යම් හෙයකින් වර්ෂා පතනය ලැබීම ප්‍රමාද වුවහොත් රට තුළ බරපතළ බලශක්ති අර්බුදයක් ඇති වනු ඇති බවටයි ඔහු පුරෝකතනය කළේ.

මේ අතර ඉන්ධන හල් සඳහා දෛනිකව ලැබෙන ඉන්ධන තොග නො ලැබී යාම හේතුවෙන් තවදුරටත් ඉන්ධන හල් පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇති බව ඉන්ධන හල් හිමියන්ගේ සංගමය පවසා සිටිනවා.

ඔවුන් පවසන්නේ මේ වන විට සෑම ඉන්ධන හලක ටම දිනකට ලැබෙනුයේ ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 3300ක් පමණක් බවයි.

එම ඉන්ධන සැපයීම ද අවස්ථා දෙකකදී සිදු කෙරෙන අතර ඇතැම් ඉන්ධනහල්වලට දින තුන හතරක පමණ කාලයකින් ඉන්ධන නො ලැබී යන අවස්ථා ද වාර්තා වන බව ඔවුන් සඳහන් කරනවා.

මේ අනුව මහජන පීඩනය සෘජුව ම ඉන්ධනහල්වලට එල්ල වීම හරහා මේ වනවිට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යාමට නො හැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ ෴

***************************************

නියෝජ්‍ය කථානායක ධුරයේ රැඳී සිටිනවා – රංජිත් සියඹලාපිටිය

(08.04.2022 – 10:36 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ ඉල්ලීම සළකා බලා නියෝජ්‍ය කථානායක ධුරයේ මේ මස අවසන්වනතුරු රැඳී සිටින බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අද (08) පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද (08) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර, එය අද (08) රාත්‍රී අට (8) දක්වා පැවැත්වෙනු ඇති ෴

***************************************

තිස්ස කුට්ටිආරච්චි ව හා චමින්ද විජේසිරි ව පාර්ලිමේන්තු සබාගැබෙන් එළියට දැමෙයි

(08.04.2022 – 11:31 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කිරීමට කථානායකවරයා අද (08) නියෝග කළා.

ඒ, ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අතරතුර අශෝභන අයුරින් හැසිරීම හේතුවෙන්.

එම අවස්ථාවේදී සභාව මිනිත්තු පහකට (5) කල් තැබීමටද කථානායකවරයා පියවර ගත්තා.

මේ අතර ජනාධිපතිවරයාගේ ඉල්ලීම සළකා බලා නියෝජ්‍ය කථානායක ධුරයේ මේ මස අවසන්වනතුරු රැඳී සිටින බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මේ වනවිට ක්‍රියාත්මක අතර, එය අද (08) රාත්‍රී අට (8) දක්වා පැවැත්වෙනු ඇති.

***************************************

අදත් (08) තැන තැන විරෝධතා

(08.04.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වයට විරෝධය පළ කරමින් තම සාමාජිකයන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතනවල ඇතැම් සේවා කටයුතු අඩපණ වී ඇති බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ අතර පවතින තත්වයට විරෝධය පළ කර අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඒ අනුව සමගි ජනබලවේගය විසින්ද අද ස්ථාන කිහිපයකදී විරෝධතා සංවිධාන කර තිබුණා.

පිළියන්දල, යටියන්තොට, කිරිඳිවැල, බුත්තල, මාවනැල්ල සහ මොරටුව ආදී ස්ථානවල එම විරෝධතා පැවැත්වුණා.

මේ අතර පාර්ලිමේන්තු සැසිවාරය නිසා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ සිට ජපන් මිත්‍රත්ව පාර දක්වා කොටස අද දිනයේදීත් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

***************************************

ශ්‍රී ලංකාවට සහනාධාර දෙන්න තමිල්නාඩුව සූදානමින්

(08.04.2022 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක්ව සිටින මෙරට දෙමළ ජනතාවට අවශ්‍ය කරන ආහාර සහ ඖෂධ ලබාදීමට සූදානම් බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් පවසනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් සමඟ ඊයේ (07) දුරකථන සංවාදයක නිරතවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ උතුර – නැගෙනහිර පළාත්වල මෙන්ම කොළඹ සහ කඳුකරයේ දෙමළ ජනතාවට අවශ්‍ය සහල් ඇතුලු අනෙකුත් ධාන්‍ය මෙන්ම ජීවිත ආරක්ෂක ඖෂධ, තූත්තුකුඩියේ සිට නෞකාවක් මගින් ශ්‍රී ලංකාවට පිටත් කර යැවිය හැකි බවයි.

එමෙන්ම කොළඹ සහ යාපනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ඔස්සේ මෙරට ජනතාවට අවශ්‍ය සහනාධාර ලබාදිය හැකි බවද තමිල්නාඩු මහ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින්, පසුගිය මාර්තු 31 වනදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදිද මෙවැනි ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

එමෙන්ම, තමිල්නාඩුවේ ටියුටිකොරින් හි යාචකයෙකු විසින් අසීරුතාවට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉන්දීය රුපියල් විසි දහසක් (20,000) පරිත්‍යාග කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එම මුදල ඔහු තමිල්නාඩු ප්‍රාන්ත දිස්ත්‍රික් පරිපාලනය වෙත භාරදී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවට ලැබුණු ඇඟළුම් සහ තේ ඇණවුම් තමිල්නාඩුව වෙත යොමුවී ඇති බව ඉකොනොමික් ටයිම්ස් නැමති ඉන්දීය පුවත්පත වාර්තා කළා. තමිල්නාඩුවේ ඇඟළුම් නිෂ්පාදන කේන්ද්‍රය වන තිරුපූර් මෙන්ම තමිල්නාඩුවේ සහ ඇසෑමයේ තේ නිෂ්පාදන සඳහා මේ අනුව ඇණවුම් ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මෙරට ඇඟළුම් නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ අඩාලවීම් හේතුවෙන් මෙලෙස තමන් වෙත ලැබෙන ඇණවුම් ඉහළ ගොස් ඇති බව තිරුපූර් අපනයන සම්මේලනයේ රාජා ෂන්මුගම් ප්‍රකාශ කළා.

සුප්‍රකට ගෝලීය සන්නාමයන් රැසක් මේ අනුව ඉන්දියාවට ඇඟළුම් ඇණවුම් යොමුකර ඇති බවයි ඔහු සඳහන් කළේ.

බංග්ලාදේශය, කාම්බෝජය සහ වියට්නාමයට ප්‍රමාණය ඉක්මවා ඇඟළුම් ඇණවුම් ලැබෙන අතර, ශ්‍රී ලංකාවෙන් ගිළිහෙන ඇණවුම් සඳහා ඉන්දියාව හැර විකල්පයක් නොමැති බව ඔහුගේ අදහසයි.

දීර්ඝකාලීන විදුලි කප්පාදු මෙන්ම විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඩීසල් හිඟවීම හේතුවෙන් නිෂ්පාදන කටයුතුවලට බාධා සිදුවන අතර, මෙරට තේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය කෙරෙහිද එය බලපා ඇති බව දකුණු ඉන්දීය තේ අපනයන සම්මේලනයේ සභාපති දීපක් ෂා කියා සිටියා ෴

***************************************

අන්තර්කාලීන පාලනයක් ගැන සාකච්ඡාවකට සූදානම් බව අනුර කුමාර කියයි

(08.04.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

අන්තර්කාලීන පාලනයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සෙසු දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සංවිධාන සමඟ පුළුල් සාකච්ඡාවකට තමන් සූදානම් බව ජාතික ජනබලවේගය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (08) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියා.

***************************************

විශ්වාසභංගයක් ?

(08.04.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජනබලවේගය පවසනවා.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද (08) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ආණ්ඩුව ජනමතයට සවන් නොදෙන්නේ නම් විශ්වාසභංගයකට ප්‍රවේශ වීමට සිදුවන බවයි ෴

***************************************

තවමත් මුදල් ඇමති අලි සබ්‍රි යි – රාජ්‍ය ඇමති කංචන

(08.04.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම භාර නොගත් බැවින්, මුදල් අමාත්‍ය ධුරයේ ජනාධිපති නීතීඥ අලි සබ්රි තවදුරටත් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව පිළිබඳව දැන් පැවැත්වෙන කල් තැබීමේ විවාදයේදියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, මුදල් අමාත්‍යවරයෙකු නොමැතිවීම සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කිරීමත් සමඟයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මේ බව කියා සිටියේ.

මීට පෙර අලි සබ්‍රි මන්ත්‍රීවරයා අධිකරණ අමත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර, මුදල් අමාත්‍යවරයා වූයෙ බැසිල් රාජපක්ෂයි ෴

***************************************

IMF පිළිබඳ වාර්තාව පස්වරු 06 ට අවසන්

(08.04.2022 – 14:23 +0530 – hirunews.lk/sinhala)

අද (08) රාත්‍රී 8 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද (08) පස්වරු 6 ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

සභානායක දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ අද (08) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේදී එම තීරණය ගත් බවයි.

මේ වනවිට අදාළ වාර්තාව සම්බන්ධයෙන් වන විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා ෴

***************************************

ඩොලරය අද (08) රුපියල් 320 සීමාව පනියි

(08.04.2022 – 14:26 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුව අද (08) නිකුත් කළ විනිමය අනුපාතයන් අනුව අද (08) අමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310.88 ක් දක්වා සටහන්ව තිබෙනවා.

එහි විකුණුම් මිල සටහන් ව ඇත්තේ රුපියල් 321.49 ක් ලෙසයි.

යුරෝ ගැනුම් මිල රුපියල් 340.59 ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 352.20 ක් ලෙසත් සටහන් වුණා.

බ්‍රිතාන්‍ය පවුම් ගැනුම් මිල දැක්වුණේ රුපියල් 407.08 ක් ලෙසයි.

බ්‍රිතාන්‍ය පවුමක විකුණුම් මිල රුපියල් 421.89 ක් ලෙස වාර්තා වුණා ෴

***************************************

නව මුදල් අමාත්‍යාංශ ලේකම් සිය ධුරයේ වැඩ භාරගනියි

(08.04.2022 – 14:29 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (08) පෙරවරුවේ (08) සිය ධුරයේ වැඩ භාර ගත්තා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස කටයුතු කළ ඒ මහතා එහි ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇති ඒ මහතා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කර තිබෙනවා ෴

***************************************

අන්තරේ පාගමන බොරැල්ල පසුකරයි

(08.04.2022 – 15:03 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වයන්ට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමන බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය වෙත ගමන් කරමින් තිබෙනවා.

පාගමන මීට ටික වේලාවකට පෙර බොරැල්ල මංසන්ධිය පසුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතා පාගමන අද (08) පස්වරුවේ කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ අතර, මේ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය ද එක් ව සිටිනවා.

දිවයිනේ රාජ්‍ය විශ්වවිද්‍යාල ගණනාවක ම සිසු සිසුවියන් මෙම පා ගමන සඳහා සම්බන්ධ වන්නේ, අධ්‍යයන කටයුතු හා විභාග කටයුතු පවා පවතින මොහොතකදි යි.

අධ්‍යාපනයට, මහජනයාට අර්බුදයක්, ගැටලුවක් පැමිණි බොහෝ අවස්ථාවල දී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, තම යුතුකම ඉටු කරන්නට කිසි දා පසුබට වුණේ නෑ.

පසුගිය දින කිහිපයේ ම විශ්වවිද්‍යාල සිසුන් විසින් පවතින අර්බුදවලට විරෝධය පාමින් විරෝධතා ගණනාවක් ම සිදු කරනු ලැබුවා.

මේ අතර, ඊයේ (07) රාත්‍රියේ ද පේරාදෙණි සරසවි සිසුන්, මහනුවර නගර මධ්‍යයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *