බෙහෙත් නෑ.. විදුලිය නෑ.. තෙල් නෑ.. ගෑස් නෑ.. ජූනියෙන් පසු රටම අදුරට.. – ප‍්‍රකට විශේෂඥයෙක් කියයි

බෙහෙත් නෑ.. විදුලිය නෑ.. තෙල් නෑ.. ගෑස් නෑ.. ජූනියෙන් පසු රටම අදුරට.. – ප‍්‍රකට විශේෂඥයෙක් කියයි

*********************************************

බෙහෙත් නෑ.. විදුලිය නෑ.. තෙල් නෑ.. ගෑස් නෑ.. ජූනියෙන් පසු රටම අදුරට.. – ප‍්‍රකට විශේෂඥයෙක් කියයි

(08.04.2022 – 03:13 +0530 – lankacnews.com)

රටේ බහුතරයක් ජනතාවට තවමත් රට තුළ ඇති දරුණු තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැති බව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ජුනි මාසයෙන් පසු රටම අඳුරේ සිටීමේ දැඩි අවදානමක් ද මතුව ඇති බවය.

“මම දන්නේ නෑ අපේ රටේ ජනතාව දන්නවා ද කියලා මේ වෙනකොට තිබෙන දරුණු බව. අපි IMF සාකච්ඡා මේ සතියේ ආරම්භ කළේ නැත්තම් මූල්‍ය උපදේශකයෙකු පත්කරලා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක කඩිනමින් කරන්න හම්බවෙන්නේ නෑ.

ජුලි මාසයේ අපි අමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. ඒක ගෙවන්න වෙන්නෙත් අපේ සංචිතවලින් තමයි.

ඒක ගෙවනවා කියන්නේ ඊළඟ මාස දෙකේ (2) කිසිම ආනයනයක් නොකර අපේ ආදායම සියල්ලම එකතු කරලා ඉතුරු කරන්න වෙනවා මේ ඩොලර් බිලියනය ගෙවන්න. එතකොට මේ රටේ බෙහෙත් නෑ, විදුලිය නෑ, තෙල් නෑ, ගෑස් නෑ.

ඉන්දියාවෙන් එන තෙල් පිට මැයි අග වෙනකම් යයි. ඊට පස්සේ අපි තෙල් ලබාගන්නේ කොහොමද? තත්ත්වය ඉතාම උග්‍රයි බරපතළයි.

IMF සමග සාකච්ඡා කරන්න මුදල් ඇමති කෙනෙක් ඉන්න ඕනේ.. රජයක් තියෙන්න ඕනේ. අපි කඩිනමින් පියවර ගත්තේ නැත්තම් ජුනි මාසයෙන් පස්සේ මුළු රටම අඳුරේ ඉන්න පුළුවන්.

අද අපේ රටේ තියෙන තත්ත්වය අනුව බිලියනයක් නෙමෙයි මිලයන 100 ක් වත් ගෙවා ගන්න බැරි තත්ත්වයක ඉන්නේ.”

Ada derana

+++++++

BIG FOCUS – වත්මන් ආර්ථික අර්බුදය හා පරිපාලකයින් සතු වගකීම (07.04.2022)

***************************************

රාජපක්‍ෂලා අතුරුගිරියේ තැනක 5000 කොල ගහනවා.. බැංකුවලටත් අහුවෙන්නෙ නෑ.. හෙලි කල අයෙක් දියවන්නාවෙ ගිල්ලුවා..

(08.04.2022 – 00:02 +0530 – lankacnews.com)

රාජපක්ෂලා විසින් අතුරුගිරියේ ස්ථානයක හොරෙන් පන්දාහෙ කොල මුද්‍රණය කරමින් සිටින බව විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මහතා සඳහන් කරයි.

මෙය ප්‍රසිද්ධියට පත් කළ ලමයෙකු මරා දියවන්නාවේ ගිල්වා ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

මැතිවරණ කරවන්නේ එම මුදලින් බවත් ඒවා හොර සල්ලි කියා බැංකුවලට ද හොයාගැනීමට නො හැකි බවත් හෙතෙම පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී හෙතෙම අදහස් පළ කර ඇත.

***************************************

ලංකාවේ ඩොලර් බිලියන 19 ක් අතුරුදන්.. රාජපක්‍ෂලාගේ වත්කම් ගැන ඇමරිකා ෆෙඩරල් පරීක්‍ෂණයක් ඉල්ලයි ..

(07.04.2022 – 22:22 +0530 – lankacnews.com)

‘ගෝඨා ගෙදර යනු, 20 අහෝසි කරනු, පාර්ලිමේන්තුවට බලය පවරනු’ මැයෙන් 43 සේනාංකය විසින් (7) කොල්ලුපිටිය ප්‍රදේශයේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.

කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් අමෙරිකානු තානාපති කාර්‍යාලය අසළට පිරිස පැමිණි අතර, 43 සේනාංකය නායක, පාඨලී චම්පික රණවක මහතා එහිදී රැස්ව සිටි පිරිස ඇමතීය.

“මේ රටේ අද තිබෙන ගැටළුව සතියකට දෙකකට ඩොලර් ටිකක්, තෙල් ටිකක් ඉල්ලගෙන විසඳන්න පුළුවන් ගැටළුවක් නෙමෙයි. අපි එදා 2014 දි කිව්වා මේ පවුල රටේ දේපළ කොල්ල කාලා තියෙනව කියලා; නමුත් එතකොට අපිට නොයෙක් චෝදනා කළා දේශද්‍රෝහියො ජාතිද්‍රෝහියො කියලා. නමුත් අද රටේම ඉල්ලීම රාජපක්ෂලා කොල්ලකාපු දේපළ අපේ රටට දෙන්න කියන එකයි. රටේ ජනතාවගෙ දරුවන්ගෙ දේපළ කොල්ලකාලා ඇමරිකාවට පැනලා ගිහිල්ලා සුවසේ ජීවත්වෙන්න රාජපක්ෂලට ඉඩ දෙන්න බෑ. රටේ දේපළ කොල්ලකාපු එක එකා දැන් රටෙන් යනවා. ජනාධිපති අගමැති කියනවා අයින් වෙන්න බෑ කියලා. ඒත් ව්‍යවස්ථානුකූලව ඒ අයව අයින් කරන්න පාර්ලිමේන්තුවට පුළුවන්.

පාර්ලිමේන්තුවට පුළුවන් ජනාධිපතිව ගෙදර යවන්න. ජනාධිපතිගෙ බලතල කපන්න 19 වෙනි සංශෝධනය වගේ එකකින්. දෝෂාභියෝගයක් ගෙනල්ලා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කරලා දඬුවම් දෙන්න. 113 ඉන්නවනම් ජනාධිපතිගෙ වැය ශීර්ෂය කපලා දාලා එතුමව එතුමගෙ මිරිහානෙ පුද්ගලික ගෙදරට සීමා කරලා තියන්න.

මහින්ද රාජපක්ෂ මහත්තයා හිතාගෙන ඉන්නවනම් අර ඉස්සර සෙල්ලම් කරන්න දින 52 වගේ සැලුන් දොර ඇරලා ඒවට අපි ඉඩ දෙන්නෙ නෑ.

පවුල්වාදය නැතිව අධ්‍යාපනයෙන් ඉහළට ආපු මේ රටේ සියළුදෙනා වෘත්තීයවේදීන්, පරිපාලන නිලධාරීන් ආදී කුසලතා පරපුරට අපි ආරාධනා කරනවා මේ රට බාරගන්න කියලා. පාර්ලිමේන්තුවට පුළුවන් ඇමැතිවරුන්ගේ බලතල ගන්න. පක්ෂ විපක්ෂ දෙපාර්ශවයෙන්ම අධීක්ෂණ කමිටු පිහිටුවලා අමාත්‍යාංශ කිහිපයකට එකතු කරලා රාජපක්ෂලව එළියෙ තියලා මේ රට කරගෙන යන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.”

මෙහිදී අමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්‍යාලය වෙත පෙත්සමක් බාර දීමට ද පාඨලී චම්පික රණවක මහතා ඇතුළු 43 සේනාංකය පිරිස කටයුතු කරනු ලැබිණ.

එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ලෝක අවංකභාවය පිළිබඳ වාර්තාව (Global Financial Integrity Report) අනුව 2005 සිට 2013 දක්වා ලංකාවෙන් ඩොලර් බිලියන 19.9 ක් නීති විරෝධී ලෙස පිටතට ගොස් ඇති බවය. ඒ අනුව සෑම වසරකම ඩොලර් බිලියන 1.9 ක් ශ්‍රී ලංකාවෙන් පිටතට ඇදී ගොස් ඇති අතර, ඊට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ එවක පාලකයන් වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව බවත්, රාජපක්ෂවරුන්ගේ පවුල්, ඥාතීන් අමෙරිකාවේ විශාල වත්කම් ප්‍රමාණයක් තබාගෙන සිටින බවත්, රාජපක්ෂවරු ශ්‍රී ලංකාව තුළ කිසිම ව්‍යාපාරයක යෙදුනු අය හෝ වෘත්තිකයන් ලෙස කටයුතු කළ අය නොවන බැවින් ඔවුන් මේ සා ධනයක් දේපළක් රැස්කර ගත්තේ කෙසේ ද යන්න පිළිබඳව පෙඩරල් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබේ. මෙම වත්කම් ශ්‍රී ලංකාවෙන් සොරාගත් ධන‍යෙන් උපයාගත් බවට තහවුරු වුවහොත් එම වත්කම් තහනම් කිරීමට කටයුතු කරන ලෙසත්, නැවත එම ධනය ශ්‍රී ලංකාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ ෴

***************************************

විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 1.72 දක්වා පහළට

(08.04.2022 – 07:32 +0530 – hirunews.lk/sinhala)

මාර්තු මාසයේ මෙරට නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 1.93 ක් දක්වා අඩු වී තිබෙනවා. ඒ, එම අගය වාර්තා වන්නේ විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 1.72 ක් සහ රන් සංචිත ඩොලර් මිලියන 29 ක් වශයෙන්. කෙසේ වෙතත්, පෙබරවාරි මාසයේ මෙරට සංචිත ඩොලර් බිලියන 2.3 ක් ලෙස දැක්වුණා.

එහිදී මුදල් සංචිත ඩොලර් බිලියන 2.02 ක් සහ රන් සංචිත ඩොලර් මිලියන 98 ක් එම සංචිතවලට ඇතුළත් වුණු බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ. ඒ අනුව නිල සංචිත වත්කම් 16.1% කින් පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී පහත වැටී තිබෙනවා.

විදේශ විනිමය සංචිත පහත වැටීමත් සමඟ රන් සංචිතයද පහත වැටීම අඛන්ඩව සිදුවූ අතර, මහ බැංකුව ප්‍රකාශ කළේ ද්‍රවශීලතාව ඇති කිරීමේ පියවරක් ලෙස එලෙස රන් සංචිත විකිණූ බවයි ෴

***************************************

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයත් අනතුරු අඟවයි

(08.04.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයට පත් කිරීම ද ආර්ථික අර්බුදයට හේතුවක් වූ බව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් එම සංගමයේ වත්මන් සභාපති රෝහණ ද සිල්වා කියා සිටියේ රට තුල පවතින අර්බුදයන්ට කඩිනම් විසඳුමක් ලබාදීමට ව්‍යවස්ථාදායකය කටයුතු නොකරන්නේ නම් තම සංගමයට ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි ෴

***************************************

සීනි බද්ද අඩු කිරීමේ වාසිය ගැන විගණනයේ දී හෙළිවෙයි

(08.04.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

සීනි කිලෝග්‍රෑමයක් සදහා පනවා තිබු විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකිරීමෙන් ජනතාවට ප්‍රමාණවත් සහනයක් ලැබී නොමැති බව විගණාධිපතිවරයා සිදුකළ විශේෂ විගණනයෙන් හෙලි වි තිබෙනවා.

රාජ්‍ය ගිණුම් කාරක සභාව කල දැනුම්දීමකට අනුව මෙම විගණනය සිදු කළ අතර අද (08) එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනා.

2020 වසරේ ඔක්තොම්බර් මාසයේදී මුදල් අමත්‍යාංශය බදු මෙලෙස පහල දැමු අතර පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණ යටපත් වී ආනයනකරුවන් සහ වෙළදුන් වැඩි ආර්ථික වාසියක් උපයාගෙන ඇති බවයි එම විගණනයෙන් අනාවරණ වී ඇත්තේ.

ආනයනකරුවන් අතරින් ‘පිරමිඩ් විල්මා’ ආයතනයේ සීනි ආනයනය 2020 ඔක්තෝම්බර් සිට 2021 පෙබරවාරි දක්වා කාල පරිච්ජේදයේදි පමණක් සියයට 1222 කින් ඉහල ගොස් ඇති බව ද එහි දැක්වෙනවා.

එය අසාමාන්‍ය වර්ධනයක් වන අතර සෙසු ආනයනකරුවන් 07 දෙනාගේ ආනයනයන් අඩු වී ඇති බවද එහි සදහන්.

ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් බද්ද අඩුකළ බව රජය පැවසුවද පෞද්ගලික ආනයනකරුවන්ගෙන් සීනි මිලදිගෙන අලෙවි කරනු ලබන ලංකා සතොස ආයතනයට රුපියල් මිලියන 102 ක පාඩුවක් සිදුව තිබෙනවා.

එසේම, සීනි ආනයනය සීමා කිරීමේ අරමුණින් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව හදුන්වා දී තිබු බලපත්‍ර ක්‍රමයද නිසිපරිදි ක්‍රියාත්මක වී නැහැ.

විගණනයෙන් තවදුරටත් අනාවරණ වී ඇත්තේ පාරිභෝගික අධිකාරිය වරින් වර සීනි සදහා පාලන මිල නියම කල ද එමගින් සීනි මිලෙහි පාලනයක්ද සිදුව නොමැති බවයි.

මෙලෙස බදු අඩුකිරීමෙන් රජයට රුපියල් මිලියන 16,708 පමණ ආදායමක් අහිමි වී තිබෙනවා.

ඒ අනුව, විගණාකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ එම බදු ආදායම රදවාගත් පාර්ශවයන් නිවැරදිව හදුනාගෙන එහි වාසිය ජනතාවට විතැන් කිරීම හෝ එය නැවත රජයට ලබාගැනීම පිළිබදව අවධානය යොමුකළ යුතු බවයි ෴

***************************************

අත්‍යවශ්‍ය ඖෂධ පෞද්ගලික අංශය සතුව පවතිනවා – ඔසුසල් සංගමය

(08.04.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව පෞද්ගලික අංශය සතුව පවතින බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මේ බව සඳහන් කළේ රටේ දැන පවතින ඖෂධ හිඟය පිළිබඳ හිරු ප්‍රවෘත්තී අංශයට අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක සඳහන් කළේ, ශල්‍යකර්මවලට ලක් කරන රෝගීන්ගේ තුවාල මැසීමේ තන්තු සහ හෘද රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ට් හිඟයක් පවතින බවයි.

මේ, ඖෂධ හිඟය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමන් රත්නායක කියා සිටියේ, ණයවර ලිපි නිකුත් කරමින් ජීවිතාරක්ෂක ඖෂධ කිහිපයක් ලබාගත් බවත්, පවතින තත්වය මත අත්‍යවශ්‍යම සැත්කම් පමණක් සිදු කරන ලෙසයි ෴

***************************************

නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

(08.04.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala)

රටට අවශ්‍යම මොහොතේ දී රාජ්‍ය තාන්ත්‍රිකයින් ලෙස ක්‍රියා කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

වත්මන් අර්බුදයට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාමය රාමුවක් තුළ විසඳුමක් සෙවිය යුතුයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ රාමුවෙන් පිටත ගන්නා ඕනෑම විසඳුමක් නීත්‍යානුකූල භාවයෙන් තොරවන අතර, නීති පද්ධතිය තුළ එය අභියෝගයට විවෘත වනවා.

එහෙත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැදගත් කොටස් ඇතුලුව විධායකය හෝ ව්‍යවස්ථාදායකය අර්බුදය විසඳීමට බැරෑරුම් උත්සාහයක් ගන්නා බව නොපෙනෙන බවයි නීතීඥ සංගමය සඳහන් කළේ.

මීට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව නිවේදනයක් නිකුත් කළ අතර, එහි තවදුරටත් දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා තමන් රටේ රාජ්‍ය මූල්‍යයේ භාරකරුවන් වන අතර, එම වගකීම් අත්හළ නොහැකි බවත් මතක තබාගත යුතු බවයි.

පාර්ලිමේන්තු විවාදයේ අවසන් දින දෙක (2) මහජන විශ්වාසය ඇති කිරීමට උපකාරී නොවූ බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහසයි.

එම නිසා ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයින්ද පටු දේශපාලන අභිලාෂයන් අතහැර රට අස්ථාවරත්වයෙන් මුදා ගන්නා විසඳුමකට පැමිණීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ඔවුන් අවධාරණය කරනවා ෴

***************************************

රාජ්‍ය අංශයේ මේ මස වැටුප් සහ දීමනා ගෙවීම් සිදු කරන්න මුදල් දෙයි

(08.04.2022 – 07:53 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් මාසයට අදාල වැටුප් සහ අවුරුදු දීමනා ඇතුලු සියලු ගෙවීම් සිදුකිරීමට මුදල් ලබා දුන් බව හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (07) පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින්.

මේ අතර රට තුල උද්ගතව ඇති අර්බුදයට විසඳුම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ මැති ඇමතිවරුන් ඉල්ලා අස්වීම නොවන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් පවසනවා.

ඔහු සඳහන් කළේ පවතින තත්වයට එකම විසඳුම පීඩාවට පත්ව සිටින ජනතාවගේ ප්‍රශ්න වලට ක්ෂණික විසදුම් ලබා දීම බවයි.

එම පිරිස ඉවත් කර ජනතා ගැටලුවලට විසදුම් ලබාදීමට පාලකයින් අපොහොසත් වුවහොත් ගත වූ තිස් වසරක යුද්ධයටත් එහා ගිය තත්වයක් රට තුළ හටගත හැකි බව ආදිවාසී නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර පවතින තත්වයන්ට විරෝධය පල කරමින් ඊයේ (07) රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ ෴

***************************************

ඉන්දීය ණය යෝජනා යටතේ පළමු (1) සහල් තොගය සති අන්තයේ දිවයිනට

(08.04.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කෙරෙන මෙට්‍රික් ටොන් 40,000 ක සහල් තොගයේ පළමු (1) කොටස මෙම සති අන්තයේ දිවයිනට ළඟාවන බව වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම සහල් දේශීය වෙළඳපොලේ අලෙවි කරන මිල ගණන්ද එමඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කට ද සම්බා සහල් කිලෝවක් රුපියල් 130 කට ද අලෙවි කරනු ඇති ෴

***************************************

අප්‍රේල් 13 සහ 14 විදුලි කප්පාදුවක් නෑ

(08.04.2022 – 08:49 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් මාසය සඳහා ඩීසල් මෙටි්‍රක් ටොන් 2,65,000ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති බව ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළා.

එහි සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ, ප්‍රමාණවත් ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන බැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන එක් රැස් කිරීමෙන් වළකින ලෙසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඉන්දීය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ඩීසල් තොග ලැබීමට නියමිත අතර, ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 290 ක ඉන්ධන මේ වනවිට මෙරටට ලැබී ඇති බවයි.

මේ අතර මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති 13 සහ 14 දින දෙකෙහි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී කියා සිටියේ විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන මේ වනවිට ලැබෙමින් පවතින බවයි.

එමෙන්ම ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට යම්තාක් දුරට වර්ෂාපතනයක් ඊයේ (07) දිනයේ දී ලැබීම මීට එක් හේතුවක්.

මේ නිසා මෙම සතියට සාපේක්ෂව ඉදිරි සතිය තුළ දී දිවයින පුරා සිදුකරන විදුලි කප්පාදුවෙහි කාලය තවදුරටත් අවම කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර , පානදුර රත්නපුර මාර්ගය වැකඩ ඉන්ධන පිරවුම්හල අසලින් අවහිර වී තිබෙනවා.

ඒ ඉන්ධන ලබා ගැනිමට පැමිණි පිරිස් දිගු පෝලිම් වල රැදි සිටිම හේතුවෙන්.

මේ අතර ඩීසල් නොමැතිවිම හේතුවෙන් ලොරි රථ නොපැමිණිම නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග ගොඩ ගැසි ඇති බව එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *