මාර්ග බාධක බිඳ දැමූ විරෝධතාකරුවෝ – අරලියගහ මැදුර අසල උණුසුම්

මාර්ග බාධක බිඳ දැමූ විරෝධතාකරුවෝ – අරලියගහ මැදුර අසල උණුසුම

*********************************************

මාර්ග බාධක බිඳ දැමූ විරෝධතාකරුවෝ – අරලියගහ මැදුර අසල උණුසුම්

(07.04.2022 – 23:38 +0530 – hirunews.lk/sinhala)

අරලියගහ මන්දිරය අසල අද (07) රාත්‍රියේ පැවති විරෝධතාවක් උණුසුම් මුහුණුවරක් ගත්තා.

ඒ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඉදිරියට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමඟයි.

***************************************

අර්බුදයට විසඳුම් සොයන හැටි හිටපු අගවිනිසුරු කියයි

(07.04.2022 – 23:54 +0530 – hirunews.lk/sinhala)

යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලය පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බැවින් මේ අවස්ථාවේ වහාම ඒ සඳහා කටයුතු කළ යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසනවා.

පාර්ලිමේන්තුවේ ආසන 113 ක බහුතරයක් පෙන්වන අයකුට අගමැතිධූරය භාරදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පැවසුවත් මෙවැනි අවස්ථාවක ඔහුගේ මතය අවශ්‍ය නොමැති බවයි හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙන්නේ.

හිටපු අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

වර්තමානයේ දී මතුව ඇති ආණ්ඩුව පිළිබඳ අර්බුදයට විසඳුම් ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පමණක් බව ද සරත් එන්. සිල්වා කියා සිටියා.

***************************************

මහජන උපයෝගීතා කොමිසමෙන් අවුරුදු දා විදුලි සහනයක්

(07.04.2022 – 12:50 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුදු දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නො කිරීමට අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මේ බව කියා සිටියේ, මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන ව්‍යාපාරික ප්‍රජාව සමග ඊයේ (06) කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම සාකච්ඡාවේදී ලිහිසි තෙල් ආනයනය කරන ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එහි දී ඔවුන්ගේ ගැටලු විසදීමට මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වී තිබෙනවා.

මේ අතර, දිවයින පුරා තවදුරටත් ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටින අයුරු දක්නට ලැබෙනවා ෴

++++++++

සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවෙන්නේ මෙහෙමයි

(07.04.2022 – 18:22 +0530 – hirunews.lk/sinhala)

ලබන සෙනසුරාදා සහ ඉරිදා (9, 10) දිනවල විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සෙනසුරාදා (09) දිනයේ පැය දෙකක (2) කාලයක් සහ ඉරිදා පැයක (1) කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

සෙනසුරාදා (09) දිනයේ A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාපවලට සවස 3 ත් රාත්‍රී 9 ත් අතර කාලසීමාව තුල පැය දෙකක (2) විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

P, Q, R, S, T, U, V, W යන කලාපවලට පැය දෙකක (2) කාලයක් විදුලි කප්පාදුව සිදුවන්නේ පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා අතර කාලය තුලදීයි.

CC1 කලාපය සඳහා සෙනසුරාදා (09) දිනයේදී පැය තුන හමාරක (3½) කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර ඒ උදෑසන 6 සිට පෙරවරු 9:30 දක්වායි.

අප්‍රේල් 10 වන ඉරිදා A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාපවලට උදෑසන 6 සිට පෙරවරු 10 දක්වා පැයක (1) කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.

CC1කලාපය සඳහා පැය තුන හමාරක (3½) කාලයක් විදුලි සැපයුම අත්හිටවනු ලබන්නේ උදෑසන 6 සිට 9:30 දක්වායි ෴

***************************************

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් හෙට (08)

(07.04.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 45,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් හෙට (08) සිදු කෙරෙන බව මහබැංකුව ප්‍රකාශ කළා.

එහි දී කාණ්ඩ 02 ක් යටතේ බැඳුම්කර වෙන්දේසි කිරීමට නියමිත යි.

2025 වසරේ මාර්තු 15 දිනට කල් පිරෙන ලෙස වෙන්දේසි කෙරෙන බැඳුම්කරවල වටිනාකම රුපියල් මිලියන 25,000 ක් වන අතර, තවත් රුපියල් මිලියන 20,000 ක බැඳුම්කර වෙන්දේසි කෙරෙන්නේ 2027 වසරේ දෙසැම්බර් 15 වැනිදා කල් පිරෙන ලෙස යි.

***************************************

රුපියල් ලක්ෂ 70 ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කඩවත නිවසකින් හමුවේ

(07.04.2022 – 09:03 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 70 කට අධික අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 710 ක් කඩවත – පොල්හේන ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පසුගිය 3 වන දා පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත මෙම මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි.

පෑලියගොඩ කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කැළණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 24 ක් ෴

***************************************

ගසක අත්තක් කඩා වැටී 5 හැවිරිදි දැරියක් මරුට

(07.04.2022 – 10:20 +0530 – hirunews.lk/sinhala)

පින්නවල – නෙල්ලිවල ප්‍රදේශයේදී ගසක අත්තක් කඩා වැටී බරපතල තුවාල ලැබූ 5 හැවිරිදි දැරියක් මිය ගොස් තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (06) නෙල්ලිවල ප්‍රදේශයේ පෙර පාසලක විවිධ ප්‍රසංගයක පුහුණුවීම් කටයුතුවලට සහභාගිවීමෙන් පසු මව සමග පා ගමනින් නිවස වෙත පැමිණෙමින් සිටියදී දැරිය මෙම අනතුරට මුහුණ පා ඇති බවයි ෴

***************************************

තිරිඟු පිටි මිල යලි වැඩිවන ලකුණු

(07.04.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් 50 කින් පමණ ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම්වල සූදානමක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මීට පෙර ද තිරිඟු පිටි සමාගම් රුපියල් 35 කින් පිටි කිලෝවක මිල ඉහළ දැමීමට කටයුතු කළා.

මේ වන විට තිරිඟු පිටි කිලෝවක් වෙළදපොළේ රුපියල් 180 කට අලෙවි වනවා.

මෙලෙස පිටි මිල ඉහළ ගියහොත් සියලු ම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ දැමීමට සිදුවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ.

මේ අතර, මෙරටට ගෙන්වූ ලිහිසි තෙල් අඩංගු බහාලුම් 11 ක් ඩොලරයේ අගය ඉහල යාම හේතුවෙන් වරායේ සිර වී ඇති බවයි එම සාකච්ඡාවට එක්වූ ලිහිසි තෙල් ආනයනය කරන ව්‍යාපාරිකයෙකු වන එල්.පී. තිලකරත්න කියා සිටියේ ෴

***************************************

දඹුල්ලට එළවළු තොග

(07.04.2022 – 12:56 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවලට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග මිලදී ගැනීම සදහා අද (07) වෙළදුන් සහ ගැනුම්කරුවන් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා.

ඊයේ (06) සහ පෙරේදා (05) දින දෙකේ දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු කිලෝ ලක්ෂ 40 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණ ද ඒවා මිල දී ගැනීම සඳහා වෙළදුන් පැමිණ සිටියේ නැහැ.

මේ හේතුවෙන් එළවළු මිල ගණන් ද පහත වැටී තිබූ අතර අද (07) දිනයේදී එය යම්තාක් දුරට සමනය වී තිබෙනවා ෴

***************************************

තණමල්විල රිය අනතුරකින් පියා, මව සහ දියණිය මරුට

(07.04.2022 – 14:33 +0530 – hirunews.lk/sinhala)

තණමල්විල බෝදාගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු (3) මියගොස් තිබෙනවා.

අද (07) දහවල් කුඩා ට්‍රක් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ රියදුරා සහ එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් (2).

ඔවුන් එකම පවුලේ පියා, මව සහ දියණිය බවටයි හෙළිවී ඇත්තේ.

තණමල්විල උඩවලව මාර්ගයේ බෝදාගම තුනේ කණුව ප්‍රදේශයේදීයි අනතුර සිදුවුණේ.

මරණයට පත්වී ඇත්තේ බදුල්ල අලුත්වෙලගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දියණිය රැගෙන යාමට මෙම මව සහ පියා පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

දියණියත් රැගෙන යළිත් බදුල්ල බලා යමින් සිටියදී ඔවුන් අනතුරට ලක්වී තිබෙනවා.

මෙම අනතුරින් කැබ් රථයේ රියදුරා ද සුළු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මළ සිරුරු තණමල්විල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර තණමල්විල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මියගිය මව 61 වන වියේ පසුවන අතර පියාට වයස අවුරුදු 64 ක්.

23 හැවිරිදි වියේ පසුවූ දියණිය අවුරුදු නිවාඩුව වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ සිට නිවසට කැඳවාගෙන එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

අගුණකොලපැලැස්ස ද්විත්ව ඝාතනයේ තොරතුරු එළියට

(07.04.2022 – 15:16 +0530 – hirunews.lk/sinhala)

අගුණකොලපැලැස්ස ප්‍රදේශයේදී වෙඩි වැදී මියගොස් සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ (2) මරණ පිළිබඳ පොලිසිය තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

පෙරේදා (05) අලුයම් කාලයේදී තුවාල සහිතව අගුණකොලපැලැස්ස දිසා රෝහලට ඇතුලත් කළ පුද්ගලයන් දෙදෙනෙකු (2) මියගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් සැක සහිත බවට ප්‍රකාශ කරමින් පොලිසියට දුරකතන පණිවුඩයක් ලැබී තිබුණා.

මේ පිළිබඳ සිදු කළ විමර්ශනයේදී මියගොස් ඇති පුද්ගලයන්ගේ ශරීරවල වෙඩි වැදුණු තුවාල දක්නට තිබූ අතර ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බවටයි පොලිසිය තහවුරු කරගෙන තිබුණේ.

මියගොස් ඇත්තේ සූරියවැව සහ අම්බලන්තොට ප්‍රදේශවල පදිංචි 42 සහ 43 වයස්වල පසුවන දෙදෙනෙක් (2).

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු (3) වෑන් රථයක් ද සමගම එදිනම අගුණකොලපැලැස්ස පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන් මියගිය පුද්ගලයන් දෙදෙනා (2) වෑන් රථයකින් රෝහල වෙත රැගෙන පැමිණි පුද්ගලයන් තුන්දෙනායි (3).

ඔවුන් තණමල්විල සහ හඳුන්කටුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 41, 43 සහ 46 වයස්වල පසුවන තුන්දෙනෙක් (3).

එම සැකකරුවන් තුන්දෙනා (3) ඊයේ (06) අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයන් දෙදෙනා (2) මාමඩල රත්නවීර පාලම අසල වැටී සිටියදී රෝහල් ගත කළ බවටයි එම සැකකරුවන් ප්‍රකාශකර තිබී ඇත්තේ.

කෙසේවෙතත් පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම ප්‍රකාශය අසත්‍යයක් බවටයි.

මෙම ඝාතනය හම්බන්තොට පොලිස් වසමේදී සිදුව ඇති බවට පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය මගින් ද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ මියගිය පුද්ගලයන් දෙදෙනා (2) ඇතුලුව තවත් කිහිප දෙනෙකු කැබ් රථයකින් ගවයන් සොරකම් කිරීම සඳහා ගොන්නොරුව ප්‍රදේශයට ගොස් ඇති බවටයි.

එහිදී ඔවුන් විසින් සොරකම් කරන ලද ගවයන් කැබ් රථයට පැටවීමට යාමේදී ගවයින්ගේ හිමිකරු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට හෙළිව තිබෙනවා.

එහිදී ගව සොරකමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට (2) තුවාල සිදුවී ඇති අතර ඔවුන් සමග පැමිණි අනෙක් පුද්ගලයන් විසින් තුවාලකරුවන් කැබ් රථයෙන් රැගෙන ගොස් අගුණකොලපැලැස්ස හඳුන්කටුව ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකුට (3) රෝහල් ගත කිරීම සඳහා භාරදී තිබෙනවා.

මේ අතර පෙරේදා (5) සවස් කාලයේදී ගොන්නොරුව ප්‍රදේශයේදී ඝාතනයට සම්බන්ධ සැකකරු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම ගව සොරකමට පැමිණ කැබ් රථයෙන් පලාගිය පුද්ගලයෙකු එදින සවස හම්බන්තොට පොලිස් ස්ථානයට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති අතර ගව සොරකමට තැත් කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා ද කැබ් රථය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු හුංගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ගොන්නොරුව ප්‍රදෙශයේ පදිංචි 52 හැවිරිදි අයෙක් බවයි පොලිසිය කියාසිටියේ.

මෙම සැකකරුවන් දෙදෙනා (2) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ හම්බන්තොට පොලිසියයි පරීක්ෂණ මෙහෙයවන්නේ ෴

***************************************

ප්‍රංශයට පැන යාමට තැත් කළ ඉරාන තරුණයෙකු අත්අඩංගුවට

(07.04.2022 – 15:23 +0530 – hirunews.lk/sinhala)

අන්සතු ගුවන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වී ප්‍රංශය වෙත පැන යාමට තැත් කළ ඉරාන ජාතිකයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) අත්අඩංගුවට ගත් මෙම ඉරාන ජාතිකයා 26 හැවිරිදි උසස් අධ්‍යාපනය හදාරණ සිසුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

ගුවන්තොටුපල නිලධාරින් විසින් සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ ඔහුට අයත් ගුවන් ගමන් බලපත්‍රය වෙනත් අයෙකුගේ බවටයි.

පසුව, එම ඉරාන ජාතික තරුණයා පිටුවහල් කිරීමට ද පියවර ගෙන තිබෙනවා ෴

***************************************

තවත් කොරෝනා මරණ 2 ක්

(07.04.2022 – 15:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 2 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,488 ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ අවුරැදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවක් සහ පිරිමියෙක්.

මේ අතර මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 6,62,342 ක් වාර්තාවී තිබෙනවා.

ඉන් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3407 ක්.

6,42,449 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

***************************************

තවත් කොරෝනා ආසාදිතයන් 83 ක්

(07.04.2022 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 83 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,62,425 ක් ලෙසටයි.

මෙරටින් කොරෝනා මරණ 16,488 ක් ද වාර්තාවී තිබෙනවා ෴

***************************************

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් රුසියාව මානව හිමිකම් කවුන්සිලයෙන් අත්හිටුවයි

(07.04.2022 – 21:47 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයෙන් රුසියාව නෙරපා හැරීමට තීරණයක් ගෙන තිබෙනවා.

ඒ වෙනුවන් වූ ඡන්දය විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 93 ක් ලැබුණු අතර රටවල් 24 ක් විරුද්ධව ඡන්දය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවත් රටවල් 58 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මේ අනුව රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංවිධානයක සාමාජිකත්වය අහෝසි කළ පළමු ස්ථිර සාමාජික රට ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ.

යුක්රේනයේ පවතින මානුෂීය අර්බුදය, විශේෂයෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ රුසියානු සමූහාණ්ඩුව විසින් ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් මෙම යෝජනාව මගින් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව අත්හිටුවීම, සම්බන්ධ ඡන්ද ගණනය කිරීමේදී අවශ්‍ය තුනෙන් දෙකක (2/3) බහුතරයක් ලබා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙර ලිබියාවේ එවක නායක මුවම්මර් ගඩාෆිට පක්ෂපාතී හමුදාවන් විසින් විරෝධතාකරුවන්ට එරෙහිව ගෙන ගිය ප්‍රචණ්ඩත්වය හේතුවෙන් 2011 වසරේදී දී ලිබියාව මානව හිමිකම් කවුන්සිලයෙන් අත්හිටුවනු ලැබුවා.

සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මහා සභාව විසින් සම්මත කරන ලද යෝජනාව, මගින් ‘යුක්රේනයේ පවතින මානව හිමිකම් සහ මානුෂීය අර්බුදය පිලිබඳව, විශේෂයෙන්ම රුසියාව විසින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තා’ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම යෝජනාවට ඡන්දය දීම හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීම ද්විපාර්ශ්වික සබඳතාවලදී ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවට රුසියාව සාමාජික රටවලට අනතුරු අඟවා තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *