ඉතිහාසයේ ඉහළම නිල අගය වාර්තා කරමින් ඩොලරය රුපියල් 319 ට විකිණෙයි

ඉතිහාසයේ ඉහළම නිල අගය වාර්තා කරමින් ඩොලරය රුපියල් 319 ට විකිණෙයි

*********************************************

ඉතිහාසයේ ඉහළම නිල අගය වාර්තා කරමින් ඩොලරය රුපියල් 319 ට විකිණෙයි

(07.04.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala)

කල් දමන ලද මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (08) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළා. අදාල ප්‍රතිපත්ති විවරණය පසුගිය පස්වනදා (05) අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

මේ අතර, මහබැංකුව මගින් අද (07) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99 ක් ලෙස සටහන් වුණා.

එහි ගැණුම් මිල දැක්වුණේ රුපියල 309.38 ක් ලෙසයි. මේ අතර, මහබැංකුව විසින් ඊයේ (06) දිනය තුලදී රුපියල් බිලියන 119 ක් මූල්‍ය වෙළඳපොලට නිකුත් කර ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව, මේ වසර තුලදී පමණක් ශ්‍රී ලංකා මහබැංකුව විසින් අලුතින් මෙරට මූල්‍ය වෙළඳපොලට එක් කළ මුළු මුදල රුපියල් බිලියන 432 දක්වා ඉහළ යනු ඇති.

***************************************

සීනි බදු අඩු කිරීමෙන් සිදුවූ දේ විගණන වාර්තාවෙන් හෙළිවෙයි

(07.04.2022 – 19:03 +0530 – hirunews.lk/sinhala)

2020 වසරේදී ආනයනික සීනි සඳහා වන බද්ද ශත 25 ක් දක්වා අඩු කිරීම තුලින් රජය රුපියල් මිලියන 16,708 ක ආදායමක් කැප කළත් පාරිභෝගිකයන්ට අපේක්ෂිත වාසි නොලැබී ඇති අතර ආනයනකරුවන් සහ වෙළෙන්දන් එහි වැඩි වාසියක් ලබාගෙන ඇති බවට ඒ සම්බන්ධයෙන් සෙවූ විගණන වාර්තාව මගින් හෙළිකර තිබෙනවා ෴

***************************************

දින 3 ක් උණුසුම් වු පාර්ලිමේන්තුව තීන්දුවක් නොමැතිව අදත් (07) අවසන්

(07.04.2022 – 19:27 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය පිලිබඳව තුන්වන (3) දිනටත් අද (07) පාර්ලිමේන්තුවේදී වාදවිවාද පැවැත්වුවත්, විසඳුමක් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇතිවූයේ නැහැ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි අතර, පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී සුළු වේලාවකට පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියා.

එමෙන්ම, අධිභාර බදු පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. පනත් කෙටුම්පත අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුයි.

රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැවති විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, අලි සබ්රි, හර්ෂ ද සිල්වා, විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක සහ ඩිලාන් පෙරේරා අදහස් පළ කළා ෴

***************************************

මාර්තු මාසය වන විට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 1.93 ක්

(07.04.2022 – 19:48 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ මාර්තු මාසය වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.93 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඉන් ඩොලර් මිලියන 1724 ක් පවතින්නේ විදේශ විනිමය සංචිත ලෙසටයි.

රන් සංචිතවල වටිනාකම ඩොලර් මිලියන 29 ක්.

එමෙන්ම පෙබරවාරි මාසයේ මෙරට නිල සංචිත වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

ඉන් විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.02 ක්.

රන් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 98 ක් වනවා.

+++++++

ශ්‍රී ලංකා මහ බැංකුව තවත් රුපියල් බිලියන 119.08 ක මුදල් මුද්‍රණය කරයි

(07.04.2022 – 20:17 +0530 – hirunews.lk/sinhala)

තවත් රුපියල් බිලියන 119.08 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (06) යළි පියවර ගෙන තිබෙනවා.

ඒ මුදල් අමාත්‍යවරයෙකු හෝ මහ බැංකු අධිපතිවරයෙකු දිවුරුම් දී නොමැති පසුබිමක වීමත් විශේෂත්වයක්.

ඒ අනුව මේ වසර තුළ මේ දක්වා මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 432.76 ක්.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස වැඩ භාර ගැනීම සඳහා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (07) පස්වරුවේ දිවයිනට පැමිණියා.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ඉහළම අවප්‍රමාණය වීම ශ්‍රී ලංකා මහ බැංකුව අද (07) වාර්තා කළා.

ඒ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99 ක් වීමත් සමඟයි.

පසුගිය මස 07 වැනිදා රුපියල නම්‍යශීලී වීමට ඉඩ හැරීමේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 200 ක් ලෙසයි.

ඒ අනුව එතැන් සිට මේ දක්වා රුපියලේ අගය 62.6% කින් පහත වැටී තිබෙනවා.

මේ අතර මෙරට වෙළඳ හිඟය 2021 වසරේ ජනවාරි මාසයේ පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 655 ට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 859 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස 18.7% ක ඉහළ යාමක් ලෙස පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ආනයන වියදම දැඩි ලෙස ඉහළයාම සහ අපනයන ආදායම පහළයාම ඊට හේතු වී ඇති බවයි.

කෙසේවෙතත්, 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේදී මෙරට අපනයන ආදායම 18.5% කින් වර්ධනය වී තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ ජනවාරි මාසයේ මෙරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1101 ක්.

එය ඕනෑම වසරක ජනවාරි මාසයේදී ආනයනික ඉපැයීම්වලින් ලැබූ ඉහළම ආදායම බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මේ අතර, පසුගිය වසරට සාපේක්ෂව මෙරට ආනයන වියදම මේ වසරේ දී 23.1% කින් ඉහළ ගොස් තිබෙනවා.

2021 වසරේ ජනවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1592 ක් වූ අතර, එය 2022 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1959 ක්.

ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනවල ආනයනික වියදම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතරල 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසයේදී එය 1497% ක ඉහළයාමක් පෙන්වා තිබෙනවා.

එමෙන්ම ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී බෙහෙත් හා ඖෂධ නිෂ්පාදිත ආනයනික වියදම 76% කින් සහ තිරිඟු හා ඉරිඟු ආනයනික වියදම 507.6% කින් ඉහළ ගොස් තිබෙනවා.

ඉන්ධන ආනයනික වියදම පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී 38.9% කින් ඉහළ ගොස් ඇති අතර, පිරිපහදු කළ ඛනිජ තෙල් සඳහා 58.4%කින් සහ ගල්අඟුරු සඳහා 94.6% කින් ආනයනික වියදම ඉහළ යාමක් ද පෙන්නුම් කරනවා.

කෙසේවෙතත්ල බොරතෙල් ආනයනික වියදම 28.8% කින් පහළ ගොස් තිබෙනවා.

සීනි හා රසකැවිලි ආනයනික වියදම 54.7% කින්, විදුලි සංදේශ උපකරණ ආනයනික වියදම 56.4% කින් සහ පොහොර ආනයනික වියදම 47.3%කින් පහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මේ අතර, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.

ඒ අනුව 2021 වසරේ ජනවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 675 ක් වූ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය 2022 වසරේ ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 259 ක් දක්වා පහත බැස තිබෙනවා.

මෙරට සංචාරකයින්ගේ පැමිණීම මේ වසරේ මාර්තු මස අවසන් සතියේදී 31,184 ක් වූ අතර, එය ද මේ මස පළමු සතියේදී 17,226 ක් දක්වා පහත බැස ඇති බවයි සංචාරක සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ.

එවන් පසුබිමක මෙරට සංචාරය කිරීමේදී මෙරට ආර්ථික සහ දේශපාලනික පසුබිම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මේ අතර, ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩි ආයතනයේ ආයෝජන සේවා අංශය නිවේදනය කරන්නේ විදේශීය ණය ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.

දුර දිග යන දේශපාලන අස්ථාවරත්වය මීට පාදක වන බව ඔවුන් නිකුත් කළ නවතම විශ්ලේෂණ වාර්තාවෙන් දක්වා තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ ලොව ප්‍රමුඛ සංවර්ධන සහයෝගිතා ආයතනවල සහය ලබා ගැනීම මෙන්ම විදේශ ආයෝජන ද ආකර්ෂණය කර ගැනීම අපහසු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට කැමැත්ත පළ කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ සිට අද (07) ශ්‍රී ලංකාවට පැමිණියා.

හෙට (08) දිනයේදී ඔහු මහ බැංකු අධිපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්අනතුරුව මහ බැංකු අධිපතිවරයා විසින් 2022 අංක 3 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (08) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.

***************************************

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ – මුදල් අමාත්‍යාංශ ලේකම් K.M.M. සිරිවර්ධන

(07.04.2022 – 20:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන පත් කර තිබෙනවා.

අදාළ පත්වීම් ලිපි අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මූල්‍ය ක්ෂේත්‍රයේ හසළ අත්දැකීමක් ඇති ආචාර්ය වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ, සහකාර අධිපති සහ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති යන ධුර හොබවා තිබෙනවා.

නන්දලාල් වීරසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසත් සහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර පර්යේෂණ අර්ථ ශාස්ත්‍රඥයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

ඔහු ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රෝෆර්ඩ් හි මහජන ප්‍රතිපත්ති හා ව්‍යවහාරික සාර්ව ආර්ථික විශ්ලේෂණ මධ්‍යස්ථානයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ද වනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසට පත්වූ කේ.එම්.එම්. සිරිවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.

මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ඒ මහතා කටයුතු කර තිබෙනවා.

සිරිවර්ධන මහතා සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, මූල්‍ය වැඩසටහන්කරණය ඇතුළු ක්ෂේත්‍ර ගනණාවක් පිළිබඳ ජාත්‍යන්තර පුහුණුව ලබාතිබෙනවා.

***************************************

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න – විපක්ෂනායක නැවතත් ඉල්ලයි

(07.04.2022 – 22:31 +0530 – hirunews.lk/sinhala)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තලවකැලේ ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකට එක්වෙමින්.

දමිළ ප්‍රගතිශීලි සන්ධානය සංවිධාන කළ විරෝධතා පෙලපාලියක් සහ උද්ඝෝෂණයක් තලවකැලේ නගරයේදී පැවැත්වුණා.

ඊට සහය පල කරමින් නගරයේ වෙළෙඳ සැල් වසා තිබෙනු දක්නට ලැබුණා.

***************************************

අත්‍යවශ්‍ය ඖෂධ 140 ක හිඟයක්

(07.04.2022 – 22:36 +0530 – hirunews.lk/sinhala)

ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140 ක පමණ හිඟයක් මේ වනවිට රට තුළ මතුව ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයීම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම ඖෂධ හිඟයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල විවිධ ප්‍රදේශවලදී විරෝධතාවලට එක්වුණා.

මතුව ඇති ඩොලර් අර්බුදයත් සමඟ ඖෂධ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට පසුගිය කාලය පුරා නොහැකිවීම හේතුවෙන් රට තුළ දැඩි ඖෂධ හිඟයක් මතුව ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ඒ අනුව ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වලට නිසි ලෙස ලබාදෙන ලෙස බලකරමින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් රෝහල් අසලදී විරෝධතාවල නිරත වුණා.

මේ අතර, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

රට තුළ මතුව ඇති ඖෂධ අර්බුදය හමුවේ අත්‍යවශ්‍යම ශල්‍යකර්ම පමණක් සිදු කිරීමට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *