ලොව දුර්වල ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල ද?

ලොව දුර්වල ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල ද?

*********************************************

ලොව දුර්වල ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල ද?

(07.04.2022 – 09:45 +0530 – hirunews.lk/sinhala)

ලොව දුර්වල ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව, ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය සඟරාවක් වන ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ සඟරාව පවසනවා.

ඩොලරයේ මිල අධික ලෙස වැඩි වීම හා රුපියල අවප්‍රමාණ වීම මීට හේතු ලෙස හඳුනාගත හැකි යි ෴

***************************************

මූඩීස් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට

(07.04.2022 – 09:59 +0530 – hirunews.lk/sinhala)

මූඩීස් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් එහි පහළට ඇද වැටී තිබෙනවා.

ඒ අනුව මෙතෙක් සිටි B2 සිට CAA1 දක්වා එහි ශ්‍රේණිගතකිරීම් යාවත්කාලීන් වී ඇති බව දැකගත හැකි යි.

මේ අනුව, ශ්‍රී ලංකාවට නය පහසුකම් ලබාගැනීමේ කාර්‍යය ඉදිරියේ දී දරුණු අභියෝගයකට ලක් වනු ඇති ෴

***************************************

ජනපති පාර්ලිමේන්තුවට

(07.04.2022 – 10:25 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියා.

අප පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වී සුළු මොහොතකට පසු සභාවට පැමිණ අසුන් ගත් බවයි.

මේ වනවිට ජනාධිපතිවරයා සභා ගර්භයෙන් පිටව ගොස් තිබෙනවා.

එමෙන්ම, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධිභාර බද්ද පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (07) සම්මත වුණා.

මේ අතර, ආරක්ෂක හේතූන් මත පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග කිහිපයක් වසා දමා තිබෙනවා.

ඒ හේතුවෙන් බොරැල්ල, රාජගිරිය, පිටකෝට්ටේ සහ බත්තරමුල්ල ප්‍රදේශවල රථ වාහන තදබදයක් ද පවතින බවයි අප වාර්තාකරු සදහන් කළේ.

***************************************

ඇමරිකානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය පිළිබඳ තර්ජිත මට්ටම ඉහළ දැමෙයි

(07.04.2022 – 10:51 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා සම්බන්ධයෙන් වන ඔවුන්ගේ සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව, මෙතෙක් කලක් තර්ජිත මට්ටම සිවුවැනි (4) ස්ථානයේ තිබූ ශ්‍රී ලංකාවේ එම මට්ටම තුන්වැනි (3) ස්ථානය දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රට තුළ තැන තැන පැවැත්වෙන සිවිල් විරෝධතා, උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් සම්පූර්ණ අවධානයෙන් සිටින ලෙස හා එම ස්ථාන හැකි තරම් මඟහරින ලෙසට යි.

එමෙන් ම මීට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සංචාරක උපදේශන වාර්තාවක දැක්වුණේ, ශ්‍රී ලංකාව තුළ පවතින බරපතළ ආර්ථික කඩා වැටීම හේතුවෙන් සංචාරක පහසුකම් සපයා ගැනීම ඇතුළු තෙල්, ගෑස් ආදී පෝලිම් සම්බන්ධයෙන් ද දැනුම්වත් කර තිබුණා ෴

***************************************

ව්‍යවස්ථාවෙන් පිට යන්නේ නෑ – ජොන්ස්ටන්

(07.04.2022 – 11:22 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරිබාහිර ව ආණ්ඩුව කටයුතු නො කරන බව, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා.

අද (07) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දි ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර, අධිභාර බද්ද පනත් කෙටුම්පත ද සංශෝධන සහිත ව අද (07) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

***************************************

මහ බැංකුව තවත් රුපියල් බිලියන 119.08 ක් මුද්‍රණය කරයි

(07.04.2022 – 12:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඊයේ (06) දිනය තුළ දී රුපියල් බිලියන 119.08 මූල්‍ය වෙළඳපොළට එක්කර තිබෙනවා.

ඒ අනුව මේ වසර තුළදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතින් මෙරට මූල්‍ය වෙළඳපොළට එක් කල මුළු මුදල රුපියල් බිලියන 432.76 දක්වා ඉහළ යනවා.

මේ අනුව පෙරේදා (05) දින ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබූ දේශීය සංචිත ප්‍රමාණය වන රුපියල් මිලියන 1,656,691.82 ඊයේ (06) දිනය තුළ දී රුපියල් මිලියන 1,772,497.21 ක් දක්වා ඉහල ගියා.

මෙලෙස දිනපතා දේශීය වෙළඳපොළට මහ බැංකුව විසින් අලුතින් මුදල් එක් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි ඉහළ ගොස් ඇති අතර, ලොව උද්ධමනය වැඩිම රටවල් අතර 6 වන ස්ථානය දක්වා පැමිණෙන්නටත් මේ මුදල් නිකුතුව හේතු වුණා ෴

***************************************

නව කැබිනට් මණ්ඩලයක ලකුණු

(07.04.2022 – 12:48 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය කිහිපය තුළ නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ (06) රාත්‍රියේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එම සාකච්ඡාවේදී රට තුළ පවතින ඉන්ධන, විදුලිය සහ ගෑස් අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.

***************************************

අදත් (07) තැන තැන විරෝධතා

(07.04.2022 – 12:49 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන, ගෑස් හා විදුලි අර්බුදය සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව මේ වනවිටත් විරෝධතාවල නිරත වනවා.

එමෙන්ම, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දමා ඇති බැවින් අද (07) පෙරවරුවේත් බොරැල්ල, රාජගිරිය, පිටකෝට්ටේ සහ බොරැල්ල අවට දැඩි රථ වාහන තදබදයක් පැවැතුණා.

එමෙන්ම, පාර්ලිමේන්තු පිවිසුම් දෙකම (2) අවහිර කරමින් තවමත් ජනතාව විරෝධතාවල නිතර වනවා.

තංගල්ල නගරයේ ද විරෝධතාවක් පැවති අතර ඊට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පසුව ඔවුන් නගරයේ සිට පාගමනින් කාල්ටන් නිවස වෙත ගමන් කල අතර, එහිදී ඔවුන් විරෝධතාවයේ නිරත වුණා.

එමෙන්ම, ආණ්ඩුවට විරෝධය පළ කරමින් මහනුවර – දිගන ප්‍රදේශයේ දී සමගි ජනබලවේගය ද අද (07) විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

වතු කම්කරුවන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – බදුල්ල මාර්ගය හපුතලේ ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, වතුකම්කරු වැටුප් සහ ජිවන වියදම ඉහළ යාමට එරෙහිව එම විරෝධතාව පැවැත්වෙන බවයි.

මේ අතර, කොළඹ ලිබර්ටි වටරවුම, මෙන්ම බෙලිඅත්ත – මොරයාය ප්‍රදේශයේදී පන්දම් දල්වමින් ඊයේ (06) රාත්‍රි ජනතාව තම විරෝධය දක්වමින් විරෝධතාවල නිරත වුණා.

කුරුණෑගල – පුත්තලම මාර්ගයේ පිහිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිට දී තරුණයින් පිරිසක් ඊයේ (06) විරෝධතාවල නිරත වුණා.

විරෝධතාකරුවන් කුරුණෑගල – යන්තම්පලාවේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය අසළට යාමට උත්සාහ කිරීමේදී පොලීසිය මැදිහත්ව එය මැඬ පැවැත්වීමට කටයුතු කළ අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම්කාරි තත්ත්වයක් ද හට ගත්තා.

එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥවරුන්, ගුරු වෘත්තීය සමිති නියෝජිතයින්, සබරගමුව වෛද්‍ය පීඨයේ සිසුන් ඊයේ (06) විරෝධතා සංවිධාන කර තිබූ අතර, මහරගම නගරයේදී පාසල් සිසුන් පිරිසක් ද විරෝධතාවයක් සංවිධාන කර තිබුණා ෴

***************************************

ඩොලරය රුපියල් 309 ට නඟියි

(07.04.2022 – 13:36 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුව මගින් අද (07) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99 ක් ලෙස සටහන් වුණා.

එහි ගැණුම් මිල දැක්වුණේ රුපියල 309.38 ක් ලෙසයි.

මීට පෙර මෙරට වාණිජ බැංකු මඟින් ඇමරිකානු ඩොලරයට රුපියල් 300 ඉක්ම වූ බර තැබීමක් සටහන් කර තිබුණ ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය සඳහා රුපියල් 300 ඉක්ම වූ බර තැබීමක් සටහන් කරනු ලැබුවේ පළමු වරට යි.

මේ අතර, කල් දමන ලද මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (08) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළා.

අදාල ප්‍රතිපත්ති විවරණය පසුගිය පස්වනදා (05) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා ෴

***************************************

දඹුල්ල මහ නගර සභාවට විශේෂ ආරක්ෂාවක්

(07.04.2022 – 13:59 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල මහ නගර සභාවේ මාසික මහ සභා රැස්වීම අද (07) විශේෂ පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ පවත්වා තිබෙනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ, සංවිධානාත්මක පිරිසක් පැමිණ විරෝධතාවක් සිදු කිරීමට සූදානම් වන බවට ලද තොරතුරක් මත මහනගර සභා පරිශ්‍රයට සහ සභා ගර්භයෙන් පිටත පොලිස් ආරක්ෂාව යොදවා තිබූ බවයි.

එහි දී සභාව ආරම්භයට පෙර නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර බහින්බස්වීමක් ද සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, අනතුරුව පැය දෙකක (2) පමණ කාලයක් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ දඹුල්ල මහ නගර සභාවේ මාසික සභා රැස්වීම පැවැත්වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන නවසීලන්ත අගමැතිනිය අදහස් දක්වයි

(07.04.2022 – 14:15 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් අදහස් දක්වා තිබෙනවා.

ඇය කියා සිටියේ නිවැරදි ආර්ථික කළමණාකරණයක් නොමැතිවීම ශ්‍රී ලංකාවේ තත්ත්වයට මූලික හේතුව බවයි.

උද්ධමනය ඉහළ යාම සහ ආහාර හිඟය ජනතා උද්ඝෝෂණවලට මූලික හේතුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් නවසීලන්තය අවධානයෙන් පසුවන බව කියා සිටි අග්‍රාමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළේ සියලු දෙනා එකතු වී මෙම තත්ත්වයට විසඳුම් සෙවිය යුතු බවයි ෴

***************************************

අජිත් නිවාඩ් කබ්රාල්ට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක්

(07.04.2022 – 14:47 +0530 – hirunews.lk/sinhala)

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට මේ මස 18 වනදා දක්වා රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝගයක් නිකුත් කළා.

හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට මේ මස 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කරන බවයි.

මහබැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් අමාත්‍ය මණ්ඩලයේ හෝ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඇමෙරිකාවේ ඉමාඩ් ෂා සුබේරි නමැත්තාට මෙරට මුදල්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඔහු විසින් ගෙවා ඇති බවට මීට අදාළව ගොනුකළ පැමිණිල්ලේ සඳහන්ව තිබුණා.

2006 වසරේ ජූලි මස පළමුවනදා සිට 2015 වසරේ ජනවාරි මාස 08 වනදා දක්වා කාලසීමාව ඊට අදාල කරගෙන තිබෙනවා.

එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධි වරදක් බවයි හිටපු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැමිණිල්ල ගොනුකරමින් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 2022 වසරේ ජනවාරි මස 18 වනදා කල් පිරිය යුතු ස්වෛරී බැඳුම්කර තුලින් රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක පාඩුවක් සිදුකිරීම මෙම පැමිණිල්ල තුලින් එල්ල කර තිබූ තවත් චෝදනාවක්.

එමෙන්ම, මහබැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය සමීප ඥාතීන් එහි තනතුරු සඳහා පත් කිරීමෙන් රහස්‍ය තොරතුරු පිට කිරීම, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුතුවලින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 10.4 ක පාඩුවක් සිදුකිරීම යන චෝදනාද පැමිණිල්ලෙන් එල්ල කර තිබුණා ෴

***************************************

ඛනිජ තෙල් සංස්ථාව, ට්‍රක් රථ රියදුරන් පිරිසක් වටලයි

(07.04.2022 – 15:16 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්‍යාලය ට්‍රක් රථ රියදුරන් පිරිසක් විසින් වටලා ඇති බව වාර්තා වනවා.

ඔවුන්, රැගෙන ආ ට්‍රක් රථ කිහිපයක් හරස් කර ප්‍රධාන කාර්‍යාලයට ඇතුළු වන දොරටු සම්පූර්ණයෙන් ම අවහිර කර ඇති අතර, මේ හේතුවෙන් ප්‍රධාන කාර්‍යාල භූමියට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට කිසිවකුට හෝ හැකියාවක් නො මැති බව යි වාර්තා වන්නේ.

ස්ථානයේ තරමක කලබලකාරී තත්ත්වයක් වාර්තා වන අතර, පොලිස් නිලධාරින් පිරිසක් ද තත්ත්වය පාලනය කිරීම සඳහා යොදවා ඇති බව යි වාර්තා වන්නේ ෴

***************************************

11 සහ 12 රජයේ විශේෂ නිවාඩු

(07.04.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala)

මේ මස 11 වන සඳුදා සහ 12 වන අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඊට අදාළ චක්‍ර ලේඛයද මේ වනවිට නිකුත් කර ඇති බවයි.

මේ අතර, මහා භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයට පත් කිරීම ද ආර්ථික අර්බුදයට හේතුවක් වූ බව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් එම සංගමයේ වත්මන් සභාපති රෝහණ ද සිල්වා කියා සිටියේ රට තුල පවතින අර්බුදයන්ට කඩිනම් විසඳුමක් ලබාදීමට ව්‍යවස්ථාදායකය කටයුතු නොකරන්නේ නම් තම සංගමයට ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *