ජනාධිපති කිසිසේත් ම ඉවත් වෙන්නේ නෑ – ජොන්ස්ටන්

ජනාධිපති කිසිසේත් ම ඉවත් වෙන්නේ නෑ – ජොන්ස්ටන්

*********************************************

ජනාධිපති කිසිසේත් ම ඉවත් වෙන්නේ නෑ – ජොන්ස්ටන්

(06.04.2022 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා ජනතාව විරෝධතා දියත් කරද්දී අද (06) දිනයේත් පාර්ලිමේන්තුවෙන් ඊට විසඳුමක් ලැබුණේ නැහැ.

අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කතානායකවරයා දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළේ මෙම සතිය අවසන් වීමට පෙර පවතින අර්බුදය ව්‍යවස්ථාමය රාමුවක් යටතේ විසදීම සඳහා එකඟතාවයකට පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව දෙවරක් (2) කල් තැබීමට කතානායකවරයාට සිදුවුණා.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ ජනාධිපතිවරයා කිසිසේත් ධුරයෙන් ඉල්ලා අස් නොවන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් දැක්වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අදහස් දක්වමින් සිටියදී පාර්ලිමේන්තුව පළමු වරට කල් තැබුණා.

යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අදහස් දක්වමින් සිටියදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු රැගෙන සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවක නිරත වුණා. ඒ සමඟම දෙවන වරට පාර්ලිමේන්තුව කල් තැබීමටයි කතානායකවරයා පියවර ගත්තේ.

මේ අතර, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී විරෝධතාකරුවෙකු ඔහුගේ කැබ් රථයට ගොඩවීම සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

අනතුරුව රට තුළ පවතින තත්ත්වය පිළිබඳව විවාදය ආරම්භ වුණා.

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අදත් පොල්දූව මං සන්ධියෙන් වසා දමා තිබූ අතර පස්වරුවේත් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ විරෝධතා පැවැත් වුණා. එසේම රාජගිරිය ඇතුලු අවට මාර්ගවල රථ වාහන තදබදයක් ද පැවතියා ෴

***************************************

භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත ඉහළ යයි

(06.04.2022 – 22:23 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (06) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල දැවැන්ත ඉහළ යාමක් වාර්තා වී තිබේ.

මේ අනුව කල්පිරීමේ කාලය අනුව දින 90 බිල්පත් පොලිය 12.92% සිට 14.12% දක්වා ද, දින 182 බිල්පත් පොලිය 12.25% සිට 15.36% දක්වා ඉහළගොස් ඇත.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ දින 364 බිල්පත් පොලිය 12.28% සිට 15.69% ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

***************************************

පොලිසියට සහ හමුදාවට තර්ජනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට

(06.04.2022 – 21:50 +0530 – sinhala.adaderana.lk)

“පොලිස් නිලධාරීන්ට හා හමුදා නිලධාරීන්ට පහර දිය යුතු බවට හා ඝාතනය කළ යුතු බවට” සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කළ පුද්ගලයෙකු අද (06) නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගොඩ තලාව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අත්අඩංගුවට ගත් සැකකරු වසර 06 ක කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට මානසික රෝගයකට ගොදුරු වූ අයෙකු බවය.

සැකකරු අවස්ථා කිහිපයකදී ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති අතර එම අවස්ථාවලදී ඔහු රෝහලෙන් පැනගොස් ඇති බව අනාවරණය වී තිබේ.

නාගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ ෴

***************************************

ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සත්‍යග්‍රහයක් අරඹයි

(06.04.2022 – 20:03 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕපල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය 35 නමක් ඇඹිලිපිටිය නගර මධ්‍යයේදී අද (06) සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් මෙලෙස මහා සංඝරත්නය මෙලෙස සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය ඕපල්පේ සෝභිත හිමියන් :

“හෙට නැත්නම් අනිද්දා ට අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන් වෙන්න ඕන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. එය එසේ වේවා කියන ප්‍රර්ථනාවයි මහා සංඝයා වහන්සේ මේ අවස්ථාවේ සිදුකරන්නේ. මහා සංඝරත්නය පිරිත් දේශනා කරමින් පාලකයන්ට බුද්ධිය පහළ වේවා. අපේ මහජන නියෝජිත මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට බුද්ධිය පහළ වේවා. මා තව එකක් කියන්න ඕන දෝෂාභියෝගයක් ඉදිරිපත් කරනවා නම් එයට හේතුවෙන තවත් කාරණාවක් තමයි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මේ රටේ කැබිනට් මණ්ඩලය නීති විරෝධීයි. එවන් නීතිවිරෝධී කැබිනට් මණ්ඩලයක් තබාගැනීම පිළිබඳව ජනපතිවරයා වගකියන්න ඕන. අගමැතිවරයා වැරදිකාරයෙක් වනවා. මේක නීතිමය ප්‍රශ්නයක්. නමුත් මේ නීතිය විපක්ෂ නායකතුමා කතාකළේ නෑ. කිසිදු මන්ත්‍රීවරයෙක් නෑ. අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ සියලුම දේට විපක්ෂයත් එකතුවෙලා ද මේ කටයුතු කරන්නේ කියලා.”

***************************************

ජොන්ස්ටන් සොයා විරෝධතාකරුවන් යයි

(06.04.2022 – 19:19 +0530 – sinhala.adaderana.lk)

රට තුළ පවතින ගැටලුකාරී තත්ත්වයට වහාම සහන සලසන ලෙස ඉල්ලමින් කුරුණෑගල අග්‍රාමාත්‍ය කාර්යාලය අසලදී අද (06) උද්ඝෝෂණයක් පැවත්වුණි.

එහිදී ප්‍රදේශවාසීන් කුරුණෑගල නගරයේ පිහිටි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවට පැවසෙන මත්පැන් අලෙවිසැලක් ඉදිරිපිට විරෝධයේ නිරතවීමත් සමග පොලීසිය විසින් එය තාවකාලිකව වසා දමනු ලැබීය.

පසුව උද්ඝෝෂකයන් කුරුණෑගල අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා පැමිණීමට උත්සහ කිරීමේදී පොලීසිය මාර්ග බාධක යොදා පිරිස වැළැක්විය.

මේ අතර ඊයේ (05) රාත්‍රීයේද හිටපු මැතිඇමතිවරුන් පිරිසකගේ නිවෙස් ආශ්‍රිතව මහජන විරෝධතා පවත්වා තිබුණි.

හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවස අසල ඊයේ (05) රාත්‍රීයේ ජනතාව විරෝධතාවයේ නිරත විය.

මේ අතර බේරුවල නගරයේද ඊයේ (05) රාත්‍රියේ මහජන විරෝධයක් පවත්වා තිබුණි.

අනතුරුව ඊට එක්වු ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් මහතාගේ බේරුවල, චීනකොටුව ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පාගමනින් පැමිණ එම ස්ථානයේදී විරෝධතාවයේ නිරත වුණි.

කෙසේවෙතත් බේරුවල පොලීසියේ විරෝධතාව විසුරුවා හැරීමට පියවර ගත්තේය.

අනතුරුව එම විරෝධතාකරුවන් ගමන් කළේ හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පිහිටි නිවස වෙතය.

එහිදී ද විරෝධතාකරුවන් සිය විරෝධය පළ කරමින් මිනිත්තු 30 කට ආසන්න කාලයක් එහි රැඳී සිටියේය.

මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලබාදෙන මෙන් ඉල්ලා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕපල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය 35 නමක් ඇඹිලිපිටිය නගර මධ්‍යයේදී අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.

***************************************

ඉල්ලා අස් වූ ඇමතිවරු නිල රථ බාර දී නෑ

(07.04.2022 – 06:44 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් දිනයක දී ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ ඇමතිවරුන් තම නිල රථ භාර නො දී ඇති බව වාර්තා වනවා.

රට පුරා පැවති විරෝධතා හා අර්බුද හේතුවෙන් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුණේ, 03 වැනි දා යි.

පසු ව අමාත්‍ය තනතුරු කිහිපයක් නැවත ස්ථාපිත කළ අතර, හිස් වූ මුදල් ඇමතිකම ලැබුණේ, අලි සබ්‍රිට යි.

කෙසේ වෙතත් අලි සබ්‍රි පැය 24 ක් යන්නටත් කලින් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර, නව මුදල් ඇමතිකම බන්දුල ගුණවර්ධන ලැබෙනු ඇති බවට යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ධුරවලින් ඉවත් වූ ඇමතිවරු තවමත් සිය නිල රථ භාර නො දුන් බව සඳහන් ෴

***************************************

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් අද (07) සාකච්ඡාවක

(07.04.2022 – 07:26 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් තුනෙහි (3) සාකච්ඡාවක් අද (07) පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඔවුන් විශේෂ තීරණ කිහිපයකට එළැඹීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් පළමුව අද (07) පාර්ලිමේන්තුවේදී රැස්වී සාකච්ඡා කර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මෙම කණ්ඩායම් 3 ස්වාධීන වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සංයුතිය සැළකිය යුතු ලෙස වෙනස් වී තිබෙනවා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ බහුතරය තවමත් පවතින්නේ ආණ්ඩුව සතුවයි.

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පැවති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 159 ක්.

කථානායකවරයාද ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති බැවින් එම සංඛ්‍යාව පසුව සැළකුණේ 158 ක් ලෙසින්.

පෙරේදා (05) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 41 දෙනකු ස්වාධීන වීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව මේ වනවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 117 දක්වා අඩු වී තිබෙනවා ෴

***************************************

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමෙන් පැහැදිලි කිරීමක්

(07.04.2022 – 07:34 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය, කටකතා සහ අනෙකුත් මාධ්‍ය මගින් පළවන ආකාරයට ගුවන් තොටුපල තුළ ආරක්ෂක කැමරා පද්ධති වෙනස් කිරීම්, ක්‍රියා විරහිත කිරීම් හෝ කිසිදු ආරක්ෂක ක්‍රියා පටිපාටියක් පුද්ගල අවශ්‍යතාවයන් මත ලිහිල් කිරීමට කටයුතු නොකර ඇති බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, පසුගිය පැය 48 තුළ ඇතැම් මගීන් සහ ප්‍රභූන්ගේ පිටත්වීම් ක්‍රියා පටිපාටිය පිළිබඳව මහජනතාව නොමඟ යවන අයුරින් විවිධ සාවද්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති බවයි.

සාවද්‍ය ප්‍රකාශ සහ චෝදනා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ශ්‍රී ලංකාවේ අභිමානය හා ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා නිරතුරුවම කැපවන බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

පොලීසියට සහ හමුදාවට එරෙහිව වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත යොමු කළ පුද්ගලයා අත්අඩංගුවට

(07.04.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් ඝාතනය කළ යුතු බවට සමාජ මාධ්‍ය ජාලාවල වීඩියෝ පටයක් මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, 36 හැවිරිදි සැකකරු ගාල්ල – නාගොඩ – තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඔහු බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම පුද්ගලයා වසර 06 ක පමණ සිට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට මානසික රෝගයකට ගොදුරු වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවද පොලිසිය සඳහන් කළා.

එමෙන්ම, ඔහු අවස්ථා කිහිපයක දී මානසික රෝගී තත්ත්වයන් හේතුවෙන් කරාපිටිය, මුල්ලේරියාව වැනි රෝහල්වල ප්‍රතිකාර ලබා ඇති බවත්, පසුව රෝහලෙන් පළාගිය අයෙකු බවටත් අනාවරණ කරගෙන තිබෙනවා ෴

***************************************

ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,70,000 දක්වා ඉහළට

(07.04.2022 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය පහසුකම යටතේ දිවයිනට පැමිණි පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000 ක නෞකාවෙන් තෙල් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ සමඟ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක නෞකාවක්ද පැමිණ තිබූ බවයි.

ඒ අනුව මේ වනවිට ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති විවිධ වර්ගයේ ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,70,000 ක්.

එමෙන්ම, ඩිසල් මෙට්‍රික් ටොන් 35,000 රැගෙන පැමිණි නෞකාවට ඩොලර් මිලියන 52 මුදලක් මේවන විටත් ගෙවා නොමැති බැවින් දිවයිනට ආසන්න මුහුදේ එය නැංගුරම් ලා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපයට අවශ්‍ය ඩිසල් ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව එහි ප්‍රකාශයෙකු සඳහන් කළා.

මේ අතර, ඊයේත් (06) ඉන්ධන ලබා ගැනිම සඳහා ජනතාව පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

එමෙන්ම, කෑන්වලට ඉන්ධන ලබාදීම සඳහා සංස්ථාවෙන් ලිපියක් ලබාගෙන එන ලෙසට පිරවුම්හල් සේවකයින් ප්‍රකාශ කරන බවටද ජනතාව චෝදනා කළා.

එමෙන්ම ගෑස් නොමැතිවීම හේතුවෙන් තවදුරටත් ජනතාව පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.

වෙළඳපොලේ විකිණීමට ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර නියමිත මිල ගණන්වලට වඩා වැඩි මිලකට අලෙවි කරනු ලබන බවට පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ, අලෙවි නියෝජිතයින් විසින් ගෑස් අලෙවි කරනු ලබන මිල ගණන් පැහැදිලිව පාරිභෝගිකයාට පෙනෙන අයුරින් ප්‍රදර්ශනය කළ යුතු බවයි.

මේ අතර, ඊයේ (06) රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද ඉන්ධන, ගෑස් සහ විදුලි ගැටලුවට කෙටි කාලයක් තුළ විසදුම් ලබාදීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදියි.

***************************************

අවුරුදු බස් සේවා හෙට (08) සිට

(07.04.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට හෙට (08) සිට ලබන 15 වනදා දක්වා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයට අමතරව කඩවත, කඩුවෙල සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළද මෙම විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි එම කොමිෂන් සභාව කියා සිටියේ.

අදියර දෙකක් (2) යටතේ ක්‍රියාත්මක මෙම විශේෂ බස් රථ සේවාව දෙවන (2) අදියර යටතේ මගී ඉල්ලුමට සරිලන පරිදි යළි පැමිණීමට බස් සේවා යෙදවීමටද සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ එළැඹෙන සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී පෞද්ගලික බස් සඳහා ඩීසල් නොලැබුනහොත් අලුත් අවුරුදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම ගැටළු සහගත වනු ඇති බවයි.

මේ අතර, අලුත් අවුරුදු දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක්.

කෙසේ වෙතත්, අලුත් අවුරුදු දුම්රිය සේවා අවලංගු කර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා.

එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න කියා සිටියේ දුම්රිය විශාල ප්‍රමාණයක් අලුත් අවුරුදු සමයේ ධාවනයට යෙදවීමට පියවර ගන්නා අතර, එම දුම්රිය ලැයිස්තුව අද (07) පෙරවරුවේ ප්‍රකාශයට පත්කරන බවයි.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (06) ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දුන්නේ, අලුත් අවුරුදු විශේෂ දුම්රිය ධාවන කටයුතු සිදු නොකිරීම තුළින් දුම්රිය හරහා ගමනාගමන පහසුකම් සපයා ගනු ලබන ජනතාව අපහසුතාවයට ලක් කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීම පිළිබඳව සොයා බලා විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුතු සලසන ලෙසයි.

විවිධ හේතු මූලික කර ගනිමින් මෙවර විශේෂ දුම්රිය ධාවනයට සැලසුම් කර නොමැති බවද අදාළ ලිපියේ දැක්වුණා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් දුම්රිය එන්ජින් රියදුරු සංගමයද කියා සිටියේ මෙවර අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා සඳහා මෙතෙක් වැඩපිලිවෙලක් සකස් කර නොමැති බවයි.

අලුත් අවුරුදු දුම්රිය සේවා සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවලට අදාළ වෘත්තීය සමිති අතර පසුගියදා සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

නමුත් අද (07), අලුත් අවුරුදු සමය වෙනුවෙන් දුර ගමන් සේවා හා විශේෂ දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව හෙට සිට ලබන 18 වන දා දක්වා මගීන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය වන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *