මේ වසරේ ආර්ථික වර්ධනය 2.4% දක්වා පහත වැටෙනු ඇතැයි අනාවැකි

මේ වසරේ ආර්ථික වර්ධනය 2.4% දක්වා පහත වැටෙනු ඇතැයි අනාවැකි

*********************************************

මේ වසරේ ආර්ථික වර්ධනය 2.4% දක්වා පහත වැටෙනු ඇතැයි අනාවැකි

(06.04.2022 – 15:10 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2.4 ක් දක්වා පහත වැටෙනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව අනාවැකි පළ කරනවා.

කොරෝනා වසංගත තත්ත්වය විදේශ සංචිත හිඟය සහ ණය ගෙවීම් ඇතුළු තත්ත්වයන් මෙලෙස මේ වසරේ ආර්ථික වර්ධන වේගය පහත දැමීමට හේතුවී ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, ලබන වසරේදී සියයට 2.5 ක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව විසින් ළගා කරගනු ඇති බවට ද ආසියානු සංවර්ධන බැංකුව සිය පුරෝකතනය තුලින් ඉදිරිපත් කර තිබෙනවා ෴

***************************************

සම සෞඛ්‍ය සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වේ

(06.04.2022 – 15:12 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විරෝධතාවක නිරත වු සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පිරිසක් අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වී තිබෙනවා.

හිරු වාර්තාකරු පැවසුවේ මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට රථවාහන තදබදයක් ද හට ගෙන තිබූ බවයි.

එසේම, මේ වනවිට අදාළ ශිෂ්‍ය සංගම් නියෝජිතයින්ගෙන් පස් දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් සමග සාකච්ඡාවක නිරත වන බව ද වාර්තා වුණා ෴

***************************************

රත්තරන් මිල පහළට

(06.04.2022 – 15:26 +0530 – hirunews.lk/sinhala)

හෙට්ටිවීදියේ රත්තරන් මිල කැපී පෙනෙන ලෙස පහළ යාමක් අද (06) වාර්තා වනවා.

අද (06) කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක් සඳහා මිල සටහන් වී තිබුණේ රුපියල් 1,90,000 ක් ලෙසින්.

එමෙන්ම කැරට් 22 රන් පවුමක් සඳහා අද (06) හෙට්ටිවීදියේ රුපියල් 1,75,000 ක මිලක් සටහන් වී තිබුණා.

ඩොලරයේ අගයට සාපේක්ෂ ව රුපියලේ වටිනාකම පහළ වැටීම හේතුවෙන් මෙරට රත්තරන් මිල පසුගිය සති කිහිපය තුළ දී අසාමාන්‍ය ලෙස ඉහළ ගිය අතර, පසුගිය සතියේ අග භාගයේ දී කැරට් 24 රන් පවුමක මිල පළමු වතාවට ලක්ෂ දෙකේ සීමාව පසුකර ගියා ෴

***************************************

නගර සභාවක පාන් රණ්ඩුවක්

(06.04.2022 – 16:11 +0530 – hirunews.lk/sinhala)

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වාහනයක් මිල දී ගැනීම සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර විසින් උපසභාපති සුනිල් පියරත්නට පහර දෙනු ලැබ තිබෙනවා.

මේ හේතුවෙන් අද (06) දා පැවති මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වනවා.

එය පාලනය කිරීමට සභාපති ටිරාජ් ලක්රුවන් සභාව විනාඩි පහකට කල් තැබීමට පියවර ගත් බව යි සඳහන් වන්නේ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව නගර සභාවේ උපසභාපතිවරයාට වාහනයක් මිල දී ගැනීම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රී නිශාන්ත නිශාන්ත විමලචන්ද්‍ර මහතා අදහස් දක්වමින් සිට ඇති අතර, තමන්ට කෙරෙන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් උපසභාපති සුනිල් පියරත්න අදහස් දැක්වීමට යාමත් සමඟ දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා.

එහිදී නාගරික මන්ත්‍රීවරයා උප උපසභාපතිවරයාගේත් උපසභාපතිවරයා නාගරික මන්ත්‍රීවරයාගේත් පෞද්ගලික කාරණා ඉස්මතු කරමින් එකිනෙකාට චෝදනා කරමින් කරුණු දක්වන අතරතුර දී එක්වරම නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් උපසභාපතිවරයාට පහර දුන් බව යි වාර්තා වන්නේ.

මේ අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ‘ගෝඨා හොරා බැසිල් හොරා හොරා හොරා’ කියමින් ද පොහොට්ටු මන්ත්‍රීවරුන් ‘සජිත් හොරා සජිත් හොරා’ කියමින් ද එකිනෙකාට චෝදනා කරගත් බව සඳහන් ෴

***************************************

වසරේ මුල් කාර්තුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 කට වැඩි ආයෝජන

(06.04.2022 – 16:24 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ මුල් කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1412 ක ආයෝජන යෝජනා 33 ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළා.

ඉන්ධන සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඇතුළු ආයෝජන ඒ අතර වනවා.

මේ වසරේ මුළු කාර්තුවේ ලැබුණු නව ආයෝජන යෝජනා සංඛ්‍යාව පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට වඩා 80% ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴

***************************************

රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට බාධාවක් නෑ – පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

(06.04.2022 – 16:35 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ සේවකයින්ට අප්‍රේල් මාසයේ වැටුප් ගෙවීමට බාධාවක් නො මැති බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

මේ මොහොත වන් විට රටේ මතු වී ඇති අර්බුද හමුවේ නොයෙක් බොහෝ ක්ෂේත්‍ර තුළ විවිධ ගැටලුකාරී තත්ත්වයන් මතු වී ඇතත්, රාජ්‍ය සේවකයින්ට වැටුප් ලබා දීම පිළිබඳ ගැටලුවක් නැති බව යි අමාත්‍යාංශය සඳහන් කරන්නේ ෴

***************************************

2021 තෙවැනි (3) වාරයේ පාසල් නිවාඩුව ඇරඹෙයි

(06.04.2022 – 17:10 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල තෙවැනි (3) වාරයේ (2021) පාසල් නිවාඩුව අද (06) සිට ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඔවුන්ට නැවත 2022 පළමු (1) වාරය සඳහා පාසල් ආරම්භ කෙරෙන්නේ, අප්‍රේල් 18 වැනිදා සඳුදා යි.

පවතින විදුලිය කැපීම් සහ ප්‍රවාහන ගැටලු හමුවේ තෙවැනි (3) වාරයේ (2021) පාසල් නිවාඩුව කලින් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැ යි මීට පෙර මහජන උපයෝගිතා කොමිසමෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශයට ඉල්ලීමක් කර තිබුණා.

ඒ පසුගිය හතර වැනිදා (04) සඳුදා යි ෴

***************************************

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දට අදාළ විශේෂ දුම්රිය කිසිවක් නෑ?

(06.04.2022 – 17:40 +0530 – hirunews.lk/sinhala)

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සඳහා ජනතාවට ගම්බිම් බලා යාමට යොදවන විශේෂ දුම්රිය පහසුකම් නොලැබෙන බව වාර්තා වනවා.

නමුත් මෙය ජනතාවට මහත් පීඩාවක් හා ගැටලුවක් වන දෙයක් බව පවසමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබෙනවා.

මේ පිළිබඳ කඩිනමින් සොයා බලා ජනතාවට ගම්බිම් බලා යාමට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස යි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

***************************************

කලකට පසු රජයේ වෛද්‍යවරුන් මහපාරේ

(06.04.2022 – 19:45 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණදී ඇති ආර්ථික අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා සුදුසු වෘත්තීකයින් අවශ්‍ය නම් එම වෘත්තීකයින්ගේ ආයතන හරහා හඳුනාගෙන ප්‍රධාන තනතුරු, මණ්ඩල හෝ සභාවල පිහිටුවන ලෙස ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අර්බුදයට කෙටි කාලීන හෝ දිගු කාලීන විසඳුම් ඉදිරිපත් කළ යුත්තේ බැංකුව හා මූල්‍ය, ආර්ථික විද්‍යාව, විද්‍යා හා තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල හසල දැනුමක් සහ වෘත්තීය ප්‍රවණතාවයකින් යුත් ඉහළම පෙලේ බුද්ධිමතුන් විසින් බවයි ජනාධිපතිවරයා වෙත විවෘත ලිපියක් යොමුකරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ.

එමගින් කාර්යක්ෂමව සහ පාරදෘෂ්‍ය ආකාරයෙන් ගත යුතු වඩාත් උචිතම විසඳුම් සඳහා යොමුවීමේ හැකියාව පවතින බව විද්‍යාභිවර්ධන සංගමය ප්‍රකාශ කළා.

මෙරට ඉහළම පෙලේ විද්‍යාර්ථකයින් 6000 ක් පමණ විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකත්වය දරනු ලබනවා.

මේ අතර, ඉදිරි සති කිහිපයේ දී ඇතැම් රෝහල් ඖෂධ නොමැතිවීම හේතුවෙන් වසා දැමීමට සිදුවන බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවනවා.

එමෙන්ම, ඔවුන් අද (06) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබුණේ පවතින ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලමින්.

මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විරෝධතාවක නිරත වු සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පිරිසක් අද (06) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුණා.

එමෙන්ම ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව බලහත්කාරයෙන් විවෘත කරගෙන ඇතුළු වූ අතර එහිදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා ෴

***************************************

යුරෝපා රටවල් රුසියානු රාජතාන්ත්‍රිකයන් පිටුවහල් කරයි

(06.04.2022 – 10:42 +0530 – hirunews.lk/sinhala)

යුරෝපා සංගමයට අයත් රටවල සිටින රුසියානු රාජතාන්ත්‍රිකයන් 200 දෙනෙකු පමණ ඊයේ (05) දිනයේ පිටුවහල් කර තිබෙනවා.

ඒ, රුසියාව, යුක්රේනයට එරෙහිව සිදුකරන යුද්ධයේදී සිදුවන මානව හිමිකම් උල්ලංගණය කිරීම්වලට විරෝධය පළ කරමින්.

ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය ඇතුළු රටවල් මෙලෙස රුසියානු රාජතාන්ත්‍රිකයන් යළි හරවා එවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ඉදිරියේදී තවත් රටවල් කිහිපයක් රුසියානු රාජතාන්ත්‍රිකයන් ප්‍රතික්ෂේප කිරීමට සූදානම් බවද වාර්තා වනවා ෴

***************************************

පෙළපාලි සඳහා ළමුන් රැගෙන යන්න එපා – ජාතික ළමාරක්ෂණ අධිකාරිය

(06.04.2022 – 17:18 +0530 – hirunews.lk/sinhala)

මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා ළමයින් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමාපියන් සහ භාරකරුවන් ඇතුළු සියලු පාර්ශවයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති උදය කුමාර අමරසිංහ පෙන්වා දෙන්නේ මේ දිනවල පැවැත්වෙන විරෝධතා සඳහා විවිධ පාර්ශව විසින් ළමයින් සහභාගි කර ගැනීමේ අවස්ථා පිළිබඳව දැකගත හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇති අතර, එවැනි අවස්ථා සඳහා ළමයින් සහභාගි කර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික හා මානසික පීඩාවලට ලක්වීමේ අවදානමක් පවතින බව ද පෙන්වා දෙනවා.

මේ අතර, ජිවන වියදම ඉහළ යාම මුල් කර ගනිමින් අදත් විරෝධතා ක්‍රියාත්මක වුණා.

මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නිවෙස් ඉදිරිපිට විරෝධතා පැවැති අතර, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්තලම – කුරුණැගල මාර්ගයේ වානවීදිය ප්‍රදේශයේ පිහිටි කාර්යාලය ඉදිරිපිට තවමත් විරෝධාතාකරුවන් රැඳී සිටින බවයි එහි සිටින වාර්තාකරු සඳහන් කළේ.

එසේම, බේරුවල චින කොටුවේ පිහිටි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි මර්ජන් ෆලීල් ගේ නිවස ඉදිරිපිට ද ඊයේ (05) විරෝධතාවයක් පැවැති අතර, ඔවුන්ට එම ස්ථානයේ ඉවත් වන ලෙසට පොලිසිය කළ දැනුම් දිමත් සමඟ උණුසුම් තත්ත්වක් හට ගත්තා.

පසුව මන්ත්‍රිවරයාගේ නිවසට විරෝධාතාකරුවන් ගල් ප්‍රහාර ද එල්ල කර බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එසේම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ කාර්යාලයට , රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ නිවසට, සහ පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ කාර්යාලයට පහරදිමේ සිද්ධින් වලට අත් අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනෙකු අධිකරණය අද (06) ඇප මත මුදා හැරියා.

මේ අතර රාජ්‍ය ආයතන කිහිපයක් ඉදිරිපිට ද අද (06) විරෝධතා පැවැත්වුණා.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් අද (06) පෙරවරුවේ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

මහරගම නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ද අද (06) දහවල් විරෝධතාවයක නිරත වු අතර තවත් ප්‍රදේශ කිහිපයකින් ද විරෝධතා වාර්තා වුණා ෴

***************************************

මේ රටෙන් පලා යන්නේ, නිරුපමා සහ සේනාධිපති ද?

(06.04.2022 – 18:17 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවකු වන නිශ්ශංක සේනාධිපති සහ රාජපක්ෂ පවුලට ඥාති සම්බන්ධකම් ඇති නිරුපමා රාජපක්ෂ හදිසියේ ම දිවයිනෙන් බැහැර ව ගොස් ඇති බවට පාර්ලිමේන්තුව තුල පවා සංවාදයට බඳුන් වුණා.

ඒ අතරින් නිශ්ශංක සේනාධිපති පෙරදින (04) රාත්‍රියේත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරුපමා රාජපක්ෂ ඊයේ (05) රාත්‍රී කාලයේ දිවයිනෙන් බැහැර ව ගිය බවට ‍යි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් මේ දෙදෙනා (2) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා රටින් නික්මී යන අවස්ථාවේ ගුවන්තොටුපොළේ සී.සී.ටී.වී. කැමරා හරහා ලබාගත් ඡායාරූප බවට පැවසෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍යය ඔස්සේ බහුල ලෙස සංසරණය වනවා.

අද (06) පාර්ලිමේන්තුවේ දී මොවුන් මෙලෙස රට හැර යාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක හා නලින් බණ්ඩාර කියා සිටියේ, ආන්දෝලනාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පුද්ගලයන් මේ වන විට රටෙන් පලා යෑම ආරම්භ කර ඇති බව යි.

***************************************

ඉන්දීය ණයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 2,25,000 ක්

(06.04.2022 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියානු ණය පහසුකම යටතේ මේ දක්වා මෙරටට ඉන්ධන මෙට්‍රික් ටොන් 2,25,000 ක ප්‍රමාණයක් ලබාදී ඇති බව වාර්තා වනවා.

එසේම, අද (06) දහවල් පැමිණි මෙට්‍රික් ටොන් 40,000 රැගත් නෞකාවේ ඩිසල් ගොඩබැමේ කටයුතු අවසන් අදියරේ පවතින බව සඳහන්.

මේ අතර, ඩිසල් මෙට්‍රික් ටොන් 35,000 රැගෙන පැමිණි නෞකාවට ඩොලර් මිලියන 52 මුදල මේවන විටත් ගෙවා නොමැති බැවින් දිවයිනට ආසන්න මුහුදේ එය නැංගුරම් ලා ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපයකට අවශ්‍ය ඩිසල් ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව එහ ප්‍රකාශයෙකු සඳහන් කළා.

එහෙත්, කොළඹ නුවර මාර්ගය කඩවත නගරයෙන් අද (06) පස්වරුවේ අවහිර වුයේ එම නගරයේ පිහිටි සිපෙට්කෝ පිරවුම්හලෙන් ඩිසල් ලබා ගැනිමට පැමිණි රථවාහන හිමියන් සිදු කළ විරෝධතාවක් හේතුවෙන්.

මේ අතර අද (06) පෙරවරුවේ ඉන්ධන බවුසරයකට හැටන් නොර්වුඩ් මංසන්ධියෙන් ධාවනය කිරිමට ඉඩ ලබා නොදිම නිසා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට හැටන් මහේස්ත්‍රා එෆ්. ෆරිඩ්ඩින් අද (06) නියෝග කළා.

අද (06) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉන්ධන ලබා ගැනිම සඳහා ජනතාව පොලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

මේ අතර, දුම්රිය ස්ථානාධිපති සංගමය අද (06) නිවේදනය කළේ, මේ වනවිට දුම්රිය පාලනාධිකාරිය විවිධ හේතු මුල් කරගෙන මෙවර විශේෂ දුම්රිය ධාවනයට සැලසුම් කර නොමැති බවයි.

අලුත් අවුරුදු කාලයේ දී මේ වනවිට පවතින ඉන්ධන අර්බුදය හමුවේ පෞද්ගලික අංශයේ බස් රථ ධාවන කටයුතු ද අඩාල වී ඇති බැවින් විකල්ප ලෙස බහුතර මගී ජනයා දුම්රිය භාවිත කිරීමට විශාල වශයෙන් මෙවර පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

කෙසේ වෙතත්, අප කළ විමසීමක දී ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ අලුත් අවුරුදු දුම්රිය විශේෂ සේවා කාල සටහන තවමත් සැලසුම් කර නොමැති බවයි ෴

***************************************

භාරකාර ආණ්ඩුවේ ජනාධිපති තනතුරට හර්ෂ ද සිල්වා සුදුසු බවට හරින් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක්

(06.04.2022 – 20:53 +0530 – hirunews.lk/sinhala)

වත්මන් දේශපාලන ආර්ථික අර්බුද හමුවේ අද (06) දෙවැනි (2) දිනයටත් පාර්ලිමේන්තුව රැස් වුණා.

එහි දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු සභාවාරය දෙවරක් (2) ම කල් තැබීමට කතානායකවරයාට සිදු වුණා.

එහි දී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සිය කරුණු දැක්වීම අතරතුර දී විශේෂ අදහසක් පළ කළා.

ඔහු පැවසුවේ, වත්මන් අර්බුද විසඳා ගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් පත් වනවා නම්, එහි ජනාධිපති තනතුරට ආචාර්‍ය හර්ෂ ද සිල්වා සුදුසු බව යි.

මෙය හුදෙක් ම තම පෞද්ගලික මතයක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

හර්ෂ ද සිල්වාට ආර්ථිකය පිළිබඳ මනා දැනුමක් ඇති බවත් තරුණයකු වන බවත් යන කරුණු මත ඔහු එවැනි තනතුරකට සුදුසු බව යි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

***************************************

ජනාධිපති උපදේශක කණ්ඩායමට සමාජිකයන් පත් කෙරෙයි

(06.04.2022 – 21:07 +0530 – hirunews.lk/sinhala)

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසාරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමට සමාජිකයන් කිහිප දෙනෙකු පත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඒ සඳහා හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ලෝක බැංකුවේ හිටපු වැඩබලන ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ශාන්ත දේවරාජන් සහ IMFහි ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ෂර්මිණි කුරේ යන අය පත් කර ඇති බව යි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *