රටේ තත්වය ගැන අද (06), හෙට (07) පාර්ලිමේන්තුවේ විවාද

රටේ තත්වය ගැන අද (06), හෙට (07) පාර්ලිමේන්තුවේ විවාද

*********************************************

රටේ තත්වය ගැන අද (06), හෙට (07) පාර්ලිමේන්තුවේ විවාද

(06.04.2022 – 08:02 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ විවාදයන් පැවැත්වෙනවා. ඒ, ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය අනුවයි.

පාර්ලිමේන්තුව ඊයේ දිනයේදී රැස්වීමෙන් පසු දිගින් දිගටම පවතින තත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අදහස් පළ කළා.

ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු හවුල් පක්ෂවල මන්ත්‍රීවරුන් මෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද ඇතුළුව 41 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන බව ප්‍රකාශ කළේ එවන් තත්වයක් තුළයි.

මේ අතර පක්ෂ නායක රැස්වීමක් කැඳවා පාර්ලිමේන්තුවේ සහ පවතින තත්වය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු තීරණය කිරීම සුදුසු බව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම යෝජනා කළා.

පසුව පස්වරු දෙකට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා.

එහිදී පවතින අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම අර්බුදකාරී අවස්ථාවේදී සිදුකළ හැකි යෝජනා දෙකක් ඇති බවයි.

එනම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වී පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙක් පත් කරගැනීම හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් ඇති කරගැනීමයි.

කෙසේ වෙතත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බවද කථානායකවරයා සඳහන් කර තිබෙනවා.

පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් හෝ යෝජනාවක් ඉදිරිපත්වී ඇති අතර, එහිදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බැවින් ඒ සඳහා මන්ත්‍රීවරයෙකු ගෙනෙන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට හැකි බවට අදහස් පළවී තිබෙනවා ෴

***************************************

රංජිත් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති ප්‍රතික්ෂේප කරයි

(06.04.2022 – 08:36 +0530 – hirunews.lk/sinhala)

නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත්වීම සඳහා රංජිත් සියඹලාපිටිය විසින් ජනාධිපතිවරයා වෙත කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊයේ (05) දිනයේදී රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා විසින් ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නේ තමන් නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත්වීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂය අතර ඊයේ (05) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ තවදුරටත් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කරන ලෙසයි.

එහිදී ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් නොවන ලෙසටයි ෴

***************************************

විමල් වීරවංශගේ නිවස ඉදිරිපිටත් විරෝධතාවයක්

(06.04.2022 – 09:32 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවස ඉදිරිපිට ඊයේ (05) රාත්‍රියේ විරෝධතාවක් පවත්වා තිබෙනවා.

ඔහුගේ හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටයි මෙම විරෝධතාව පවත්වා ඇත්තේ.

හෝකන්දර – විද්‍යාල හන්දියේ උද්ඝෝෂණයක නිරත වූ විරෝධතාකරුවන් පිරිසක් පසුව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිතර වී තිබෙනවා ෴

***************************************

කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

(06.04.2022 – 09:57 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් උද්ඝෝෂණවල යෙදීසිටි පුද්ගලයින් විසින් ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම්, අනර්ථය සිදුකිරීම් වැනි ක්‍රියා සිදුකළ බවට වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

එවැනි ක්‍රියා සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර වීඩියෝ සාක්ෂි මත හඳුනාගෙන ඇති තවත් පුද්ගලයින් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

ඕනෑම අයෙකුට සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමට හැකියාවක් තිබුණ ද කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදෙමින් උද්ඝෝෂණ සිදුකරන්නන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසනවා.

එබැවින් කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

මේ අතර උද්ඝෝෂණයක් අතරතුර කාකි ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු කළු පැහැති ජැකැට්ටුවක් සහ සුදු පැහැති ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ මෙගා ෆෝන් යන්ත්‍රයක් ආධාරයෙන් රැස්ව සිටි පිරිස අමතා ‘යුනිෆෝම් ඇඳන් හිටියත් අපිත් ඔයාලත් එක්ක තමයි’ යනුවෙන් ප්‍රකාශයක් සිදුකරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වෙමින් පවතින බව පොලීසිය පවසනවා.

එම වීඩියෝ පටයේ කාකි ඇඳුමින් සැරසී සිටින පුද්ගලයා පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් පුද්ගලයෙකු ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළා ෴

***************************************

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දුව මංසන්දියෙන් අදත් (06) වැසෙයි

(06.04.2022 – 10:05 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දූව මං සන්ධියෙන් වසා දමා තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 10 ට ආරම්භ වන බැවින් එහි ආරක්ෂාව සදහා මෙලෙස පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දමා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

අදත් (06) පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂාව තර කර තිබෙනවා ෴

***************************************

කථානායකගෙන් සියලුම මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක්

(06.04.2022 – 10:29 +0530 – hirunews.lk/sinhala)

පවතින අර්බුදය ව්‍යවස්ථාමය රාමුවක් යටතේ විසඳීමට මේ සතිය අවසන් වීමට පෙර එකඟතාවකට පැමිණෙන ලෙස කථානායක මහින්ද යාපා සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

කථානායකවරයා මේ බව සඳහන් කළේ අද (06) දෙවන (2) දිනට පාර්ලිමේන්තු විවාදය ආරම්භ වීමට පෙරයි ෴

***************************************

පාර්ලිමේන්තු සභාව උණුසුම් වෙයි – කතානායක සභාව කල් තබයි

(06.04.2022 – 11:04 +0530 – hirunews.lk/sinhala)

අද (06) දින රැස් වූ පාර්ලිමේන්තු සභාවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

මෙලෙස සභාව කල් තැබුණේ විනාඩි 10 ක කාලයකටයි.

සභාව කල්තබන අවස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අදහස් දැක්වීමත් සමඟ උණුසුම් තත්වයක් හට ගත්තා ෴

***************************************

පොලිසිය සහ හමුදාවේ යතුරු පැදි කණ්ඩායම අතර ඇති වූ සිද්ධිය ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

(06.04.2022 – 11:36 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (05) දිනයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි හතරක් (4) පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු (2) විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම ගැන අද (06) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ අදහස් මතු වුණා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ එම අවස්ථාවේ පොලිසියේ හැසිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවයි.

තවද එම හමුදා නිලධාරින් එම ස්ථානයට යාම අනුවන ක්‍රියාවක් වන අතර මෙවැනි ව්‍යාකූල අවස්ථාවකදී මෙම සෙබළු අට පාස් උදවිය වන අතර ඔවුන් කලබලයට පත් වී ඕනෑම දෙයක් සිදුවීමට පවා ඉඩ තිබූ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

***************************************

නිරූපමා රාජපක්ෂ හදිසියේ දිවයිනෙන් බැහැරව යයි

(06.04.2022 – 12:26 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ ඊයේ (05) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

නිරූපමා රාජපක්ෂ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත්තේ ඊයේ (05) රාත්‍රී 10:25 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-655 දරණ ගුවන් යානාවෙන් බවයි හිරු ප්‍රවෘත්ති ගුවන් තොටුපළ වාර්තාකරු කියා සිටියේ.

පසුගිය දිනවල ලොව පුරා මහත් ආන්දෝලනයට ලක්වූ මූලාශ්‍ර සොයා ගත නොහැකි මූල්‍ය ඉපයීම් සම්බන්ධයෙන් වන තොරතුරු ඇතුළත් pandora papers හෙවත් පැන්ඩෝරා පත්‍රිකා වල ද නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරු නඩේෂන් ගේ නම් ඇතුළත් වී තිබුණා.

ඒ ඉපැයීම් තහවුරු කළ නොමැති ඇමරිකානු ඩොලර් මිලියන 160 ක වත්කම් විදෙස් බැංකුවල තැන්පත් කර තිබීම සම්බන්ධයෙන්.

මේ පිළිබඳ මෙරට නීති අංශ විසින් විමර්ශනයක් සිදු කෙරුණ ද මෙතෙක් එහි කිසිදු ප්‍රතිඵලයක් වාර්තා වී නැහැ.

***************************************

ජනාධිපති ඉල්ලා අස්වෙන්නේ නැහැ – ආණ්ඩු පක්ෂ සංවිධායක පාර්ලිමේන්තුවට කියයි

(06.04.2022 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව දෙවරක් කල් තැබීමට කතානායකවරයා අද පෙරවරුවේ කටයුතු කළා.

පළමු අවස්ථාවේ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් උණුසුම් සංවාදයක් ඇති වෙමින් පැවති අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ ජනාධිපතිවරයා කිසිසේත් ධුරයෙන් ඉල්ලා අස් නොවන බවයි.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අදහස් දැක්වීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් විනාඩි 10 කට පාර්ලිමේන්තු කටයුතු කල් තැබීමට කතානායකවරයා කටයුතු කළා.

පසුව පාර්ලිමේන්තුවේ කටයුතු යළි ආරම්භ වූ අතර රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විවාදය ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. එහිදී හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අදහස් දක්වමින් සිටියදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු අතැතිව ඝෝෂා කිරීමට පටන් ගත්තා.

එහෙත් හිටපු අමාත්‍යවරයා සිය කතාව කරගෙන යනු ලැබූ අතර එහිදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභාව මැදට පැමිණ විරෝධතා පුවරු රැගෙන එහි කටයුතු කරගෙන යාමට බාධා වන ලෙස හැසිරීම හේතුවෙන් දෙවන වරටත් සභාවේ කටයුතු කල් තැබීමටයි කතානායකවරයා පියවර ගත්තේ.

සභාවේ කටයුතු අද (06) පෙරවරු 10 ට ආරම්භ වූ අතර එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන සියළු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ මෙම සතිය අවසන් වීමට පෙර පවතින අර්බුදය ව්‍යවස්ථාමය රාමුවක් යටතේ විසදීම සඳහා එකඟතාවයකට පැමිණෙන්න ලෙසයි.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් විමසා සිටියේ ඇඳිරි නීතිය සහ හදිසි නීතිය පැනවීමට මෙන්ම සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ හැකි ද යන්නයි.

ඊට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රතිචාර දැක්වීමත් සමඟ උණුසුම් සංවාදයක් ආරම්භ වුණා. මෙම සංවාදයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ කතානායකවරයාද මැදිහත් වුණා.

මේ අතර පාර්ලිමේන්තුව අසල මාර්ග බාධකයේදී යතුරු පැදි සම්බන්ධයෙන් සිදුවූ සිද්ධිය ද පාර්ලිමේන්තුවේදී අද (06) අදහස් පළ වුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියා සිටියේ.

එමෙන්ම පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අදත් (06) පොල්දූව මං සන්ධියෙන් වසා දමා දැමුණා.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ බැවින් එහි ආරක්ෂාව සදහායි මෙලෙස පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දමා ඇත්තේ.

***************************************

නියෝජ්‍ය කථානායකවරයාගේ අස්වීමේ ලිපිය, ජනපති ප්‍රතික්ෂේප කරයි

(06.04.2022 – 13:31 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ ජයග්‍රහණයක් බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

කොළඹ අද (06) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා සමග ඊයේ (05) රාත්‍රියේ සිදුකළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවූ බවයි.

මේ අතර, නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත්වීම සඳහා රංජිත් සියඹලාපිටිය විසින් ඉදිරිපත් කළ ලිපිය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂය අතර ඊයේ (05) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ තවදුරටත් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කරන ලෙසයි ෴

***************************************

මැති ඇමතිවරුන්ගේ නිවාස ඉදිරිපිට විරෝධතා

(06.04.2022 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම ඉහළ යාම හමුවේ රජයට විරෝධය පළ කරමින් ඊයේ (05) රාත්‍රී කාලයේදීත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

එමෙන්ම ඊයේ (05) රාත්‍රීයේ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නිවෙස් ඉදිරිපිට විරෝධතා පැවැති බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.

හෝකන්දර – විද්‍යාල හන්දියේ උද්ඝෝෂණයක නිරත වූ විරෝධතාකරුවන් පිරිසක් පසුව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිතර වුණා.

මේ අතර, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව තවත් විරෝධතාවක් පැවැත්වූයේ කුරුණෑගල – මල්කඩුවාව මං සන්ධියේදියි.

මීට අමතරව අලුත්ගම – කළුවාමෝදර ප්‍රදේශයේදී තවත් එක් විරෝධතාවක් පැවැත්වූයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ නිවස ආසන්නයේදියි.

මේ අතර වත්මන් රජයට විරෝධය පළ කරමින් ඊයේ (05) රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. මාරවිල, බේරුවල, අම්පාර සහ රත්නපුර ආදී ප්‍රදේශවල ඊයේ (05) රාත්‍රියේ මෙලෙස විරෝධතාවල නිරත වුණා.

එමෙන්ම, මේ වනවිට කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවත්වෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ ෴

***************************************

අප්‍රේල් 08 වැනි දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්

(06.04.2022 – 14:26 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් 08 වැනි දා වැඩ වර්ජන ක්‍රියාවලියකට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

ජනතාවගේ හඬට කන් දී වහා ම නිසි ක්‍රියාමාර්ගයකට එළඹෙන ලෙස ආණ්ඩුවට බල කිරීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කරනවා.

එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළා.

ජනතාවගේ හඩට කන්දීලා, දැන්වත් ශිෂ්ඨ සම්පන්න තීරණවලට එන්න බල කරමින්, අප්‍රේල් 08 සමස්ථ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා.

ඒකටත් ප්‍රතිචාර නැත්නම් ඇඛණ්ඩ වර්ජනයකට වෘත්තීය සමිති ව්‍යාපාරය විදිහට අපි සූදානම්.

ජනතා පීඩාව ඉවර කරන්න ජන හඩ ජයග්‍රහණය කරවන්න සිදු කරණ ඒ වර්ජනයේදී අපි රෝහල් සේවාව කඩා වැටෙන්න දෙන්නේ නෑ.

රෝගීන්ගේ සේවාවන් ආවරණය කරන ගමන් අපි ඒ වර්ජනයට සහය දක්වනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියන්නේ ඔහුට දේශපාලනික ව ඇති විරෝධය නිසාම නෙවේ.

ඔහුට චන්දය දීලා, ඔහුව විශ්වාස කරලා ජනධිපති පුටුවේ ඉන්දවපු බහුතරයක් අද පාරට බැහැලා ‘ගෝ ගෝටා හෝම්’ කියන්නේ තරහටම නෙවේ.

ඔහුගේ වැඩපිළිවෙල අසාර්ථක බව ඔප්පු වෙලා තියන නිසා.

ඒ අතර ජොන්ස්ටන් වගේ ඇමතිවරු ඔහුව පාර්ලිමේතු යවපු ජනතාවටම චැලෙන්ජ් කරනවා, අපි යන්නේ නෑ, අපි මුහුණ දෙනවා කියලා.

ඒක චන්ඩිකමක් නෙවේ.

තවම ශිෂ්ඨ විදිහට තීරණ අරගෙන, අවසාන අඩියට වැටිලා තියන රට ගැනවත් හිතන්න වුවමණාවක් නැති බව ප්‍රදර්ශනය කිරීමක්.

අද සෞඛ්‍ය ඇමති කෙනෙක් නෑ.

ඒත් පැය විසිහතරකින් මාර්ග සංවර්ධන ඇමතිව යලි පත් කරනවා.

ඇයි ඒ?

ගසා කන්න පුළුවන් අන්තිම සල්ලි ටිකත් පිල්ලි ගහන්න ඕනේ නිසා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *