විරෝධතා මැද සාපරාධී ක්‍රියා සිදුවේ නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නැයි නීතීඥ සංගමය කියයි

විරෝධතා මැද සාපරාධී ක්‍රියා සිදුවේ නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නැයි නීතීඥ සංගමය කියයි

*********************************************

විරෝධතා මැද සාපරාධී ක්‍රියා සිදුවේ නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නැයි නීතීඥ සංගමය කියයි

(05.04.2022 – 17:28 +0530 – hirunews.lk/sinhala)

කොන්දේසි විරහිතව විරෝධතාවලදී සිදුවන සාපරාධී ක්‍රියා හෙළා දකින බවත්, එවැනි ක්‍රියා සම්බන්ධයෙන් බලධාරීන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා අතරම, සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මෑතකදී සිදුවූ ඇතැම් විරෝධතා ප්‍රචන්ඩත්වයට යොමුවී තිබෙන බව සහ විරෝධතාකරුවන් විසින් ඇතැම් පුද්ගලයන්ගේ නිවාස ඇතුලු පෞද්ගලික දේපළ ඉලක්ක කර හානි සිදුකර තිබෙන බව නිරීක්ෂණය කර ඇති බවයි ෴

***************************************

විරෝධතාකරුවන්ට මැදි වූ අනුර කුමාර

(05.04.2022 – 17:01 +0530 – hirunews.lk/sinhala)

අද (05) පැවති පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පිටත රැඳීසිටි විරෝධතාකරුවන්ට අදහස් දැක්වූ අවස්ථාවක් කැමරාවේ පටිගත වී තිබුණා.

එහිදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක සඳහන්කර ඇත්තේ දූෂිතයින්ට එරෙහිව කටයුතු කිරීමට ජනතාව සමඟ තමන්ද සිටගන්නා බවයි .

එම අවස්ථාවේ සිදු වූ සිදුවීම කැමරාවේ මෙලෙස පටිගත වී තිබුණා.

***************************************

ආණ්ඩුව ඉල්ලා අස්විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට අනුකූලව – නාමල් රාජපක්ෂ

(05.04.2022 – 17:51 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව ඉල්ලා අස්විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට අනුකූලව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වුවද පවතින ගැටලුවට විසඳුමක් නොලැබෙන බවයි ෴

***************************************

විරෝධතාකරුවන් අගමැතිවරයාගේ නිවස වටලයි

(05.04.2022 – 18:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ බොරැල්ල විජේරාම මාවතේ පිහිටා ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින නිවස අවට විජේරාම මාවතේ මේ වන විට විරෝධතාකරුවන් තුන් දහසක් (3000) පමණ දෙනා එක්ව දැවැන්ත විරෝධතාවක් සිදු කරමින් සිටින බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළා.

මේ හේතුවෙන් අග්‍රාමාත්‍ය වරයාගේ නිවස අවට යුද හමුදාව යොදවා ආරක්ෂාව දැඩි කර ඇති බවත් ඔහු කියා සිටියා.

මෙලෙස රැඳී සිටින විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් ආණ්ඩුවට ඔවුන්ගේ අප්‍රසාදය පළ කරන අතර ඔවුන් සාමකාමී ලෙස හැසිරෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

***************************************

ඩොලරය 310 ටම නගී – පත්කළ මුදල් ඇමති අලි සබ්රි පැය 24 න් ඉල්ලා අස්වෙයි

(05.04.2022 – 19:58 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, සහ එම අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල අද සිය ධූර වලින් ඉල්ලා අස්වුණා.

අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ, ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර, අද ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඔහු දැනුම් දුන්නේ රටේ වත්මන් තත්ත්වය කළමනාකරණය කළ හැකි පුද්ගලයෙකු පාර්ලිමේන්තුවේ පිටතින් ගෙන ඒමට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉවත්වීමට සූදානම් බවයි.

අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට පෙර ඔහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය දා ඉදිරිපත් කළ වාර්තාව ද පාර්ලිමේන්තුවේදී සභාගත කරනු ලැබුවා.

මේ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ද අද (05) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

2018 වසරේ ඔක්තෝබර් 31 වනදා සිට ඔහු වසර තුනහමාරකට (3½) අධික කාලයක් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.

මේ අතර, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගෙන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විම පිළිබඳ මාධ්‍යවේදින් අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික කේෂත්‍ර වල සිදුවන වර්ධනයන් පිළිබඳව ඉතා සමීපව නිරික්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

එම අරමුදලේ මෙරට ප්‍රධානි මසහීරෝ නොසාකි රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබුණේ අලුතින් පත්වන මුදල් අමාත්‍යවරයා සහ බලධාරින් සමඟ ඉදිරියේදී වොෂිටන් නුවරදී හමුවී මෙරට ණය වැඩසටහන පිළිබඳව සාකච්ඡා කරන බවයි ෴

***************************************

වෙන්වූ නිදහස් පක්ෂය ජනපති හමුවෙයි ස්වාධීන ලැයිස්තුවෙන් තුනක් (3) ගැළවෙයි

(05.04.2022 – 20:02 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායම් 3 ක් ස්වාධීන වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සංයුතිය අද (05) සැළකිය යුතු ලෙස වෙනස් වුණා.

කෙසේ වෙතත් ස්වාධීන වූ බවට පැවසූ මන්ත්‍රීවරු තුන්දෙනෙකු (3) පසුව ප්‍රකාශ කර සිටියේ තමන් එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය තවමත් පවතින්නේ ආණ්ඩුව සතුවයි.

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පැවති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 159 ක්. කථානායකවරයාද ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති බැවින් එම සංඛ්‍යාව පසුව සැළකුණේ 158 ක් ලෙසින්.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුලු පක්ෂ කිහිපයක නියෝජනයන් ඇතුළත්.

කෙසේ වෙතත් අද (05) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරු 16 දෙනෙකු ස්වාධීන වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ දැනුම් දුන්නා.

කෙසේ වෙතත් එම මන්ත්‍රිවරුන් පිරිස සමඟ ස්වාධීන වීමට තීරණය කර සිටි ගයාෂාන් නවනන්ද මන්ත්‍රීවරයා පසුව ප්‍රකාශ කළේ තමන් ස්වාධීන නොවන බවයි.

ඒ අනුව ස්වාධීන වන බවට සඳහන් කළ මන්ත්‍රිවරුන් 16 දෙනා 15 ක් දක්වා අඩුවනවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ස්වාධීන වන බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දුන්නා.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 11 දෙනෙකු ස්වාධීන වීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ද දැනුම් දුන්නේ.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ද සඳහන් කළේ තමන්ද තවම ස්වාධීන වීමට තීරණයක් ගෙන නොමැති බවයි.

ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද (2) මේ වනවිට ස්වාධීන වීමට තීරණය කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එස්.එම්.එම්. මුෂාරෆ් ද ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස පෙනී සිටින බව සඳහන් කළා.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව මේ වනවිට 118 ක් වන අතර, ස්වාධීන වීමට තීරණය කළ මන්ත්‍රී සංඛ්‍යාව 41 ක්.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අද (05) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවුණා ෴

***************************************

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග සියල්ල අවහිර කරමින් විරෝධතා

(05.04.2022 – 20:39 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවලදී සිදුවන සාපරාධී ක්‍රියා කොන්දේසි විරහිතව හෙළා දකින බවත්, එවැනි ක්‍රියා සම්බන්ධයෙන් බලධාරීන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා අතරම, සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මෑතකදී සිදුවූ ඇතැම් විරෝධතා ප්‍රචන්ඩත්වයට යොමුවී තිබෙන බව සහ විරෝධතාකරුවන් විසින් ඇතැම් පුද්ගලයන්ගේ නිවාස ඇතුලු පෞද්ගලික දේපළ ඉලක්ක කර හානි සිදුකර තිබෙන බව නිරීක්ෂණය කර ඇති බවයි.

එවැනි චර්යාවන් සාපරාධී වන අතර, එමඟින් විරෝධතාකරුවන්ට නීති මගින් අධිකරණයේ චෝදනා ගොනු කිරීමට සිදුවිය හැකි බවයි අදාළ නිවේදනයේ දැක්වුණේ.

සාමකාමී විරෝධතා ප්‍රචන්ඩත්වයට හැරේනම් එමඟින් යුක්ති සහගත විසම්මුතිය සඳහා තිබෙන අයිතිය යටපත් වන බව ප්‍රකාශ කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය එවැනි පුද්ගලයන් පිටුදැකිය යුතු බවට ප්‍රකාශ කරනවා.

පවතින තත්වය හමුවේ ආණ්ඩුවට එරෙහිව අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා. එහිදී පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ග සියල්ල අවහිර කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතවීමද විශේෂත්වයක්.

මහරගම, බත්තරමුල්ල, ගාල්ල, දඹුල්ල, කුරුණෑගල, මැදමුලන සහ බදුල්ල ඇතුලු ප්‍රදේශ රැසක තවත් විරෝධතා පැවැත්වුණා.

රට වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් සහ සාමකාමී විරෝධතාවක් අද (05) පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුර ඉදිරිපිට පැවැත්වුණේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහභාගීත්වයෙන්.

කරාපිටිය, මහමෝදර සහ දඹුල්ල රෝහල්වල සෞඛ්‍ය සේවකයන්ද අද (05) විරෝධතාවයේ නිරත වුණේ ආණ්ඩුවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින්.

විරෝධතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වල වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වුණා.

නීතීඥවරුන් පිරිසක් අද (05) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටද විරෝධතාවයේ නිරත වුණා.

අද (05) පැවති පාර්ලිමේන්තු සභා වාරයට බොහෝ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ පිටුපස මාර්ගයෙන් පැමිණි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, රජයේ හිටපු ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ නිවාස සහ පක්ෂ කාර්යාලය ඉදිරිපිට ද ජනතාව ඊයේ (04) රාත්‍රියේ විරෝධතාවල නිරත වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔවුන් හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනට අයත් අනුරාධපුර – කුරුන්දන්කුලම නිවසට සහ නගරාධිපති එච්.පී. සෝමදාසගේ නිවසකට ද ඊයේ (04) රාත්‍රී පහරදී අලාභහානි සිදුකර තිබුණා.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ උද්ඝෝෂණ මුවාවෙන් දේපලවලට හානි කරන සහ නිවාස කොල්ලකෑම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

***************************************

පාර්ලිමේන්තු රැස්වීම හෙට පෙරවරු 10 ට කල් තැබේ – රටේ තත්වය ගැන දින දෙකක් විවාද

(05.04.2022 – 20:51 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් හෙට (06) සහ අනිද්දා (07) දෙදින පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමට අද (05) පස්වරුවේ රැස්වු පක්ෂ නායක රැස්වීමේදි තීරණය කෙරුණා.

අද (05) පෙරවරු 10 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වු අතර එහි කටයුතු පැය 4 ක සීමා කෙරුණා.

පාර්ලිමේන්තුව න්‍යාය පත්‍රය අනුව අද (05) පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදු නොවුණේ අමාත්‍යවරුන් ඉවත්ව ඇති මොහොතක සභාවේ කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි බවට විපක්ෂය දිගින් දිගටම කරුණු දැක්වීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් සහ රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ අදහස් මතුවීම හේතුවෙන් සභාව තුල උණුසුම් සංවාදාත්මක තත්ත්වයක් ඇතිවුණා.

කෙසේ වෙතත් අවසානයේ සභාවේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන පක්ෂ නායක රැස්වීමක් පස්වරු 2 ට කැඳවීමට තීරණය කළා.

අද (05) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සභා ගර්භයට පැමිණෙන අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශබ්ද නගා විරෝධය පළකල කර ඇති අතර හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ සාටකය නොමැතිව සභාවට පැමිණ සිටි බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සභා ගර්භය තුළ සුහද කථාබහක නිරත වන අයුරුද නිරීක්ෂණය වුණා.

පසුව පාර්ලිමේන්තුව හෙට (06) පෙරවරු 10 දක්වා කල් තැබුණා.

***************************************

හදිසි නීතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී.ල.නි.පයෙන් ප්‍රකාශයක්

(05.04.2022 – 21:24 +0530 – hirunews.lk/sinhala)

අද (05) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගන්නා බවත් හදිසි නීතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *