අවසානයේ කොළඹ ආනන්ද විදුහලත් පාරට බසියි

අවසානයේ කොළඹ ආනන්ද විදුහලත් පාරට බසියි

*********************************************

අවසානයේ කොළඹ ආනන්ද විදුහලත් පාරට බසියි

(05.04.2022 – 15:08 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන් සහ ගුරු භවතුන් අද (05) දහවල් විරෝධතා ව්‍යාපාරයකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.

ප්‍රධාන මාර්ගය ඉදිරිපිට එක්රැස්වූ ඔවුන් පවතින ආර්ථික පීඩනය සම්බන්ධයෙන් විවිධ සටන් පාඨ කියමින් පැයකට (1) අධික කාලයක් මෙලෙස විරෝධතාවේ නිරත වුණා.

මෙම විරෝධතාවට අවට සිටි බොහෝ පිරිසක් ද එක්ව සිටි අතර, මේ හේතුවෙන් මරදාන අවට තරමක රථ වාහන තදබදයක් ද හට ගැනුණු බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ මරදාන ආනන්ද විද්‍යාලය සහ වත්මන් ආණ්ඩුව අතර පවතිනුයේ අනුලංඝනීය සබඳතාවක්.

ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිප් සතර හැදෑරූ පාසල ආනන්දය වන අතර, වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන බොහෝ දෙනෙක් ද ආදී ආනන්දියන් වීම හේතුවෙන්.

***************************************

පාර්ලිමේන්තුව කල් තැබෙයි

(05.04.2022 – 15:10 +0530 – hirunews.lk/sinhala)

අද (05) පෙරවරු 10 ට රැස්වූ පාර්ලිමේන්තුව පස්වරු 2:15 ට පමණ කල් තැබීමට පියවර ගැණුනා.

ඒ අනුව හෙට (06) පෙරවරු 10 ට යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සංවාදයට බඳුන් වූ අතර මේ වනවිට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ආරම්භ වී තිබෙනවා.

කාරක සභා කාමර අංක 2 දී කතානායක, මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ආරම්භ වූ අතර, බැසිල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර කුමාර දිසානායක, රිෂාඩ් බදියුදීන්, මහින්ද අමරවීර, සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව ඇති බව සඳහන්.

උද්ගතව ඇති වාතාවරණය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති ෴

***************************************

මහින්ද මහත්තයා ගත්ත වැරදි තීරණය නිසා අද මුළු රටම ගිනි ගන්නවා – කුමාර වෙල්ගම

***************************************

***************************************

***************************************

***************************************

අගමැති නිවස අසල විරෝධතාකරුවන්ට කඩු ප්‍රහාරයක්… හයක් (6) රෝහලේ..

(05.04.2022 – 15:50 +0530 – lankacnews.com)

ඊයේ(04) දින තංගල්ල කාල්ටන් නිවස අසල උද්ඝෝශණයක් පැවැත් වු තරුණ තරුණියන් පිරිසට සංවිධානාත්මක මැර කණ්ඩායමක් කඩු සහා බේස්බෝල් පිති වලින් පහර දි තිබේ.

ඊයේ (04) දින තංගල්ල නගරයේ පිහිටි කාල්ටන් නිවස අසල පැවති විරෝධතාව විසුරුවා හැරිම සදහා පොලිසිය විසින් කදුලු ගෑස් සහා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කල අවස්තාවේදි මෙම මැර කණ්ඩායම කඩු සහා බේස්බෝල් පිති රැගෙන තරුණ තරුණියන් පසුපස එලවාගෙන ගොස් පහර දි ඇති අතර එම ප්‍රහාර වලින් තුවාල ලැබු තරුණයන් හය දෙනෙකු (6) තංගල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

බෙලිඅත්ත ප්‍රදේශය නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙක් ගේ සොහොයුරෙක්ද මෙම සංවිධානාත්මක මැර කණ්ඩායමේ සිටි බව විරෝධතාකරුවන් පැවසිය.

චරිත් රණවක

***************************************

නිශ්ශංක සේනාධිපති රටින් පිටවයන වීඩියෝ පටයක් නිකුත් වේ

(05.04.2022 – 13:28 +0530 – lankaleadnews.com)

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අද (05) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් ගත වී අති බව වාර්තාවේ.
එහිදී ඔහු ප්‍රභූවරයෙකුට ලැබෙන පහසුකම් ගනිමින් ‘සිල්ක් රූට්’ භාවිතා කරරමින් රටින් පිටව ගොස් ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසා සිටී. එම ආරංචි මාර්ග වැඩිදුරතත් පවසන්නේ ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.

මේ අතර ඔහුගේ බිරිද හා දරුවන්ද ඊයේ (04) උදෑසන මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.

***************************************

අද (05) සිට දින පැය 6 ක් විදුලිය කැපේ

(05.04.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

අද සිට ඉදිරි දින 4 ක කාලය සදහා කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැරුණු කොට සෑම කාණ්ඩයකටම පැය 6 යි මිනිත්තු 30 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම, කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශයට පැය 3 යි මිනිත්තු 30 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

ඉදිරියේ දී විදුලි කප්පාදුව තවදුරටත් අඩු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දුන්නේ.

මේ වනවිට මෙගාවොට් 235 ක ධාරිතාවක තාප බලාගාර දැවි තෙල් නොමැතිවීම නිසා අක්‍රිය වී තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම බලශක්ති අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමට අනුව හෙට (06) වන විට දැවි තෙල් මෙට්‍රික් ටොන් 25,000 ක ප්‍රමාණයක් විදුලි ජනනය සදහා ලැබීමට නියමිතයි.

ඊට අමතරව අද (05) දින තවත් ඩීසල් මෙටි්‍රක් ටොන් 12,000 ක ප්‍රමාණයක් ලැබෙන බවයි මහජන උපයෝගීතා කොමිසම සදහන් කළේ.

ඒ අනුව අවම වශයෙන් දින 4 ක කාලසටහනකට අනුව විදුලි කප්පාදු කිරීමටත් එය කල් තබා දැනුම් දීමටත් පියවර ගැනීමටයි මහජන උපයෝගීතා කොමිසම සැලසුම් කර ඇත්තේ.

දින දෙකකට (2) වරක් එක් එක් කාණ්ඩයට විදුලි කප්පාදුව සිදු කෙරෙන වේලාවන් ද වෙනස් වන ආකාරයට කාලසටහන ප්‍රකාශයට පත් කරන බවයි එම කොමිසම තවදුරටත් කියා සිටියේ.

මේ අතර පවතින අර්බුදය හමුවේ හැකි ඉක්මනින් බලශක්ති සහ විදුලිබල විෂයන් සඳහා අමාත්‍යවරයෙකු පත් කරගන්නා ලෙස මහජන උපයෝගිතා කොමිසම ආණ්ඩුව වෙත දැනුම් දෙනවා ෴

***************************************

ඩොලරය රුපියල් 310 ට නඟියි

(05.04.2022 – 11:41 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රලාභී වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිගින් දිගට ම රුපියල අවප්‍රමාණ වීම පසුගිය සමයේ ම දක්නට ලැබුණු කරුණක්.

මේ හේතුවෙන් ඩොලරය දිනෙන් දින ඉහළ ගිය අතර, මෙම තත්ත්වය බරපතළ ආර්ථික අරාජිකත්වයක ලක්ෂණයක් බව යි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ෴

***************************************

අයි.එම්.එෆ්. වාර්තාව පාර්ලිමේන්තුවට

(05.04.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව අද (05) මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් සභාගත කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන ලෙසයි එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මීට පෙර ඉල්ලා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස එහි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනිද්දා (07) වැඩ භාර ගැනීමට නියමිත බව බී බී සී පුවත් සේවය වාර්තා කළා.

එම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ වනවිට එහි ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින බවයි.

බී බී සී පුවත් සේවයට අදහස් දක්වමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර ඇත්තේ තමාට එම තනතුර භාර ගන්නා ලෙස ආරාධනා කර ඇති අතර තමා ඊට එකඟ වූ බවයි.

එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් ආචාර්ය නන්දලාල් වීරසිංහගේ පත්කිරිම සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති අතර එහි ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ නව පත්කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවයි.

තමා අනිද්දා ලංකාවට ගිය පසුව මහ බැංකු අධිපති තනතුර භාර ගන්නා බව ආචාර්ය නන්දලාල් වීරසිංහ බී.බී.සී. පුවත් සේවය සමඟ ප්‍රකාශ කර තිබුණා.

එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණ පවතින තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කළ යුතු බවයි.

2011 වසරේ සිට 2020 වසර දක්වා ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරය දරනු ලැබුවා.

ඔහු මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් ස්වාධීන උපදේශකයෙකු ලෙස කටයුතු කරනවා.

2010 වසරේ සිට 2012 වසර දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ද ඔහු සිය සේවය සපයනු ලැබුවා.

ඒ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය වෙනුවෙන් විකල්ප විධායක අධ්‍යක්ෂවරයා වශයෙන්.

මේ අතර මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දමන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය අද (05) පෙරවරුවේ මහ බැංකුව දැනුම් දීමටයි නියමිතව තිබුණේ ෴

***************************************

අගුණුකොළපැලැස්සේ පුද්ගලයන් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කෙරේ

(05.04.2022 – 14:23 +0530 – hirunews.lk/sinhala)

අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලයන් දෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අද (05) අලුයම අගුණුකොළපැලැස්ස දිසා රෝහලට අනතුරක් සිදුවී ඇති බව පවසමින් ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) මිය යාම සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවේ අදාළ මරණ සැක සහිත බවට පොලිස් ස්ථානය වෙත ලද දුරකථන පණිවුඩයට අනුවයි.

පසුව කළ විමර්ශනයේ දී මොවුන් මාමඩල – රත්නවීර පාලම අසළ වැටී සිටිය දී රෝහල්ගත කර ඇති අතර, එම ස්ථානයේ අනතුරක් සිදුවී නොමැති බවට පොලීසිය තහවුරු කර ගත්තා.

වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ, මිය ගිය පුද්ගලයින්ගේ දෙදෙනා (2) වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

මොවුන් සූරියවැව සහ අම්බලන්තොට ප්‍රදේශවල පදිංචි අවුරුදු 42 හා 43 හැවිරිදි වියේ පසුවන්නන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන නොමැති අතර ඔවුන් අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා ෴

***************************************

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(05.04.2022 – 16:33 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මණ්ඩලය මෑතකදී ගනු ලැබූ තීරණයකට අනුව තානාපති කාර්යාල 2 ක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ සහ ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයි මෙලෙස වසා දමා ඇත්තේ.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

වත්මන් ආර්ථික තත්වය හමුවේ රට මුහුණදෙන විදේශ මුදල් හිඟය හේතුවෙන් සිදුකරන ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති බව සඳහන් ෴

***************************************

අයි.එම්.එෆ්. මෙරට දේශපාලන සහ ආර්ථික ප්‍රවණතා ගැන දැඩි අවදානයෙන්

(05.04.2022 – 16:52 +0530 – hirunews.lk/sinhala)

මෙරට දේශපාලන සහ ආර්ථික ප්‍රවණතා ඉතා සමීපව නිරීක්ෂණය කරන බවත්, නව මුදල් අමාත්‍යවරයෙකු ඇතුළු බලධාරීන් සමඟ මෙම මස අගදී වොෂින්ටනයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව අද (05) මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් සභාගත කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන ලෙසයි එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මීට පෙර ඉල්ලා සිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස එහි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනිද්දා වැඩ භාර ගැනීමට නියමිත බව බී බී සී පුවත් සේවය වාර්තා කළා.

එම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ වනවිට එහි ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *