කලහකාරී වුණොත් අල්ලනවා – පොලිසිය

කලහකාරී වුණොත් අල්ලනවා – පොලිසිය

*********************************************

කලහකාරී වුණොත් අල්ලනවා – පොලිසිය

(05.04.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවත් තවත් සමහරෙක් වීඩියෝ සාක්ෂි මත හඳුනාගෙන ඇති අතර ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් එම කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සදහන්.

මීට අමතරව ඕනෑම අයෙකුට සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමට හැකියාවක් තිබුණ ද කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදෙමින් උද්ඝෝෂණ සිදුකරන්නන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

ඒ අනුව කලහකාරි සහ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවල නොයෙදෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළා ෴

***************************************

අද (05) පාර්ලිමේන්තුවේ පුටු පෙරළියක්

(05.04.2022 – 07:50 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව සහ ඒ අවට ආරක්ෂාව අද (05) දිනයේ දැඩි කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදියි දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවත්වන විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙලෙස ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 ක බහුතරය පෙන්වන ඕනෑම කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදීමට සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

ඒ, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් ආණ්ඩුවේ බහුතර බලය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමකයි.

ජනතාවට කන් නොදී කටයුතු කළහොත් තමන් ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ආණ්ඩුව නියෝජනය කරන තවත් පක්ෂවල මන්ත්‍රීවරුන් 50 කට අධික පිරිසක් අද (05) පාර්ලිමේන්තුවේ ස්වාධීන වී ආණ්ඩුවට බහුතරය අහිමි කරන බවට හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඊයේ (04) සදහන් කළා.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දී තිබුණේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කරමින් අද (05) දිනයේ ආණ්ඩුවට සිය පාර්ලිමේන්තු බලය අහිමිවනු ඇති බවයි.

මේ අතර, ඊයේ (04) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 132 ක් සහභාගී වී සිටි බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියා.

එමෙන්ම, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ පියංකර ජයරත්න ද සිය රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන බව ඊයේ (04) ප්‍රකාශ කළා.

තම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඊයේ (04) සදහන් කළේ.

මීට අමතරව ආණ්ඩුව නියෝජනය කළ පක්ෂ 11 හේ කණ්ඩායමට අයත් විමල් වීරවංශ, උදය ගම්මන්පිළ යන හිටපු අමාත්‍යවරුන් මෙන්ම ජයන්ත සමරවීර ආණ්ඩුවෙන් ඉවත්වී කටයුතු කිරීමට තීරණය කළා.

එමෙන්ම වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරයා ද පසුගිය දා ප්‍රකාශ කළේ තමන් ද ස්වාධීනව කටයුතු කරන බවයි.

මේ අතර, තමන් කිසිදු තනතුරක් භාර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවට සහ පත් වන අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දීම සඳහා සර්ව පාක්ෂික කමිටුවක් තමන් ඒ සඳහා යෝජනා කරන බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ ෴

***************************************

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 41 ක් ස්වාධීන වෙයි

(05.04.2022 – 10:47 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට සහය පළ කළ මන්ත්‍රීවරුන් 41 දෙනෙකු අද (05) සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුවට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන් ස්වාධීන මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ඉවත් වූ විට ඉතිරි වන්නේ 118 ක් පමණයි.

අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී පක්ෂ නායකයින් අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් ස්වාධීන වීමේ තීරණ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ස්වාධීන වීමට තීරණය කර තිබෙනවා.

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සිය අසුනෙන් නැගී සිටිමින් ප්‍රකාශ කළේ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, නලීන් ප්‍රනාන්දු, නිමල් ලංසා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පියංකර ජයරත්න, රොෂාන් රණසිංහ, ජයරත්න හේරත් යන මන්ත්‍රීවරුන් මෙලෙස ස්වාධීන වන බව ඔහු කියා සිටියා.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද ස්වාධීන වන බවට හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළ අතර අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු නැගී සිටිමින් කියා සිටියේ තමන්ගේ නම එම ලැයිස්තුවෙන් ඉවත් කර ගන්නා ලෙසයි.

එමෙන්ම, තමන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කළ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 16 දෙනෙකු අද (05) සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ සදහන් කළා.

ඔහු කියා සිටියේ තමාට අමතරව උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ටිරාන් අලස්, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න, මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ජයන්ත සමරවීර, උද්දික ප්‍රේමරත්න සහ ගයාශාන් නවනන්ද එලෙස ස්වාධීනව කටයුතු කරන බවයි.

එසේම තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ද අද (05) සිට ස්වාධීන පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවයි එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්ප කුමාර, ශාන් විජේලාල් ද සිල්වා, ශාන්ත බණ්ඩාර, දුෂ්මන්ත මිත්‍රපාල, සුරේන් රාගවන්, අංගජන් රාමනාදන් සහ චාමර සම්පත් දසනායක මෙලෙස ස්වාධීන වූ සෙසු මන්ත්‍රීවරුන් වනවා.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් ද ස්වාධීනව කටයුතු කරන බවට අද (05) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නා.

ලංකා කම්කරු කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ වීමසීමකදී ඔහු කියා සිටියේ රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි.

ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) පාර්ලිමේන්තුවේ සිටිනවා.

මේ අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ද සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරන බවයි දැනුම් දුන්නේ ෴

***************************************

පොහොට්ටුවේ දහයක් (10) ස්වාධීන වෙයි

(05.04.2022 – 11:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු ස්වාධීන ව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

එම මන්ත්‍රීවරුන් දස දෙනා මෙසේ යි :

අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, නලින් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පියංකර ජයරත්න, රොෂාන් රණසිංහ, ජයරත්න හේරත්

විමල් වීරවංශ ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රීවරුන් :

ටිරාන් අලස්, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න, මොහොමඩ් මුසම්මිල් ෴

***************************************

අලි සබ්‍රි ධුරයෙන් ඉවත් වෙයි

(05.04.2022 – 12:36 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය අලි සබ්රි මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බව වාර්තා වනවා.

පෙරේ දා (03) වැනි දා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමත් සමඟ අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ, ඊයේ උදෑසන යි.

අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැය විසි හතරක් ගත වීමටත් පෙර ඔහු මෙසේ ධුරයෙන් ඉවත් වීම විශේෂත්වයක් ෴

***************************************

විධායක ජනාධිපති ධුරය, අහෝසි කිරීමේ යෝජනාවක්

(05.04.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය හමුවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් මෙම සතියේ පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අද (05) ඉල්ලීමක් කළා.

මේ අතර අද (05) පාර්ලිමේන්තුව ආරම්භයේ දී විෂය පථයන්ට අදාළ අමාත්‍යවරුන් ඉවත්වීම හේතුවෙන් සභාවේ කටයුතු පවත්වාගෙන යා නො හැකි බවට විපක්ෂයෙන් විරෝධතා එල්ල වුණා ෴

***************************************

පිටුපස මාර්ගයෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට

(05.04.2022 – 13:27 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට පිටුපස පිහිටි මාදිවෙල මාර්ගය ඔස්සේ සියළුම මන්ත්‍රීවරුන් අද (05) පාර්ලිමේන්තු සැසි වාරය සදහා සහභාගිවීමට පැමිණෙනු දක්නට ලැබුණා.

ඒ, පාර්ලිමේන්තුව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන්.

එම විරෝධතාවය පාර්ලිමේන්තුවට පිවිසෙන දියත උයන වටරවුම ආසන්නයේ පැවති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

එය සමාජවාදී තරුණ සංගමය හා තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධාන කර තිබුණා.

පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂාව දැඩි කර ඇති අතර අමතර පොලිස් බල ඇණි යොදවා තිබෙනවා.

පාර්ලිමේන්තුවට පිටුපස මාර්ගයෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසීමේදී මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබුවා ෴

***************************************

තවත් මැති ඇමතිවරුන් පිරිසකගේ නිවාසවලට ප්‍රහාර

(05.04.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

රජයේ තවත් හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නිවාස සහ පක්ෂ කාර්යාල ඉදිරිපිට ඊයේ (04) රාත්‍රියේත් ජනතාව විරෝධතාවල නිරත වූ අතර ඇතැමුන්ගේ නිවාසවලට එල්ල වූ ඔවුන් දේපලවලට ද හානි කර ඇති බවට වාර්තා වී තිබෙනවා.

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන, ෂෙහාන් සේමසිංහ, හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකගේ අනුරාධපුරයේ පිහිටි නිවාස ඉදිරිපිට ඊයේ (04) රාත්‍රියේ ජනතාව විරෝධතාවයේ නිරත වුණා.

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේනගේ අනුරාධපුර – කුරුන්දන්කුලම පිහිටි ප්‍රදේශයේ පිහිටි නිවසකට විරෝධතාකරුවන් පහර දී තිබූ බවයි වාර්තා වුණේ.

එමෙන්ම, අනුරාධපුර නගරාධිපති එච්. පී. සෝමදාසගේ නිවසට ද ඊයේ (04) රාත්‍රීයේ විරෝධතාකරුවන් පිරිසක් පහර දුන්නා.

මීට අමතරව, බලංගොඩ පිහිටි විරෝධතාවක් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලගේ නිවස වැටලීමට ගත් උත්සාහය පොලිසිය මැදිහත් වීමෙන් වලක්වා තිබෙනවා.

එමෙන්ම, ඊයේ (04) දිනයේ දී ගාමිණී ලොකුගේ, කෙහෙලිය රඹුක්වැල්ල, චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නිමල් ලන්සා, රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ යන මැති ඇමතිවරුන්ගේ නිවාස ඉදිරිපිට විරෝධතා පැවැත් වුණා.

මීට අමතරව වීරකැටිය – මැදමුලන මං සන්ධියේ ද අද (05) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වූයේ වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින්.

මේ අතර, පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන්, රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සහ සාමකාමී විරෝධතාවක් අද පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුර ඉදිරිපිට පැවැත් වුණා.

ඒ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහභාගීත්වයෙන්.

කෙසේ වෙතත්, සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම අනුමත කළ හැකි වුවද සාමකාමී මුවාවෙන් පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සහ සාමය ආරක්ෂා කිරීමට කැපවී සිටින ආරක්ෂක අංශයන් ද අපහසුතාවට පත් කරමින් මෙම උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගොස් ඇති ආකාරයක් දක්නට ලැබෙන බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මෙහිදී යම් ප්‍රදේශයන් හි උද්ඝෝෂකයන් යතුරුපැදි භාවිත කර තැනින් තැනට ගොස් නිවාස හා වෙළඳසැල්වලට පහරදීම් සිදු කර ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක් සංවිධානාත්මකව නිවාස මංකොල්ලකෑම් සිදු කර ඇති බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළේ.

එබැවින් මෙම සිදුවීමවලට සම්බන්ධ වන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

***************************************

පාර්ලිමේන්තු වට රවුම පොල්දූව මංසන්ධියෙන් වසා දැමේ

(05.04.2022 – 14:20 +0530 – hirunews.lk/sinhala)

සමාජවාදී තරුණ සංගමය හා තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව අද (05) පෙරවරුවේ සිට දියත් කර ඇති විරෝධතාවය හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම – බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියෙන් වසා දමා තිබෙනවා.

දියත උයන වටරවුම ආසන්නයෙන් මෙම විරෝධතාවය ආරම්භ වූ අතර ඒ හේතුවෙන්, පාර්ලිමෙන්තුව අවට දැඩි රථවාහන තදබදයක් ද හට ගැනුණා.

මේ අතර, මේ වනවිට අළුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තුව නීතිඥ පිරිසක් විසින් වටලා තිබෙන බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

***************************************

නව මුදල් ඇමති බන්දුල ගුණවර්ධන ?

(05.04.2022 – 14:31 +0530 – hirunews.lk/sinhala)

නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන දිවුරුදීමට නියමිත බව වාර්තා වනවා.

ඒ ඉල්ලා අස් වූ අලි සබ්‍රි වෙනුවට යි.

අලි සබ්‍රිට පෙර මුදල් අමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ දැරූ අතර, ඔහුගෙන් පසු ඊයේ (05) අලි සබ්‍රි මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා ෴

***************************************

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගලත් ධුරය අත්හරියි

(05.04.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala)

තමා ඉල්ලා අස්වීම මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත භාරදුන් බව භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල පවසනවා.

මේ අතර, ඊයේ (04) මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් අලි සබ්‍රි, අද (05) එම තනතුරෙන් ඉල්ලා අස් වුණා.

සිය ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් අලි සබ්‍රි හිටපු අමාත්‍යවරයා පවසන්නේ, පවතින අර්බුදකාරී තත්ත්වය මත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් තාවකාලික පදනමෙන් මුදල් අමාත්‍ය ධුරය භාරගත් බව යි.

ඒ සඳහා තමන්ගේ හිතවතුන් සහ පාර්ලිමේන්තුවේ සඟයන් කළ ඉල්ලීම් ද හේතු වූ බව ඔහු සිය ඉල්ලා අස් වීමේ ලිපියේ සඳහන් කරනවා.

කෙසේ වෙතත් පවතින වාතාවරණය මත මුදල් අමාත්‍ය ධුරය පලපුරුදු සුදුසුකම් සහිත පුද්ගලයකු හට භාර දී රටේ ආර්ථික‍යේ තිරසාර බවක් ඇති කිරීම මේ අවස්ථාවේ රජයේ ප්‍රමුඛ ඉලක්කය බවට පත් විය යුතු බව යි ඔහු අවධාරණය කරන්නේ.

මෙම භාරදූර තනතුර සඳහා පාර්ලිමේන්තුව තුළ සුදුසුකම් ලත් කෙනෙකු නොමැති නම්, ඒ සඳහා ජාතික ලැයිස්තුව හරහා නව නියෝජිතයෙක් පාර්ලිමේන්තුව තුළට ගෙන ආ යුතු බවටත් ඔහු යෝජනා කරනවා.

අවශ්‍ය නම් එවැනි අවස්ථාවක දී තමන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී එවැනි කෙනෙකුට ඉඩ සලසා දීමට තමන් සූදනම් බවත් හිටපු අමාත්‍යවරයා සිය ඉල්ලා අස් වීමේ ලිපියේ දක්වා තිබෙනවා.

නව මුදල් අමාත්‍ය ලෙස බන්දුල ගුණවර්ධන පත් කරනු ඇති බව යි ආරංචි මාර්ග සඳහන් කරන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *