ආණ්ඩුවට හෙට (05) පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනවා – ගම්මන්පිල

ආණ්ඩුවට හෙට (05) පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනවා – ගම්මන්පිල

*********************************************

ආණ්ඩුවට හෙට (05) පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනවා – ගම්මන්පිල

(04.04.2022 – 20:37 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ, ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කරමින් හෙට (05) දිනයේ දී ආණ්ඩුවට සිය පාර්ලිමේන්තු බලය අහිමිවනු ඇති බවයි.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී අද (04) පස්වරුවේ පැවැත්වුණා.

එම රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 132 ක් සහභාගී වී සිටි බවයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ.

+++++++

***************************************

ගාලු මුවදොර පුරවැසි රාවයෙන් ගිගුම් දෙයි

(04.04.2022 – 20:28 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ රටේ පුරවැසියා පත් වී ඇත්තේ, බරපතළ ගණයේ අරාජිකත්වයකට ය යන්න පිළිගත යුතු නො රහසක්.

පසුගිය දිනක කොළඹ – මිරිහානෙන් ඇරඹි ජන විරෝධී රැල්ල, මේ වන විට දිවයිනේ සිවු දෙසින් ම ඒ මේ අත විසිරෙමින් පවතිනවා.

මේ වනාහී ශ්‍රී ලාංකේය දේශපාලනයේ මෙන් ම සකල ක්ෂේත්‍රයන්ගේ ම ඓතිහාසික සන්ධිස්ථානයක් බව පැවසීම සත්‍යයක්.

ඊයේ (03) වැනි දා ඇඳිරි නීතිය ද නො තකමින් පවා ස්වකීය ලංකා මාතාව මජර දේශපාලනයෙන් මුදවා ගැනීමේ උත්සාහයක පුරවැසියන් නිරත වුණා.

එකී උත්තුංග අදිටන ජල ප්‍රහාරවලින් හා කඳුළු ගෑස්වලින් මර්දනය වන බවක් නම් කොහෙත් ම පෙනෙන්නට නෑ.

අද (04) දවසේ ද දිවයිනේ නන් දෙසින් සංවිධානය වූ ලංකාවාසින් සිය විරොධතාව වත්මන් ආණ්ඩුවේ හා සමස්ත පීඩාකාරී දේශපාලන තන්ත්‍රය වෙත ම එල්ල කළා.

මේ අතර, ගාලු මුවදොර පිටියට රාත්‍රියේ එක් වූ දහස් ගණනක් ජනයා ඉල්ලා සිටියේ, දූෂණය භීෂණය නොමැති ආශ්චර්‍යවත් රාජ්‍යයක් පුරවැසියාට උරුම කර දෙන ලෙස යි.

***************************************

මැති ඇමති මන්දිරවලට ජන ගඟ ගලා යයි

(04.04.2022 – 20:42 +0530 – hirunews.lk/sinhala)

රජයේ හිටපු මැති ඇමතිවරුන් රැසකගේ නිවාස ඉදිරිපිට දී ජනතාව අද (04) විරෝධතාවල නිරත වුණා.

තංගල්ල, කාල්ටන් නිවස ඉදිරිපිට පැවති විරෝධතාවයට එක්වූ පිරිස් විසුරුවා හැරීම සදහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුණා.

මෙහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු (4) සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර, දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ තිස්සමහාරාම – දෙබරවැව පිහිටි හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ නිවසට පිවිසෙන මාර්ගවල සිටද පැමිණ ජනතාව විරෝධතාවල නිරත වුණා.

නිවසට පිවිසෙන මාර්ග 4 කට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකය යොදවා තිබූ බවයි හිරු වාර්තාකරු පැවසුවේ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මොනරාගල පිහිටි නිවසට පිවිසෙන මාර්ගයේද විරෝධතාවක් පැවැත්වුණා.

කළුතර නගයේ පැවති විරෝධතාවක් හේතුවෙන් කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගය කළුතර නගරයෙන් පැය 2 කට ආසන්න කාලයක් අවහිර වූ අතර පසුව විරෝධතාකරුවන් කළුතර පරණ පාරේ පිහිටි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ පක්ෂ කාර්යාලය අසලට පැමිණ විරෝධතාවක නිරත වුණා.

විරෝධතාකරුවන් පැමිණි මාර්ගය අවහිර කරමින් පොලිසිය මාර්ග බාධක යොදා තිබූ අතර පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමටයි පියවර ගැනුණේ.

රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාගේ කළුතර – පයාගල නිවස ඉදිරිපිට දී ද විරෝධතාවක් පැවති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මීගමුව තෙල්වත්ත ප්‍රදේශයේ ද විරෝධතා පා ගමනක් ඊයේ (03) සංවිධාන කර තිබුණා.

පැය දෙකකට (2) ආසන්න කාලයක් එම ස්ථානයේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත පිරිස අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාගේ නිවස ඉදිරිපිට දී ද විරෝධතාවක නිරත වුණා.

මේ අතර හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ දඹුල්ල යාපාගම ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටද අද (04) විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකරගේ මාතර – කොටුව ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටද විරෝධතාවක් පැවති අතර මාතර නගරයේ සංවිධාන කර තිබූ විරෝධතාවට එක්ව සිටි පිරිසක් මෙම විරෝධතාව සඳහා පැමිණ තිබූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

ගාල්ල – කිතුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිටදී ද අද (04) විරෝධාවක් පැවැත් වුණා.

එසේම පිළියන්දල – මාවිත්තර පිහිටි හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ගේ නිවස ඉදිරිපිට ද විරෝධතාවක් පැවැත්වෙන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, ජීවන වියදම ඉහළ යාම ඇතුළු ගැටලු වලට එරෙහිව අද (04) දිවයිනේ තවත් ප්‍රදේශවල විරෝධතා රැසක් පැවති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඇතැම් ප්‍රදේශවල මේ වන විටත් විරෝධතා ක්‍රියාත්මක අතර විරෝධතා හේතුවෙන් මාර්ග අවහිර වීම සහ රථ වාහන ධාවනයට බාධා මතුව තිබුණා.

***************************************

සේනාධිපතිගේ බිරිඳ සහ පුතා හොර රහසේ දිවයිනෙන් බැහැරව යයි

(04.04.2022 – 21:05 +0530 – hirunews.lk/sinhala)

පවතින රජයේ ප්‍රබල ආධාරකරුවකු වන නිශ්ශංක සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් අද (04) සවස දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා දිවයිනෙන් බැහැරව ගිය මේ පිරිස යූ එල් 101 දරන ගුවන් යානයෙන් මාලදිවයින් බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

ගුවන් තොටුපොල විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා ගුවන් ධාවන පථයට ම පැමිණි මේ පිරිස එලෙස පැමිණියේ කෙලෙසද යන්න පිළිබඳව දැඩි කතාබහක් මතුවී තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ මෙලෙස ගුවන් ධාවන පථයට ඍජුව පිවිසීමට විශේෂ අවසරයක් ලබාගත යුතුව තිබීම හේතුවෙන්.

සාමාන්‍ය මගීන් සඳහා කිසිදු අවස්ථාවක එවැනි විශේෂ සැලකිල්ලක් හිමි නොවන අතර බොහෝ විට රටක රාජ්‍ය නායකයින් පැමිණීමේදී එහි මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ජනමාධ්‍යවේදීන්ට මෙලෙස ධාවන පථයට පිවිසීමට සීමිත ඉඩකඩක් හිමිවන අතර එය සිදුවන්නේ ද බොහෝ සීමා කිරීම් මධ්‍යයේ යි.

කෙසේ වෙතත් අද (04) සවස දිවයිනෙන් බැහැරව ගිය නිස්සංක සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් බව පැවසෙන මේ පිරිස මෙලෙස ගුවන් ධාවන පථයට කැඳවාගෙන ගියේ කාගේ අවසරයක් මත ද යන්න මෙතෙක් පැහැදිලි නො වූ කරුණක්.

ඇවන්ගාඩ් ආරක්ෂක සේවාව හිමි නිස්සංක සේනාධිපතිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉතා සමීප හිතවතකු වන අතර පසුගිය දිනවල සිදු වූ බොහෝ පහරදීම් සහ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සඳහා මෙම ආරක්ෂක සේවාවේ සාමාජිකයින් යොදාගත් බවට බරපතල චෝදනා එල්ල කෙරුණා.

***************************************

ලොකුගේගේ නිවස අසලට ද විරෝධතාකරුවන් රැස්වෙයි

(04.04.2022 – 21:17 +0530 – hirunews.lk/sinhala)

හිටපු ඇමති ගාමිණී ලොකුගේගේ පිළියන්දල නිවස සහ රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ පොළොන්නරුව නිවස අසල ජනතාව එකතු වී විරෝධතාවන් පවත්වා තිබෙනවා.

ඒ පවතින ආණ්ඩුවට හා ජනපතිවරයාට ඉල්ලා අස් වෙන ලෙස දන්වමින්.

කෙසේවෙතත් සුපුරුදු පරිදි විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් එල්ල කරනු ලැබූ බව යි වාර්තා වන්නේ ෴

***************************************

රොෂාන් රණසිංහගේ නිවසත් අරගලකරුවෝ වටලති

(04.04.2022 – 21:51 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ පොළොන්නරුව නිවස අසල ජනතාව එකතු වී විරෝධතාවන් පවත්වා තිබෙනවා.

ඒ පවතින ආණ්ඩුවට හා ජනපතිවරයාට ඉල්ලා අස් වෙන ලෙස දන්වමින්.

කෙසේවෙතත් සුපුරුදු පරිදි විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් එල්ල කරනු ලැබූ බව යි වාර්තා වන්නේ.

මීට අමතර ව තවත් මැති ඇමති මන්දිර ගණනාවක් ඉදිරිපිට දී මෙසේ අරගලකරුවෝ සිය විරෝධය පළ කළ බව පැවසෙනවා.

***************************************

නැව් තට්ටුවේ සිට දැක්වූ විරෝධය

(04.04.2022 – 22:16 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට දකුණු අප්‍රිකාව ආසන්නයේ යාත්‍රා කරමින් සිටින නෞකාවක සේවය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ මේ දිනවල ක්‍රියාත්මක විරෝධතා රැල්ලට සහයෝගය දැක්වීමට උනන්දු වී තිබුණා.

මෙම නෞකාවේ ශ්‍රී ලාංකික සේවකයින් දොළොස් දෙනකු (12) පමණ සේවය කරන අතර, ඔවුන් ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සහ ඊට එරෙහි ව නැගෙන විරෝධතා ව්‍යාපාරයන්ට සහයෝගය දක්වමින් එම වාණිජ නෞකාවේ සිට පෝස්ටර් ප්‍රදර්ශනය කරමිනුයි විරෝධතාවේ නිරත වුණේ ෴

***************************************

ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනපති අතර හමුවක්

(05.04.2022 – 02:06 +0530 – hirunews.lk/sinhala)

ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ඊයේ (04) පස්වරුවේ සිදුව තිබෙනවා.

ඒ කොටුව ජනාධිපති මන්දිරයේ දී යි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ඉල්ලීම අනුව උඩරට විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සැලසුම් කිරීම, රුපියල් දහසක (2000) දෛනික වතු කම්කරු වැටුප සහ ගුරු සහායක පත්වීම් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමාන්, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන් මෙම අවස්ථාවට එක්ව සිටියා ෴

***************************************

තිස්ස ජනනායක ජනතාවගෙන් සමාව ඉල්ලයි

(05.04.2022 – 02:49 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වීම සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් :

මේ අවස්ථාවේ මම මගේ රටේ සියලුම මහජනතාවගෙන් සමාව අයදිමි. මන්ද මා ද මේ අභාග්‍යසම්පන්න පාලනයට රැවටීමෙන් එයට සහය දුන් බැවිනි. මින් පසු කිසිම දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පාක්ෂික නොවී නිර්පාක්ෂිකව, නිර්දේශපාලණිකව ජනතාව පැත්තේ සිට ගනිමි.

ඒ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා සහයෝගය දැක්වූයේ, එවකට ලංකාවේ පැවති වාතාවරණය යටතේ මා මෙන්ම බොහෝ දෙනා සාපේක්ෂව ඔහු එම තනතුරට ගැලපෙන බව විශ්වාස කල හෙයිනි. නමුත් එය එසේ නොවන බව අප සියලු දෙනාටම පසක්වී හමාරය.

බොහෝ තරුණ තරුණියන් බිත්ති පුරා චිත්‍ර ඇන්දේ ද එබැවිනි. නමුත් මගේ මව් බිමට මෙහෙම කෙලවේ යැයි මා මෙන්ම ඒ කිසිවෙකු සිතුවේ නැත.

මහ මැතිවරණයේ දී නාම යෝජනා ලබා දුන් දවසේම මා ෆේස්බුක් සටහනක් තැබුවේ පරණ හොරුන් හටම නැවත නාම යෝජනා ලබාදීම පිලිබදව විරෝධය පල කරමිනි. දැන් තවත් නාටකයක් දැකිය හැක. එනම් කැබිනෙට්ටුව වෙනස් කිරීම ලෙස පරණ අසාර්ථක චරිතම ලේබලය මාරු කරමින් පත්කරමින් සිටී. මෙසේ ජනතාවට විහිලු සැපයීම දැන්වත් නතර කර ජනතාවගේ සැබෑ හඩට දේශපාලකයන් සවන්දිය යුතුමය.

‘පෝලිම් කොහෙද තියෙන්නෙ ?’, ‘අපිට හූ කිව්වොත් අපිත් නිකන් ඉන්නේ නැහැ’ වැනි උද්දච්ච ප්‍රකාශ නිකුත්කරන මැති ඇමතිවරුන් ඉවත් කර දැමීම වෙනුවට ඔවුන්ගේ ලේබල් මාරු කිරීම තවත් මහජනතාව කුපිත වන හේතුවකි. මේ රටේ අනන්තවත් දුර දක්නා නුවණැති, අවංක, රටට ආදරය කරන, දක්ෂ , ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ අත්දැකීම් ඇති, දියුණු රටවල උපදේශකයන් වී සිටි මහාර්ඝ මිනිසුන් සිටී. ඔවුන්ට අවස්ථාව දී ඔවුන්ගෙන් වැඩ ගෙන මේ අර්බුදයට සැබෑ විසඳුමක් සකස් කරන තෙක් ජනතාව රැවටිය නොහැක.

අරගලයට ජය!

තිස්ස ජනනායක

2022-04-04

***************************************

හෙට (05) සිට දින 4 ක් පැය හය හමාරක (6½) විදුලි කප්පාදුවක්

(04.04.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින 4 සඳහා විදුලි කප්පාදුව සිදු කරනු ලබන කාලසටහන මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව හෙට (05) සිට ලබන 08 වන දා දක්වා කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැරුණු කොට සෑම කාණ්ඩයකටම පැය 6 යි මිනිත්තු 30 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත්, කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශයට පැය 3 යි මිනිත්තු 30 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත් මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

මේ අතර, අදත් ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබුණු අතර, බෙදා හැරීම් නිසි ක්‍රමවේදයකයින් තොරව සිදුවුණු බවටයි ජනතාව චෝදනා කළේ.

එමෙන්ම ගෑස් නොමැති වීම හේතුවෙන් ද ජනතාව තවදුරටත් දුෂ්කරතාවට පත්ව සිටිනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *