සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතුයි – විමල් වීරවංශ

සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතුයි – විමල් වීරවංශ

*********************************************

සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතුයි – විමල් වීරවංශ

(04.04.2022 – 14:30 +0530 – hirunews.lk/sinhala)

පැලැස්තර විසඳුම් නොමැතිව සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

පක්ෂ එකොළහේ (11) නියෝජිතයින්ගේ හමුවකදී ඔහු මේ අදහස් පළකළා.

මේ අතර, පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපලන නියෝජිතයින් ද අදහස් දැක්වූවා ෴

***************************************

යාපනය විශ්වවිද්‍යාලය වැසේ

(04.04.2022 – 15:06 +0530 – hirunews.lk/sinhala)

නැවත දැනුම්දෙන තුරු යාපනය විශ්වවිද්‍යාලය වසා දැමීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ, විශ්වවිද්‍යාලයේ මතු ව ඇති පරිපාලනමය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්.

ඒ අනුව විශ්වවිද්‍යාල පරිපාලනය විසින් නේවාසිකාගාරවල සිටින සිසුන්ට ද ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද යාපනය – නුවර ප්‍රධාන මාර්ගය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අවහිර කරමින් විරෝධතාවක ද නිරත වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුව ඔවුන් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ යාපනයේ පිහිටි පක්ෂ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වී තිබෙනවා ෴

***************************************

සිය පියා ව නිවසට කැඳවා ගන්නා ලෙස ජනපති පුතුට ඉල්ලීමක්

(04.04.2022 – 15:20 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් රාජපක්ෂගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා.

විරෝධතාකරුවන් කුඩා කණ්ඩායමක් එහි රැස් ව සිටින බව යි වාර්තා වන්නේ.

විරෝධතාකරුවන් විසින් ජනපති පුත්‍රයාගෙන් ඉල්ලා සිටින්නේ, ඔහුගේ පියා ආපසු නිවසට කැඳවා ගන්නා ලෙස යි.

ප්‍රකට මාධ්‍යවේදිනියක් වන ජමිලා හුසේන් මේ පිළිබඳ වාර්තා කළේ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

***************************************

දූෂිත රාජපක්ෂ ආණ්ඩුව එක්ක ආණ්ඩුකරණයක් නෑ – විපක්ෂ නායක සජිත්

(04.04.2022 – 15:50 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව සමග කිසිඳු එකගතාවයක් හෝ ආණ්ඩුකරණයකට සමගි ජනබලවේගය කිසිවිටෙකත් සූදානම් නැතිබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායක වරයා මේ බව කියා සිටියේ, අද (04) විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින්.

දැන් කළ යුතුව ඇත්තේ එක මොහොතක් නෑර ආණ්ඩුව පලවා හැරීම බව කී විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය සූදානම් බව පැවසුවා.

ඒ හැර දූෂිත ආණ්ඩුව සමග කරන ඩීල් දේශපාලනය කිසිවිටෙකත් සමගි ජනබලවේගයෙන් සිදු නොවන බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, යම් යම් බංකොලොත් කණ්ඩායම් ව්‍යාජ මත සමාජගත කරමින් සිටින බවත්, සමගි ජනබලවේගය ඒවාට නොසැලෙන බවත් කියා සිටියා ෴

***************************************

චමල් රාජපක්ෂගේ තිස්සමහාරාමයේ නිවසත් ජනතාව වටලති

(04.04.2022 – 15:57 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවයේ නිරත ජනතාව විසින් තිස්සමහාරාම පිහිටි චමල් රාජපක්ෂගේ නිවස ද අද (04) දහවල් වටලා තිබෙනවා.

විරෝධතාවයේ නිරත පිරිස් තිස්සමහාරාම දෙබරවැව මංසන්ධියේ සිට විරෝධතා පා ගමනින් පැමිණ ඇති බව යි වාර්තා වන්නේ.

විරෝධතාවයේ නිරත පිරිස් චමල් රාජපක්ෂගේ තිස්සමහාරාමයේ පිහිටි නිවස දෙසට පැමිණීමත් සමඟ එහි දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවිමට යි ආරක්ෂක අංශ කටයුතු කර ඇත්තේ.

ඒ අනුව චමල් රාජපක්ෂගේ නිවසට ඇතුළු වන මාර්ගය හරස් කර කිසිවෙකුටත් ඇතුළු විමට නො හැකි වන පරිදි පොලිස් මාර්ග බාධක යොදා තිබුණා.

විශාල ජනතාවක් වැස්සේ තෙමි තෙමී නිවස ඉදිරිපිටට වී විරෝධතාවයේ නිරත වු අතර, විරෝධතාකරුවන් පැවසුවේ, අපේ ගමන පොලිස් බැරියර් දමා වැළැක්විය නොහැකි බවත් හැමදාමත් රාජපක්ෂවරු ඇතුළු මේ රට කාබාසිනියා කළ දේශපාලුවන්ට සැඟ වී සිටිය නො හැකි බවත් ය.

චමල් රාජපක්ෂගේ නිවස හා ඒ අවට මේ වන විටත් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වනවා ෴

***************************************

කාල්ටන් ඉදිරිපිට විරෝධය පෑ පුරවැසියන්ට කඳුළු ගෑස්

(04.04.2022 – 16:14 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට පැවති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනව බව එහි සිටින හිරු ප්‍රවෘත්ති වාර්තාකරු සඳහන් කළා.

අද (04) දහවල් විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් තංගල්ල නගර මධ්‍යයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අයත් කාල්ටන් නිවස දෙසට පැමිණීමට උත්සාහ දැරුවා.

මේ අවස්ථාවේ දී කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මාර්ග බාධක යොදා ඔවුන්ගේ ගමන වළක්වාලීමට පොලිසිය උත්සාහ දැරුව ද උද්ඝෝෂකයින්ගෙන් එල්ල වුණු දැඩි පීඩනය හමුවේ එම උත්සාහය සාර්ථක වුණේ නෑ.

ඉන් අනතුරු ව පිරිස කාල්ටන් නිවස පිහිටි පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයන් මතු ව තිබෙනවා.

මෙහි දී ප්‍රකෝපකාරී පිරිස් පාලනය කර පලවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ, තවමත් විරෝධතාකරුවන් තංගල්ල නගරයේ තැන් තැන්වල රැඳී සිටිමින් විරෝධතා දක්වන බව යි.

මේ වනවිට තංගල්ල නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා අතිරේක භට පිරිස් කැඳවා ඇති බවත් වාර්තා වනවා.

***************************************

ජනපතිගේ ආරාධනාව ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

(04.04.2022 – 16:39 +0530 – hirunews.lk/sinhala)

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට අමාත්‍ය ධුර භාරගෙන එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ආරාධනාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කළා.

පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළා ෴

***************************************

රෝහිත අබේගුණවර්ධනගේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් විසුරුවා හැරෙයි

(04.04.2022 – 16:44 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ කළුතර පරණ පාරේ පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලය අසළ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය අද (04) කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

පොලීසිය සදහන් කළේ පැය දෙකකට (2) ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ – කළුතර ප්‍රධාන මාර්ගය කළුතර නගරයෙන් අවහිර වූ බවයි ෴

***************************************

නිර්භය ව අදහස් දක්වා පොලිස් පහර දීමෙන් තුවාල් ලැබූ තරුණයා ප්‍රතිකාර රෝහලෙන් පිට ව යයි

(04.04.2022 – 17:14 +0530 – hirunews.lk/sinhala)

මිරිහාන සිද්ධිය අතර තුර පොලිසිය අමතා විරෝධය පෑ තරුණයා දින කිහිපයක නේවාසික ප්‍රතිකාරවලින් පසු ව පිට ව ගොස් තිබෙනවා.

කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව ප්‍රකාශ කළා.

අදාළ තරුණයා ඇතුළු තරණයින් පස් දෙනෙකු (5) තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව යි වාර්තා වුණේ.

ඉකුත් දිනයක දී මිරිහානේ දී සිදු කළ පුරවැසි අරගලය අතරතුර දී මෙම තරුණයා, පොලිසිය අමතා තම අදහස් නිර්භය ව ප්‍රකාශ කළා ෴

***************************************

හෙලිකොප්ටර්යක නැඟී පලාගිය දේශපාලන ප්‍රබලයා කවු ද?

(04.04.2022 – 17:24 +0530 – hirunews.lk/sinhala)

අද (04) උදෑසන කෑගල්ල නිදහස් මාවතේ විශාල පිරිසක් එක්රොක් වී උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වුණා.

ඒ මේ දිනවල රට පුරා පැතිර යන ආර්ථික පීඩනයට එරෙහි උද්ඝෝෂණ රැළි මාලාවට සමගාමීවයි.

මේ පිරිස් කෑගල්ල නිදහස් මාවත එක්රැස්වී උද්ඝෝෂණයේ නිරත වන අතරතුර කෑගල්ල නගර සභා පිටියට පෞද්ගලික ගුවන් සේවාවකට අයත් හෙලිකොප්ටරයක් ගොඩ බස්වා තිබෙනවා.

හොර රහසේ පැමිණි මෙම හෙලිකොප්ටරයේ නැගී කෑගල්ල ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකු සිය පවුල ද සමගින් ප්‍රදේශයෙන් පිටත්ව ගිය බවට යි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

අදාල හෙලිකොප්ටරය ගුවනට නැඟ මහනුවර දෙසට මුහුණලා පියාසර කළ බවත් උද්ඝෝෂණයේ නිරතවූවන් සඳහන් කළා.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ගේ නිවස පිහිටා ඇත්තේ ද කෑගල්ල නගරසභා ක්‍රීඩාංගනයට යාබදව යි ෴

***************************************

එක්කෝ දහ නවය (19) බලාත්මක කරන්න – එක්කෝ ගෝඨාභය ගෙදර යන්න – නැත්නම් මට බෑ

(04.04.2022 – 17:42 +0530 – hirunews.lk/sinhala)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ භාරකාර ආණ්ඩුවකට එක්වීමේ ජනාධිපතිවරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා අද (04) උදෑසන සිදු කළ විවෘත ආරාධනාව සම්බන්ධයෙන් දහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවට බලය පවරා එතුලින් අගමැතිවරයෙකු පත් කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

ඒ සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කළ යුතු බවටත් ඔහු යෝජනා කර තිබෙනවා.

එය එසේ නොවන්නේ නම්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම තනතුරින් ඉවත් වී පාර්ලිමේන්තුවට අන්තර්වාර ජනාධිපතිවරයකු සහ රජයක් පිහිටුවීමේ අවස්ථාව ලබාදිය යුතු බවටත් ඔහු යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ මෙම යෝජනා දෙකට (2) ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි වී නෑ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, තමන්ට මේ මොහොතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සුභ පැතීම හැරෙන්නට වෙන කළ හැකි කිසිවක් ඉතිරි ව නොමැති බවයි ෴

***************************************

අන්තර්වාර රජයක් පිහිටුවන්න – මල්වතු, අස්ගිරි මහනායක හිමිවරු

(04.04.2022 – 18:03 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රටේ උද්ගත වී ඇති බරපතළ අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර අන්තර්වාර රජයක් පිහිටුවන ලෙස මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි මහා නායක හිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මහා නායක හිමිවරුන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ රට තුළ උද්ගත වී ඇති නොසන්සුන්කාරී වාතාවරණය පාලනය කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවයි.

ඉදිරියේදී ගත යුතු තවත් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට යොමු කර ඇති මෙම ලිපියෙන් මහා නායක හිමිවරුන් අවධාරණය කරනු ලබන්නේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර රජයක් පිහිටුවීම මේ මොහොතේ සිදු කළ යුතු සුදුසුම ක්‍රියාමාර්ගය බවයි ෴

***************************************

ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායම් රැස්වීම ඇරඹෙයි

(04.04.2022 – 18:11 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායම් රැස්වීමක් මේ වනවිට පැවැත්වෙන බව වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී එය ඇරඹී ඇති බව යි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරුන් 132 ක් ද එහි පැමිණ සිටින බව වාර්තා වනවා ෴

***************************************

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීරණය කරයි

(04.04.2022 – 18:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ පැවති රැස්වීමකදී මෙම තීරණයට එළඹි බවයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක සිය ධුරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊයේ (03) කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වූ අතර, ඉන් අනතුරුව යි රාජ්‍ය අමාත්‍යවරුන් මෙම තීරණ්‍ය ගෙන ඇත්තේ.

තවදුරටත් දිවයින පුරා ජනතාව වීදි බැස වත්මන් ආන්ඩුවට හා පාලන ක්‍රමයට එරෙහි ව විරෝධතාවල නිරත වනවා ෴

***************************************

බහුතරය පෙන්වන කුමන හෝ කණ්ඩායමකට ආරාධනා – ජනපති

(04.04.2022 – 19:52 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වන කුමන හෝ කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආරාධනා කරන බව ජනාධිපතිවරයා පැවසුවේ යැයි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු මේ අදහස් පල කර සිටියේ අද (04) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂ වලට නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සඳහා විවෘත ආරාධනාවක් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ද මේ දිනවල ඉතා උවමනාවෙන් බලා සිටින බවත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියා.

දිගින් දිගටම ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා විපක්ෂයේ කණ්ඩායම් දිගින් දිගටම සටන් කළ බවත් ඔවුන් බලාපොරොත්තු වූ අවස්ථාව දැන් ලැබී ඇති බවත් මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔවුන්ගේ හැකියාව පෙන්වීම බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

***************************************

ජනපතිගේ යෝජනාව විපක්ෂය ප්‍රතික්ෂේප කරයි

(04.04.2022 – 20:15 +0530 – hirunews.lk/sinhala)

උද්ගතව ඇති අර්බුදයට විසඳුම් සෙවීමට අමාත්‍ය ධුර භාරගෙන එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ආරාධනාව සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරනවා.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 හේ එකමුතුව ප්‍රකාශ කළේ අමාත්‍ය ධුර වෙනස් කිරීමෙන් පවතින අර්බුදයට විසදුම් නොලැබෙන බවයි.

ඒ අනුව සියළු ප්‍රගතිශීලී පක්ෂ ඒකරාශී වූ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව කොළඹ අද (04) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිළ සහ විමල් වීරවංශ කියා සිටියා.

කෙසේ වෙතත්, අමාත්‍යවරුන් පත් කිරීම නොව මහ මැතිවරණයක් පැවැත්වීම ගැටළුවට විසදුම බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සදහන් කළා.

ජනාධිපතිවරයාගේ ආරාධනාව දෙමළ ජාතික සන්ධානය ද ප්‍රතික්ෂේප කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සදහන් කළේ.

ජනාධිපතිවරයාගේ ආරාධනාව පිළිබදව අද (04) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එහි දී කියා සිටියේ තමන් ජනාධිපතිවරයාගේ ආරාධනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *