මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තනතුරෙන් ඉල්ලා අස් වෙයි

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තනතුරෙන් ඉල්ලා අස් වෙයි

*********************************************

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තනතුරෙන් ඉල්ලා අස් වෙයි

(04.04.2022 – 11:19 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් අමාත්‍යවරුන් සියල්ල සිය තනතුරු අත්හැර ඇති මේ මොහොතේ තමන් ද මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම්ට තීරණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

සිය පෞද්ගලික ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබන මහ බැංකු අධිපතිවරයා පවසන්නේ තමන් මේ වන විටත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි ෴

+

රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඉල්ලා අස්වෙයි

(04.04.2022 – 11:50 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ තමන් දැරූ රාජ්‍ය අමාත්‍ය දූර වලින් ඉල්ලා අස්වී තිබෙනවා. එම ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත භාර දී ඇති බවයි සඳහන් වන්නේ ෴

+

දාම් පෙතේ ඉත්තෝ මාරුවෙයි – අලි සබ්රි මුදල් ඇමතිකම

(04.04.2022 – 12:05 +0530 – hirunews.lk/sinhala)

මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍ය ධුර හතරක් (4) සඳහා අමාත්‍යවරුන් දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍ය ධූරය හිටපු අධිකරණ අමාත්‍ය අලි ශබ්රිට හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මහාමාර්ග අමාත්‍ය ධුරය හිටපු අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ටත්, අධ්‍යාපන අමාත්‍ය ධූරය එම ධුරය දැරු දිනේෂ් ගුණවර්ධනටත් හිමිවී තිබෙනවා.

මීට අමතරව දිවුරුම් දී ඇති අනෙක් අමාත්‍යවරයා වන්නේ මහාචාර්ය ජී එල් පීරිස්.

ඔහු විදේශ අමාත්‍ය ධූරයේ නැවත වරක් දිවුරුම් දී තිබෙනවා.

මීට අමතරව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය තවදුරටත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට මේ ලබා දී ඇති අතර, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තවදුරටත් කටයුතු කරන්නේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි ෴

+

තංගල්ල කාල්ටන් නිවස ජනතාව වටලයි

(04.04.2022 – 12:33 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට මේ වන විට දැඩි ජනතා විරෝධතාවක් ඇති වී තිබෙනවා.

ප්‍රධාන මාර්ගය හරස් කරමින් ජනතාව කාල්ටන් නිවසට පිවිසෙන මාර්ගයට ඇතුල් වීමට උත්සහ කර තිබෙනවා.

පොලිසිය විසින් අදාල ස්ථානයේ මාර්ග බාධක යොදා ජනතාව පාලනය කිරීමට දැඩි උත්සහයක් දරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

+

පොහොට්ටුවේ ඇතුලු මන්ත්‍රීවරු 50 කට අධික පිරිසක් ස්වාධීන වීමට සැරසේ

(04.04.2022 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට කන් නොදී අඛණ්ඩව බලයේ සිටීමට ආණ්ඩුව කටයුතු කළහොත් තමන් ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ආණ්ඩුව නියෝජනය කරන තවත් පක්ෂවල මන්ත්‍රීවරුන් 50 කට අධික පිරිසක් හෙට (05) පාර්ලිමේන්තුවේ ස්වාධීන වී ආණ්ඩුවට බහුතරය අහිමි කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මීගමුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සමඟ අද (04) පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍යවරයා වෙත ඊයේ (03) භාරදුන් ලිපියට ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් අත්සන් කර නොමැති බව වාර්තාවනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (03) රාත්‍රී කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ හමුවක් පැවති අතර අනතුරුව පිටතට පැමිණි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ අමාත්‍ය මණ්ඩලයම අත්සන් තැබූ ඉල්ලා අස්වීමේ ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් බවයි.

කෙසේ වෙතත් මෙම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් අතර, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, සරත් වීරසේකර, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන අදාළ තීරණයට එරෙහිව අදහස් දැක්වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

එසේම අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ඩලස් අලහප්පෙරුම මෙම හමුවට එක්ව නොසිටි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (04) එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ සියලු කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇති මේ අවස්ථාවේ මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියද තමා ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි.

මේ අතර විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

+

නව ඇමතිවරුන්ගේ පත් කිරීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිළි කිරීමක්

(04.04.2022 – 13:24 +0530 – hirunews.lk/sinhala)

නව අමාත්‍යවරුන් හතරදෙනෙකු (4) පත් කරනු ලැබුවේ පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාමට බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ජාතික අභියෝගය විසඳා ගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇති අතර, ඔවුන් සමඟ සාකච්ඡා කර ඉදිරියේදී ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

+

ඒ-9 මාර්ගය අවහිර වෙයි

(04.04.2022 – 13:27 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවක් හේතුවෙන් ඒ-9 මාර්ගයේ රථවාහන ගමනාගමනයට මේ වනවිට බාධා මතුව තිබෙනවා.

හිරු වාර්තාකරු පැවසුවේ ඒ-9 මාර්ගය දඹුල්ල – යාපාගම ප්‍රදේශයෙන් අවහිර කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි ෴

+

මහ බැංකු මහපුටුව ආචාර්ය නන්දලාල් වීරසිංහ ට ?

(04.04.2022 – 13:51 +0530 – hirunews.lk/sinhala)

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මහ බැංකු අධිපති ධුරය සඳහා පළපුරුදු අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ කැඳවීමට ජනාධිපති ගෝඨා ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ලබන හත් වැනි දා (7) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් වාර්තා වන අතර එම සංචාරය තුළදී මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ද වන ආචාර්ය වීරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්.

මීට අමතරව ඔහුට ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් සහ ශ්‍රාස්ත්‍රපති උපාධියක් ද හිමියි.

එමෙන්ම ආචාර්ය විරසිංහ ආර්ථික විද්‍යාව පිළිබඳව අදටත් ශ්‍රී ලංකා මහා බැංකුව පරිශීලනය කරනු ලබන පර්යේෂණ පත්‍රිකා ගණනාවක් නිකුත් කළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්.

මීට අමතරව ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සහ විදේශ සංචිත කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසටද කටයුතු කළා ෴

+

+

ජන්දය කියල අපි කරන්නේ ඉදිරිපත් වෙන ගොන්නු ටිකෙන් හොදම ගොන්නු තෝරන එක (31.03.2022)

31-03-2022

+

මහපාරට බැස්ස කලාකරුවන් ජනතාව සමඟ හඬ අවදි කරමින් සංවේදී වෙයි (04.04.2022)

+

+

පට්ටම සතුටුයි……මාරම සතුටුයි…….…මචන් – විශ්ව ලංකා

+

මේ දැන්ම ගෝටාබය කොන්දේසි විරහිතව ඉල්ලා අස්විය යුතුමයි – නාගානන්ද (04.04.2022)

+

ජපානයෙන් යෙන් මිලියන 500 ක ආධාරයක්

(04.04.2022 – 14:10 +0530 – hirunews.lk/sinhala)

ඉක්මණින් නරක්වන ශාඛමය භාණ්ඩ අපනයන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැළසීමට ජපානය යෙන් මිලියන 500 ක මූල්‍ය ආධාරයක් පිරිනමා තිබෙනවා.

ඊට අදාළ ගිවිසුමට අද මුදල් අමාත්‍යාංශයේදි අත්සන් තැබුණේ මෙරට ජපාන තානාපති හිදෙයෙකි මිසුකොශි සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල අතරයි ෴

+

චීනයෙන් ඔමික්‍රොන් නව උප ප්‍රභේදයක්

(04.04.2022 – 14:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ නව උප ප්‍රභේදයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා.

එරට දෛනික ආසාදිතයන් 10,000 ඉක්මවා මේ වනවිට වාර්තා වීමට හේතුවී ඇත්තේ එම උප ප්‍රභේදය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම නව උප ප්‍රභේදය හඳුනාගැනීමත් සමඟ චීනයේ ෂැංහයි නගරයේ කිලෝමීටර 70 කට අධික ප්‍රමාණයක් හුදෙකලා කිරීමට ද පියවර ගැනුනා ෴

+

ආර්ථික සහන ඉල්ලූ, නීතිඥ සංගමයේ පෙත්සම් විභාගයට අවසර

(04.04.2022 – 16:46 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා කෙටි කාලීන හා දිගුකාලීන ප්‍රතිපත්තිමය වැඩසටහනක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) අවසර ලබා දුන්නා.

එම පෙත්සම් ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර, එහිදී ලබන 08 වන දා විරෝධතා ගොනු කරන ලෙසයි වග උත්තරකරුවන්ට නියෝග කෙරුණේ.

නීතිපතිවරයා අග්‍රාමාත්‍යවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, මහබැංකු අධිපතිවරයා ඇතුළු 42 නෙකු වෙත මෙහිදී නොතීසි ද නිකුත් කෙරුණා.

එහිදී නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සදහන් කළේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍යය සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම අධිකරණය වෙත පැවරී ඇති බවයි.

මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියා පිළිවෙතට නීතිපතිවරයා කිසිදු අවස්ථාවක විරුද්ධ නොවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ කියා සිටියා ෴

+

නිවසේ ගබඩා කර තිබූ පෙට්‍රල් හේතුවෙන් ඇති වූ ගින්නකින් කුඩා දරුවෙකු මරුට

(04.04.2022 – 17:43 +0530 – hirunews.lk/sinhala)

අනාරක්ෂිත ලෙස නිවසෙහි පෙට්‍රල් සහ භූමි තෙල් ගබඩා කර තිබීම හේතුවෙන් ඇති වූ ගින්නකින් වයස අවුරුදු 9 ක පමණ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (04) අලුයම මෙලෙස පිළිස්සී මිය ගොස් ඇත්තේ කෑගල්ල – හෙම්මාතගම – ගිනිහප්පිටිය ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ දරුවාගේ මිත්තණිය පමණක් නිවසෙහි සිට ඇති අතර, ඇය විසින් විදුලිබලය විසන්ධි වූ අවස්ථාවේ දරුවාගෙන් ගිනි පෙට්ටියක් ඉල්ලා තිබෙනවා.

එම අවස්ථාවේදී දරුවා ගිනි පෙට්ටිය රැගෙන ඒම සඳහා කාමරය වෙත ගොස් ඇති අතර එහිදී ගින්නක් හටගෙන තිබෙනවා.

පසුව පොලීසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ගිනි පෙට්ටිය තිබූ කාමරයේ දරුවාගේ පියා විසින් පෙට්‍රල් සහ භූමි තෙල් ගබඩා කර තිබී ඇති බවටයි. දරුවා ගිනි කූරක් දැල්වූ අවස්ථාවේ ගින්න හටගෙන ඇති බවටයි සැක පළ කරන්නේ ෴

+

ඩීසල් ඉල්ලා කොටගල විරෝධතාවක්

(04.04.2022 – 17:44 +0530 – hirunews.lk/sinhala)

ඩීසල් ලබාදෙන ලෙස ඉල්ලා හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගය කොටගල ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

අද (04) පස්වරුවේ පැවති මෙම විරෝධතාව හේතුවෙන් හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

දින ගණනාවකට පසු අද (04) උදෑසන ඩීසල් ලැබුණ ද ඒවා ප්‍රමාණවත් නොවන බවට පවසමින් මෙම විරෝධතාව පවත්වා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *