උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද (04) සිට නිවාඩු

උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද (04) සිට නිවාඩු

*********************************************

උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද (04) සිට නිවාඩු

(04.04.2022 – 07:04 +0530 – hirunews.lk/sinhala)

උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද (04) සිට නිවාඩු ලබාදී තිබෙනවා.

ඒ එම පළාත්වල 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල්වල වාර විභාග අවසන්ව ඇති බැවින්.

අනෙකුත් පළාත්වල පාසල් කැඳවිය හැක්කේ වාර විභාග අවසන් නොවූ ශ්‍රේණිවල දරුවන් පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.

එමෙන්ම, අදින් (04) ඇරඹෙන සතිය තුළ සමස්ත දිවයිනේම ප්‍රාථමික පාසල්වල දරුවන් පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බව ද ලේකම්වරයා කියා සිටියා.

එමෙන්ම, විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන් අපහසුතාවට පත්වීම හේතු කොටගෙන අද (04) සිට පාසල් නිවාඩු ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පසුගියදා ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වල පාසල් කැඳවිය හැක්කේ වාර විභාග පැවැත්වීමට නියමිත සිසුන් පමණයි.

මෙම සතිය තුළ අත්‍යවශ්‍යම කටයුතු සඳහා දරුවන් පාසල් කැඳවන්නේ නම් ඊට විදුහල්පතිවරුන් විිසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් අවසර ලබාගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල පාසල්වලට පැමිණ වාර පරීක්ෂණ සම්බන්ධ කටයුතු සහ මීළඟ පාසල් වර්ෂය සඳහා අවශ්‍ය සැළසුම් කටයුතු සිදුකළ යුතුයි.

දරුවන්ගේ සහ දෙමාපියන්ගේ පහසුව මෙන්ම මහජන උපයෝගීතා කොමිසමට තීරණ ගැනීමේ පහසුවත් සළකා අදාළ තීරණ ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

මේ අතර, අද (04) සිට අටවනදා (08) දක්වා බස්නාහිර පළාතේ සියලු කතෝලික පෞද්ගලික පාසල් සහ කතෝලික ජාත්‍යන්තර පාසල් වසා තැබෙනවා.

කතෝලික පෞද්ගලික පාසල් සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමන් ප්‍රකාශ කළේ රටේ පවතින තත්වය සැළකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.

එමෙන්ම ලංකා සභාව යටතේ පාලනය වන පාසල්වල වාර විභාග පැවැත්වෙන ශ්‍රේණිවල සිසුන් පමණක් පාසල්වලට කැඳවීමටයි තීරණය කර ඇත්තේ ෴

+

අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් තැබුවා – දිනේෂ් ගුණවර්ධන

(04.04.2022 – 07:08 +0530 – hirunews.lk/sinhala)

රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් තබා ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (03) රාත්‍රියේ පැවති කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ හමුවකදියි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඊයේ (03) පැවති විශේෂ කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව තම තමන් අදාළ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට කැමති බවට අත්සන් කරන ලද ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදීමට අමාත්‍යවරුන් කටයුතු කරනු ලැබුවා.

අග්‍රාමාත්‍යවරයා හැර අනෙකුත් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම ලබාදුන් අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අද (04) හමුවී සාකච්ඡා කොට තීරණයක් ගනු ඇති බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ.

ඔහු තවදුරටත් කියා සිටියේ ඊයේ (03) හිටපු අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉවත්වෙමින් අත්සන් කළ ලිපිය අග්‍රාමාත්‍යවරයා විසින් අද (04) ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි.

තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඊයේ (03) මුළින්ම ප්‍රසිද්ධ කළ අතර, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුලු තවත් කිහිපදෙනෙකු අදාළ තීරණය පසුව ප්‍රසිද්ධ කළා.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (03) ඉල්ලා අස්වුණා.

ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ 69 ලක්ෂයක් වූ ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරවාලීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවයි ෴

+

අද (04) දිනයේ පැය හතර හමාරක (4½) විදුලි කප්පාදුවක්

(04.04.2022 – 07:11 +0530 – hirunews.lk/sinhala)

අද (04) දිනයේ පැය හතර හමාරක (4½) විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ පැය හතක (7) විදුලි කප්පාදුවක් සදහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබූ බවයි.

එහෙත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දිවා කාලයේදී පැය 3 ත් 4 ත් අතර කාලයකටත් රාත්‍රි කාලයේදී පැය භාගයක (½) විදුලි කප්පාදුවකටත් අවසර ලබාදීමටයි මහජන උපයෝගිතා කොමිසම පියවර ගෙන ඇත්තේ.

මෙලෙස විදුලි කප්පාදුව අඩු කිරීමට අදාළ නිර්දේශ පහක් වහාම ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

කැළණිතිස්ස බලාගාරය පැය විසි හතර (24) පුරා ක්‍රියාත්මක කිරීම දැනට උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවන සොජිස්ට් බලාගාරයේ ඉතිරි මෙගාවොට් 33 ක ධාරිතාවද ජනනය සඳහා එක් කිරීම මෙම නිර්දේශ අතර ඇතුළත්.

එමෙන්ම දැනට මෙගාවොට් විස්සක් (20) අඩුවෙන් ක්‍රියාත්මක වෙස්ට්කොස්ට් බලාගාරය උපරිම ධාරිතාවයෙන් ජනනය සඳහා යොදාගැනීම විදුලි කප්පාදුව අඩු කිරීමට නිර්දේශ කර තිබෙනවා.

මතුගම, තුල්හිරිය සහ කොළොන්නාව බලාගාර ක්‍රියාත්මක කර මෙගාවොට් විස්සක (20) ධාරිතාවක විදුලිය ජාතික පද්ධතියට එක් කිරීම අක්‍රිය පෞද්ගලික බලාගාරයක් වන ඒෂියා පවර් බලාගාරයේ රැස් කර ඇති දැවි තෙල් තොගය ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද ඒ සහ බී බලාගාරවලට ලබාදීම ද මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට කර ඇති නිර්දේශ අතර වනවා ෴

+

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ ඇඳිරිනීතිය අද (04) පෙරවරු 6 ට ඉවත් කෙරුණා

(04.04.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

පෙරේදා පස්වරු 6 ට මෙම ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර, ඊයේ (03) දිනයේ මෙන්ම, අද (04) අලුයම ද දිවයිනේ ප්‍රධාන මාර්ග, ප්‍රධාන නගර ඇතුළු ස්ථාන කේන්ද්‍ර කරගෙන මාර්ග බාධක සහ පරීක්ෂා කිරීම් සිදුකිරීමටයි පොලීසිය කටයුතු කළේ.

මේ අතර, ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාවට පොදු ප්‍රවාහන කටයුතු සලසන බස් රථ සහ දුම්රිය සේවා යළිත් සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදවීමට කටයුතු කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඩීසල් අර්බුදය හමුවේ වුව ද අද (04) දිනයේ පෞද්ගලික බස් රථ සියයට 15 ක පමණ ප්‍රතිශතයකින් ධාවනය කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද සඳහන් කළේ අද (04) දිනට නියමිත දුම්රිය වාර පෙරවරු 6 න් පසු ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ගමනාගමන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් පැහැදිලි කළේ මෙලෙසින් ෴

+

නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නැහැ

(04.04.2022 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හමුවක් ඊයේ (03) රාත්‍රියේදී එම පක්ෂයේ සභාපති හිටපු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේදී පවත්වා තිබෙනවා.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුද පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

මෙම සාකච්ඡාවේදී රට තුළ උද්ගතව ඇති තත්වය හමුවේ නිදහස් පක්ෂය ගනු ලබන ස්ථාවරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත් නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් එහිදී අවසන් එකඟතාවකට එළඹ නොමැති බවයි වාර්තාවන්නේ.

අද (04) දිනයේ ඒ පිළිබඳ ඔවුන් තීරණයක් ගන්නා බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර තමා ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

ඉදිරියේදී ඊට අදාළව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ද මෙලෙස ප්‍රකාශ කළා ෴

+

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (03) රාත්‍රියේ විරෝධතා

(04.04.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (03) රාත්‍රියේ විරෝධතා සංවිධාන කර තිබුණා.

මීගමුව – දූව ලෙල්ලම ප්‍රදේශයේ සිට විරෝධතා පාගමනකින් මීගමුව නගරයට පැමිණ විරෝධතාවයේ නිරතවූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊට ධීවරයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

මේ අතර, නුගේගොඩ – විජේරාම හන්දියේ පැවති විරෝධතාව රාත්‍රීය වනතුරු ක්‍රියාත්මක වුණා.

බොරැල්ලේ දී ද ඊයේ (03) තවත් විරෝධතාවක් පැවති අතර ඒ සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මීට අමතරව, ඊයේ (03) දිනයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සංවිධාන කර තිබූ විරෝධතාවකට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද පියවර ගැණුනා.

රටේ පවතින අර්බුදකාරි තත්ත්වයන්ට විරෝධය කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබූ අතර අප වාර්තාකරුවන් පැවසුවේ මීගොඩ, රාගම – පේරලන්ද, ගාල්ල, නිකවැරටිය, ගම්පොල සහ කැළණිය ඇතුළු ප්‍රදේශවල එම විරෝධතා පැවති බවයි ෴

+

පාර්ලිමේන්තුවේ ආසන 113 ක බහුතරය රජයට අහිමිවනවා – නිමල් ලාන්සා

(04.04.2022 – 08:43 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට කන් නොදී අඛන්ඩව බලයේ සිටීමට ආණ්ඩුව කටයුතු කළහොත් තමන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 50 දෙනෙකු හෙට (05) පාර්ලිමේන්තුවේ ස්වාධීන වී ආණ්ඩුවට බහුතරය අහිමි කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මීගමුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සමඟ අද (04) පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

+

උදෑසන කාර්යාල දුම්රිය ප්‍රමාදයක් – ප්‍රදේශ රැසක මගී ප්‍රවාහනයේ ගැටළු

(04.04.2022 – 08:54 +0530 – hirunews.lk/sinhala)

මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ කාර්යාල දුම්රිය රැසක් මේ වනවිට ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න සඳහන් කළේ ඇඳිරි නීතිය හේතුවෙන් රියදුරන් රැසකට උදෑසන රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවී ඇති බවයි.

උදෑසන 07:30 දක්වා ධාවනය කිරීමට හැකිවූයේ කාර්යාල දුම්රිය 5 ක් පමණක් බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළා.

මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාමකාමී ස්වභාවයක් පවතින අතර, ඇතැම් ප්‍රදේශවල මගී බස් රථ ධාවනය අඩුවීම හේතුවෙන් මගීන් අපහසුතාවට පත්වීමේ සිද්ධීන් වාර්තා වනවා.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල දිගු ඉන්ධන පෝලිම්ද දැකගත හැකි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

+

හෝමාගම නගරයේ තරුණ තරුණයින් පාරට බසී

(04.04.2022 – 09:18 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම නගරයේ පිහිටි ධර්මපාල පිළිරුව අසල මේ වන විට තරුණ තරුණයින් එක්ව විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ආණ්ඩුවට විරෝධය දක්වමින් විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින්.

මෙම අවස්ථාව සඳහා තරුණ තරුණයින් විශාල පිරිසක් එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

+

ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

(04.04.2022 – 10:31 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවක් නිසා, ගාල්ල බස් නැවතුම්පොළ අසලින් ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.

මේ අතර විරෝධතාවක් නිසා, ජාඇල නගරයේ දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

+

ෆේස්බුක් සමාජ මාධ්‍ය ගැන මෙරට ජනතාවට දැනුම් දීමක්

(04.04.2022 – 10:52 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ඒවායෙහි ආචාර ධර්ම පද්ධති උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන අවස්ථාවලදී රට තුළ සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට හැකි බව තාක්ෂණ අමාත්‍යංශය පවසනවා.

සමාජ මාධ්‍ය නිර්මාණය කර ඇත්තේ සමාජය තුළ පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගැනීම වැනි අරමුණු පදනම් කර ගනිමින්.

එහෙත් සමාජ මාධ්‍ය ජාලවල ආචාර ධර්ම පද්ධතියට හා එහි මූලධර්මවලට හානි වන පරිදි ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රවර්ධනය සඳහා සමාජ මාධ්‍ය භාවිත කිරීම අනුමත කළ නොහැකි බව ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය පද්ධති මගින් මෙරටට දැනුම් දී ඇති බවයි තාක්ෂණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා අවධාරණය කළේ.

රට තුළ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය සමාගම් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නේ නම්, රට තුළ සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන් අත්හිටුවිය හැකි බවද අදාළ සමාජ මාධ්‍ය පද්ධති මගින් තාක්ෂණ අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර රට තුළ පවතින තත්ත්වය සහ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙටා වැනි සමාගම් තාක්ෂණ අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඇති බවයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේ ෴

+

ඇමති ධූර බාරගන්න සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම්

(04.04.2022 – 11:06 +0530 – hirunews.lk/sinhala)

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇරයුම් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කර මේ බව සඳහන් කළා.

ආර්ථික හා ගෝලීය කාරණා කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇති බවත්, සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව ඇති බව ද එම නිවේදනයේ තවදුරටත් සඳහන්.

ඒ සඳහා අමාත්‍ය ධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ඇරයුම් කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *