විශේෂ කැබිනට් රැස්වීම අවසන් – සමූහ ඉල්ලා අස්වීමේ පත්‍රිකාවකටත් අත්සන් තබයි

විශේෂ කැබිනට් රැස්වීම අවසන් – සමූහ ඉල්ලා අස්වීමේ පත්‍රිකාවකටත් අත්සන් තබයි

*********************************************

විශේෂ කැබිනට් රැස්වීම අවසන් – සමූහ ඉල්ලා අස්වීමේ පත්‍රිකාවකටත් අත්සන් තබයි

(03.04.2022 – 23:58 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ විශේෂ කැබිනට් රැස්වීම මීට ටික වේලාවකට පෙර අවසන් වුණා.

උණුසුම් වාද විවාදවලින් පිරී තිබුණු මෙම කැබිනට් රැස්වීමේ දී සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වන බවට පත්‍රිකාවකට අත්සන් ලබාගෙන ඇති අතර අමාත්‍ය මහින්ද අමරවීර එම ලේඛනයට පළමුව අත්සන් තැබූ බවයි වාර්තා වන්නේ.

ඒ සමග යමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අභයගුණවර්ධන යන අමාත්‍යවරුන් ද එම ලේඛනයට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම ලේඛනයට අත්සන් තැබීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එකඟ වී නැහැ.

මෙම පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අප්‍රසාදය ද පළවී තිබෙනවා.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි යන අමාත්‍යවරුන් ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම විශේෂ කැබිනට් සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝව සාකච්ඡා වී ඇති බව සඳහන්.

එහිදී අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා ඇත්තේ තෙල්, විදුලි සහ ගෑස් ගැටළුවට හැකි වහාම විසඳුම් ලබාදීමට උපරිමයෙන් ක්‍රියා කළ යුතු බවයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ මෙම විශේෂ රැස්වීමේදී සියලුම කැබිනට් අමාත්‍යවරුන් තම ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාරදුන් බවයි ෴

+++++++

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි – ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට

(04.04.2022 – 00:46 +0530 – hirunews.lk/sinhala)

03 වනදා කැඳවා තිබූ විශේෂ කැබිනට් සාකච්ඡාව අවසානයේ දැඩි වාද විවාද මධ්‍යයේ සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර වාර්තා වූයේ මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉදිරිපත්වූ සමූහ ඉල්ලා අස්වීමේ ලේඛනයට අත්සන් තැබීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එකඟ නොවූ බවටයි.

කෙසේවෙතත් දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව සියලු අමාත්‍යවරුන්ගේ එකගතාවයෙන් සමස්ත කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා ෴

+

රාජ්‍ය ඇමති දයාසිරි ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(04.04.2022 – 00:36 +0530 – hirunews.lk/sinhala)

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව දේශාලනික වශයෙන් දරුණු අරාජිකත්වයක් කරා ගමන් කර ඇති අතර ආර්ථිකමය වශයෙන් බංකොලොත් රාජ්‍යයක් වී හමාර බවයි.

රට තුළ නාගරික ග්‍රාමීය හා වතුකර දිළින්දන් පමණක් නොව ධනවත් පුරවැසියන් පවා බලශක්ති හිගයෙන් හා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිගයෙන් අප්‍රමාණ ලෙස පිඩාවට පත්ව සිටින බව ඔහු සිය ලිපිය මගින් පෙන්වා දෙනවා.

මෙවැනි තත්වයක් තුල තවදුරටත් ආණ්ඩුවේ වගකීම් හෝ තනතුරු දැරීම සම්බන්ධයෙන් තමා තුල ඇත්තේ දරුණු සදාචාරාත්මක පසුබෑමක් බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.

ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ 69 ලක්ෂයක් වූ ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර ලීමට මේ රජය අපොහොසත් වී ඇති බවයි.

ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි ආර්ථික අගාධයකට රට ඇද වැටී ඇති බවත් මෙම ආර්ථික අර්බුදය හමුවේ විවිධ භූ දේශපාලන අවශ්‍යතාවන් අනුව ක්‍රියාත්මක වන යම් කිසි විදෙස් රටකට මේ රට ආක්‍රමණය කර යටත් කර ගැනීමේ හැකියාවක් පවා ඇති බවත් ඔහු එම ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දෙනවා.

මේ තත්ත්වය යටතේ තවදුරටත් රාජ්‍ය අමාත්‍ය ධූරයේ වගකීම් දැරීමට සිය හෘද සාක්ෂිය ඉඩ නොදෙන බවයි ඔහු එම ලිපියෙන් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය :

+

ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන පද්ධතියම තර්ජනයට ලක් වෙලා – රනිල් වික්‍රමසිංහ

(03.04.2022 – 22:21 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථික අර්බුදය මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක මෙන්ම, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විදෙස් ප්‍රවෘත්ති සේවාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන පද්ධතියම ඒ හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති බවයි.

+

ඇමති නාමල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(03.04.2022 – 23:01 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අද (03) රාත්‍රී පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ තමාගේ ඉල්ලා අස්වීම පිළිබඳ ජනාධිපති ලේකම්වරයා දැනුවත් කළ බවයි.

මේ අතර රජයට එරෙහිව නැගෙන මහජන විරෝධතා මධ්‍යයේ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද (03) උදෑසන රටින් පිටව ගොස් ඇති බව ද සමාජ මාධ්‍ය වාර්තා කළා.

ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ ස්ථානයකට බව ආරංචි මාර්ග තහවුරු කරන බවයි එම සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ෴

+

බස් රථයට ගිනි තැබූ පුද්ගලයා සෙවීමට පොලිසියට හදිසියේ මතක් වෙයි

(04.04.2022 – 00:29 +0530 – hirunews.lk/sinhala)

පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නුගේගොඩ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණ ව්‍යාපාරයේදී බස් රථයකට ගිනි තැබූ පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

මෙම ගැටුම්කාරී අවස්ථාවේදී යම්කිසි සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙලෙස බස් රථයට ගිනි තැබූ බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේ වෙතත් මෙම බස් රථයට ගිනි තැබූ පුද්ගලයා එම ක්‍රියාව සිදු කරන අවස්ථාවේදී අවට පොලිස් නිලධාරීන් ඒ දෙස බලා සිටින අයුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනවල සටහන් වී තිබුණා.

මෙම පුද්ගලයා සම්බන්ධ කිසිදු තොරතුරක් මේ වන තුරු වාර්තා වී නොමැති අතර ඔහු එම ක්‍රියාව සිදු කරන අතරවාරයේ අත්අඩංගුවට නොගත්තේ මන්දැයි සමාජ ක්‍රියාකාරීන් සහ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පොලීසියෙන් ප්‍රශ්න කර සිටියා.

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති අතර ඔවුන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනවලින් ලබාගත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කරමින් මෙම පුද්ගලයා සොයාගැනී ගැනීමට මහජන සහාය ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසිය නිකුත් කළ එම සම්පූර්ණ වාර්තාව :

++++++++

++++++++

මිරිහානේදී වාහන ගිනි තැබුනේ ආණ්ඩුවේම අයයි…

(04.04.2022 – 06:20 +0530 – lankacnews.com)

මිරිහාන ගැටුමේ වාහන ගිනි තිබ්බේ ආණ්ඩුවේ ම කුලීකාරයන් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අහිංසක මිනිසුන් බවත් ඔවුන් වැරදි නොකළ අය බවත් ඔහු පැවසීය.

මෙම කළහය සඳහා පොලීසිය භාර ඇමතිවරයා ද වගකිව යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

ඇඳිරි නීතිය දමා ජනතා විරෝධය වැළැක්විය නොහැකි බවත් ආණ්ඩුවට රට කරන්න බැරිනම් බාරදීලා යා යුතු බවත් ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

මෙම සාකච්ඡාව සඳහා එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහතාද එක්ව සිටියේය.

+

පවතින රජයට ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්

(04.04.2022 – 06:51 +0530 – hirunews.lk/sinhala)

පවතින රජයට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඊයේ (03) ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලාංකිකයෙකු කියා සිටියේ මෙම විරෝධතා ව්‍යාපාරය මෙතෙක් ශ්‍රී ලාංකිකයින් විසින් මැසචුසෙට්ස් ප්‍රාන්තයේ සිදු කරන ලද විශාලතම විරෝධතා ව්‍යාපාරය බවයි.

මෙහිදී ශ්‍රී ලංකා රජයේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනයට ලක් කරමින් පැමිණ සිටි උද්ඝෝෂකයින් විවිධ සටන් පාඨ කියමින් පැය දෙකකට (2) ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඊයේ (03) දිනයේ දී ලොව පුරා විවිධ රටවල ප්‍රධාන නගර ගණනාවක පවතින රජයට සහ ඊයේ (03) දින මෙරට ශ්‍රී ලංකිකයින් විසින් පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා ව්‍යාපාරය බලහත්කාරයෙන් මර්දනය කිරීමට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාර ගණනාවක් පැවැත්වුණා.

මෙම විරෝධතා ව්‍යාපාරයන් හි දී අදහස් දැක්වූ පිටරටවල පදිංචිව සිටින බොහෝ ශ්‍රී ලාංකිකයින් පවසා සිටියේ මේ රජය සහ ජනාධිපතිවරයා පත් කිරීමට අන් කවර දා වත් නොවූ විරූ පරිදි පිටරට සිටි ශ්‍රී ලාංකිකයින් කැපවී කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් ඔවුන් රජය බලයට පත් කිරීමෙන් බලාපොරොත්තු වූ කිසිවක් මේ රටට හෝ ජනතාවට ඉටුකරදීමට වත්මන් රජය මේ වන විට අපොහොසත් වී ඇති බවටත් ඔවුන් චෝදනා මුඛයෙන් සඳහන් කලා.

විශේෂයෙන් ඊයේ (03) ලන්ඩනය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතා ව්‍යාපාර සඳහා ශ්‍රී ලාංකික සිංහල, මුස්ලිම්, දමිළ සියලු දෙනා එක්ව සිටි අතර එය ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින් විසින් පැවැත් වූ විශාලතම විරෝධතා ව්‍යාපාරයක් ලෙසටයි හැඳින්වුනේ.

මෙම විරෝධතා ව්‍යාපාරය ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පත්වුණා.

එමෙන්ම ඊයේ (03) ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ස්ථාන කිහිපයක ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මර්දනයට එරෙහිව විරෝධතා ගණනාවක් ක්‍රියාත්මක කර තිබුණා.

විශේෂයෙන්ම ඊයේ (03) දිනය තුළ සාපේක්ෂ වශයෙන් ලොව රටවල් ගණනාවක වෙසෙන ශ්‍රී ලංකාවේ පවතින පාලන තන්ත්‍රයට එරෙහිව වීදි බැස සිටීම විශේෂ සිදුවීමක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *