භාරකාර අමාත්‍ය මණ්ඩලයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව විමල් කියයි

භාරකාර අමාත්‍ය මණ්ඩලයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව විමල් කියයි

*********************************************

භාරකාර අමාත්‍ය මණ්ඩලයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව විමල් කියයි

(03.04.2022 – 18:00 +0530 – hirunews.lk/sinhala)

සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනපතිට සහ අගමැතිට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

අද (03) පස්වරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පවතින අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමේ අවශ්‍යතාවක් පවතින බවයි.

ඒ අනුව වත්මන් පාලනය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින අප්‍රසාදය සහ විරෝධයට විසදුම සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් බවයි විමල් වීරවංශ පෙන්වා දුන්නේ.

++++++++

02-04-2022
02-04-2022

++++++++

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නුදුරු දිනකදීම සිය ධූරයෙන් ඉවත් වීමට සැලසුම් කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරනවා.

හිරු ප්‍රවෘත්ති සමග අදහස් දැක්වූ එම ප්‍රකාශකයා සඳහන් කළේ පසුගියදා පැවති පක්ෂ රැස්වීමකදී උද්ගත වී ඇති තත්වය සමනය කර ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන දෙදෙනා වහාම තනතුරුවලින් ඉවත් කළ යුතු බවට දැඩි බලපෑම් එල්ල වූ බවයි.

මේ අවස්ථාවේදී අදහස් දක්වා ඇති නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ රාජපක්ෂ වරයෙකු ඉවත් වීම නම් ඒ වෙනුවෙන් තමන් තනතුර කැප කිරීමට සූදානම් බවටයි.

මේ වන විට රට තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරනය සමනය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් ඉවත්ව භාරකාර රජයක් පිහිටුවා එම තනතුර සුදුසු පුද්ගලයකු හට දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් වූ පසු ඒ තනතුර සඳහා පත් වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ ෴

+++++++++

විමල් හදිසියේ ම ජනපති හා අගමැති හමුවෙයි

(03.04.2022 – 18:39 +0530 – sinhala.adaderana.lk)

සියලු පක්ෂවලින් සමන්විත අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන ලෙස ට තමා ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී යෝජනා කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එහිදී නව අගමැතිවරයෙකු පත්කර ගැනීම සඳහා වන යෝජනාවක් ද ඉදිරිපත් කළ බව විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඉදිරි දින කිහිපය තුළ දී පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කළ යුතු බවට ජනාධිපතිවරයා ට ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබේ.

එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක නායකයින් සහ වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (04) පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා විද්වතුන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේ දී හෙට පෙරවරු 10:00 ට එම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

මෙහිදි රටේ පවත්නා වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජවාදී පක්ෂය, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂවල නායකයින් සහභාගී වීමට නියමිතය ෴

***************************************

ගයානුයි පේෂලයි live ඇවිත් කියපු කතාව (03.04.2022)

+

ප්‍රබලයින් තුන් දෙනෙකු (3) මානව හිමිකම් කොමිසමට ගෙන්වයි

(03.04.2022 – 19:44 +0530 – hirunews.lk/sinhala)

පොලිස්පතිවරයා, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලබන අඟහරුවාදා (05) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ සමාජ මාධ්‍ය වාරණය සහ පසුගියදා මිරිහානේදී මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුද්ගලයන්ට පහරදීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අද (03) පැවති හදිසි රැස්වීමකදී මේ පිළිබඳ තීරණයට එළඹි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එම කොමිෂන් සභාව රටේ උද්ගතවූ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (04) දිනයේ විශේෂ රැස්වීමක් කැඳවා තිබුණ ද යළි තීරණය කර ඇත්තේ අද එම කොමිසම හදිසියේ රැස්වීමටයි.

එහිදී ප්‍රධාන තීරණ 4 කට එළඹි බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර, ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති වන බවට ප්‍රමාණවත් කරුණු දැක්වීමකින් තොරව හදිසි නීතිය පැනවීම ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට ද මානව හිමිකම් කොමිෂන් සභාව එහිදී නිරීක්ෂණය කර තිබෙනවා.

රජයක් ලෙස වැඩි අවධානයක් යොමුකළ යුත්තේ ජනතාව මුහුණදී සිටින ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව සම්බන්ධයෙන් බවයි මානව හිමිකම් කොමිෂන් සභාවේ අදහස වී ඇත්තේ.

ජනතාවට සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා සමාජ මාධ්‍ය පැවතිය යුතු අතර ඒවා සීමා කිරීම හෝ වසා දැමීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව මානව හිමිකම් කොමිසම පෙන්වා දෙනවා.

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වෙත ඔවුන් දැනුම් දී ඇත්තේ යම් අයෙකු සමාජ මාධ්‍යය වැරදි ලෙස භාවිත කරන්නේ නම් ඔහුට එරෙහිව කටයුතු කළ හැකි නමුත් සමාජ මාධ්‍යය අවහිර කිරීම පිළිගත නොහැකි බවයි.

එබැවින් එම අවහිරතාව ඉවත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව, විදුලි සංදේශන කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම, සමාජ මාධ්‍ය අවහිර කිරීමට පියවර ගත්තේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමසා යම් තක්සේරුවකින් අනතුරුව ද යන්න සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා කොමිසම වෙත කැඳවා කරුණු විමසීමට ද අද රැස්වූ මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කළා.

එමෙන්ම පසුගිය දිනක රූපවාහිනියේ ප්‍රචාරය වු විරෝධතාවකදී උසස් පොලිස් නිලධාරියෙකු පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ ජනමාධ්‍යවේදීන්ට සිදුවූ පහරදීම හෙලා දකින බවත් ඊට අදාළව කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයා, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරින් ද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

+

තැන තැන විරෝධතා – පේරාදෙණියේ සරසවි සිසුන්ට කදුළු ගෑස්

(03.04.2022 – 19:48 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසක අද (03) දිනයේ විරෝධතා සංවිධාන කර තිබුණා.

ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සංවිධාන කර තිබූ විරෝධතාවකට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

විරෝධතාකරුවන් එම විශ්වවිද්‍යාලයේ සිට පාගමනින් මහනුවර නගරය දක්වා ගමන් කිරීමට උත්සාහ කළ ද පොලීසිය ගලහ මංසන්ධියේ මාර්ග බාධක යොදා විරෝධතාකරුවන්ගේ මග අවහිර කිරීමට පියවර ගත්තා.

එහිදී උණුසුම් තත්ත්වයක් ද හට ගත් අතර එම පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ඒ අතරතුරයි.

මේ අතර, සමගි ජනබලවේගය ද අද (03) කොළඹදී විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. ඊට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ද එක්ව සිටියා.

එහිදී විරෝධතාකරුවන් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලීසිය ඊට ඉඩ ලබා නොදීමත් සමග උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණා.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ විරෝධතාවක් අද (03) මහරගම නගරයේදී පැවති අතර, මහරගම පක්ෂ කාර්යාලයේ සිට ඔවුන් පාගමනින් ඔරලෝසු කණුව අසලට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

මහරගම ප්‍රදේශයේ තරුණ තරුණියන් පිරිසක් නගර මධ්‍යයේ තවත් විරෝධතාවක නිරත වුණා.

මේ අතර, හෝමාගම ප්‍රදේශයේ සංවිධාන කර තිබූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කර තිබූ අතර, රටේ පවතින අර්බුදකාරි තත්ත්වයන්ට විරෝධය පළ කර අදත් (03) ප්‍රදේශ රැසක විරෝධතා දියත් වුණා.

ඒ අනුව මීගොඩ, නුගේගොඩ – විජේරාම, රාගම – පේරලන්ද, ගාල්ල, නිකවැරටිය, ගම්පොල සහ කැළණිය ඇතුළු ප්‍රදේශවල එම විරෝධතා සංවිධාන කර තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

කොළඹ ෂැංග්‍රිලා නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පිරිසක් ද අද (03) පස්වරුවේ විරෝධතාවක නිරත වූ අතර, ඊට විදේශිකයින් පිරිසක් ද එක්ව සිටියා.

එමෙන්ම, මෙරට පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ද රටවල් රැසකදී විරෝධතාවල නිරත වූ අතර ඉන්දියාව, නවසීලන්තය, ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව ආදී රටවල්වල එම විරෝධතා සංවිධාන කර තිබූ බවයි වාර්තා වුණේ.

මේ අතර, ඊයේ (02) පස්වරු 6 ට දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය හෙට (04) උදෑසන 6 න් අවසන් වීමට නියමිතයි.

+

හෙට (04) පැය 5කට අඩු විදුලි කප්පාදුවක්

(03.04.2022 – 19:50 +0530 – hirunews.lk/sinhala)

හෙට (04) දිනයේ පැය හතර හමාරක (4½) විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ පැය හතක (7) විදුලි කප්පාදුවක් සදහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබූ බවයි.

එහෙත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දිවා කාලයේදී පැය 3 ත් 4 ත් අතර කාලයකටත් රාත්‍රි කාලයේදී පැය භාගයක (½) විදුලි කප්පාදුවකටත් අවසර ලබාදීමටයි මහජන උපයෝගිතා කොමිසම පියවර ගෙන ඇත්තේ.

+

ඇඳිරි නීතියෙන් ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු ගොඩගැසේ

(03.04.2022 – 19:54 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය පැනවීමත් සමග දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ආ එළවළු අලෙවි කරගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වෙළඳුන් පවසනවා.

අවම වශයෙන් ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව කල්වේලා ඇතිව දැනුවත් කළේ නම් තමන්ට සිදුවන පාඩුව අවම කර ගැනීමට හැකිව තිබූ බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.

මීගොඩ, මැණික්කුඹුර, මැනිං සහ තඹුත්තේම මෙන්ම කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ආ එළවළු තොග අලෙවි කර ගත නොහැකිවීමෙන් ඉවතට දැමීමට සිදුවූ බව ද වාර්තා වනවා.

+

අගමැති ඉල්ලා අස්වෙන්නේ නැහැ

(03.04.2022 – 20:10 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

කෙසේවෙතත් මීට පෙර අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නුදුරු දිනකදීම සිය ධූරයෙන් ඉවත් වීමට සැලසුම් කරමින් සිටින බවටයි ෴

+

හදිසි කැබිනට් රැස්වීමක් මේ මොහොතේ

(03.04.2022 – 20:47 +0530 – hirunews.lk/sinhala)

මේ මොහොතේ හදිසියේ කැඳවූ කැබිනට් රැස්වීමක් පැවැත්වෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා .

මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර බොහෝ විට ප්‍රබල අමාත්‍යවරයකු හෝ දෙදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ අස්වීමේ සූදානමකුත් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇතැම් විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම කැබිනට් රැස්වීමෙන් අනතුරුව සිය තනතුරෙන් ඉල්ලා අස් වනු ඇති බවටත් ඔහු සැක පළ කළා.

එමෙන්ම මෙම කැබිනට් රැස්වීමේදී අද (03) පැවැත්වීමට නියමිතව තිබුණු ජනතා උද්ඝෝෂණ මාලාව මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව බව ද වාර්තා වනවා.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට බඳුන් වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර ලබන අඟහරුවාදා (05) පාර්ලිමේන්තුව රැස් වූ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ එකොලහේ (11) කණ්ඩායම ස්වාධීනව අසුන් ගැනීමට තීරණය කර ඇති බවත් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති සමඟ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයෙකු කියා සිටියේ ඔවුන් මෙම තීරණයට එළැඹීමත් සමග ආණ්ඩු පක්ෂයේ මැති ඇමැති ධුර දරන තවත් 25 දෙනකු පමණ විපක්ෂයට එක්වීමට නියමිතව සිටින බවයි.

එසේ වුවහොත් පවතින රජයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී යනු ඇති.

අප සමඟ සමග වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඉදිරි සතිය මෙරට දේශපාලනයේ අතිශය තීරණාත්මක සතියක් වනු ඇති බවටයි.

+

කාර්යාල දුම්රිය ධාවනය හෙට (04) සාමාන්‍ය පරිදි

(03.04.2022 – 22:06 +0530 – hirunews.lk/sinhala)

කාර්යාල දුම්රිය ධාවනය හෙට (04) පෙ.ව. 6 න් පසු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඇඳරි නීතිය නිසා කාර්ය මණ්ඩලයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් උදෑසන ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *