සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් – අරගලය උණුසුම් වෙයි

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් – අරගලය උණුසුම් වෙයි

*********************************************

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් – අරගලය උණුසුම් වෙයි

(03.04.2022 – 11:23 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය ආරම්භ කළ විරෝධතාවට බාධා එල්ල වී තිබෙනවා.

ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා පිළිඋවෙතට විරෝධය පාමින් අද (03) පෙරවරුවේ කොළඹ කේන්ද්‍ර කරගනිමිනුයි ඔවුන් විරෝධතාව ආරම්භ කළේ.

මෙම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ මැදිහත් වීමත් සමග මේ වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

කොළඹ නිදහස් චතුරස්‍රය අවට මේ වනවිට විරෝධතාව පැවැත්වෙන්නේ රටටම බලාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක මොහොතකදීයි.

+++++++

+++++++

මාලඹේ නගරයේදී …. (03.04.2022)

+

ඩීසල් බෙදා හැරීම ඇරඹෙයි

(03.04.2022 – 12:05 +0530 – hirunews.lk/sinhala)

අද (03) සිට විදුලි උත්පාදනය සඳහා දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 3,500 ක් ලබාදෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එමෙන්ම අද (03) පස්වරුවේ සිට දිවයින පුරා පිරවුම්හල් වෙත ඩීසල් බෙදාහැරීම ආරම්භ කරන බවයි තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර ඉදිරි දිනවල විදුලි කප්පාදුව අවම කරගැනීමට හැකිවනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට බලශක්ති සහ විදුලිබල අමාත්‍යාංශය එකඟ වී ඇති නිසා එලෙස කටයුතු කළ හැකි බවයි.

අද (03) දිනයේදී පැය එකයි (1) මිනිත්තු 40 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

එමෙන්ම ඉන්ධන තොග ලැබීම හේතුවෙන් විදුලි කප්පාදුව අවම කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට උපදෙස් ලබා දී තිබෙනවා.

සැළසුම් කර තිබූ පැය හයක (6) විදුලි කප්පාදුව අද (03) දිනයේ පැයකුත් (1) මිනිත්තු 40 ක් දක්වා අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන්නා.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලැබීම සහ අපේක්ෂිත විදුලි ඉල්ලුම පහත වැටීම හේතුවෙන්.

මේ අතර අදත් (03) ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

+

පේරාදෙණිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය අරගලයට කඳුලු ගෑස් ප්‍රහාරයක්

(03.04.2022 – 13:14 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් විසින් මේ වනවිට සිදු කරමින් පවතින විරෝධතාවට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පවතින දූෂිත පාලනයට එරෙහිව අද (03) පස්වරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට පේරාදෙණිය – ගලහ මංසන්ධිය දක්වා සිසුන් ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී යි මෙලෙස කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

පේරදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයයි මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ ෴

+

ජනපති නිල වෙබ් අඩවිය බිඳ වැටුණේ ඇයි ? – ඇත්ත නැත්ත ගැන හෙළිදරව්වක්

(03.04.2022 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල වෙබ් අඩවි‍යට පිවිසීමේ යම් අපහසුතාවක් මේ වනවිට ඇති වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාලා මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ, මෙය සමාජ මාධ්‍ය ජාලා හැකර්වරුන් පිරිසක් විසින් සිදු කරන ලද්දක් බවයි.

කෙසේවෙතත් ඒ පිළිබඳ මෙතෙක් පිළිගත හැකි නිල නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් හෝ විදුලි සංදේශ නියාමන කොමිෂම මගින් නිකුත් කර නැහැ.

මේ පිළිබඳ අප ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙකුගෙන් සිදු කළ විමසීමකදී, ඔහු කියා සිටියේ මෙය කෘත්‍රීම ව නිර්මාණය (Artificial Traffic Generation) වන ලද දෙයක් බවයි.

කෙසේවෙතත් ගුවන් හමුදා සයිබර් අවකාශ මෙහෙයුම් කණ්ඩායම් විසින් ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

+

සමාජ මාධ්‍ය යළි සක්‍රීය කරන්නැයි මහජන උපයෝගීතා කොමිසම ඉල්ලයි

(03.04.2022 – 14:18 +0530 – hirunews.lk/sinhala)

සියලු සමාජ මාධ්‍ය යළි සක්‍රිය කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි සන්දේශ නියාමන කොමිසමෙන් සහ ජංගම දුරකථන සමාගම්වලින් ඉල්ලීමක් කරනවා.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිය කප්පාදුව පිළිබඳ ව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට අවශ්‍ය බැවින් එම පියවර ගන්නා ලෙසයි.

සමාජ මාධ්‍ය අක්‍රිය වීම තුළ අදාළ දැනුවත් කිරීම් සිදුකළ නොහැකි බව එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

+++++++

සමාජ මාධ්‍ය ජාලා පිවිසුම අද (03) පස්වරුවේ යථා තත්ත්වයට

(03.04.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍යයට පිවිසීමට පැවති අවහිරතාව මේ වනවිට ඉවත් කර තිබෙනවා.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත සිල්වා ප්‍රකාශ කලේ අද (03) පස්වරු 03:30 සිට එම අවහිරතාවන් ඉවත් කළ බවයි.

යූ ටියුබ්, ෆේස්බුක්, වට්ස්ඇප්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය පරිහරණයට ඊයේ (02) රාත්‍රියේ සිට බාධා ඇතිව තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමක් අනුවයි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවීමට තාක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබුණේ.

+

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ

(03.04.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala)

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අපරාධ කල්ලි සමාජිකයෙකු වන ‘සිංහ ආරච්චිගේ සහන් නවෝද්‍ය’ නොහොත් ‘පැන්ඩා’ විසින් භාවිත කරන ලද විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි ඊයේ (02) පස්වරුවේ මෙම වැටලීම සිදු කෙරුණේ.

ඒ කඩවත පොලිස් වසමේ කැලණිය දික්පිටිගොඩ ප්‍රදේශයේ දී යි.

මිනීමැරීම් චෝදනාවකට මේ වනවිට පොලිස් රැඳවුම් භාරයේ සිටින පැන්ඩා නමැති සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ගිනි අවි තොගය සොයා ගැනුණේ.

මෙම ගිනි අවි අතර තිබී චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක්, පතුරම් ගැබ 01 ක් සහ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 23 ක් ද සොයා ගැනුණා.

වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සඳහා අවි අයුධ කුලී පදනම මත ලබාදෙන බවට කරුණු කඩවත පොලීසියට මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴

+

වානේ කම්බි මිල යළි ඉහළට

(03.04.2022 – 14:37 +0530 – hirunews.lk/sinhala)

යළිත් වරක් වානේ කම්බි ටොන් එකක මිල රුපියල් 85,000 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය මාර්තු මස 10 වැනිදා රුපියල් 2,54,500 කට පැවති වානේ කම්බි ටොන් එකක මිල මේ වනවිට රුපියල් 3,39,500 ක්.

ඒ අනුව මීට පෙර රුපියල් 1,040 කට අලෙවි වූ මිලිමීටර් 10 වානේ කම්බියක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 1,268 කටයි.

රුපියල් 1,500 කට අලෙවි වූ මිලිමීටර් 12 වානේ කම්බියක් මේ වනවිට රුපියල් 1,887 කට අලෙවි වන අතර, රුපියල් 2,725 කට අලෙවි වූ මිලිමීටර් 16 වානේ කම්බියක් මේ වනවිට රුපියල් 3200 කට අලෙවි කෙරෙනවා.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මෙලෙස මිල ඉහළ යෑමට හේතු වී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම, මේ වනවිට වානේ කම්බි හිඟයක් වෙළෙඳපොළ තුළ පවතින බව ද වාර්තා වනවා.

මේ අතර, පසුගිය සිකුරාදා දේශීය වශයෙන් නිෂ්පාදිත සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නැංවීමට පියවර ගත්තා.

ඒ අනුව රුපියල් 1,850 ක්ව පැවති කිලෝග්‍රෑම් පනහේ (50) සිමෙන්ති කොට්ටයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 2,350 කටයි ෴

+

රුපියල් මිලියන 4.5 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(03.04.2022 – 15:22 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම – තොට්ටක්කාඩු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ග්‍රෑම් 563 ක පමණ වූ මෙම අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 4.5 කට අධිකයි.

මෙම අයිස් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් ෴

+

ප්‍රබලයින් තිදෙනකු (3) මානව හිමිකම් කොමිසමට කැඳවයි

(03.04.2022 – 15:23 +0530 – hirunews.lk/sinhala)

පොලිස්පතිවරයා, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලබන අඟහරුවාදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ සමාජ මාධ්‍ය වාරණය සහ පසුගියදා මිරිහානේදී මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුද්ගලයන්ට පහරදීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අද (03) පැවති හදිසි රැස්වීමකදී මේ පිළිබඳ තීරණයට එළඹි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ ෴

+

ජනපති නිවස අසල දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(03.04.2022 – 16:08 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස ආසන්නයේදි පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

විදුලි කප්පාදුව නතර කරන ලෙසට ඉල්ලා මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිවස ආසන්න්නයේ ඇති විදුලි ට්‍රාන්ස්පෝමර් කණුවකට නැග ඇති අතර එහිදී විදුලිසැර වැදීමෙන් ඔහු මරණයට පත් වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයා එම අවස්ථාව වන විට මත්පැන් පානය කර සිට ඇතැයි ද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴

+

නාමල් රාජපක්ෂගේ බිරිඳ රට හැර යයි

(03.04.2022 – 16:26 +0530 – hirunews.lk/sinhala)

රජයට එරෙහිව නැගෙන මහජන විරෝධතා මධ්‍යයේ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද (03) උදෑසන රටින් පිටව ගොස් ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කරනවා.

ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ ස්ථානයකට බව ආරංචි මාර්ග තහවුරු කරන බවයි එම සමාජ මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙක් ලේලියන් දෙදෙනාද (2) රට හැර ගොස් තිබේද යන්න අපැහැදිලි බවද වාර්තා වෙනවා.

මේ අතර ඊයේ (02) රාත්‍රියේ පුද්ගලයන් 9 දෙනෙකු රට හැර ගොස් ඇති බව සදහන් ෴

+

ඇදිරි නීතිය නිසා නුවරඑලියේ ලොරිවලට පැටවූ එළවළු ආපසු බායි..

(03.03.2022 – 02:10 +0530 – lankacnews.com)

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් පිට පළාත් වලින් ආර්ථික මධ්‍යස්ථාන වලට යැවිමට තිබු එලවළු විශාල ප්‍රමාණයක් පැන වු ඇදිරි නිතිය හේතුවෙන් යැවිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේදි (02) දින පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලින් පැනවු ඇදිරි නිතිය නිසා එලවළු එවිමට කටයුතු නොකරන ලෙසට කල දැනුම් දිමක් මත ලොරි රථ වලට පටවා තිබු එලවළු ආපසු ලොරි රථවලින් බැමට සිදු වු බවයි.

ඇදිරි නිතිය පනවන බව (02) දින උදැසන දැනුම් දුන්නේ නම් ගොවින්ගෙන් එලවළු මිල දි නොගෙන සිටිමට තිබු බවත්, ගොවින්ගෙන් මිල දි ගත් එලවළු ආර්ථික මධ්‍යස්ථාන තුලම විනාශ වන බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *