ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි

ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි

*********************************************

ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි

(03.04.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (02) පස්වරු 6 සිට පැනවූ ඇඳිරි නීතිය මේ වනවිට ක්‍රියාත්මකයි.

එය හෙට (04) පෙරවරු 6 බලාත්මක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ කිසිදු තැනැත්තෙකු යම් පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ නොසිටිය යුතු බවට ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය හෝ එම අමාත්‍යාංශ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය හෝ එම ලේකම් හෝ පොලිස්පති හෝ ඔවුන් විසින් බලය ලබාදෙන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක් යටතේ මිස එවැනි ස්ථානවල රැඳී නොසිටිය හැකි බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම ගැසට් නිවේදනය පරිපාලන දිස්ත්‍රික් 25 ආවරණය වන පරිදියි නිකුත් කර ඇත්තේ.

ඇඳිරිනීතිය පැනවීමත් සමඟ ඊයේ (02) රාත්‍රියේ සිට මේ දක්වාම දිවයිනේ ප්‍රධාන නගර වල පාලු ස්වභාවයක් දිස් වූ අතර සියලු ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි පොලිස් සහ හමුදා මාර්ග බාධක යොදවා ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සහ විදේශ දූත මණ්ඩලවල රාජකාරියේ නිරතවූවන්ට සිය හැඳුනුම්පත ඉදිරිපත් කර රාජකාරියට වාර්තා කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ සහ මාධ්‍ය ආයතනවල රැකියා කරන පිරිස් වලට එලෙස ගමන් කල හැකි වනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ගුවන් තොටුපල වෙත ගමන් කරන සහ ගුවන් තොටුපලේ සිට පැමිණෙන මගීන්ට තම ගුවන් ටිකට්පත ඉදිරිපත් කර ගමන් කිරීමේ හැකියාව ලැබෙන බවයි.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (03) නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ නර්තන සහ සංගීත විෂයන්වලට අදාළව අද (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රායෝගික පරීක්ෂණ පමණක් නොපැවැත්වෙන බවයි.

එම අපේක්ෂකයින් හෙට (04) දිනයේ පරීක්ෂණය මණ්ඩලය වෙත පැමිණ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා නැවත දිනයක් ලබාගන්නා ලෙස ද එහි දක්වා තිබෙනවා.

ඇඳිරිනීතිය පැනවීමත් සමඟ අද (03) පැවැත්වීමට සැලසුම් කර තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාග නැවත දැනුම් දෙනතුරු කල්දමන බව බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් කපිල ගුණවර්ධන සඳහන් කළා.

මේ අතර, හෙට (04) පෙරවරු 6 දක්වා පොදු ප්‍රවාහන සේවාවන් කිසිවක් ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා. අමාත්‍යවරයා කියා සිටියේ මගී ප්‍රවාහන බස් රථ සහ දුම්රිය කිසිවක් අද (03) ධාවනය නොවන බවයි.

කෙසේ වෙතත් ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අද දින තුල ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර ඇදිරි නීතිය පනවා තිබියදී ඊයේ (02) රාත්‍රියේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

පොලීසිය සඳහන් කළේ ඇඳිරිනීතිය උල්ලංඝණය කරමින් ක්‍රියා කරන පිරිස් වලට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි ෴

***************************************

ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 664 දෙනෙකු ගතවූ පැය කිහිපය තුළ දී අත්අඩංගුවට

(03.04.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (02) රාත්‍රියේ සිට අද (03) උදෑසන 06 දක්වා බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 664 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක මොහොතේ දී එකී නීතියට පටහැනිව ක්‍රියාකරන්නන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි බස්නාහිර් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ෴

***************************************

මානව හිමිකම් කොමිසම, මහජන හදිසි තත්ත්වය ගැන සාකච්ඡාවක

(03.04.2022 – 07:21 +0530 – hirunews.lk/sinhala)

රට තුළ මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය දැනුම්දීම සඳහා විශේෂ රැස්වීමක් හෙට (04) කැඳවා තිබෙනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ එවැනි තත්ත්වයක් පැනවීමෙන් අදහස් කරන්නේ කුමක්ද සහ ඊට පසුබිම් වූ හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි.

මිරිහානේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඇති වූ සිද්ධියෙන් අනතුරුව රට තුළ මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විසි දෙදෙනෙකු (22) ඇපමත මුදාහැරුණු අතර, තවත් 29 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගැනුණේ ෴

***************************************

සාමකාමී අරගලවලට පුරවැසියන්ට ඉඩ දෙන්න – ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

(03.04.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala)

සාමකාමී ව විරෝධතා දැක්වීමට පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති පුරවැසි අයිතියට බාධා නොදා, එය තහවුරු කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි, අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

විරෝධතා පැවැත්වුව ද, එම විරෝධතාකරුවන් ද ප්‍රචණ්ඩත්වයට සහ පොදු දේපළවලට හානි නොකර, සාමකාමී අයුරින් අරගල කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පසුගිය දා මිරිහානේ පැවති විරෝධතාව අතරතුර මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් ද ජනමාධ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කර තිබෙනවා.

අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ පෙන්වා දෙන්නේ, මාධ්‍යවේදීන්ට සිය වෘත්තීමය කටයුතුවලට බාධාකොට, සිදුකළ පහරදීම ජනමාධ්‍ය නිදහස පළුදු කිරීමක් බැවින්, එම සිද්ධිය තමන් තරයේ හෙළා දකින බවයි ෴

***************************************

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොහොයුරා අල්ලන්න විශේෂ පොලිස් කණ්ඩායමක්

(03.04.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම වත්මන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීම සඳහා හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විශේෂ පොලිස් කණ්ඩායමක් අනුයුක්ත කර තිබෙනවා.

පහර දී තුන් දෙනෙකුට (3) තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකෙරෙන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

ජනතා විමුක්ති පෙරමුණේ හලාවත ආසන සංවිධායක සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් ගිහාන්ගේ නිවසට පළමුව ඊයේ (02) පස්වරුවේ පැමිණි ඔහු විසින් පහරදීමක් සිදුකර ඇති අතර, පසුව ඔහු එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට ද ගොස් පහරදීමක් සිදුකර තිබෙනවා.

එහිදී පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ලොරි රථ දෙකකට (2), වෑන් රථයකට (1), යතුරුපැදි දෙකකට (2) සහ ත්‍රීරෝද රථයකට (1) හානි සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ දෙදෙනෙකු (2) මේ වනවිට හලාවත මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මීට පෙර 2020 වසරේදී ජගත් සමන්ත පෙරේරාට ආනවිලුන්දාව කුරුළු අභය භුමිය සහ රැම්සා තෙත් බිමට අයත් කොටසක් ඉස්සන් පොකුණු තැනීම සදහා නීති විරෝධි ආකාරයෙන් ඩෝසර් කිරීමේ සිද්ධියට අදාළව ද චෝදනා එල්ල වුණා ෴

***************************************

රුපියලේ මේ දක්වා අවප්‍රමාණය 33% ක්

(03.04.2022 – 07:40 +0530 – hirunews.lk/sinhala)

වසරේ මුල් මාස 03 තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 33% කින් අවප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ මුල් මාස දෙක (2) තුළ රුපියල පුළුල් ලෙස ස්ථාවරව තබාගත නමුත් මාර්තු මුල් සතියේ විනිමය අනුපාතිකයට ඉහළ නම්‍යශීලිතාවක් ලබාදීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වූ බවයි ෴

***************************************

බෙහෙත්වලට ඩොලර් මිලියන විස්සක් (20) දෙයි

(03.04.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස 3 සඳහා අවශ්‍ය හිඟ ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ආනයනය සඳහා මුදල් අමාත්‍යංශය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඩොලර් මිලියන 20 ක මුදලක් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව ඉදිරි මාස 3 තුල ඖෂධ සැපයීම කළමනාකරණය කර ගැනීමට හැකි වනු ඇති බවයි.

ඉදිරි මාස 3 සඳහා අවශ්‍ය හිඟ ඖෂධ ආනයනයට ඩොලර් මිලියන 22 ක මුදලක් අවශ්‍යව තිබු බවද ඔහු ප්‍රකාශ කළා.

මේ වනවිට හදිසි සහ අත්‍යවශ ඖෂධ 14 න් ඖෂධ 9 ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය් ආරංචි මාර්ග සඳහන් කරන අතර එම ඖෂධ තොග ප්‍රමාණවත් වන්නේ ඉදිරි මාස එකහමාරක (1½) කාලය සඳහා පමණක් බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට අවශ්‍ය ඖෂධ සපයා ගැනීම සඳහා ඩොලර් මිලියන 80 ක ණය මුදලක් ද ඉදිරියේ දී ලැබීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ ඉදිරියේදී මෙරටට ලැබෙන ඖෂධ අරපිරිමැස්මෙන් භාවිතා කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ලබන සතියේදී විශේෂඥයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි ෴

***************************************

අද (03) විදුලි කප්පාදුව අඩුවෙයි

(03.04.2022 – 07:27 +0530 – hirunews.lk/sinhala)

මීට පෙර සැලසුම් කළ පරිදි පැය 06 කට ආසන්න කාලයක් සිදුකිරීමට නියමිතව තිබූ අද (03) දිනයේ විදුලි කප්පාදුව පැය 01 යි මිනිත්තු 40 ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලැබීම සහ අද (03) දිනයේ අපේක්ෂිත විදුලි ඉල්ලුම පහත වැටීම මීට හේතු වී ඇති බවයි.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාපවලට මෙන්ම පී සිට ඩබ්ලිව් දක්වා වන කලාප සඳහා අද පස්වරු 5.30 සිට රාත්‍රි 10.30 අතර කාලයේදී මෙලෙස පැය 01 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

විදුලි හා බලශක්ති අමාත්‍යාංශවලින් විදුලි ජනනය සඳහා ඉන්ධන ලබාදෙන බවට ලිඛිත සහතිකයක් ලබාදී තිබෙනවා. ඒ අනුව ඉන්දීය ණය ආධාර යටතේ ඊයේ (02) ලැබුණු ඩීසල් තොගයෙන් මෙට්‍රික් ටොන් 12,000 ක් විදුලි ජනනය සඳහා ලබාදෙනු ඇති. එසේම, එල්.අයි.ඕ.සී. සමාගමෙන් ලද ඩීසල් මෙට්‍රික් ටොන් 6,000 ක් ද විදුලි ජනනය සඳහා ලබා දී තිබෙනවා.

එසේම, ඉන්දීය ණය ආධාර යටතේ අප්‍රේල් 05 හෝ 06 දිවයිනට ලැබෙන ඩීසල් තොගයෙන් මෙට්‍රික් ටොන් 12,000 ක් මෙන්ම ඉන්දීය ණය ආධාර යටතේ දැවිතෙල් මෙට්‍රික් ටොන් 25,000 ක් ද අප්‍රේල් 06 හෝ 07 වැනිදා ලැබෙනු ඇති ෴

+

සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම අනුමත කරන්නේ නැහැ – ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියයි

(03.04.2022 – 10:22 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ක්‍රියාව කිසිසේත්ම තමන් අනුමත නොකරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම වැනි ක්‍රියා අතිශයින් ම නිෂ්ඵල වන්නක් බවයි.

තමන් ද මේ වනවිට VPN ක්‍රමවේදය භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි වෙත පිවිස පරිශීලනය කරන බවත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

එබැවින් මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින්, තවදුරටත් අර්බුද ඇති නොකර, මීට වඩා ප්‍රගතිශීලී අයුරින් ක්‍රියා කිරීමට වගකිව යුතු බලධාරින් පියවර ගත යුතු බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර, ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාව තුළ භාවිත වන සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට පියවර ගෙන තිබුණා.

ශ්‍රී ලංකා තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඊයේ (02) ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසෙන මාර්ග සියල්ල තාවකාලිකව අක්‍රීය කළ බවයි.

++++++

හදිසි නීතිය ගැන ජාත්‍යන්තර‍යේ නොසතුට

(03.04.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala)

මෙරටට හදිසි නීතිය පැනවීම පිළිබඳව යුරෝපා සංගමය ට්විටර් සටහනක් තබමින් සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

එමෙන්ම ජනතාවගේ සාමකාමී විරෝධතාව පළ කිරීමේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය සුරක්ෂිත කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

මෙය ශ්‍රී ලාංකිකයින්ට අසීරු කාලයක් බවත් මෙම තත්ත්වය යුරෝපා සංගමය සමීපව නිරීක්ෂණය කරන බවත් එම ට්විටර් සටහනේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.

මේ අතර මෙරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සහ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොගර් ෂූබට් මහතා සඳහන් කර ඇත්තේ හදිසි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට මිස රජයට නොවන බවයි.

ජනතාව මුහුණ දෙන හදිසි තත්ත්වය මත ඔවුන් වීදී විරෝධතාවලටවලට යොමු වුණා විනා ඔවුන් වීදී බැසීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ඇති නොවූ බව තානාපතිවරයා පෙන්වා දෙනවා.

එබැවින් හදිසි තත්ත්වයේ හේතුව සහ ප්‍රතිඵලය පටලවා නොගය යුතු බව ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්.

+

ඉදිරි දිනවල විදුලි කප්පාදුව අවම වන ලකුණු

(03.04.2022 – 10:32 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දිනවල විදුලි කප්පාදුව අවම කරගැනීමට හැකිවනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරනවා.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට බලශක්ති සහ විදුලිබල අමාත්‍යාංශය එකඟ වී ඇති නිසා එලෙස කටයුතු කළ හැකි බවයි.

අද (03) දිනයේදී පැය එකයි (1) මිනිත්තු 40 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි ෴

+

හදිසි නීතිය / ඇඳිරිනීතිය මහජන ආරක්ෂාව සහතික කිරීමට පමණයි – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

(03.04.2022 – 10:54 +0530 – hirunews.lk/sinhala)

හදිසි අවස්ථා නීතිය හා ඇඳිරිනීතිය පනවනු ලැබුවේ, සාමය, ජන ජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටින බවයි.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්‍රවර්ධනය කිරීම රජය ප්‍රතිඥා දී පිළිගෙන ඇති ප්‍රතිපත්තියක්.

පසුගිය වසර දෙකට වැඩි කාලය තුළ ඒ බව ප්‍රායෝගික සනාථ වන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

හදිසි නීතිය සහ ඇඳිරිනීතිය ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *