ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටෙලිග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාව තුළ අවහිරවේ

ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටෙලිග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාව තුළ අවහිරවේ

*********************************************

ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටෙලිග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාව තුළ අවහිරවේ

(03.04.2022 – 00:41 – gossiplankanews.com)

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ගණනාවකට පිවිසීම අවහිර වී ඇති බව වාර්තාවේ. මේ අතර ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටෙලිග්‍රෑම් ද තිබෙන බව වාර්තාවේ. මෙම අවහිර වීම අප්‍රෙල් 03 රාත්‍රී 12 සිට වාර්තාවන්නට පටන්ගෙන ඇත.

පසුගිය දිනවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉඟි කර තිබුනේ සමාජ මාධ්‍ය තුළ කැරළිකාර තත්වයන්ට පෙළැඹවීම් ඇතිවන්නේ නම් ඉදිරියේදී තාවකාලික අවහිරවීම් සිදුවිය හැකි බවය.

පසුගිය යහපාලන රජය යටතේද මහජන කැළඹීම් අවස්ථා ගනනාවකදී සමාජ මාධ්‍ය අවහිර කිරීම් සිදු කෙරිණි ෴

+++++++

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය අත්හිටවූ බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා පිළිගනියි

(03.04.2022 – 07:33 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටවූ බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, යු ටියුබ් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක ක්‍රියාකාරිත්වයට මෙම තාවකාලික අත්හිටුවීම බලපැවැත්වෙනු ඇති.

මේ අතර ඊයේ (02) රාත්‍රී 10 සිට අද (03) උදෑසන හය (6) දක්වා වන කාලයේදී බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය කඩකළ සැකකරුවන් 664 දෙනෙකු අත්අංඩගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරනවා.

එම කාලය තුළ පොලිස් මාර්ග බාධක සහ ජංගම සංචාර ක්‍රියාත්මක කරමින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි ඔවුන් සඳහන් කළේ ෴

++++++++

ඕෂධ සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(03.04.2022 – 09:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමිනි සිටි ඕෂධ සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉහළ ආරංචි මාර්ග සඳහන් කළේ, සභාපතිවරයා අද (03) පෙරවරුවේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශය විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසෙන මෙරට ක්‍රියාත්මක සියලු වෙබ් අඩවි තාවකාලිකව ක්‍රියාවිරහිත කරන ලෙස ඊයේ (02) තම අමාත්‍යාංශයට උපදෙස් ලබාදුන් බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා.

ඒ අනුව ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප්, ට්විටර් සහ ටෙලිග්‍රෑම් ආදි වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාව අහිමි වී තිබෙනවා ෴

***************************************

අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම මැදිහත් වෙයි

(02.04.2022 – 19:52 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන අනුරුද්ධ බණ්ඩාරට නීතිඥ සහය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.

ඔහු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළේ.

ඔහුට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනාව වන්නේ රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීම සහ ඒ සඳහා පෙළඹවීම් ඇති කිරීම බව සඳහන්.

අදාළ තරුණයා කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇති බවට සමාජ මාධ්‍යයේ විවිධ ප්‍රචාර පළ වූ අතර, එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.

ඔහු කියා සිටියේ එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ෴

++++++++

අධිකරණයට ඉදිරිපත් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සරසවි සිසුවාට ඇප

(03.04.2022 – 02:58 +0530 – hirunews.lk/sinhala)

පැහැරගැණුනු බවට සමාජ මාධ්‍යයේ පළ වූ අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා.

අදාළ තරුණයා රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරීව අදහස් පළ කළ අයෙක්.

අනුරුද්ධ බණ්ඩාර නම් මෙම විශ්වවිද්‍යාල සිසුවා පෙරේදා (01) රාත්‍රීයේ කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගිය බවට සමාජ මාධ්‍යයේ විවිධ වාර්තා පළ වී තිබුණා.

සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් කණ්ඩායමක් විසින් මෙම තරුණයා රැගෙන ගොස් ඇති බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර එහි සඳහන් වූයේ මධ්‍යම රාත්‍රී 12:15 ට සිවිල් ඇඳුමෙන් පැමිණි මෝදර පොලිසියේ යැයි කියාගන්නා කණ්ඩායමක් විසින් අනුරුද්ධ පැහැර ගෙන ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම තරුණයාව සිය භාරයට ගෙන ඇති බවයි.

පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එම තරුණයාට නීතිඥ සහය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස පොලිසියට දැනුම් දී තිබුණා.

එම කොමිසම සඳහන් කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ පොලිසිය අදළා තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව අනුරුද්ධ බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වන්නේ රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීම සහ ඒ සඳහා පෙළබවීම් ඇති කිරීමයි.

අත්අඩංගුවට ගත් තරුණයාගේ පියා ද ඔහු රදවා සිටින මෝදර පොලිසියට පැමිණ තිබුණා.

පොලිස් අත්අඩංගුවේ පසුවන අනුරුද්ධ බණ්ඩාරට නීතී සහය ලබා දීම සඳහා පස්වරු 2 ට පමණ නීතිඥවරුන් පිරිසක් මෝදර පොලිසියට පැමිණ තිබිණා.

මනූෂ නානායක්කාර සහ හර්ෂ ද සිල්වා යන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ද මෝදර පොලිසියට පැමිණියා.

මේ අතර අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට එරෙහිව මෝදර පොලිසිය ඉදිරිපිට පිරිසක් නිහඬ විරෝධතාවක් ද පැවැත්වුණා.

පස්වරු 5:30 ට පමණ අදාළ තරුණයාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය අතර මධ්‍යම රාත්‍රිය වන තෙක් ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

එම තරුණයාව අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන බවට පොලිසිය කළ දැනුම්දීමක් අනුව නීතිඥයින් බොහෝ පිරිසක් එම උසාවි සංකීර්ණයට පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (02) පස්වරු 7:40 ට පමණ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා.

ඒ සමාජ මාධ්‍ය ජාලා මඟින් මහජනයා කැළඹීමට පත්වන ආකාරයේ පුවත් පළ කල පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම යන ලිපි ශීර්ෂය යටතේයි.

එහි සඳහන් වන්නේ අදාළ තරුණයා ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේදී ඊයේ (02) අළුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එසේම කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරු පදිංචි පොලිස් වසමේ පිහිටි පොලිස් ස්ථානයේ නිලධාරීන්ද සමඟ නිල ඇඳුමින් ගොස් ඔහුගේ නිවසේදී ඥාතීන් ඉදිරිපිට නීත්‍යානුකූල ලෙස ඔහුව අත්අඩංගුවට ගෙන මෝදර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අත්අඩංගුවට ගත් තරුණයා කොළඹ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේවන්තුවේද සහය ලබා ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසනවා.

***************************************

මිරිහාන සිද්ධියට අත්අඩංගුවට ගත් තවත් 23 ක් අනිද්දා තෙක් රිමාන්ඩ්

(02.04.2022 – 19:55 +0530 – hirunews.lk/sinhala)

මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගෙන කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන 23 දෙනෙකු අනිද්දා (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් පරිදි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මොවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තුරු මෙම නියෝගය ලබාදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස ආසන්නයේ පෙරේදා සිදුවූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 53 දෙනාගෙන් 28 දෙනෙකු ඊයේ (01) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් 22 දෙනෙකුට ඇප හිමිවූ අතර, තවත් හයදෙනෙකු (6) අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. සඳුදා (04) දිනයේදී ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, මෙම සැකකරුවන් ඊයේ (01) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න සඳහන් කළේ මාධ්‍යවේදී සංජීව ගල්හේන අධිකරණයට ඉදිරිපත් නොකලේ ඇයි ද යන්නයි.

14 වන ව්‍යවස්ථාව යටතේ භාෂනයේ නිදහස වෙනුවෙන් ඔහු කටයුතු කර ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ නම් සිදුව ඇති තුවාල දැක ගත හැකි අතර එසේ සිදුනොකර ඔහුට පොලිස් ඇප ලබාදී ඇති බව ද ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවේ කෲර වඳහිංසනයට ලක්වීම යටතේ මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවී ඇති අතර, එයින් සිදුවන අපවාදය වළක්වා ගැනීමට මාධ්‍යවේදී සංජීව ගල්හේනට පොලිස් ඇප ලබාදීමට කටයුතු කර ඇති බවයි.

එසේම සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදීව මහජනතාව සිදුකළ විරෝධතාවයේදී කිහිපදෙනෙකු අනර්ථ ක්‍රියාවක නිරතව ඇති අතර, රට තුල දක්ෂ ඔත්තු සේවයක් සිටියදී ඔවුන් හඳුනා ගැනීමට නොහැකිව ඇත්තේ ඇයිදැයි යනුවෙන් ද ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියා.

මෙම විරෝධතාවයේ සාධාරණත්වය කෙලසීම සඳහා කූඨ අරමුණින් කුමන්ත්‍රණයකින් සිදුකළ ව්‍යසනයක් ද යන්න සැක ඇති අතර, එසේ වීම තුල රට තුල විරෝධයක් පැවතියහොත් අත්අඩංගුවට ගැනීම් සිදුවන නිසා ජනතාව බියගැන්වීම එහි අරමුණ විය හැකි බවයි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේ.

උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපලවලට හානි සිදුකරන්නේ නම් පොලීසිය ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි ෴

***************************************

සඳුදා (04) උදෑසන 6 තෙක් දිවයිනටම ඇඳිරි නීතිය දැන් ක්‍රියාත්මකයි – හෙට බස් සහ දුම්රිය නැහැ

(02.04.2022 – 20:03 +0530 – hirunews.lk/sinhala)

අද (04) පස්වරු 6 සිට සඳුදා පෙරවරු 6 දක්වා දිවයින පුරා පනවන ලද ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මකයි.

රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව සඳහන් කලේ මහජන ආඥා පනතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

ඇඳිරි නීතිය නිවේදනය කිරීමත් සමඟ ප්‍රදේශ රැසක ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල් වෙත විශාල ලෙස එක්රැස්වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත් ඇඳිරි නීතිය පනවා තිබුනද ප්‍රධාන නගර වල සිට ගම්මාන වෙත මගීන් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංගම බස් රථ අද අවසන් ගමන් වාරය දක්වා ධාවනය කිරීමට උපදෙස් ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ හෙට (03) දිනයේ කිසිදු බස් රථයක් ධාවනය නොවෙන බවයි.

එමෙන්ම සියලු පෞද්ගලික බස් රථ ධාවන කටයුතු අද (02) රාත්‍රී 7 න් පසුව අත්හිටුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතී ගැමුණු විජේරත්න කියා සිටියා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ රාත්‍රි තැපැල් දුම්රිය හැර අද (02) දිනට නියමිත සියලු දුම්රිය අද (02) මධ්‍යම රාත්‍රිය දක්වා සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි.

කෙසේ වෙතත් හෙට (03) දිනයේ කිසිදු මගී ප්‍රවාහන දුම්රියක් ධාවනය නොවන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති කියා සිටියේ ඇඳිරිනීති කාල සීමාව තුල විදේශ ගත වන පුද්ගලයන්ට ගුවන් ගමන් බලපත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බවයි.

එමෙන්ම, විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට ගුවන් ටිකට්පත ලබා දීමෙන් පසු ලබා දෙන බලපත්‍රය භාවිතා කරමින් ඇඳිරි නීති කාලයේදී නිවෙස් වෙත ගමන් කිරීමට හැකි වනවා ෴

***************************************

ජනපතිගෙන් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්

(02.04.2022 – 21:33 +0530 – hirunews.lk/sinhala)

අද (02) පස්වරු 6 සිට ලබන සඳුදා (04) පෙරවරු 6 දක්වා පොදු ස්ථානවල ජනතාව ගැවසීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මහජන ආරක්ෂ ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය හෝ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යංශය හෝ පොලිස්පති හෝ ඔවුන් විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස අදාළ කාලය තුල කිසිම පුද්ගලයෙකු පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ නොසිටිය යුතු බවටයි එම ගැසට් නිවේදනය මගින් විධාන කර ඇත්තේ.

***************************************

දිවයිනේම ප්‍රාථමික පාසල් සිසුන්ට හෙට (04) සිට නිවාඩු

(03.04.2022 – 09:09 +0530 – hirunews.lk/sinhala)

හෙටින් (04) ඇරඹෙන සතිය තුළ සමස්ත දිවයිනේම ප්‍රාථමික පාසල්වල දරුවන් ද පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළේ උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල වාරවිභාග අවසන්ව ඇති බැවින් හයේ (6) සිට 13 ශ්‍රේණිය දක්වා එම පළාත්වල පාසල්වල දරුවන් පාසල් කැඳවීමට අවසර හිමි නොවන බවයි.

විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන් අපහසුතාවට පත්වන නිසා හෙට (04) සිටම පාසල් නිවාඩුව ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වල පාසල් කැඳවිය හැක්කේ වාර විභාග පැවැත්වීමට නියමිත සිසුන් පමණයි.

මෙම සතිය තුළ අත්‍යවශ්‍යම කටයුතු සඳහා දරුවන් පාසල් කැඳවන්නේ නම් ඊට විදුහල්පතිවරුන් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් අවසර ලබාගත යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *