මිරිහාන සිද්ධියට තවත් 23 දෙනෙකු රිමාන්ඩ්

මිරිහාන සිද්ධියට තවත් 23 දෙනෙකු රිමාන්ඩ්

*********************************************

මිරිහාන සිද්ධියට තවත් 23 දෙනෙකු රිමාන්ඩ්

(02.04.2022 – 15:13 +0530 – hirunews.lk/sinhala)

මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගෙන දැනට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන 23 දෙනෙකු අනිද්දා (04) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් පරිදි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මොවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම නියෝගය ලබාදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

***************************************

ඉන්දියාවෙන් ලංකාවට සහල් ටොන් 40,000 ක් නැව්ගත කිරීම අරඹයි

(02.04.2022 – 17:23 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය ආධාර යටතේ සහල් ටොන් 40,000 ක් මෙරටට එවීම සඳහා නැව්ගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා.

ලොව විශාලතම සහල් අපනයනකරුවා වන ඉන්දියාව පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ, ඉන්ධන හා ආහාර ලබා ගැනීම සඳහා සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ආධාර ලබාදීමට පසුගිය මාසයේදී එකඟතාව පළ කළ අතර, ඒ අනුවයි මෙම සහල් තොගය මෙරටට එවීමට නියමිතව ඇත්තේ ෴

***************************************

විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

(02.04.2022 – 17:31 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් 4 සිට 8 වනදා දක්වා වාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් සිසුන් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා ෴

***************************************

දුම්රිය මගීන්ට දැනුම් දීමක්

(02.04.2022 – 17:34 +0530 – hirunews.lk/sinhala)

අද (02) රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය සේවය දැනුම් දෙනවා.

දුම්රිය සේවය දැනුම්දෙන්නේ අප්‍රේල් 04 වනදා පෙරවරු 6 න් පසු නැවත දුම්රිය ධාවනය සාමාන්‍ය පරිසි ආරම්භ කරන බවයි.

කෙසේවෙතත් අද (02) දිනට නියමිත දුම්රිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන බවද මෙයින් දැනුම් දෙනු ලබනවා ෴

***************************************

අද (02) අවසන් ගමන් වාරය දක්වා ලංගම බස් රථ ධාවනය වේ

(02.04.2022 – 17:56 +0530 – hirunews.lk/sinhala)

අද (02) අවසන් ගමන් වාරය දක්වා ලංගම බස් රථ ධාවනය වන බව ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම පවසනවා.

එමෙන්ම පෞද්ගලික බස් රාත්‍රී 7 පමණ වනතුරු ධාවනය කරන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා ෴

***************************************

විදෙස්ගතවීමට සිටින අයට පණිවුඩයක්

(02.04.2022 – 18:21 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ විදේශගතවීමට බලාපොරොත්තු වන මගීන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, එලෙස විදෙස්ගතවීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට සිය විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ ගමන් විස්තර ඇතුලත් තොරතුරු ඉදිරිපත් කර ගුවන් තොටුපොළ වෙත ගමන් කළ හැකි බවයි ෴

***************************************

දහම් පාසල් ශ්‍රේණි විභාග නැවත දැනුම් දෙනතුරු කල් දමයි

(02.04.2022 – 18:35 +0530 – hirunews.lk/sinhala)

හෙට (03) පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාග නැවත දැනුම් දෙනතුරු කල් දමා ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා ෴

***************************************

හෙටත් (03) රට අඳුරේ

(02.04.2022 – 18:49 +0530 – hirunews.lk/sinhala)

හෙට (03) දිනයේ පැය 06 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමක් අනුව එම අවසරය ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

ඒ අනුව ප්‍රධාන කලාප දෙකක් යටතේ පෙරවරු 08:30 සිට රාත්‍රි 12:00 දක්වා පැය 06 යි මිනිත්තු 15 ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

P Q R S T U V W යන කලාප සඳහා පෙරවරු 10:00 සිට පස්වරු 04 දක්වා පැය 02 යි මිනිත්තු 15 ක කාලයක් සහ පස්වරු 04:00 සිට රාත්‍රි 12:00 දක්වා පැය 04 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

මීට අමතරව හෙට (03) දිනයේ A B C D E F G H I J K L යන කලාප සඳහා පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා පැය 2 යි මිනිත්තු 15 ක කාලයක් සහ පස්වරු 05:30 සිට රාත්‍රි 11:30 දක්වා පැය 03 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබෙනවා ෴

***************************************

අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට හැඳුනුම්පත ඉදිරිපත් කර යාමට අවසර – අජිත් රෝහණ

(02.04.2022 – 19:07 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට සහ විදේශ දූත මණ්ඩලවල රාජකාරියේ නිරත අයට ඇඳිරි නීති කාලය තුල සිය හැඳුනුම්පත ඉදිරිපත් කර රාජකාරියට වාර්තා කිරීමට අවසර හිමි වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා ෴

***************************************

ඩොලර් තුන්ලක්ෂයක් වංචා කළ බවට ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වරද පිලිගනී

(02.04.2022 – 19:47 +0530 – hirunews.lk/sinhala)

වොෂින්ටනයේ නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් 332,027 ක් වංචා කිරීමට උත්සාහ කිරිම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය ඇමෙරිකානු අධිකරණයක් හමුවේ වරද පිලිගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්තා කලේ ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව උපුටා දක්වමින්.

ඒ අනුව හිටපු තානාපතිවරයාට ජුලි 20 වනදා දඩුවම් නියම කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් ද මීට වසර 4 කට පමණ පෙර නිකුත් කළේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමෙරිකාවට යාමට අවසර ලබාදීමට කටයුතු කළත්, පසුව ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ෴

***************************************

අමාත්‍ය වරප්‍රසාද මහජන සුබසාධනය වෙනුවෙන් කැප කරන්නැයි මහ නාහිමිවරුන් ඉල්ලයි

(02.04.2022 – 19:58 +0530 – hirunews.lk/sinhala)

පවතින ආපදා අවස්ථා සැලකිල්ලට ගනිමින් මහජනතාව මත එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීමට රජයේ සියලු අනවශ්‍ය වියදම් ඉවත් කර අමාත්‍ය වරප්‍රසාද මහජන සුබසාධනය වෙනුවෙන් කැප කර මහජනතාවට අවශ්‍ය කඩිනම් සහන ලබාදීම රජයේ යුතුකම විය යුතු බව මහානාහිමිවරුන් පවසනවා.

අස්ගිරි, මල්වතු, රාමඤ්ඤ සහ අමරපුර නිකායන්හි මහානාහිමිවරුන් වර්තමානයේ රට තුල උද්ගතව ඇති අර්බුදකාරි වාතාවරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව පෙන්වා දෙන්නේ.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන්, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් සහ රාමඤ්ඤ නිකායේ මහානායක අතිපුජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමියන් සහ අමරපුර නිකායේ මහානායක අතිපුජ්‍ය දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි නාහිමියන්ගේ අත්සන් සහිතව අදාල නිවේදනය නිකුත් කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සපයා ගැනීමේදී මෙන්ම ඉන්ධන, විදුලිය සහ ගෘහස්ථ ගෑස් අවශ්‍යතා සපයා ගැනීමේදී මුහුණදෙන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මහත් පීඩාවකට පත්ව සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

දැරිය නොහැකි ජීවන වියදම ඉහළ යාම, රට තුල පෙර නොවූ විරූ ආකාරයේ දැවැන්ත සමාජ ආර්ථික අර්බුද රැසක් නිර්මාණය කිරීමට හේතුවී ඇති අතර, පවතින අර්බුදය විසදා ගත හැක්කේ රාජ්‍ය මුදල් නිසි කළමනාකරණය, දූෂණය පිටු දැකීම, සහ රටේ මහජන අවශ්‍යතා මත පදනම්ව ප්‍රමුඛතා ගත කළ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම මෙන්ම, දේශීය ආර්ථික ආකෘතිය ගොඩනැගීම තුලින් පමණක් බව එම මහනාහිමිවරුන් අවධාරණය කරනවා ෴

***************************************

ලබන සතියේ පාසල් විභාග සහ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණයි

(02.04.2022 – 20:00 +0530 – hirunews.lk/sinhala)

වාර පරීක්ෂණ සහ පාසල්වල පැවැත්වීමට සැලසුම් කර ඇති අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ලබන සතියේ සිසුන් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්තිවරුන්ට අවසර ලබාදී තිබෙනවා.

මේ අතර, 2022 වසර සඳහා රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් දිනකට පැය බැගින් අමතර කාලයක් එකතු කර දින 139 ක් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලු අධ්‍යාපන බලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එහි දැක්වෙන්නේ 2022 වසරේ උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මාසය තුළ සහ සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ මුල් භාගයේදී පැවැත්වීමට නියමිතව ඇති බවයි.

මහජන උපයෝගිතා කොමිසම අද අමාත්‍යාංශයට නිර්දේශ කර තිබුණේ විදුලි කප්පාදුව හේතුවෙන් සිසුන් අපහසුතාවයට පත්වන නිසා අප්‍රේල් 08 වනදා ලබාදීමට නියමිතව තිබූ පාසල් නිවාඩුව 04 වනදා සඳුදා සිටම ලබාදෙන ලෙසයි ෴

***************************************

මෙරටට ඉන්දීය හමුදාව යෙදවීමක් නෑ – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

(02.04.2022 – 20:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව සිය හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට යොදවන බවට පැතිර යන රාවය පිළිබඳව පැහැදිලි කරමින් කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ ප්‍රකාශ අතිශය සාවද්‍ය සහ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත මාධ්‍ය වාර්තා බවයි.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එය තරයේ ප්‍රතික්ෂේප කරන බවද දන්වනවා.

එසේම මහ කොමසාරිස් කාර්යාලය, එවැනි වගකීම් විරහිත වාර්තාකරණයන් හෙළාදකින අතර අදාළ පාර්ශ්වයන් කටකතා පැතිරවීමෙන් වළකිනු ඇතැයි අපේක්ෂා කරන බවද එම නිවේදනයේ සඳහන් ෴

***************************************

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්

(02.04.2022 – 21:42 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ හෙට (03) නොපැවැත්වෙන අතර, හෙට (03) දින ඊට පෙනී සිටීමට නියමිත සිසුන් අනිද්දා (04) පරීක්ෂණ මණ්ඩල වෙත පැමිණ වෙනත් දිනයක් ලබාගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් පවසනවා ෴

***************************************

සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

(02.04.2022 – 21:51 +0530 – hirunews.lk/sinhala)

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත (රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරා) ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසකට පහරදීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු (2) රෝහල්ගත කර තිබෙනවා ෴

***************************************

කැළණිතිස්සට ඩීසල් මෙට්‍රික් ටොන් 5000 ක් අද (02) රාත්‍රියේ

(02.04.2022 – 20:11 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය සහ කැළණිතිස්ස බලාගාරවලට විදුලි උත්පාදනය එක් කිරීමට හැකිවීමත් සමග දැනට උදෑසන කාලයේ සිදු කෙරෙන විදුලි කප්පාදුවේ කාලය අවුරුදු සමයේ දී අවම කිරීමට විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

මේ අතර, ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබාදුන් ඩීසල් මෙටි‍්‍රක්ටොන් 40,000 ක් රැගත් නෞකාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද (02) පස්වරුවේ ආරම්භ කරන බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ප්‍රකාශ කළා.

එම නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි මෙලෙස බෙදාහැරීමේ කටයුතු ආරම්භ කෙරෙන්නේ. එසේම, ඉන්දීය ණය ආධාර යටතේ තවත් ඉන්ධන රැගත් නෞකා දෙකක් (2) මෙරටට පැමිණීමට නියමිතයි.

මේ අතර ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවක් සපයන කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (02) යළි ආරම්භ කෙරුණා. එම බලාගාරය ඉන්ධන නොමැතිව දින කිහිපයක් වසා දමා තිබුණා.

එසේම, ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක විදුලි බලයක් සපයන කැලණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදනය ඩීසල් නොමැතිවීම හේතුවෙන් අද (02) පස්වරු 7 වන විට නතර කිරීමට සිදු වන බව ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.

අප කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ඩීසල් මෙට්‍රික් ටොන් 5000 ක ප්‍රමාණයක් අද (02) රාත්‍රී 8 පමණ වනවිට කැලණිතිස්ස බලාගාරයට ලැබීමට නියමිත බවයි.

කෙරවලපිටිය බලාගාරය සහ කැලණිතිස්ස බලාගාරයේ සක්‍රීය කොටස විදුලි උත්පාදනයට එක්කිරීමට හැකිවීම මගින් දැනට උදෑසන කාලයේ සිදු කෙරෙන විදුලි කප්පාදුවේ කාලය අවම කිරීමේ හැකියාව පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

මේ අතර හෙට (03) දිනයේදී පැය 6 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා.

විදුලි කප්පාදුව හේතුවෙන් අදත් (02) දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකිව අපහසුතාවට ලක්වුණා.

එසේම පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාව ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් අදත් ඉන්ධනහල් අසල සිටියා.

මේ අතර ඉන්ධන ලබා ගැනීම ජා-ඇල ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණි සිටි පිරිසක් කොළඹ මිනුවන්ගොඩ හරහා කුරුණෑගල ප්‍රධාන මාර්ගය ජාඅල කණුවන මංසන්ධියෙන් අවහිර කළා.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට ද දිගු පෝලිම් පැවතියා ෴

***************************************

හෙට (03) විදුලි කප්පාදුව පැය 01 යි මිනිත්තු 40 යි

(02.04.2022 – 21:45 +0530 – hirunews.lk/sinhala)

හෙට (03) දිනයට සැළසුම් කල පැය 06 ක විදුලි කප්පාදුව පැය 01 යි මිනිත්තු 40 ක් දක්වා අඩු කර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබීම ආරම්භවීම ඊට හේතුව බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *