රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි

*********************************************

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි

(02.04.2022 – 11:56 +0530 – sinhala.adaderana.lk)

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි මස පළමුවැනිදා සිට ඉවත් වන බව රොෂාන් රණසිංහ මහතා පවසයි.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකරමින් ඔහු කියා සිටින්නේ එළැඹෙන අලුත් අවුරුද්දට පෙර ගොවීන්ට වන්දි මුදල් සහ පොහොර සහනාධාරය ලබාදෙන ලෙස බලකරමින් තමන් ඉල්ලා අස්වන බවය.

රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම රටතුළ මහත් ආන්දෝලනයක් ඇති කරන ලද අතර එම තීරණය ගැනීමේදී බහුතරයක් වු ගොවි ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ලවීම නොරහසක් බව රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් වෙයි.

ගොවි ජනතාවගේ අස්වැන්න අඩු නොවන පරිදි කාබනික පොහොර වර්ග ලබාදෙන බව පැවසූවද නිසි ප්‍රමිතියක් සහිතව එම පොහොර වර්ගවලින් එකක් හෝ දෙකක් පමණක් සුළු පිරිසකට ලැබුණු බවද එම ලිපියේ සඳහන්ය.

එමෙන්ම ලැබුණු කාබනික පොහොර මගින් වගා කළ ගොවි ජනතාවගේ අස්වැන්නේ යම් අඩුවීමක් සිදුවුවහොත් ඊට වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය මගින් දැනුම් දුන් අතර ගොවීන්ට අඩුවන අස්වැන්නට නිසි වන්දියක් ලබාදෙන බවටද පොරොන්දු වු බව රාජ්‍ය අමාත්‍යවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

හෙක්ටයාරයකට සාමාන්‍ය වශයෙන් වී කිලෝ පන්දහසක (5000) නිෂ්පාදනයක් ලබා ගත් ගොවීන්ගේ මෙවර මහ කන්නයේ දී වී අස්වැන්න කිලෝ 2,500 ත් 2,000 ත් අතර ප්‍රමාණයකින් පහත වැටී තිබෙන බවද පෙන්වා දී ඇත.

මෙම අස්වැන්නද ගොවීන් විසින් ලබා ගනු ලැබූයේ පසුගිය කන්නවල ඉතිරි කරගත් රසායනික පොහොර යම් ප්‍රමාණයක් සහ ආදේශක වශයෙන් පොල් පොහොර හෝ තේ පොහොර අධික මිලකට මීලදී ගෙන වගාවට යොදාගත් බැවින් ගොවි ජනතාව මුහුණ දුන් සැබෑ යථාර්තය එය බවද එහි සඳහන්ය.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට ලබා දුන් ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ජනාධිපතිවරයාට ලැබුණු 69 ලක්ෂයක ජන වරමත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබූ තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඉතා කෙටි කලකින් නැති වී යාමට ප්‍රධානම හේතුවක් වූයේ මෙම කාබනික පොහොර වැඩසටහන බවය.

එම තීන්දුවෙන් මුළු රටේම ගොවි ජනතාව අසරණභාවයට පත් වූ අතර ගොවි ජනතාව ආණ්ඩුවට විරුද්ධව වීථි බැසීම ආරම්භ වූයේ මේ සමඟ බවද එහි වැඩිදුරටත් සඳහන්ය.

මේ සම්බන්ධව ඔබතුමන් වෙත පැහැදිලි කිරීම සඳහා වේලාවක් ලබා ගැනීමට ජනාධිපති පුද්ගලික ලේකම්වරයා වෙත කිහිප විටක් දුරකථනයෙන් කතා කොට අවස්ථාව ඉල්ලූ අතර ඒ කිසිඳු අවස්ථාවකදී බහුතර ගොවි ජනතාව නියෝජනය කරන දිස්ත්‍රික්කයක ජනතා නියෝජිතයකු ලෙස තමන්ට අවස්ථාවක් නොලැබීම පිළිබඳ කණගාටු වන බවද ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

එම කාලයේදී ගොවි ජනතාව මුණගැසී ලබාගත් අදහස් හා යෝජනා මීට ඉහත දිනකදී ලිඛිතව ඔබතුමන් වෙත ඉදිරිපත් කළ අතර එම ඉල්ලීමෙන්ද 50% රසායනික පොහොර හා 50% කාබනික පොහොර ප්‍රතිපත්තියකට යාම සුදුසු බව තමන් තහවුරු කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගොවි ජනතාව මේ වනවිට මුහුණ දී ඇති අන්ත අසරණභාවයෙන් මුදවා ගැනීමට නම් සිංහල දමිළ අලුත් අවුරුද්දට පෙර වගා වන්දි ලෙස, අහිමි වූ සෑම වී කිලෝවක් වෙනුවෙන් රුපියල් සියයක (100) වගා හානි පූරණයක් ලබා දීම, ඉදිරි යල කන්නය වෙනුවෙන් අවම තරමින් රසායනික හා කාබනික පොහොර 50% ක ප්‍රතිශතයකින් ලබා දෙන බවට ගොවි ජනනවට සහතිකයක් ලබා දෙන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

සිංහල දමිළ අලුත් අවුරුද්ද ගොවීන්ට යම් දුරකට හෝ සතුටින් සැමරිය හැකි අවුරුද්දක් බවට පත් කිරීමට එමඟින් හැකිවනු ඇති බව රොෂාන් රණසිංහ මහතා පෙන්වා දෙයි.

විශේෂයෙන් ඉහත ඉල්ලීම්වලින් ගොවි ජනතාව වෙත මතුව ඇති ප්‍රශ්ණවලට කඩිනම් විසඳුම් ලබා ගැනීමට නොහැකි නම් අතිබහුතරයක් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව නියෝජනය කරන තමන්හට මෙම අමාත්‍යධූරයේ රැදී සිටීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කිරීම ඵල රහිත බව හැඟී යන බවද ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.

ජනතාව විසින් ලබාදුන් ජනවරමින් තමන්හට ලැබැණු තනතුරු තානාන්තර ජනතාව වෙනුවෙන් කැප කිරීමට තරුණ දේශාපලඥයකු ලෙස කිසිවිටකත් පසුබට නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අනෙකුත් දිස්ත්‍රික්කවල ද ජීවත්වන සමස්ථ ගොවි ජනතාවගේ කැකෑරෙන මෙම ප්‍රශ්නය ඔබතුමන් වෙත ගෙනඒමට තමා ඉදිරිපත් වූයේ ගොවි ජනතාව, ගොවි විප්ලවයකට හා අරගලයකට යාම වැඩි ඈතක නොවන බව තමන්ට හැඟෙන හෙයින් බවද රාජ්‍ය අමාත්‍යවරයා යොමු කළ ලිපයේ වැඩිදුරටත් සඳහන්ය.

ඒ අනුව වැඩ කරන ජනතාවගේ ප්‍රධානතම බලවේගයක් වූ ගොවි ජනතාව වෙනුවෙන් සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර සාධාරණයක් ඉටු කිරීමට හැකිනම් එය ඉතා අගය කරන අතර එසේ නොමැතිනම් අවම වශයෙන් අප්‍රේල් මාසය තුළදීවත් එම තීන්දුව ගත යුතු බව සිහිපත් කර සිටින බවද රොෂාන් රණසිංහ මහතා යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

සමස්ථ ගොවි ජනතාව වෙනුවෙන් මා කරන ඉල්ලීම ඔවුන්හට ඉටු කරන ලෙස බලකරමින් මැයි මස පළමුවන (01) දින වැඩ කරන ජනතාවගේ ඓතිහාසික දිනයේ සිට මා දරණ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොළොන්නරු දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඔබතුමන් වෙත ඉතා ගෞරවයෙන් යුතුව දන්වා සිටින බවද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන්ය.

***************************************

විදේශ මුදල් හුවමාරු ස්ථාන දෙකකට (2) මහ බැංකුවෙන් අවවාද

(02.04.2022 – 09:09 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රලාභී බැංකු මගින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගණුදෙනු කළ තවත් මුදල් හුවමාරු ආයතන දෙකක් (2) වෙත අවවාදාත්මක නිවේදන නිකුත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

බලය ලත් මුදල් හුවමාරු ව්‍යාපාරික ස්ථානයන් හි සිදුකළ අඛණ්ඩ පරීක්ෂණවලදී මෙම ආයතන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එලෙස අලුතින් හඳුනාගෙන ඇති මුදල් හුවමාරු ආයතන වන්නේ කොළඹ කොටුවේ ‘ස්විස් මනි එක්ස්චේන්ජ්’ ප්‍රධාන කාර්යාලය සහ එහි වැල්ලවත්ත ශාඛාව මෙන්ම වැල්ලවත්තේ පිහිටි ‘වෙස්ටර්න් මනී එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම’යි.

එම ආයතන වෙත අවවාදාත්මක නිවේදන මගින් දැනුම් දුන් කරුණු නිවැරදි කිරීමට පියවර නොගතහොත් ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට සිදුවන බවයි මහ බැංකුව අවධාරණය කළේ ෴

***************************************

සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ දිවිසැරිය නිමා කරයි

(02.04.2022 – 10:19 +0530 – hirunews.lk/sinhala)

සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි, ඒ මහතා අද (02) පෙරවරුවේ දී අභාවප්‍රාප්ත වී ඇත්තේ.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාට ලබමින් සිටියදි අද (02) උදෑසන අභාවප්‍රාප්ත වූ ඒ මහතා සිය දිවිසැරිය නිමා කරන විට 84 හැවිරිදි වියෙහි පසුවුණා.

දේශබන්දු වික්ටර් හෙට්ටිගොඩ, 2005 වසරේ ජනාධිපතිවරණය සඳහා ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුණා.

සිද්ධාලේප කියන්නේ අපේ මිනිස්සුන්ගේ ජීවිතවලට බොහෝ ම කිට්ටු නමක්. ඕනෑම මහා ලෙඩක ප්‍රථම අත් බෙහෙත ලෙසයි ශ්‍රී ලාංකීය ජන සමාජයේ පිළිගැනෙන්නේ.

අද සිද්ධාලේප රට පුරා බෙදා හරින්න වෑන් 200 කට වඩා තියෙනවා. සේවක සංඛ්‍යව 1500 කට වැඩියි. මෙරට පමණක් නෙමෙයි එතෙර රටවල් 20 කටත් සිද්ධාලේප අපේ වෙදකම ප්‍රචලිතව පවතිනවා.

මේ වන විට සිද්ධාලේප ආයතනය දිනාගත් ජාතන්තර සම්මාන ප්‍රමාණය 15 ක්.

දසමූලාරිෂ්ටයේ පටන් සිද්ධාලේප ලේබලය යටතේ ඖෂධ වර්ග 90 ක් දැන් වෙළෙඳපොළට නිකුත් වෙනවා.

නමුත් සෑම ගෙදරක ම සිටිය යුතු මේ වෙද මහත්තයාගේ ආරම්භය ඉතාම කටුක යි.

හැදෙන මිනිහෙකුට කියවන්න වටින අත්දැකීම්වලින් සමන්විත ජීවිත කතාවක් ඒක.

අද රට පුරා වෑන් දෙසීයකින් (200) යන සිද්ධාලේප බෙහෙත් කුප්පිය මීට අවුරුදු තිස් එකකට (31) කලින් රට පුරා ගියේ දෙපයින් ඇවිදිමින් තනි මිනිහකුගේ ඉහ පිටින්.

නගරයෙන් නගරයට ඇවිද ගිය ඒ මිනිසාගේ පයේ රබර් සෙරෙප්පු දෙක විළුඹ පෑදෙන තැනටම ගෙවුණා.

ඔහු ඒ වෙනුවට අලුත් සෙරෙප්පු දෙකක් ගත්තේ නෑ. ගෙවුණ සෙරෙප්පුවේ පටි දෙකට අලුත් අඩියක් ගසාගත්තා. එහෙම කළේ සෙරෙප්පු දෙකට වියදම් කළොත් දවසෙ වෙළෙදාමෙන් ලාභයක් නැති වෙන හින්දා.

දේශබන්දු වික්ටර් හෙට්ටිගොඩ හෙවත් හෙට්ටිගොඩ සමුහ ව්‍යාපාරයේ අධිපති ජීවිතේ පටන්ගත්තෙ එතරම් වේදනාකාරී අයුරින්.

වික්ටර් හෙට්ටිගොඩ උපන්නේ ගාලු දිස්ත්‍රික්කයේ වල්පොල කියන සුන්දර ග්‍රාමයේදියි.

ඔහුගේ පියා ද ආයුර්වේද වෛද්‍යවරයෙක්, නක්ෂත්‍රවේදියෙක්. ඔහුගේ සීයා ද ආයුර්වේද වෛද්‍යවරයෙක්.

වික්ටර් හෙට්ටිගොඩගේ පවුලේ සාමාජිකයින් 09 දෙනෙක් සිටියා. වික්ටර් කුඩා කලදී අධ්‍යාපනය ලැබුවේ මාතර රාහුල විද්‍යාලයේ යි.

කුඩා කල අම්මා අන්තරා වූ නිසා ඔහු ඉගෙනුම සඳහා ගමේ ඉස්කෝලෙට පැමිණියා.

පාසලෙන් අස් වුණු වික්ටර් හෙට්ටිගොඩ තරුණයා පළමුවරට රස්සාවකට ගියා.

ඒ තලවකැලේ හේමචන්ද්‍ර සමාගමට. ඒක විශාල වෙළෙඳ සමාගමක්. වික්ටර් තරුණයා ඒ කඩේ වෙළෙඳ සේවකයෙක් විදියට වැඩ කරන්න පටන් ගත්තා. මාසෙකට පඩිය රු. 18.50 යි. මේ 1959 අවුරුද්ද. වෙළෙඳාම කියන්නේ කුමක් දැයි ඔහු ඉගෙන ගත්තේ හේමචන්ද්‍ර ස්ටෝස් එකෙන් බවයි ඔහු බොහෝ අවස්ථාවලදී මාධ්‍යයට ප්‍රකාශ කළේ.

පසුව හෙට්ටිගොඩ තරුණයා ගාල්ලේ ගිංතොට ලංකා ගමනාගමන මණ්ඩලේ ගිණුම් කළමනාකරුවෙකු ලෙසත්, විද්‍යෝදය විශ්වවිද්‍යාල‍යේත් තවත් ප්‍රසිද්ධ ආයතන කිහිපයක රාජකාරි කටයුතු කළා.

මේ අතරතුරයි හෙට්ටිගොඩ තරුණයා විවාහ වන්නේ.

ඇය ගුරුවරියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්.

කෙසේවෙතත්, අවසානයේදී ඔහු තමන්ගේ ව්‍යාපාරයක් ඇරඹීමට යළිත් උපන්ගම වෙත පැමිණෙනවා.

සිය පියාගේ ඉගැන්වීම් සහ ආශිර්වාද මධ්‍යයේ ලොවක් සුවපත් කළ හැකි සිද්ධාලේප හෙළ ඔසු වට්ටොරුවක් ඔහු විසින් සකසා ජාතියට දායාද කරන්නේ.

ජනසෙත සදන්න සුව පැන් සෑදූ වෙදැඳුරාණනි ඔබට නිවන් සුව ලැබේවා ! ෴

***************************************

වොෂින්ටනයේ ගොඩනැගිල්ලක් මිලට ගැනීමට වංචනික ලෙස මුදල් යෙදවූ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකුට වැඩ වරදියි

(02.04.2022 – 12:12 +0530 – hirunews.lk/sinhala)

අමරිකාවේ – වොෂින්ටනයේ නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිල දී ගැනීමේ දී ඩොලර් 3,30,000 කට වැඩි මුදලක් වංචා කිරීමට උත්සාහ කළ බවට එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු වන ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය ඊයේ (01) දින වරද පිළිගෙන තිබෙනවා.

61 හැවිරිදි ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය, වයර් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවකට එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ වරද පිළිගැනීමක් සිදු කර ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව පවසනවා.

2008 සිට 2014 දක්වා අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ වික්‍රමසූරිය 2013 වසරේ නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිල දී ගැනීමේදී මිල වැඩිකර ශ්‍රී ලංකා රජයට වංචා කිරීමට උත්සාහ කළ බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

අධිකරණ ලේඛනවලට අනුව අදාළ සැකකරු විසින් නිශ්චල දේපල මිල දී ගැනීමේ මිල ඩොලර් 3,32,027 කින් වැඩි කළ අතර, පසුව එම මුදල් ගනුදෙනුවේ කිසිදු භූමිකාවක් නොමැති සමාගම් දෙකකට (2) හරවා යවා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සැකකරු පසුව එම මුදල් ශ්‍රී ලංකා රජයේ ගිණුම් වෙත ආපසු හරවා යවා ඇති අතර, ඔහුට විරුද්ධව එරට අධිකරණය විසින් දඬුවම් ලබාදීම සඳහා අදාළ නඩුව යළි ජූලි 20 වැනිදින කැඳවීමට නියමිතයි ෴

***************************************

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පැහැදිලි කිරීමක්

(02.04.2022 – 14:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ලබන මැයි 12 වනදා සිට අත්හිටුවා ඇත්තේ කොළඹ සහ බහරේනය අතර යූ.එල්. 201 සහ යූ එල් 202 යන ගුවන් ගමන් දෙක (2) පමණක් බව එමඟින් අවධාරණය කරනවා.

අනෙකුත් ගමනාන්තයන් වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලු ගුවන් ගමන් මෙහෙයුම් කිසිදු වෙනසකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවයි එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් වැරදි ප්‍රචාර පතුරුවා ඇති අතර, ඊට පදනම් වී ඇත්තේ බහරේනය සඳහා නිකුත් කළ අභ්‍යන්තර නිවේදනයක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළා ෴

***************************************

පැහැරගත් බව කියන තරුණයා ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක් – මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට දැනුම්දීමක්

(02.03.2022 – 14:38 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ‘තිසර අනුරුද්ධ බණ්ඩාර’ නම් විශ්ව විද්‍යාල තරුණයා පැහැරගෙන නොමැති බව පොලිසිය පවසනවා.

මෙම තරුණයා මෝදර ප්‍රදේශයේදී පැහැරගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරක් සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුවගෙන් කළ විමසීමකදීයි ඔහු මේබව කියාසිටියේ.

කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) රාත්‍රී මෙම තරුණයා සිය භාරයට ගෙන ඇති අතර ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තියට අනුවයි.

ඔහු අද (02) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන්.

මේ සම්බන්ධයෙන් පොලිසිය මානව හිමිකම් සභාවට ද දැනුම්දී ඇත්තේ අදාළ තරුණයා පොලිස් භාරයේ රඳවාගෙන සිටින බවටයි.

මේ අතර අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන අනුරුද්ධ බණ්ඩාරට නීතිඥ සහය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.

ඔහු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද සඳහන් කළේ.

ඔහුට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනාව වන්නේ රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීම සහ ඒ සඳහා පෙළඹවීම් ඇති කිරීම බව සඳහන් ෴

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

යුක්රේනයේ උතුරුකරයෙන් රුසියානු හමුදා ඉවත් වේ

(02.04.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ උතුරුකරයෙන් රුසියානු හමුදා ඉවත් කරගැනීම සෙමෙන් එහෙත් කැපී පෙනෙන ලෙස සිදුවන බව යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි පවසනවා.

කෙසේ නමුත් නැගෙනහිර ඩොන්බාස් සහ කාර්කිව් ප්‍රදේශවල ඉදිරියටත් දරුණු ගැටුම් ඇතිවිය හැකි බවටයි ඔහු අනතුරු ඇඟවූයේ.

කීව් අගනුවරට තදාසන්නව පිහිටි බුචා සහ ඉර්පින් නගර රුසියානු හමුදා වෙතින් යළි අත්පත් කරගැනීමට යුක්රේන හමුදා සමත්වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර දකුණු දිග යුක්රේනයේ මරියුපොල් නුවරින් සිවිල් වැසියන් ඉවත් කරගැනීම අන්තර්ජාතික රතුකුරුස කමිටුව විසින් අත්හිටුවා තිබෙනවා.

කෙසේ නමුත් 3,000 කට අධික සිවිල් වැසියන් පිරිසක් ඊට පෙර ඉන් ඉවත් කරගැනීමට හැකිවූ බවයි යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේ.

මේ අතර රුසියානු භූමියේ පිහිටි ඉන්ධන ගබඩාවකට යුක්රේන හෙලිකොප්ටර් යානා දෙකක් (2) මගින් ප්‍රහාරයක් එල්ල කළ බවට ඉදිරිපත් වී ඇති චෝදනා යුක්රේන විදේශ අමාත්‍යවරයා විසින් සනාථ කර හෝ ප්‍රතික්ෂේප කර නැහැ.

කාර්කිව් නුවරට කිලෝමීටර 60 ක් පමණ ඈතින් පිහිටි රුසියානු බෙල්ගොරොඩ් නගරයේ පිහිටි මෙම ඉන්ධන ගබඩාවට එල්ලවූ ප්‍රහාරයෙන් එය ගිනිගෙන දැවුණු අතර, යුක්රේන යුද පෙරමුණට සිදු කෙරෙන සැපයුම්වලට එය බලපාන බවයි බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ප්‍රකාශ කළේ ෴

++++++++++++

රුසියාව සමඟ න්‍යෂ්ටික උණුසුම වළක්වන්න – ඇමරිකාව මිසයිල අත්හදාබැලීමක් කල් දමයි

(02.04.2022 – 10:13 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයට එරෙහිව යුද්ධයක පැටලී සිටින රුසියාව සමග න්‍යෂ්ටික අවි උණුසුම අවම කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපදය සිය නවතම අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම අවලංගු කර තිබෙනවා.

පසුගිය දෙවනදා (02) ද ඇමෙරිකාව මෙම නවතම මිසයිලය අත්හදා බැලීම කල් දැමූ අතර, මෙවර එය අත්හිටුවා ඇත්තේ දෙවන (2) වතාවටයි.

යුක්රේන ආක්‍රමණයත් සමග රුසියාව සිය න්‍යෂ්ටික අවි සීරුවෙන් තැබීමට පියවර ගත් අතර, ඔවුන් සමග ගැටුමකට එළඹීමට අපේක්ෂා නොකරන බවයි ඇමෙරිකාව ප්‍රකාශ කළේ.

න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි එල්.ජී.එම්. 30 ජී වර්ගයේ මෙම ඇමෙරිකානු මිසයිලය සැතපුම් 6000 ක් පමණ ඈතින් වූ ඉලක්කයකට පැයට සැතපුම් 15,000 ක පමණ වේගයකින් එල්ල කළ හැකි බව සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *